Thursday, March 22, 2018

අනන්‍යතාව හෙළි නොකර කතාවක්


*******************************************
සමහර ජිවිත පාවෙනවා ⁣විතරයි. පැවැත්මක් නෑ. මට එහෙම හිතුණෙ හුළංතලා මල් වල කෝළම් දැකල. කාලෙකින් මුණ ගැ⁣හුණ අම්මයි අම්මගෙ ලොකුම අක්කගෙ අම්මා වයසෙම අක්කයි අවුරුදු ගාණක කතාවක් . ඒ කතාවට හවුල් වෙන්න නොදන්නකමත් කම්මැළිකමත් නිසාම මම  හුළං රැල්ලට ගහගෙන යන මල් අල්ලන්න ඔට්ටු වුනා.
" ටීචත් පොඩි එකෙක් වගෙ සෙල්ලමට වැටිල.."
මම හැරිල බැලුවෙ මාව ගුරුවරියක් විදිහට නොහඳුනන පළාතක මට ටීච
කීවෙ කව්ද බලන්න . පුරුදු ඇස් දෙකක් නුපුරුදු මූණක මගෙ ඉස්සරහ තිබුණා.
" ඇදින්නෙ නෑ වගෙයි"
"ඇඳුනුවා.. ඒත් මෙච්චර වෙනසක්.. අක්කා "
අපි පුංචි කාලෙ ආශාවෙන් බලා හිටිය ශ්‍රිදේවි වගෙ ඇස් දෙක. ඩික්සිත් ගෙ කොණ්ඩේ විලාසිතාව .. වල ගැහෙන කම්මුල පෙන්වන්නම මවන හිනාව. .. පොඩිකමටත් අපි ඉරිසියා කරපු ඒ රුව රේණු අක්කා . අවුරුදු ගාණකට පස්සෙ හමුවුන තැන හඳුනාගත නොහැකි තරම් රුව දිරා ගිය හැඩ.
" වෙනසක් නෙවෙයි.. දිරල.. වයසට ගිහින් .. මම මේ පහලින් යද්දී දැක්කෙ ඇවිත් ඉන්නවා .. කෝ මහත්තයා..  දකින්න ආසයි..බැන්ද කීවට ආව එකක්යැ මෙහෙ"
" වෙලාව අඩුයි අක්කෙ.. මහත්තයා ආවේ නෑ. එයා ගමේ ගිහින් .මේත් අම්මා බැනල එක්ක ආවේ.. "

