Friday, December 18, 2015
සපත්තූ
හීනී පිණි කැට ආදරණීයය. ඉදහිටක තෙමෙන නොතෙමෙන ගානට වැටෙන පිණි බිඳු අතරින් ඇවිද යාම සුන්දරය. බෝගහන්විලා ගහ ගාව දරුවන්ගේ ඕපාදූප සාකාච්ඡාවක සිරික්කිය පැතිරෙමින් තිබුණී.
" මොකක්ද ටීච ඔය කොණ්ඩේ ඉඉඉඉඉ"
දඟකාර කෙල්ලකගෙ හඬ හෙමින් මතුවී මැකී ගියේ රහසින් මෙනි. මම සිනාසුනෙමි . හිතාමතාම කොණ්ඩය අද මම පීරන විදිහ වෙනස් කළෙමි. එයට දරුවන් අකමැති බව ට විරෝධතා ගේට්ටුවට එහා සිටම ඇසෙමින් තිබුණි.
" ආය නම් එහෙම පීරන්න එපා.. ටීච වයසයි එතකොට"
" කොහොමත් මම වයසයිනෙ ඉතිං"
" අපෝ නෑ.. ටීච අර දම්පාට සාරිය ඇඳලා කොණ්ඩේට අර දිග කට්ට ගැහුවම ලස්සනයි... අනේ මෙහෙම පීරන්න එපා ටීච.. තරහ වුනාට කමක් නෑ.. කැතම කැතයි'
මම බොරුවට ඔරවා අහක බලා ගත්තෙමි. දරුවන් එහෙමය. අපේ හැමදේම ඔවුන් ට වැදගත්ය.
" මොකක්ද අර කතාවට අච්චර හිනාවෙන්නෙ.. ඉස්කොලේටම ඇහෙන්න"
" ඇයි ටීච දන්නෙ නැද්ද..පුදුමයි ටීච දන්නෑ කීවම... ටීච ඉතිං දත්ත ගබඩාවක්නෙ.."
" පැහෙන් නැතුව කියනවා..මොකක්ද ඒ"
"හැබැයි ඔන්න මං කිව්වා කියන්නෙ එහෙම බෑ ටීච"
" ප්‍රොමිස්"
" ලක්ෂාන් ගණන් ක්ලාස් එකෙ කෙල්ලෙක් එක්ක යාළුයි"
කෙල්ල මා අතහැර දිව්වාය. මම සිරික්කි නඩය වෙත අැවිද ආවේමි. මා දුටු විට රහස රකින්නට මෙන් ඔවුන් නිහඬ විය.
"මොකද මෙතැන කැකිරි පලන්නෙ. වැඩ නැද්ද"
දරුවන් නිහඬය. එකිනෙකා දෙස බලමින් හිනාවන් තද කරගත් දෙතොල්පටවල් අතර ලක්ෂාන් ගෙ දෙනෙතින් කඳුළු ගලන බව මගේ ඇස් දෙකට රහසක් නොවීය.
" මොකද ලක්ෂාන් අඬන්නෙ... ඔයාට කවුරුහරි ගැහැව්වා ද.. බැන්නද පුතේ.. බය නැතුව කියන්න "
ඔහු එකවරම ඉකිගසමින් හඬන්නට විය. අවුරුදු දහසයක භද්‍ර යෞවනත්වය හිමි මේ දරුවා කඳුළු අතර හිරවූයේ ඇයිදැයි මට සිතාගන්නටවත් නොහැකි විය. එහෙත් අම්මා පවුල් ආරවුලක් මත ඝාතනය වු අතීතයන සිට අනාගත පෞරුෂත්වය ඔහුට අහිමි වන්නට ඇත.
" පුතා... ඇයි...."
" මෙයාලා ගණන් ක්ලාස් එකෙ ගැණු ළමයෙක් මට පටලවනවා ටීච... මම අද සපත්තු දෙක දාගෙන ආවේ ඒ ගැණු ළමයා බලන්න යන්න ළුු."
කඳුළු අතරින් දරුවා නඩුව මට බාර කළේය.
*********************************************
හම් කවරය ඉරී රෙදිපට පමණක් ඉතිරිව තිබු සපත්තු යුගල ඔහුට හොරෙන් දුරකථන කැමරාවේ සටහන් කර ගතිමි.
මිල = රුපියල් දුප්පත්කම
බුකියෙ ඒ සටහන සමග සපත්තු යුගල දිස්ව පැයක් ගතවෙන්නට පෙර ෂේන් නම් බුකි හිතවතා ඔහුට රුපියල් තුන්දහසක් වටින සපත්තු යුගළක් ලබා දුන්නේය
Wednesday, December 9, 2015
ටීච ඇත්තටම මට වඳිනවද
හවසට මොර සූරන වැස්සත් එක්ක අපේ ජිවිතත් තෙමෙන්න පටන් අරන්. පහුවෙනිදා ඉස්කොලෙ එනකොට කූඩැල්ලො එක්ක මාරාන්තික සටන් කරන්නත් සිද්ධ වෙලා. මීදුමත් එක්ක වැටෙන පින්න උදේ පාන්දරට හෙම්බිරිස්සාවෙන් අපිව මුසපත් කරන්නෙ හරි ආදරෙන්. ඉස්කොලෙ ගේට්ටුව ළඟ පුංචි එවුන් ට නම් රජ මඟුල්. කඩදාසි බෝට්ටු හදාගෙන පිරුණු වතුර වලවල් වල ඔට්ටු වෙන්න කාගෙන්වත් තහනමක් නෑ.
" ගුඩ් මෝනිං ටීච"
ආදරණීය හිනාවත් එක්ක මහණ වෙන්න පන්සලට ගිය පුංචි පුතා ආපහු ඉස්කොලෙ ඇවිත්.
" අනේ ඔයා... ගුඩ් මෝනිං පුතේ.." පුංචි එකා වෙනදා පුරුද්දට ම සාරි පොට අරන් මගෙ පසු ගමන් එනවා.
" හාමුදුරුවෝ එන්න දුන්නද ඉස්කොලේ"
" ඔව් මහණ කරන්න නැකැත් තියෙන්නෙ පස්සෙ ලු තව.. එතකං මට ඉස්කොලේ එන්න කිව්වා"
මං හිනා වුනා. තාම අවුරුදු හත ගෙවුනෙ නැති පොඩි එකා මට මතක් කළෙ රාහුල හාමුදුරුවන් ව.
"කව්රු ගාවද නිදා ගත්තෙ"
" හාමුදුරුවෝ ගාව මෙට්ටයක් දාලා දුන්නා. තව ෂෝයි පුළුන්ම පුළුන් ෂීට් එකකුත් දුන්නා.. මට පොඩ්ඩක්වත් සීතල නෑ"
" මගෙ පුතාට නින්ද ගියාද"
ආච්චි අම්මාගෙ උණුහුමේ ගුලි වුන පුංචි එකා තනියම නිදාගන්න හුරු නැතිව ඇති.. මට හිතුණා.
" ඔව් ටීච.... උදේ පිරිත් දානකොට තමයි මට ඇහැරෙන්නෙ... එතකොට තමයි මට ඉන්නෙ කොහෙද කියලා මතක් වෙන්නෙ"
ඇත්තටම දරුවා ඒ ජිවිතේ ට හුරු වෙලා හිතාගන්න වත් බැරි ඉක්මනින් . මගෙ හිත පොඩ්ඩක් නිවිලා ගියා. මේ දරුවා වෙනුවෙන් යමක් මට කළ හැකි තැනක නොසිටීම ගැන වේදනාවෙන්.
