Thursday, April 28, 2016

දුකයි ටීච

අප්‍රේල් අවුරුදු නිවාඩුව අහවර ව පාසල ආරම්භ කළ පළමු දවස තරමක් කාර්යබහුලය. පොඩි උන් අත බුලත් හුරුළුය. බුලත් ගෙනෙන්නට අමතක වූවන් බුලත් ගෙනා අය පසුපස ය. සමහරු උස ගිහින්ය. අළුත් ඇඳුම් සමහරුන්ට ඇත. සමහරු නම් පරණ කහට පිපුණ ඇඳුමමය. තෙල් බේරෙන හිස අතගා බුදුසරණයි කියනතුරු සමහරු හිස ඔසවන්නනේද නැත.


" ටීච ව නම් පාට වැටිලා"

දඟකාර හඬක් මතුව නෑසී ගියේය.

"අවුරුදු නේ ඒකයි...පුතේ"

" නෑ... නෑ.. අපිට ආරංචියි"

තේරෙන වයසේ පොඩි උන් ඔච්චමට සිනාසෙන්නෙ අැයිදැයි දන්නා නමුත් ගාණකට නොගෙන මම ඔවුන්ගෙන් ඉවතට ඇදුනෙමි.


පරිගණක ශාලාවේ කෙළවරක ගිය වසරේ සාමාන්‍යපෙළට පෙනී සිටි ගැහැණු දරුවෙකු කණුවට හේත්තු වී උන්නාය. ඇයගෙ දෙනෙත් කෙළින්ම මා වෙත එල්ල වී තිබුණ නමුත් එහි සැගව තිබු කතාව මට ප්‍රේහෙලිකාවක් විය.


" මොකද අනූ .... ඇයි මාව හොල්මනක් වගේද"


" නෑ ටීච හැඩ වෙලා"


" ආ ඒකද... කොහොමත් අපි හැඩයිනෙ..."


ඇයගේ පිටට තට්ටුවක් දමාගෙන මා කාමරයට ඇතුළු වන්නට සූදානම් වු විටම මගේ සාරි පොට කිසිවෙකුගේ ග්‍රහණයට ලක් වු බව දැනී මා පිටු පසට හැරුනෙමි.


ඒ ඇයය. තවමත් ඇයගේ බැල්ම මටය.


" ඇයි පුතේ.. මොකද මේ.. ප්‍රශ්නයක්ද.


නැත්නම් වෙන මොනව හරි දෙයක්ද"


" නෑ ටීච... මහ හරි සතුටුයි.. ඒ වගේම මට හරි දුකයි"


"මොකක්ද කාරණේ"


" ටීච බඳිනවා නේද ළඟදි"


මම සිනාසුනෙමි. කාටවත් දැන් එහි රහසක් නැත.


" ආ ඒකද මේ... හරි දුක මොකටද එතකොට දුක"


ඇය මොහොතක් නොසන්සුන් නිහැඩියාවක උන්නාය.


" අනූ".


" ටීච එතකොට දුරස් වෙයි.. ඒක මහා අමුතු දෙයක් හිතට.. හරියට ටීච හොරු අරන් යන්න වගේ"


මම කිසිත් නොකියා ආදරණීය ටොක්කක් ඇයට දී කාමරයට එබුනෙමි.