රේණු අක්කා ඉස්සර වගෙ ආඩම්බර පෙන්වන ඩ්ම්පල් එක පේන්න හිනාවුනෙ නෑ. තිබුණෙ තොල් අතර ඉරක්.
"ආවේ නැතුවට මොකද නංගි..සතුටින් කොහෙ හරි ඉන්නවා නම්.."
"අම්මා .. අම්මා .."
හොටු පෙත්ත තොලටම ආපු හෙලුවැලි පොඩි එකෙක් රේණු අක්කගෙ ඇගේ එතුණා.
"පලයං බං අහකට..."
රේණු අක්කා ගාව තිබුණ කරුණාව හොරු අරන්. මට හිතුණෙ එහෙම. මම පොඩි එකා එක්ක හිනා වුනා. උත්තර හිනාවත් මට හම්බුනා. අර ඩිම්පල් එකත් එහෙමම තිබුණා.
"මුංගෙන් වදේ නංගි.. ඇඹලයෝ වගේ ඇලිලාමයි.. "
" පොඩ්ඩද මේ"
" තව එකෙක් ඉන්නවා බාල කෙල්ලක්.. මූ මැද එකා. ලොක්කි ඉස්කෝලේ යනවා දැන් "
" අයියා එතකොට "
"ඌ වෙන ගෑණියෙක් අරගෙන අවුරුද්දකටත් වැඩියි.  මම යනවා නංගි . මේ එල්ලෙන්නෙ බඩගින්න ට. මම ආවේ නංගි ඔයා ළමයින්ට පොත් දෙනව කියල ආරංචියට. ඉතිරි තියෙනවා නම් මට ලොක්කිට පොත් ටිකක් ඉල්ල ගන්න බලන්න . පින් අයිති වෙනව නංගි. හිඟා කන්න වෙලා මට. මුං ටික නැත්නම් මම මේ කරුමක්කාර ජිවිතේ නැති කරගෙන.   "
" පොත් තියෙනවා අක්කෙ .. මම ගෙනත් දෙන්න ම්. මොනවත් හිතන්නෙ නැත්නම් ඇඳුම් ටිකක් තියෙනවා පාවිච්චි කරපු. ඒත් හොඳ. ගෙනත් දෙන්නද.."
මම එහෙම ඇහුවෙ අපේ මිඩ්වයිෆ් ⁣ඉනෝ නෝනා මට දීපු රෙදි තොගය මතක් වෙලා.
රේණු අක්කා හිනාවුනාද ඇඩුවද කියල මට නිච්චි නෑ. ඒත් ඒ බැල්ම මම තේරුම් කළා ඒක කොයිතරම් උදව්වක් ද කියල.
රේණු අක්කා පොඩි එකා කිහිලි ගන්නාගෙන පල්ලම් බැස්සා. මම ආපහු ගේ දිහාවට හැරුණා. එතකො⁣ටවත් අම්මලාගෙ කතාව ඉවර වෙලා නෑ.
" රේණු අක්කා හම්බුනා... පව්"
මම අම්මා ළග පුටුව ඇදල ගත්තා.
" අපෝ අපි නම් කතා කරන්නෙ නෑ..ඔය ගෑණි එච්චර හොඳ නෑ නංගි..  මොන එහෙකට කතාවට වැටුණද"
අක්කා තරවටු හඩෙන් මට කැගැහුවා.
"හේතුව"
" ගමේම බඩුව නේ.. "
ඒ හඩෙ තිබුණෙ සරදමක්.
" රේණු අක්කා ඉස්සරත් එහෙමද.. මං කීවේ මහත්තයා ඉන්න කාලෙත්"
" එහෙම නම් නෑ. නංගි .. මොනා වුනත් ඒ කාලේ ඕකී හොදට හිටියා. දරුවො ටිකට කන්න දෙන්න වෙන්න ඇති. කුලියකට යන්න කියලත් කොහොමද .. කවුරු ගාව දරුවො දාන්නද.."
" ගෑණිම වැරදි නෑ අක්කෙ. අසරණ කළෙත් පිරිමියෙක්. අසරණ කම ප්‍රයෝජනයට ගන්නෙත් පිරිමි. අන්තිමට ගෑණි බඩුව..ගෑණු අපිම තූ කියල කෙළ ගහනවා.  ඒත් ඒ අම්මෙක්...අක්කෙ..දරුවන්ගෙ බඩකට නිවන "

(නම් පමණක්  මනකල්පිතයි)

Friday, January 26, 2018

ආදරය

ආදරය
***************

ඒ මට දවසටම හිමි නිදහස් කාලජ්ජේදයය. මම දුරකථනය ගෙන තිරය  එහාට මෙහාට කරමින් උන්නෙමි. හිරුණි කාමරයට පැමිණි ම සාමාන්‍ය සිද්ධියක් වන්නෙ කාලච්ඡේදය ක් මාරුවෙදී, ඇය හා ඇගේ යෙහෙළිය වසුන්දරා මගේ කාමරයට එබීම පාසල් කාලයේ අනිවාර්යය අංගයක්ව තිබු නිසාය.
" ටීච.. මේ.."

" මොනවද.."

" මොනවත් නෙවෙයි ටීච.. අහන්නකො"

මම හිස එසවුවෙමි. සුපුරුදු කොලොප්පම පටන් ගෙන තිබුණි.

" මොකක්ද "

" ටීච පැනල ගියාම මොකද වෙන්නෙ.."

මගේ ඉවසීමේ රතු ඉර පන්නවාගෙන ගුටියක් , බැනුමක් නොකා නොඅසා දවස ගෙවා ගන්න මොවුන්ට බැරි හැඩය. මම ඒ බව නොපෙන්වා ඉවත බලා ගත්තෙමි.
" ටීච.. කියන්නකො ටීච.."

" ක්ලාස් එකට යනවද .. අදාළ ටීච දැන් හොයනවා ඇති..යනවා ඉතිං.. මට වදයක් නොවී මෝඩ ප්‍රශ්න නාහා"

" ඕකනෙ කියන්නෙ.. ටීචට තේරෙන්නෙ නෑනේ මේ ප්‍රශ්නය මොකක්ද කියල.."

" පැනල ගියාම මොනවද වෙන්නෙ. .. මැරුණ වගෙ තමයි.. මොකෝ බොලාට රස්සාව ක් තියෙනවා ද.. ටික දවසක පැණි රස වගෙ දැනෙයි. පස්සෙ වහ කඳුරු වෙයි.. කාලකණ්ණි වෙනවා..දැන් යනවද.."