"පුතා කලාද... මං අත්සන් කරලා එන්නම්.
මගේ කෑම එක දෙන්නම කමු"
පුංචි එකා මගේ බෑග් එක අතට ගත්තා. මං අත්සන් කරලා එනකම්ම කාර්යාලය දොරකඩට වෙලා පුරුදු හිනාවෙන්ම ඔහු මං වෙනුවෙන් පෙරමඟ .
" අද උදේ දානේ ගේනවේ නෑ.. මං එනකංම... "
මං මගෙ බත් එක පොඩි එකාගෙ අතට දීලා මගෙ කාමරේ පැත්තට ගියා.
ඒත් පොඩි එකා මගෙ පස්සෙන් ආයේමත් ඇවිත්.
" ඇයි පුතේ... ඔයාට පන්සලෙ ඉන්න බෑ වගේද"
මට එහෙමත් හිතුණා. වෙනදට නම් කාර්යාලය ගාවින් මගෙන් වෙන්වෙන දරුවා අද තාමත් මගෙ පස්සෙන් එන්නෙ පන්සලෙ ඉන්න බෑ කියන්නද කියලා සැකයක් පපුව පුරා උඩු දිව්වා.
"මං පන්සලේ හිටියෙ නැත්නම් ආච්චි අම්මට කිරිපිටි පැකට් ගිහින් දෙන්නෙ කව්ද..නැත්නම් පුංචි කිරි හදල දෙන්නෙ මල්ලිට විතරයිනේ.. ආච්චි අම්මයි මායි අයියයි හැමදාම බලන් හිටියා විතරයි. හාමුදුරුවෝ කිව්වා ආච්චි අම්මට බෙහෙත් ගේන්ඩ යන්නත් සල්ලි දෙනවා කියලා"
පුංචි එකාගෙ පැහිච්ච කම් කෝටියයි. මම හිනාවෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බැරිව අතරමං වුනා. පොඩි එකා සතුටෙන්. ඒ ඇති හොඳටම මට.
" මං ඉතිං ටීච පස්සෙන් බෑග් එක අරන් එන්නෙ ටික දවසයිනෙ තව... එකයි දුක.."
" ඔව් ඉතිං ඊට පස්සෙ මං පොඩි හාමුදුරුවෝ න්ට වඳිනවා."
" ඇත්තටම ටීච මට වඳිනවද"
"ඇත්තටම ඔව්"
"ෂොයි ෂොයි"
බත් එකත් උඩ දදා පුංචි එකා දේවදාර ගස් වැට ටත් එහා දුවනවා මං බලාගෙන
Saturday, December 5, 2015
පොත් බෙදා දීම 2015.12.04
Saturday, November 28, 2015
දරැවන් යනු දරැවන්මය
Wednesday, November 25, 2015
Thursday, November 19, 2015
කදුළ
තණමල්විලටත් එහා මං උන් ගමට ධාවනය වන්නෙ බස්රථය දෙකකි. උදේ අටයි තිහ වැරදුනොත් දහවල් දොළහ වෙනතුරු සිටිය යුතුය. නිවසේ සිට යන බොහෝ අවස්ථාවල පාසල වෙත යන්නෙ දහවල් දොළහේ බස් රථයේය. නැතිනම් එන කුමන හෝ වාහනයකට අත දිගුකර ගමනාන්තය පවසා ඒ ගමට යන්නෙ නම් පමණී. ඇඳුනුම්කම් එහිදි අදාළ නැත. ගමනෙ වැඩි හරියක් කැළැ රොද පසුකරමින් ගමන් ගත්තද ඒ ප්‍රදේශයෙ ගුරුවරැ යනු දෙවියන් ලෙස සලකන බැවින් අකටයුතුකම් සිදුනොවන්නේය. ඒ ගමට ගුරුවරු එන්නෙ නැත. ආවත් ඉන්නෙ නැත. ආ දා පටන් යන ගමන ගැන සෝදිසිය. කට්ට කන්නට ආස වුන් කිහිපදෙනෙකු පමණක් රැදී සිටියි.
අද ද බස්රථය මට මඟ හැරුණි. බණ්ඩාරවෙල මාතර බස්රථය රාවණා ඇල්ල කිට්ටුව ආපදාවට ලක් නොවුනා නම් මට අටයි තිහට පෙර එන්නට තිබුණි. අපේක්ෂා ශූන්‍යත්වයෙන් මම බස් නැවතුමේ තනිවි වුනෙමි. ගමට යන වාහනයක් ද හමු නොවු බැවින් නිවාඩු ඉල්ලා දුරකථන ඇමතුමක් විදුහල්පතිතුමා ට ලබා දී දොළහ වෙනතුරු මම විනාඩි ගණන් කළෙමි. එකොළහයි තිහට පමණ දරුවෙකු තුරුළු කරගත් මවක් බස් නැවතුමට පැමිණියාය. දරුවා සුව නින්දේය. ගිනි ගහන මහ දහවලෙත් රෙදි කැබලි වලින් දරුවා ඔතා ඇත. ඒත් අපහසුවකින් තොරව දරුවා නිදිය. අම්මා ගේ දෑසේ කඳුළුය. ඇය නොනවත්වා හඬන්නීය. මම ඇය සමඟ කතා කරන්න ට ගත් සියලු වෑයම් අසාර්ථක විය. ඇය මා මඟහැර සිටින්නට උත්සහ ගත්තාය. බස්රථය තුළදීද දෙතුන් වරක දරුවා සිප ගනිමින් දරුවාගෙ මුහුණ අතගාමින් සිටින අැය මගෙ අැස් වලට හසුවිය. ඇය අතරමඟින් බැස ගියාය. මම ගුරු නිවස වෙත ආවේද කුහුලනි. සවස් වනතුරු මම දිගු නින්දක උන් බව දැනුනෙ මා සමඟ ගුරු නිවසේ උන් නදිෂා මගෙ මුහුණට එල්ල කළ ජල බිඳු වලට පින්සිද්ධ වන්නටය.
" ඒයි නැගිටිනවා... මළ ගෙදරක්. එකේ ළමයෙක්ගෙ නංගි කෙනෙක්.. සමන් සර්ගෙ ට්‍රැක්ටරයෙන් යන්ඩ පුළුවන්... නැගිටිනවා"
මම ඩෙස් අැඳෙන් බැස ගත්තෙමි. සුදට හුරු ඇඳුමක් ඇඳ ගත් මම නදීෂා සමඟින් පාරට පැන්නෙමි.
" මොනවා වෙලාද මැරිලා තියෙන්නෙ"
" නයෙක් ගහලා.. පව් පොඩි එකි.. අවුරුදු එකහමාරයිළු. වැඩේ කියන්නෙ විෂ් අම්මා දරුවා අරන් ඉස්පිරිතාලෙ ගිහින්.. මඟදි ගැණීට තේරීලා දරුවා මැරුණා කියලා... එයා බස් එකෙම දරුවා ආය ගෙනත්.. මෝචරියට දැන්මොත් ගන්න වියදම් යයි කියලා හිතුණලු.. හැබැයි මිනිස්සු නම් කියන්නෙ පෙට්ටියට දානකොටත් කෙල්ල දරදඬු වෙලා නෑලු. ඒ කියන්නෙ අම්මා ඉස්පිරිතාලෙ ට ගියා නම් දරුවා බේරගන්න තිබිලා."
