Thursday, July 6, 2017

කැලෑ පත්තරේ

ගුරුවරියකගේ මතක..
******--*****-*********

ඒ හතේ පංතියේ රංචුවය. ඉස්කෝලේ දඟම පංතියය. කොච්චර තරවටු කළත් ඒ තරවටුව තඹේකට මායිම් නොකරන දඟකාරයන්ගේ පාරාදීසය හතය. තියෙන පරිගණක දෙකට වෙන රණ්ඩුවීම් කාල ගෝට්ටි කන් දෙකට දැන්නම් හුරුය. ඊට වඩා නාස් හකුලන මේස් ගඳට ඔක්කාරය හැදෙන තරම්ය. ඒත් සියල්ල ඉවසා ගන්න ට දැන් මගෙ පංචෙන්ද්‍රයන් සූදානමින් සිටියි.

" ටීච ටීච බලන්නකො මට සූකිරියා කම්පියුටරෙ ගහන්න දෙන්නෙ නෑ.."

" අඩෝ මම සූකිරියා නෙවෙයි හරි.. ඒ ගෙදරට.. මේ ඉස්කෝලේ ..මට නම කියපං .. මට ඉස්කෝලේ ට නමක් තියෙනවා හොදේ ඉස්කෝලේ ට.."

අවසානයේ ඒ ගැටුමට මට මැදිහත් වන්නට සිදුවන්නෙ ගුටිබැට හුවමාරුවකට ආසන්නයේ පිපිරෙද්දිය.

" කාටවත් ගෙදරට කියන නම් අවශ්‍ය නෑ.. ඔයාලා නම් පොතේ තියෙන නම පාවිච්චි කරන්න ... එච්චරයි ..."

මම කිවේ යම් තරවටුවකින්ය. සූකිරියා යැයි කියු දරුවා ක්ෂණයෙන් නැගි සිටියේය.. මම ඔහු දෙස බැලුවේ ප්‍රශ්නය ඇස් දෙකට ගෙනය
.
" පංතියට දුවල එන්න ම් ⁣ටීච .'

" ඒ මොකටද..."

"නෑ නෑ ටීච.. සුකිරියගෙ වාසගම හොයාගෙන එන්නම් නාම ලේඛණෙන්"

" ඔන්න ටීච ආයෙත් සූකිරියා කීවා.. මං අද මූට.."
එවර නම් ගුටියක් දෙකක් හුවමාරු විය. මගෙත් ඉවසීමේ අංශුමාත්‍ර ද විසිරෙමින් තිබුණි..
" හරි දෙන්නම කම්පියුටර් එක ළඟින් අයින් වෙන්න.. මාසයක් කම්පියුටර් එක අල්ලන්න තහනම්"

ගුටියට වඩා බර දඬුවම එයය. කැමැති ම දෙයට වාරණයක් දැමීම ගුටි දහකට වඩා රිදෙනු ඇත. ඔවුන් පරිගණකයෙන් ඉවත් කළ මම තව කණ්ඩායමක දරුවන් දෙදෙනෙකුට පරිගණකය බාර දුන්නෙමි.  මුහුණු අකුලා ගත් චණ්ඩි දෙදෙනා පසෙකට වී බලා සිටියි. දැන් දෙදෙනාගෙ රණ්ඩු ව නැත .  දෙදෙනාම එකතුව කොළයක් පොතෙන් ඉරා මොනවාද කුරුටු ගානු මගේ ඇස් කොණෙන් පෙනේ. සමහරවිට දැන් බැන ගැනීම ලිඛිතව කරනවා වන්නට ඇත. මම අහක බලා ගත්තෙ පොඩි උන්ගෙ රණ්ඩුවල ආයූ කාලය කොයිතරම් කෙටිද යන්න හොඳටෝම දන්නා නිසාය.
පීරීයඩ් එක අවසන් සීනුව නාදය වෙන විට ආයුබෝවන් වෙනුවට ඇහෙන්නෙ අයියෝය. ඒ ඔවුන් කැමැතිම පීරියඩ් එක අවසන් වන දුකටය. කුලී වැඩ කරන ගොවිතැනක් කරන අම්ම තාත්තා ගේ දරුවන් වුන මගේ උන්ට පරිගණක තාමත් මැජික්ය. හිතු හැටියට පරිගණක එක්ක ඔට්ටු වන්නට විනාඩි හතලිහ මදිය. ඒකත් පරිගණක දෙකකට සිමා වු විට එක් දරුවෙකුට හිමිවන්නෙ විනාඩි කීපයක සිමාවය. ඉතිං ආයුබෝවන් වෙනුවට අපේක්ෂා බිදුණ අයියෝ ස්වරය මට දී ඔවුන් නික්ම ගියහ. මම ඊළඟ පංතියේ වැඩ මුරයට සූදානම් වන්නට ගුරු පුටුව දෙසට ආවෙමි. මේසය උඩ හතරට නැමු කොළයකි. කුතුහලය සමඟින් එය දිග හැරුවෙමි.

"කම්පියුටර් ළඟට අලි ආවම කූඹී කවුරු ද බ්‍රෝ
හු කෙයා සේ ලෝකෙයා..
ලබන සතියේ බලමු..
දුක දන්නෙ වෙන කව්ද ටීචම තරම්"

1 comment:

  1. දඩවමි දාහක් උුන්නටත් වඩා පුංචි එවුන් දෙන්නට රිදිලා.

    මටත් මතකයි ඉස්සර අපිත් කමිපියුටර් එකකට මරා ගත්තා ඉස්කෝලේ දි.හැබැයි සා.පෙ පාස් උනාට පස්සේ තාත්තා කමිපියුටර් එකක් ගෙනත් උුන්නම එ උනත් සනිප වුනා..

    අපෙ පාසල් වල පුංචි එවුන්ට තවත් ගෙඩක් දෙ ලැබෙන්න ඔිනි....

    ReplyDelete