පැන යාම පිළිබඳ විටෙන් විට ඇසු සිද්ධි කිහිපයක් නිසා හිරුණි මේ ගැන විමසන බවක් මම සිතුවද ඇය කාමරයෙන් පිටව නොගොස් මා වෙතම රැදි උන්නාය.

" මොකෝ....."

" නෑ.. නෑ ටීච.. මොකුත් නෑ...ටීච ගෙ ෆෝන් එකෙ මොකක්ද එබුණ වගේ.. "

මම මගෙ  පාස්වර්ඩ් පැට්නය දුරකථනයෙන් සටහන් කළෙමි. කිසිම වෙනසක් එහි තිබුණෙ නැත. මම හිරුණි දිහා බලන විටද ඇය උන්නෙ දුරකථනයේය.

" මොකද.. මොකුත් නෑනේ.. දැන් යන්න පංතියට.. "

" යන්න ඕන ටීච. . මේ.. යන්න හදන්නෙ මං... මට ගෙදරට කෝල් එකක් ගන්නත් ඕන ටීච..."

" ඒ මොකටද.. පණිවිඩයක් තියෙනවා ද.. මම කියන්න ම්... කියන්න "

" ටීච ට කියල බෑ.. ෆොන් එක දෙනවද.."

" පණිවිඩය මට කියන්න ... බැරි නම් බෑ"

හිරුණිගෙ චර්යාවේ යම් වෙනසක් දුටු මම කෝල් රෙකොඩින් දමා දුරකථනය ඇයට පෙනෙන්නට තබා කාමරයෙන් පිටතට ගියෙමි.
ටික වෙලාවකින් යළි කාමරයට කඩා වැදුනෙමි. මා හිතුවා හරිය. ඇය උන්නෙ ඇමතුමකය. මම දුරකථනය ගෙන රෙකොඩ් වු ඇමතුම ඇසුවෙමි. පැන යන්න ට සුදානම් ව උන්නෙ වසුන්දරාය. හිරුණි එසේ නොකරන ලෙස ඇගෙන් බෑගැපත් වන හඬ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතක් කර දෙන තරමට සංවේදි විය.

" මම වසුන්දරා ට කතා කරන්නම්  හිරු.. ඔයා දැන් පංතියට යන්න"

" ෂුවර් නෙ ටීච.."

" ඔව් ඔව්"

මම දුරකථනයෙන් වසුන්දරා ගෙ අංකය ට ඇමතුමක් ගතිමි.
" කියපං..."
" මොනවද කියන්න ඕන පුතේ.. මම හිරුණි නෙවෙයි"
"ටීච......"
" ඔව්... ඔක්කොම දන්නවා ... ඔය ගමන යන්න එපා..."

මම බොහෝ කරුණු ඇයට කීවෙමි. ඇය හුමිටි තිබ්බා පමණය.
අවසානයේ " යනවාද.."
මා ඇසු ප්‍රශ්නයට ඇය නෑ කීවා පමණි. දවසේ ඉතිරි කාලය ගතවුවෙත් ඉබි ගමනින් බැවින් උදේ සිද්ධිය අමතක ව තිබුණි.  පාසැල නිමවී පිළිකා රෝගයෙන් අසනීප වු ඥාතියකු බැලීමට මමත් , මගේ සැමියාත් , අම්මාත් පිටත් වුයේ පාස් නොමැති නිසාම ශ්‍යාමලී සොයුරිය හරහා උදව්වක් ලබන අටියෙනි. නෙළුව පල්ලම බසින්නට වූයේ නැත. ඇමතුමක් ආ නිසා මම දුරකථනය අතට ගතිමි.
" ටිච... ටීච.. වසුන්දරා ගියා.... දෙ⁣කයි කාලෙ... මම නවත්වන්න හැදුවා... මට බැරිවුනා.. මම ගෙදරම ආව දුවගෙන.... ටීචට ගන්න... අනෙ ටීච නවත්වන්න ... එයාව"

අඩමින්ම හිරුණි කෑ ගැහුවා මට ඇහුනෙ යාන්තමට.