කටුමැටි ගෙපැලක ළඟ ට්රැක්ටරය නතර විය. ඒ අම්මාය. මා මඟ හැරි අම්මාය. දරුවා මා දහවල දුටු පරිදිම සුව නින්දේය.
Saturday, November 14, 2015
දැන්නම් වැඩක් නෑ
උසස්පෙළ පන්තියක ඉගැන්වීම සුවිශේෂීය. ගැටවර ලෝකය ත් ළමා ලෝකයත් අතර දෝලනය වන ජීවිත අතර හැසිරීම අපහසුය. එකෙකු රැවුල වවන්නේය. තවකෙක් ෂර්ට් එකෙන් බැගිය දමන්නේය. තව තැනක ආදර කතාය.
ඉලක්කයක් වෙනුවෙන් සටනක යෙදෙන දරුවන් සමඟ ගුරු ජීවිතයද සමහරවිට අභියෝගාත්මක ය.
නෝට්ස් ගණන් පුරවනවාට වඩා අමතර දැනුම සොයා යාමට දරුවන් යොමු කිරීමට මම සිතා උන්නෙමි. පාසල් පුස්තකාල ය කෙසේවත් ප්‍රමාණවත් නැත. මහජන පුස්තකාලයද නගරයේය.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයය වෙනුවෙන් බැලු අමතර කියවීම් පොත් ලබා ගැනීමට නම් රැපියල් දහසක මුදලකට ආසන්නව වැය වේ. කුලී වැඩ කරන මව්පියන් ට එය දවසක වෙහෙසකි.
එය දරුවන් ට කිව යුතු නමුත් ප්‍රතිචාරය කේසේ වේ දැයි නොදත් මම පුංචි කතාබහක් දරුවන් වෙත යොමු කළෙමි.
" අම්මා තාම වැඩට යනවද වත්තෙ, සම්පත්"
"ඔව් ටීච"
"එතකොට ඉරේෂා කොහොමද ගෙදර තත්වේ"
"තාත්තා තාම ඉස්පිරිතාලෙ ..
මේ පාර නම් ෂුවර් නෑ ටීච"
ඉතිං කිසිත් කියන්නෙ කේසේදැයි මම සිතුවේ ගුරු මේසයෙ එහා මෙහා යන කුඹියෙක් ගෙ ගමනෙ හැඩ බලමිනි.
"ටීච අද පාඩම කරන්නෙ නෑ"
"කරනවා ... ඒත් මේ මං පොඩි දෙයක් කල්පනා කලෙ සම්පත්"
" ටීච .. නිකං අද කොටියගෙ වලිගෙ අල්ලා ගෙන වගෙයි"
කොහොමත් පාඩම් වැඩ අතපසු කරන්නට වෙන මොනවා හො කියවන්නට දරුවන් කැමතිය.
" නෑ සම්පත් මං මේ යෝජනාවක් කරන්න හැදුවේ සම්පත්"
"අය්යෝ සොරි ටීච .... මට නම් බෑ"
"ඇයි බැරි"
"ඇයි අහන්නෙ .. දැන් ටීච පරක්කු යි.. මං නංගිගෙ කැමැත්ත ගත්තනෙ..."
මුළු පන්තියම මහ හඬින් සිනාසුනේ මට නොාව ජිවිතයටය
දරුවන්ට සයිබරේ අපෙන්
ලබා දිය හැකි දේවල්
අභ්‍යාස පොත් පිටු 160
පෑන්
පැන්සල්
පාට පැන්සල්
ප්ලැටිලම්
ආදී පාසල් උපකරණ ..
දීමට අපේක්ෂිත පාසල බ/කුරුකුදේ සාරිපුත්ත මහ විද්‍යාලය, පට්ටිය ගෙදර
සිසුන් සංඛ්‍යාව දෙසිය පනහයි.
ලැබෙන ද්‍රව්‍ය අනුව අවට විදුහල් පිළිබඳ සලකා බලමු
ninivish@gmail.com
හෝ
0714407095 viber
Wednesday, November 11, 2015
අදහසක් පමණී
2016 අළුත් ඉස්කොලේ අවුරුද්දට ,
දුප්පත් දරුවන්ට පොත් පත් ටිකක් අරන් දෙමුද..
ඔබේ යෝජනා අදහස් දෙන්න
Friday, November 6, 2015
ඇගේ කතාව
දුවිල්ල කරණම් ගහන්නෙ දහඩියට පෙගුණ සිරුරේ සිත්තම් අදින්නට මෙනි.සාරි පොට අකීකරු හුළඟට රොන්දේ යන වාර අනන්තය .
"මාර රස්නයක් නේද නංගී" දැවෙන හිරුට මුවාවෙන්න දඟලන මට ප්‍රාථමිකයෙ ගුරුවරියක් හිනාවී ගියාය. පුරුදු හීතල දාහෙන් සම්පතක්ය. ඉරක නපුරුකම් දැනගන්නට නම් රස්තියාදුකාර ඉරක් යටටම පැමිණිය යුතුය. ඉරට මුවාවෙන්නට සිතා ප්‍රධාන ගොඩනැඟිල්ලෙ පියස්ස යටට ගොඩ වුනෙමි. දහය වසර පන්තියෙ එක දරුවෙක් හැරෙන්නට අනෙක් සැවෝම පිට්ටනියේය. එකම එක ගැහැණු දරුවා අහසට ඉණිමං බැඳිමට සැලසුම් කරන්නාසේ බර කල්පනාවකය.
" නේද අක්කෙ.. අර ළමයා අනිත් අයත් එක්ක වැඩිය නෑ නේද.. මං බලාගෙන හුඟක් දවස්... සෙල්ලමක් නෑ.. හිනාවක් නෑ"
"ඔව්... ඔයා එයාගෙ කතාව ඇහුවොත් ඔයාට පිස්සු හැදෙයි. ෆ්‍රී වෙලාවක කියන්නම්.. දැන් ක්ලාස් එකක්"
හිතවත් ගුරුතුමිය මගෙන් සමුගන්නා විට කියු කතාවත් සමඟ ඇතිවු කුතුහලය මගෙ හුස්ම පවා පෙළා දැම්මාය. මම කුහුලෙන් යුතුවම ගැහැණු දරැවා උන් තැනට ගියෙමි. මා ආ බවක් වත්, හුනස්නෙන් නැඟිටීමක්වත් නොකළ දරුවා ඉවත බලා ගත්තාය.
" ස්වර්ණා... කොහොමද පුතේ"
ඇය මා දෙස බැලුවා පමණය. හැඟිම් විරහිත මුහුණෙ තිබුණෙ මගෙ පැමිණීම කරදරයක් ද යන්න වත් වටහා ගැනීමට මට නොහැකි විය.
" මේ අහන්නකො අනේ... මං ආවේ ඔයා එක්ක ටිකක් කතා කරන්න..ස්වර්ණා... කැමැති නැද්ද මාත් එක්ක ටිකක් කතා කරන්න "
ඇය හිස දෙපසට වනමින් සිය අකමැත්ත ප්‍රකාශ කළාය. මම පුදුම විමි. ගුරුවරයාගෙ පෞද්ගලික අවධානයට දරුවන් බොහෝ කැමැතිය. ස්වර්ණා එය සෘජුව ප්‍රතික්ෂේප කරන්නීය.
" ඒකත් එහෙමද.. පුතා කාත් එක්කද කතා කරන්න කැමැති"
" කාත් එක්කවත් නෑ"
" කාටද වැඩිපුර ම ආදරේ"
"කාටවත් නෑ"
පෙර හමුවු ගුරුවරිය කීවා ඇත්තය. ඇගෙන් වචනයක් ගැනීම දුෂ්කරය.
