ගුරුවරියකගේ මතක 34
ඉන්ටර්වල්
***--*****************
ඉන්ටර්වල් එක අවසන් වෙන සීනූව නාද වෙනවා මං අහගෙන. අතට ගත්ත කහට කෝප්පෙ ගිනි වතුර පිටින් කටේ හලාගෙන යන්න බැරිකමට විනාඩි දෙකක් පහු වෙනකං උන්නෙ ඒ පීරියඩ් එක දොළහේ පන්තියට අයිති නිසා. විනාඩි දෙකක ඉවසුමක් ටිකක් තේරේන වයසේ තියෙන පොඩි උන්ට නැතුවාම නෙවෙයිනේ. වැරදි වුනත් මම මගේ හිත හැදුවේ එහෙම. මොකද දිව කට වේලෙන හුළං කාලේ අපිම හදාගන්න තේ කහට කෝප්පෙ දිව්‍ය අමෘතයක් නිසාම.
" මේ වෙලාවෙ පන්තියක් තියෙනවා නේද.. මෙතැන තවත් කයිය ගගහ ඉන්නෙ. අනික් ගුරුවරු ගිහින් උගන්වන්නත් පටන් අරන්"
විදුහල්පතිතුමාගේ ගෝරනාඩුවට තේ කහට එක මිදුලට විසි කෙරුණේ විදිල්ලක් වගේ.
" අනික් ගුරුවරු පීරියඩ් අටම වැඩ නෑ නේ සර්.. "
මට එහෙම කියන්න ඕන වුනා. ඒත් කොහේදෝ නැති සංසුන්කමක් හිත පුරා පැතිරෙද්දි මම පන්ති කාමරයට එන්න ආවා. පොඩි උන් වැඩ. මට තනියම හිනා. කොහොමත් මගේ පීරියඩ් එකක් වෙලාවට වෙන වැඩක් කරනවාට වඩා විෂය ආශ්‍රිතව වැඩක ඉන්න එක අැඟට හොඳයි කියලා මාත් එක්ක ඉඳලම පොඩි උන් දන්නවා. වෙන වැඩක හිටියොත් ගුටියට , බැනුමට වඩා මගෙ දඬුවම් වෙනස්. ඒක හරි සාර්ථකයි මගේ අරමුණ හොයාගන්න.
මම පාඩම පටන් ගත්තා. විනාඩි ගාණක වැඩ අතරේ පන්තියේ හිටපු සුදුමැලිම කෙල්ල ඈනුම් අරිනවා මං බලාගෙන. ඒක දිගටම . ඒ මදිවට නිදිමත බේරෙන ඇස්. මං පාඩම නතර කළා.
"මොකද මධුෂි. වැඩිපුර කෑවම ඔහොම තමා,, නින්ද යනවා .." මං කිව්වෙ පොඩි එකීව නින්දෙන් ඇහැරවන්න හිතාගෙන.
පොඩි එකී ඇහැරුණා නම් තමයි. ඒත් බයාදු හිනාවක් එක්ක.
" නිදිමතද"
" හ්ම්"
" නිදි මැරුවද"
"නෑ"
" මොනවද කෑවේ ඉන්ටවල් එකට"
"එයා කෑවේ නෑ ටීච" ඒ උත්තරය මධුගෙන් නෙවෙ. ළඟ හිටපු නිශානිගෙන්.
ප්‍රශ්නාර්ථයක් එක්ක මං මධුෂි දිහා බැලුවා.
" ඇයි නිශා මධූෂිවත් කෑමට හවුල් කරගන්න තිබ්බනෙ"
මං එහෙම කිව්වෙ මධූෂි කෑම ගේන්න නැතුව ඇති කියලා උපකල්පනය කරලා.
" මං කෑම ගෙනාවා ටීච"
"එහෙනම් නොකෑවේ"
"බඩගිනි නෑ .. උදේ කාලානෙ ආවේ"
" උදේ කාපු එක මේ වෙනකං තියෙනවාද බොල.. දෙනවා මෙහාට කෑම එක.."
බෑග් එක පාදලා පොඩි එකී කෑම එක මගෙ අතේ තිබ්බා.
එනවා මගෙ පස්සෙන්"
තරවටුවට වුනත් මම දන්නවා බඩගින්නෙ උගන්වලා වැඩක් නෑ කියලා.
පරිගණක කාමරයට ගිහින් මම කෑම එක දිගහරිනවා පොඩි එකී බලාගෙන. ඒ ඇස්වල තිබ්බෙ එපා කියන්න බැරි කමක්. මට ඒක තේරුණේ කෑම එකෙ පිළුණු ගඳට ඇකිළුන මගේ නහය දිහා කෙල්ල දුකෙන් බලන් ඉද්දි.