වෙලාව අනුව වසුන්දරා ගිය බස් රථය මේ වන විට නගරයට ආසන්නයේ තිබිය යුතු යැයි මම උපකල්පනය කළෙමි. අප ද සිටියේ ඊට ප්‍රතිවිරුද්ධ ව ඈතය. බස් රථයේ සිටිවි යැයි සිතු ගුරුවරියන් කිහිප දෙනෙකුටම කතා කළද කිසිවෙකුත් පිළිතුරු නොදුන් බැවින් මා උන්නෙ කලබලයෙනි. අවසානයේ එක ගුරුවරියක් සම්බන්ධ කර ගන්නට වාසනාව ලද අතර වසුන්දරා බස් රථයෙ උන් බව සැක හැර දැන ගතිමි. ඇයට යාමට නොදෙන ලෙස මම වසුන්දරා ගේ නිවසට පණිවිඩය දී ඇයව නිවසට රැගෙන එන ලෙස දැන්විමි.

" දරුවට තරවටු කරන්න එපා...." අම්මා ට කිහිප වරක් මම අවවාද කළේ දරුවන් ගේ හිතුවක්කාරකම් හොදටම දන්නා නිසාය.

" නංගි.. අම්මලා දරුවව අරන් ගියා... හැබැයි කෙල්ල හරි දරඳඩුව හිටියේ.. ඔයාට යන්න හේතුව කියන්න ම් කීවා...එච්චරයි ... වෙන කතාවක් නෑ.."

වසුන්දරා රදවා ගත් ගුරුවරිය ඇමතුමක් දෙන විටද මම උන්නෙ රෝහලේය.මම ආපසු නිවස බලා නොගොස් කෙළින්ම වසුන්දරා ගේ නිවසට ගියේ ඊට පසුදා සෙනසුරාදා බැවින් ඇයට මා සමග කතා කල යුතු නම් යළි සඳුදා එනතුරු ඇයට බලා සිටින්නට සිදුවන බව සිතුණ නිසාය. මා යන විටද ඇය කාමරයේ හඬමින් සිටියාය..

" වසුන්දරා .... මට ඇත්ත ඕන..."
" රස්සාවකට ගියේ ටීච... "
" කොහෙද..."
" කොළඹ කිවා"
" මොකක්ද රස්සාව "
" දන්නෙ නෑ.."
" කව්ද දෙන්නෙ"
" ට්‍රිප් එකකදි හම්බ වුන යාළුවෙක්"
" එයාව ඊට පස්සෙ හම්බවුනාද"
" නෑ"
" ඇයි යන්න හේතුව "
" අම්මලා ආදරේ නෑ.... මාව එයාලට වදයක් "
"කව්ද කිවේ"
" කිව්වෙ නෑ... දැනුණා"
මම මහ හඬින් සිනාසුනෙමි. ඇය තුරුල් කර ගතිමි.

" උඹ හරි මෝඩියෙක් බං මං වගේම..... උඹ දන්නවා ද වසුන්දරා මමත් ඒ ලෙවල් කරන කාලෙ ඔහොම හිතුවා. අම්මා තමයි මගෙ හතුරා . මම අම්මා මට බනින වචනයක් ගානෙ දුක පොතක් පිරෙන්න ලිව්වා . ඒක තාම මං ගාව තියෙනවා. ඒත් පුතේ ටික ටික ජිවිතය තේරේන වයසට එනකොට ඒ හැම වචනයකම තිබුණෙ ආදරය විතරයි කියල දැනෙද්දි මට මං ගැනම ලැජ්ජ හිතුණ. පවුලෙ ලොකු දරුව ඉන්නවා නේද..ඔයා මං වගේ. ඒයා තමයි වාසනාවන්තම දරුවා. පවුලේ සුවිශේෂීම දරුවා. ගැහැණියකයෙකුයි පිරිමි⁣යෙකුයි අම්මයි තාත්තයි වෙන්නෙ ඉස්සෙල්ලාම ලොකු දරුවගෙන්.ඊට පස්සෙ කවුරු ආවත්. අපිට වැඩිපුර බනින්නෙ අපට වැඩිපුරම ආදරේ මිනිස්සු."

කෙල්ලගෙ විතරක් නෙවි .අම්මගෙ තාත්තගෙ ඇස්වලත් කදුළු..
පාසල් පද්ධතියට උපදේශන ගුරුවරු අනිවාර්‍ය කරන්න පුළුවන් නම් දරුවො ලක්ෂ ගාණකගේ ජිවිත වලවෙනස්ම කතා ලියැවෙයි. මම එදා දවස නිමා කරන්න ගෙදරට එද්දි සෙනසුරාදා ට එළිවෙලා තිබුණා . සාරි පටියටම  කැපුණ පාරවල් වලට වතුර වැටෙද්දි දැණුන වේදනාවට වඩා දරුවෙක්ගෙ ජිවිතය ඉතිරි කළ සතුට හිතේ තිබුණා