" ඒ වුනාට මං නම් මේ ඉස්කෝලේ වැඩිපුරම ආදරේ ඔයාට.. ඒත් ඉතිං ඔයා මං එක්ක කතා කරන්නෙත් නෑනේ... මටත් ඔයා වගේම නංගියෙක් ඉන්නවා. මට ඉතිං ගෙදර යන්න වෙන්නෙ කාලෙකින්නෙ.. ඔයා එක්ක කතා කරන්න ආවේ ඒ හින්දා. සොරි පුතේ මං වදයක් වුනානම්.. ගිහින් එන්නම්කෝ .."
තව දුරටත් ඇය වෙහෙස නොකර මා පිට්ටනියෙ සෙවණ ඇති ගසක් පාමුලට ගියෙමි. ස්වර්ණා මට ප්‍රහේලිකාවක් ඉතිරි කර දුන්නාය. කාලච්ඡේදය අවසන් වන සීනු හඬට මම දරුවන් ද කැටුව පන්ති කාමර දෙසට එන විට ස්වර්ණා මා සමඟින් සිනාසුණාය. ඒ මා දුටු ඇගෙ පළමු සිනාවය. එය අපූරැ සුන්දරත්වය ක් ඇගෙ වතට ගෙනවිත් තිබුණාය. මමද පෙරළා ඇයට සිනහවකින් සංග්‍රහ කළෙමි. දිනය නිමාවන තුරුම ඇගෙ සිනහව මම ආපසු නොදුටුවද එකම සිනහාවේ අරුමයක් ගැබ්ව තිබූ බව නම් සහතිකය.
පසුදා පාන්දර පාසල් බස්රථය නවත්වන තැනට වී ඇය උන්නාය.
" ගුඩ් මෝනිං ටීච"
"ආව් ආව් ගුඩ්මෝනිං කෙල්ල අද කළින්ම ඇවිත් නේ.. "
වචනයක්වත් කතා කරන්නට අකමැති වු ඇය ගුඩ්මෝනිං කියන්නට පෙරමඟ සිටීම මට නම් ආශ්චර්යයක් විය.
" ටීචට බඩුවක් ගෙනාවා... "
" ඒ මොනවද"
"කිරි කජු.... නැන්දා උදේ තැම්බුවා.. මං ටිකක් ගෙනාවා.. "
ඇය මට උණුසුම් පාර්සලයක් දිගු කළාය. රටකජු තම්බා කෑමට මම කැමැතිම නැත. එහෙත් මම එය සතුටින් බාර ගතිමි. කෙල්ල රටක් රාජ්‍යයක් ලද සේ ඉපිල යනු මම දුටිමි.
"ටීචගෙ නංගි මගෙ වයසද"
" ඔයාට වඩා චුට්ටක් විතර ලොකුයි ඉතිං"
"ටීච එයාට ආදරේද"
" ඔව් පුතේ... එහෙමනෙ "
ඇය කිසිත් නොකියා මා හා එක පෙළට පාසල් භූමියට ගොඩ වුනි.
" පුතාගෙ අම්මා තාත්තා මොකද කරන්නෙ "
" අම්මා රට ගියානෙ ටීච..."
" ෂොක් නෙ එහෙනම් එනකොට චොක්ලට් ගොඩක් අරන් එයි"
" දන්නෙ නෑ ටීච"
" එතකොට තාත්තා"
"තාත්තා නඩුවට බයේ වහබීලා මැරුණා.."
"අනේ සමාවෙන්න දරුවො දන්නෙ නැති කමට ඇහුවේ... මොන නඩුවද පුතේ"
"අම්මා රට ගියාට පස්සෙ තාත්තා අපිට රූට හරියට කරදර කළා. මට වඩා අක්කට ඉන්න දුන්නෙ නෑ.අක්කා ඒ නිසා එල්ලිලා මැරුණා.තාත්තා ගැන හැමදේම ලියලා . තාත්තා ඊට පස්සෙ ගෙදර ආවේම නෑ... පස්සෙ එයාගෙ මරණෙත් කැලේ තිබ්බා"
Wednesday, November 4, 2015
කළකිරීම
මේ කළකිරීම මගේ අකුරු ගැනය. මම බ්ලොග් කාරියක් නොවේ. මට කොහොමත් ලියන්නට හැකිය. එහෙත් මා මගෙ ෆේස් බුක් ගිණුමේ යම් යම් දේවල් සටහන් කළෙමි. ඒ මම වින්ද දේවල්ය.මට මුණගැසුණ සමහර ජිවිත කතා මම අකුරු අතර හිර කළෙමි.
මම කොහොමත් අනුන්ගෙ දුකේදී සංවේදීය. එය මට කරදරයක් වු අවස්ථාද ඇත. එහෙත් මා අසරණ මිනිසුන් පස් දෙනෙකු සොයාගෙන දරුවන් හා එක්ව වෙසක් පෝය දවසේ ඔවුන් නහවා කවා පොවා පංසලට එක්කරගෙන ගොස් අටපිරිකර පූජාවක් කාළ මගෙ පෞද්ගලික ධනය යොදාගෙනය. ඉන් එක් අයෙකු වසර විස්සකින් නිවසින් පිටට ගොස් තිබුණෙ නැති කාත් කවුරුත් නැති කොන්ද කැඩුනු කාන්තාවකි. ඉන් ඇරඹි මගේ ගමන බුකියේ හිතවතුන් එක්ව පාසල් හතරකට හා පෙරපාසල් දෙකකට අවශ්‍ය මේස්,කවකටු පෙට්ටි,පොත් ආදී එක ළමයෙකුට රු දාහක් සරිලන පාර්සලයක් ලබා දෙන්නෙ 2014දීය. ඉන් පසු සපත්තු නැති දරුවන්ට සපත්තු කුට්ටම් විසි පහක් ලබා දෙන්නෙ ද මගෙ මිතුරන් හා එක්වය. මෙවර ද අසරණ සරණ ව්‍යාපෘතිය තවත් පුළුල් කරමින් දහදෙනෙකු තෝරාගෙන රු 10000 ක වියළි ආහාර ද්‍රව්‍ය ඇඳුම් ආදී දේ සැපයුවෙමි. ගරා වැටෙමින් තිබු බෝධීන් වහන්සෙ නමක් නැවත අළුතින් ඉදිකර ගමේ අයට වන්දනාවන්ට ඉඩ සලසා දුන්නෙ බුකියේ මා ලියු අකුරෙනි. විදුලිය අහිමි දරුවෙකුට විදුලිය ලබා දෙන්නෙ මේ වසරේ ජුනි මසය. මේ මැයි මස සිට මෙත් අරණ ශිෂ්‍යත්ව වැඩසටහන අරඹා දුප්පත් දරුවන් පස්දෙනෙකු උදෙසා මසකට රුපියල් දහස බැගින් පාසල් දිවිය නිමවන තුරු ලබා දීමට කටයුතු කළේද මමය.මෙවර සමස්ත ලංකා සහය දිවීමේ තරඟ සඳහා අවශ්‍ය සපත්තු කණ්ඩායම් දෙකක් සඳහා ලබා දෙන්නෙ මගෙ සයිබරේ අකුරු කියවු මිතුරු සමුහයේ පිනටය. ඉන් එක් රු 7000ක මුදලක් ලබාදෙන්නෙ මගෙන් ගුටි හැටපහක් කෑ දරුවාය. පන්ති යන්න සල්ලි නෑ කියු උසස්පෙළ දරුවෙකුට මාස් පතා අදටත් පන්ති ගාස්තු ගෙවන්නෙ මමය. අනාත නිවාසෙක ජීවත් වෙන බණ්ඩාරවෙල ප්‍රසිද්ධ විදුහලක උසස්පෙළ හදාරණ අම්මා තාත්තා දෙදෙනාම මිය ගිය පුතෙකුගෙ නිල නොලත් අම්මා මමය. මෙවර සාමාන්‍ය පෙළ දරුවන් දෙදෙනෙකු ගෙ අධ්‍යාපනය පිළිබඳ පෞද්ගලික අවධානය හා අවශ්‍ය සියළු පේපර් වියදම් මමය.
මම සැරය. දඬුවම් කිරීම ද මම කරමි. හැබැයි දඩුවමින් පසු දරුවන් ගෙ හිස අතගා රිදුණද පුතේ කියා අසන්නට තරම් මම මැදහත්ය. මම දරැවන් ඉදිරියේ දරුවෙක් ය. මට උන්ගෙ ලෝකය ට යන්නට බැරි මහන්තත්වයක් නැත.
ටිපර් රියකට යටව කකුල මුත්‍රාශය ලඟින්ම කැපු මගෙන් ඉගෙනගත් දරුවෙකුට කෘතිම කකුලක් ගන්නට වෙහෙස වූයේ මමය. ඔහු මේ වන විට කෘතිම කකුල පුහුණුවීම් වල නිරත වේ.
අනෙක් ගුරුවරු මෙන් මම තෑගි ඉල්ලා නැත.
මගෙ කසාඳය සිදුවනොන්නෙ දියණියක නිසා
විදුහල්පතිවරයා හා නඩු කීමට යාමෙනි. ඉන් මගෙ පෙම්වතාට මා පිළිබඳ වැරදි විදුහල්පතිවරයා කියුවද මා මගෙ පෞද්ගලිකත්වයෙන් කැප කොට දරුවා හා උන්නෙමි.
මේ බ්ලොග් එක ලියුවේ ප්‍රසිද්ධියට නොවේ. මට ප්‍රසිද්ධ වීමේ උණක් නැත. මධ්‍යස්ථ මතධාරියා මට විරුද්ධව බ්ලොග් සටහනක් ලියා ඇති බව මා දැනගත්තෙ ඊයේය. එය කියවු පසු මට දැනුනෙ අප්පිරියාවකි.
1. මා ලිංගික ආශාවන් නිසා ඒ දරුවා ට පහර දුන්නෙ නැත. ඒ පහරදීම අමානුෂික නැත. ගුටි හැට පහ ගහන්නෙ අනෙක් දරුවන්ට ප්‍රදර්ශනය ය සඳහාය. ඒ තමන් නිසා තමන්ගෙ මිත්‍රයා ගුටි කෑ බව ආත්ම දෝෂාරෝපණය ක් ඔව්න් ඔවුන්ටම හදා ගනි. වේගවත් පහර වෙනුවට ප්‍රදර්ශන දඩුවමක් දුන් බව සදහන් කරමි.
ඉන් මතුවු වැදගත් සංසිද්ධිය වන්නෙ ඉන්පසු කිසිම දිනෙක නායකයාට පන්තියෙ දරුවන් එරෙහි වුයේ නැත. එය ඒ වයසේ දරුවන් ගෙ බැජ් පිට් එකය. මා යොදාගත් සංකල්පය එයය.
අනෙක් කාරණය තණමල්විල වන සතුන් බහුලය. සර්පයන් අලියන් ගහණය. මේ පාසල වනාන්තරයේ ආසන්න ය. ගුරුවරුන්ට ඇස් දහසක් නැත. යමක්සිදුවු පසු හූල්ලන වාට වඩා ඒ දඩුවමින් පසු දරුවන් හිතුමතෙ පාසල් කාලය තුළ පිටට නොයාම වළක්වා ගත හැකි වීම මට සැනසිල්ලක් විය.
තණමල්විල වැනි කර්කශ ජිවිත උරුම වු දරුවන් හිතුවක්කාරය. එවිට දඩුවම අත්‍යවශ්‍ය ය.
මේ දරුවා ත්‍රිරෝද රථ රියදුරකු වු බව මධ්‍යස්ථ මතධාරියා පවසයි. නැත ඔහු ඒ සිද්ධිය වන විට පවුලෙ වාහනය වු ත්‍රිරෝද රිය පැදවුවා පමණි. ඔහු අධ්‍යාපනය කඩාකප්පල් කර ගත්තෙ නැත. අද ඔහු පරිගණක උපාධිය වෙනුවෙන් ඉගෙනුම ලබන දරුවෙකි. ඔහු අමතරව හම්බ කළ මුදලින් මා දැනට වැඩ කරන පාසලෙ දරුවන් ට ධාවන සපත්තු පවා මිලදිගෙන දුන්නෙ ගිය මාසයේය.
මෙහි අතිශයෝක්තියකි . යැයි ඔහු උලුප්පා දක්වයි. නැත කතාවේ යම් යම් සිද්ධීන් අයින් කලා මිසක මේවා අසත්‍ය නැත. ලිවීමේ ප්‍රයෝග පමණක් මා භාවිතා කර ඇත.
මගෙ ෆේස්බුක් ගිණුමේ හා මෙත් අරණ පිටුවේ මා සිදුකළ කාර්යයන් සඳහා සාක්ෂි ජායාරූප සහිතව ඇත.
මේ බ්ලොග් සටහන මා ලියන්නෙ මෙවැනි දරුවන් ද සිටින බව සමාජගත කිරීම පමණි. ඔබ මා විවෙිචනය කර එයට පැමිණෙන පිරිස නවතා දැමීමෙන් කළෙ වීරක්‍රියාවක් නොව සමාජයෙන් වහන් වු දරුවන් ට අසාධාරණය කි
ඔබ දක්වන පරිදි මා අහිංසක කඳුළු පුරවාගත් බොරුව මැවු ගුරුවරියක් ද නොවේ. මා සැරය. අවශ්‍ය විටෙක පහරක් ගසන්නට මා මැලි වන්නෙද නැත.
ඔවුන්ගෙ නිලඇඳුම, මා දුටු විට සැකසේ. කොණ්ඩය සැකසේ. ළමයින්ට මා ගුරුවරියකි. එනමුදු නිදහස් විටෙක මගෙ සාරි පොටේ එල්ලෙන්නට උන්ට තහනමක් නැත. ආදරය ගැන විරහව ගැන තම ප්‍රශ්න ගැන අවශ්‍ය දේ ගැන මා සමඟ කතා කරන්න ට තහනමක් නැත.
ජිවිතය වරදින තැන්වල මගෙ අත්වැල ගෙන ගොඩ එන්නට උන්ට තහනමක් නැත. හඩුගඳ ගහන සිරුරුන් යුතු දරුවන්ට මගෙ අත අල්ලාගෙන යන්නට තහනමක් නැත. හොටු පෙරන නහයෙ පිස දාන අත්ල වුවද මට දිගු කරන්නට තහනම් නැත.
මා සාන්තුවරියක්ද නොවෙමි. මගෙ අතින්ද වැරදි සිදුවිය හැක. හැබැයි මගෙ ජිවිතයෙ මනුස්සකම ඇත. මා මානසික රෝගියකු,ලිංගික විකෘතියෙකු,අමන ගැහැණියකු ගුරුවරියකට නිගා දුන් අයෙකු ලෙස හංවඩු ගැසුවද තරහක් නැත. මම මගෙ උපරිමය අදත් දරුවන්ට දෙන්නට උත්සහ කරමි. මධ්‍යස්ථ මතධාරියාගෙ යකාගෙ අඩවියට මම සුභ පතමි.
ලංකාවේ හැටි එහෙමය. හොඳ දහසක් මැද සංවාද කරන්නෙ වරද පමණය.
http://yakaageadaviya.blogspot.com/2015/10/blog-post_16.html
Monday, November 2, 2015
මගේ කෙල්ලට බැන්නෙ ඇයි
බස්රථය පාලම අසළ නතර විය. ඒ මගෙ නැවතුමය. සුපුරුදු හෝල්ට් එකට එන විට බෙල් එක නැතත් ඩ්‍රයිවර් මහතා මා වෙනුවෙන් බස්රථය නවතයි.ගමේ හැටි එහෙමය. ගෙදරට හැරෙන අඩි පාරේ අළුතින් ඉදිවෙන බෝධි ප්‍රකාරය දෙස මම බලා උන්නෙමි. හිත සැනසිල්ලෙ සතුටකින් පිරී ගියේය. තව ටික දවසකින් වැඩ නිමවෙනු ඇත. ටික වේලාවක් බෝ මළුවේ රැදී උන් මම දොළ පාර හරහා වැටී ඇති කොන්ක්‍රීට් ලෑල්ලට ගොඩ වුනෙමි. එගොඩ ගොඩ පිහිටි මගේ නිවෙස දෙස සිට පාසලේ දරුවෙකුගෙ මව හා පියා පැමිණයහ. ඒ වන විටත් මම මඟ දුරක් පැමිණ සිටි බැවින් මට ආපසු හැරෙන්නට ද නොහැකිය. දරුවාගේ පියා මා සිටින බව නොතකා ඉදිරියටම ආවේය.
" ආ නෝන මහත්තයා... අපි මේ උඹෙ ගෙදරට ගිහින් එන ගමන්....."
ඔහු විශාල ගලක්ද රුගෙන ඇවිත් තිබුණේය. එකවරම පාත් වු හෙණය කුමක්දැයි මම නොදැන උන්නෙමි.
" මොකක්ද ප්‍රශ්නෙ... කෑගහන්නෙ නැතුව කියන්න මහත්තයෝ... මේක මහ පාර.. පෞද්ගලික දෙයක් නම් දැන් කියන්න.. රාජකාරි දෙයක්නම් හෙට ඉස්කෝලේ ට එන්න."
මම සංසුන් වන්නට උත්සහ කරමින් කීවෙමි.
"හෙට ඉස්කෝලේ එන්න කළින් මං දැන් උඹ බාවනවා... මගෙ දරුවට ඉස්කෝලේ දී උඹ බැන්නෙ කාගෙ හයිය අරන්ද..."
මම තුෂ්නිම්භූත වුනෙමි.ඔහු කියන අණ්ඩරය මට තේරේන්නෙ නැත.
" ඔයාගෙ දුවට කවද්ද මං බැන්නෙ.. වැරදීමක් .. "
" අද උදේ රුස්වීමේදී උඹ බැනලා. ..ඒකී වහ බොන්න හදනවා.මං ආවේ තෝත් බාවන්න"
මෙය වැරදීමක් විය යුතු බව මට දැණුනි. අද උදෑසන රුස්වීමට තියා මසක සිට උදෑසන රැස්වීමකට මම සහභාගි නොවුනේ විදුහලේ ලිපි ලේඛන කිහිපයක් පරිගණක ගත කිරිමේ වගකීම මා සතු වු නිසාය. අන් කාරණය වන්නෙ මේ දරුවා මගෙ විෂය නොහදාරණ නිසා සිදුවිය හැකි වචන ගණුදෙනු අල්පවීමය. නමුත් අද දිනය තුළ කිසිදු වේලාවක මෙම දරුවා මට හමු වුයේ නැත.
" මහත්තයාට වැරදීමක් වෙලා.. හෙට ප්‍රින්සිපල් ට කියන්න ඇවිත්.. "
මම ඔහු මඟ හැරියෙමි. නමුත් ඔහු මා තල්ලු කරන්නට මෙන් ඉදිරියට ආවේය. මම වහා හැරී බෝ මළුව දෙසට ඉවත් වුනෙමි. තල්ලු කළා නම් වැටෙන්නෙ දොළ පාරේ ගල් ගොඩටය.
අසැබි වදන් අවමන් ඉදිරියේ මම විදුහල්පතිතුමා වෙත දුරකතන ඇමතුමක් දුනෙමි.ඔහුගෙ තීරණය වුයෙ මගෙ පෞද්ගලික දේවල් අදාළ නැති බවත් පොලීසි නොගොස් ගෙදරට යන ලෙසත්ය. පාර දෙපස නරඹන්නො විශාල පිරිසක් මගෙ
අසරණකම වින්දනය කරමින් උන්හ. මට නොකියා මගේ කඳුළු මටම සරදම් කරමින් ගලා ගියේය. මට මතක් වුනේ අම්මාය. ඇයද දුරකය. විදුහල්පතිතුමා වත් මගෙ පිහිටට නැත. ගමේ කසිප්පු විකුණපු පුද්ගලයෙක් හා හැපෙන්නට මගෙ ගැහැණුකමටද බැරිය. නරඹන්නන්ගෙ අනන්ත කතා මැද මම නිවසට ගියෙමි. සිදුවු දෙය මට අදහාගන්නටද බැරිය. පසුදින වනතුරු මට ඉවසුමක් නැති විය. අඩු තරමේ විදුහල්පතිතුමා මා නිර්දෝෂ බව හෝ කියනු ඇත.
මම විදුහලට ඇතුළු වීමටත් පෙර දැරියගෙ දෙමාපියන් විදුහලට පැමිණ සිටියහ. නඩුව අසා තිබුණි. විදුහල්පතිතුමා ගේ දෝෂ දර්ශනයද මට විය. දෙමාපියන් පොලීසි යන බවත් එයින් විදුහලට ඇතිවන අපකීර්තියට වග කිව යුත්තෙ මම බැවින් දරුවා ගෙන් හා මව්පියන්ගෙන් සමාව ඉල්ලීම සිදුකිරීම මගෙ වගකීම බවත් තීරණය කරමින් කැකිල්ලේ රජ නඩුව අහවර විය. සිදුවු දෙය පිළිබඳ ව මගෙන් කරුණු විමසීමක් නොවීය. දරුවාට බැන්නා යැයි පැවසෙන ගුරුවරියද නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම මා තවත් අසරණ කරවීය. සාධාරණය හා මනුස්සකම අතර මම අතරමං විමී.
" මං සමාව ඉල්ලන්නම් සර්.. ඒත් මෙතැනට ඒ ගැණු ළමයයි තාත්තාවයි ගෙන්වන්න..."
විදුහල්පතිතුමා ගෙ අණින් ඔවුන් කාර්යාලයට පැමිණියහ. මම බැලුවේ දරුවා දෙසය.
" මගෙ ඇස් දෙක දිහා බලලා කියන්න කොයි වෙලාවේද මං ඔයාට බැන්නෙ"
"උදේ පන්තියට ටීච ආවනෙ පේපර් දෙන්න අයි ටී ළමයින්ට.. ඒ වේලාවේ...උදේ රුස්වීමේදි ලතා ටීච මටයි බැන්නෙ කිව්වෙ.. කසිප්පු කාරයාගෙ දුව කියලා ඊට පස්සෙ ටීච ගියේ... "
මම පන්තියට ගිය වගක් මතකය. පේපර් දුන් බවත් මතකය. එහෙත් ඇය කියන
කතා බොරුය. තර්ක කිරීම වැරදිය. වැරුද්දට සමාව ඉල්ලනවා හැර අන් යමක් නොවීය. ගුරු ජිවිතයෙ අප්‍රසන්නම දවසේ මම හුස්ම ගත්තේද අමාරුවෙනි.
ඉන් අවුරුද්දකට පසු ඇය මගෙ උසස්පෙළ පන්තියෙ අසුන් ගත්තාය. කිසිදු වෙනසක් නොපෙන්වා ඇයට ද සමානව ඉගැන්වීමේ හැකියාව මට තිබුණි.
" මාත් එක්ක තරහක් නැද්ද ටීච"
" හේතුව"
" මං ටීචට තාත්තාට කියලා බැන්නුවා... ටීච ඇඩෙව්වා.. ඒත් අද මට ටීච කතා කරන්නෙ තරහක් නැතිව.. "
" මං වැරද්දක් කළේ නෑ කියලා මගෙ හිත දන්නවා පුතා.. එච්චරයි .. ඔයා එහෙම කළෙ ඇයි කියලා මං අහන්නෙත් නෑ "
ගැණු දරුවා බොහෝ වේලාවක් යනතුරු කිසිත් නොකියා උන්නාය.
" ටීච... අතු ගෑවේ නැතුවට දවසක් මට බැන්නනෙ... ගැණු ළමයෙක් වුනාම හරියට අතු ගාන්න වත් බෑ කියලා.. මට එදා තරහ හිතුණා. ලතා ටීච උදේ රුස්වීමේදී බැන්නා සමහර ගැණු ළමයි අතු ගාන්නවත් දන්නෙ නෑ කියලා.. මං ගෙදර ගිහින් කිව්ව...ඒත් ලතා ටීචගෙ මහත්තයාට තාත්තා බයයි. ටීච ට විතරක් බැන්නෙ ඒකයි.. "
මම හිස ඔසවා ඇයට සිනහවක් පමණක් දුන්නෙමි.
Wednesday, October 28, 2015
තරහ
වගකීමට වගවෙන්න යැයි අම්මා මට කියා දුන්නාය. පෙළ පොත් නැති ඇගේ පාඩමෙන් මං ජිවිතය හදා ගත් තැන් බොහෝය. රාජකාරි ජිවිතයට ද එය එසේය. පැවැරැන යමක අවසානය මට සුභවාදීව අවශ්‍යමය. කථික තරඟයට මාත් එක්ක කෙල්ල සූදානම් වු දා පටන්ම මම ජයග්‍රහණය පිළිබඳ හීන දැක්කෙමි.
"අපි සමස්ත ලංකා දිනල ඇවිල්ලම අඬමු කෙල්ල" පළාත් තරඟය දිනා ආ දා හා බඳාගෙන ඉකිගැසු කෙල්ලට මම කීවේමි. ඇය ඉන් සැනසුනා යැයි මම අදටත් සිතමි.
"ඔයාට මොනවද තියෙන ප්‍රශ්න.."
"මට තාත්තා ගැන හරි කේන්තියි ටීච.... එයාට මං ඉන්නවාද නැද්ද කියලාවත් ගානක් නෑ.. සපත්තු දෙක කැඩිලා.. සෙරෙප්පු දාගෙන ඉස්කොලේ එන්න ලැජ්ජයි ටීච.."
පුහුණුවීම් අතරතුර ඇය සමඟ පුංචි කතාබහක් මගෙ පුරුද්දක් විය. විටෙක ඇය ආවේගශීලි වූවාය. තනිකම , නැතිබැරිකම ඇය තරහා ගන්වා තිබුණි.
" පුතා පොතක් ගන්න.. හිතට එන හැමදේම ලියන්න... තරහ, දුක, ආදරෙ ඕන දෙයක්.. හරියට දිනපොතක් වගේ... ඒක හැබැයි ප්‍රයිවෙට් වෙන්න ඕන... පුතා කැමැතියි නම් විතරක් මං ඒක කියවන්නම්..."
පොඩි එකි හිස වැනුවාය. පසුදින උදේ පාන්දරම ඇය මා අතට පොතක් දී යන්නට ගියාය. එකෙණිහිම එය කුමක්දැයි මට නිනව් නොවුණි. දවසෙ මැද හරියෙ මම එය දිග හැරිමි. පපුවට හුස්මක් කොයි තරම් බරක්දැයි දැනුනෙ එවිටය. මම බුකියෙ ආදරණීය මිත්‍ර ලක්ෂිත නඳුන් ඇමතුවෙමි. ඔහු හැකි ඉක්මනින් සපත්තු යුගල දහයක් එවන්නට පොරොන්දු විය. ඉන්පසු මා ඇමතුවේ මනොජ් සැලී මිතුරාය. මසකට රුපියල් දහසක් පොඩි එකී ගෙ ගිණුමට බැර කරන්නට ඔහු මා සමඟ ගිවිසුනේය.එතෙර උන් කමල් සහෝදරයා දැරිය වෙනුවෙන් මුදලක් එව්වේ අවශ්‍ය පතපොත සඳහාය.මගෙ බුකියෙ එකතුව එහෙමය. දැන් ඇයට තරඟයට යන්න බාධාවක් නැත. ඇය සියල්ල බාර ගත්තෙ සතුටිනි.
"දැන් තාත්තාට බනින්න එපා පුතේ.. පුළුවන් විදිහටයි එයා කරනවා ඇත්තෙත්.. දැන් ඔයාට ඕන දේවල් තියෙනවා.."
පොඩි එකීගෙ හිනාව මට තාමත් මතකය.
"මේක ටීචට.."
" මොනවද"
" පේර ගෙඩියක්.. ටීච පේර ගහ ගාව ඉඳන් කඩන්න හැදුවට බැරි වුනානේ.. මං දැක්කා.. මං කඩන් ආව"
පේර ගෙඩියක් කොහොමත් මට පෙනෙන්නට බැරිය. එදා පටන් හැම දවසේම ඇය අත මා වෙනුවෙන් පේර ගෙඩියක් විය.
සමස්තලංකා තරඟයට සතියක් තියා පරිපාලනයෙන් මට නියෝගයක් නිකුත් විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කථික තරඟ පුහුණුවීම් වලින් මා ඉවත් විය යුතු බවත්, ඒ සඳහා ඕනෑ තරම් ගුරුවරුන් සිටින බවත්ය. මගෙ හීන කඩා වැටුනේ එදාය. පළාත් මට්ටම දක්වා ගෙන එන්නට මට හැකි වුනිනම් මේ අවස්ථාවේ මා නුසුදුස්සකු වූයේ කේසේද යන්න මම මගෙන්ම ප්‍රශ්න කළෙමි.කෙසේ හො මම නුසුදුස්සකු කර තවෙකෙක් වර්ණ පෙන්වන්නට වූවාය. මම පසෙකට වී නරඹන්නෙක් පමණක් වුනෙමි. අවසානයෙ මගෙ මහන්සිය හීනයක්ම පමණක් කර සමස්ත ලංකා හීනය බොඳ විය.
කෙල්ල ප්‍රථම තිදෙනා අතර නොවු බව ඇසූ පළමු තප්පරය මට හුස්ම ද අමතක විය. සහභාගිත්ව සහතිකය අතට දී වැඳ වැටෙන විට මට කියන්නට වචන අමතක ව තිබුණි. පැරදී උන්නෙ මමය. ඉන්පසු ගෙවුන දවස් රාජකාරි මට්ටමෙන් කාර්යබහුල වනවිට මට කෙල්ලව මඟ හැරී තිබුණි. හිතාමතා නොකළත් බොහො දිනවල කාමරය අසළට පැමිණ මා දෙස බලා සිට කතා නොකරම යන කෙල්ල මගෙ ඇස් ඇතුළෙ පමණක් හිරවී උන්නාය. මම ඇයගෙන් පලා යන බවක් මට දැනෙන්නට විය.
" පුතා බැංකු පොත ගේන්න මේ මාසේ සල්ලි දාන්න"
එහෙම බලා උන්න දවසක මම කීවෙ මාසිකව එන මුදල ගිණුමේ තැන්පත් කිරීමේ වගකීම ද මා සතු නිසාමය.
" ගේන්නම් ටීච... ඒත් පේර ගේන්න වෙන්නෙ නෑ"
" පේර නම් එපා පුතේ.... ඒත් ඇයි ගේන්න වෙන්නෙ නැත්තේ.."
" ටීච තරහ වුන දවසෙ ඉඳන් පේර ගහෙත් ගෙඩි හැදෙන්නෙ නෑ ටීච... "
Sunday, October 25, 2015
අපේ කල්ලිය
තණමල්විල ජිවිතය මා අදටත් සිහිපත් කරන්නෙ ජිවිතයේ හොඳම දවස් ලෙසය. දුෂ්කර මහ සමාජයෙන් ටිකක් හෝ ඈතක තිබුණ ,ඔවුන්ටම විශේෂීකරණය වු සමාජ රටාවට මම ද අනුගත වෙමින් උන්නෙමි . ගුරු නිවාසයේ පදිංචියට ඒමට පෙර මම ගමේ නිවෙසක නවාතැන් ගත්තෙමි. නුපුරුදුකම් සුපුරුදුකම් වන විට මම ද ඔවුන්ගේම කෙනෙක් සේ මටම දැනී තිබුණි. යුද්ධය ද ගිනි ඇවිලෙන ,අවට ගම්මාන වල යුධ බිය දැනෙන වකවානුවක මම ගමේම එකීයක් ව උන්නෙමි. බොහෝ සෙයින් මුහුණ පෑ ගැටළුව ජල ගැටළුවය.නා ගැනීමට ගම කෙළවර ගලා බසින ගඟට යා යුතුය. තනිව යා නොහැකි මේ ගමන සඳහා කල්ලි ගැසීම පුරුද්දකි. අහළ පහළ දහයක් පමණ එකතු කරමින් යන මේ ගමන බොහෝ විනෝදජනකය. ගඟට යන ප්‍රධාන පාරට වඩා මගෙ කල්ලිය කැමැතිම කැලෑව මැදින් යන පාරටය. පාසලේදී මට මහත් බියක් දක්වන දරුවන් මේ කල්ලියේදී මගෙ සගයන්ය.මේ ගමනේදී මම ගුරුවරියක් යන්න මම ද අමතක කරමි. මමත් කැලෑ කෙල්ලක්මි. ගස් යට දිවුල් අහුලන්නට පොඩි උන් එක්ක මමද ඔට්ටු වෙමි. කරඹ ගාලක් ගානේ ගෙඩි සොයන්නට
ගොස් හීරුණු තැන් දකින පොඩි උන් මට සිනාසෙන හැටි අදත් මැවී පෙනේ. කොහොමත් ගඟට යන්නෙ පැයක හමාරක කැලෑ සංචාරයකිනි. ගඟ ඊට වඩා ප්‍රියජනකය. මම ගිය මුල් වකවානුවේ ප්‍රසිද්ධ තැනක දිය රෙද්ද ඇඳ ගන්නට දැන උන්නෙ නැත. මගෙ කල්ලියේ පොඩි උන් ඒ දවස්වල මට සහය වුයේ මට මුවාවෙන්නට උන් පවුරක් සේ හිට ගනිමිනි. ජලයට බැස බාල්දියකින් නාන උන් මට හිනාවී මා ගැඹුරු දියට තල්ලු කරගෙන ගියේ මට ඔච්චම් කරමිනි.මම දියෙ ගිලෙන්නට ගිය අවස්ථාද විය. අවසානයේ පොඩි උන් මගෙ ජලයේ ගුරුවරු විය. මම ද උන්ගෙ රැහේ ජල බුං ගසන සාමාජිකයෙක් කරගන්නට ඔවුන් සමත්විය. කෑ ගැසීම් ,ජල බුං අවසානයේ නිවෙසට එන්නෙ නම් ප්‍රධාන පාරේය.ඒත් ගොම්මන සමඟය. එදා දවසේද කැලෑ පාරෙන් ගඟට පැමිණ ගඟට බහින්නට කල්ලිය සුදානම් වුවා පමණි. අලි දෙදෙනෙ ක් කැලෑ රොද වෙතින් මෑත් විය. කල්ලිය ගෙන ආ සකල දේ අතහැර ප්‍රධාන පාරෙ ගම්මානය දෙසට දුවන්නට පටන් ගත්හ. දියබත් වු රෙද්දක් හැඳ දුවන්නට බැරි වු මා මඟ ඇද වැටුණි. මම තෙරුවන් සිහිකරගෙන අවසන් මොහොතට සුදානම් වුනෙමි. අම්මා තාත්තා මතක් නොවුනා කීවෝත් බොරුය. මම මරණ බය ද වින්දෙමි. සද්දන්තයා ළඟ ළඟම එනවා වන්නට ඇත. කල්ලියද නැත.
එහෙත් එක සැණින් මහ සද්දෙන් කෑ ගැසීම් මා වටා විය. හූ කියමින් සද්දන්තයා බය කරන්නට මා අතැර ගියා යැයි සිතු කල්ලිය පැමිණ ඇත. ළඟ හේනක උන් බණ්ඩේ මාමා අලි වෙඩිල්ලක් ද ගෙන අවේලාවේ ආ සද්දන්තයා එන මඟ ඇහුරුවේ කල්ලියේ කෑ ගැසීම් හඬට ඉව අල්ලා පැමිණීමෙන්ය.
" මං හිතුවේ ඔයාලා දිව්වා කියලා"
"පිස්සුද ටීච.. අපි එහෙම යනවද ... අපේ කල්ලියේ කෙනෙක් දාලා"
Wednesday, October 21, 2015
ටීචට කියන්න දෙයක් තියෙනවා මට
රත්නපුරේට වහින වැස්ස ආදරණීයය. පොළවට එන්නට වැහි බිංඳුවලටත් තරඟයක් ඇති සේය. සීමාවාසි අවුරුද්ද නිමාවෙන්නට තව ඇත්තෙ දින කිහිපයකි. මේ තරම් ආදරේ කළ රත්නපුරය දමා යන්නට දුකය. හැමදාමත් උදේම සිරිපා බිම නෙත ගැටෙන මේ ආදරණීය රත්නපුරය මට මගේ හුස්ම තරම් ළඟය.ජිවිතයේ බොහෝ දේ මතක අතරට එක් වුනේ මේ ආදරණීය අහස යටදීය.
“මිස්”
මගෙ වැස්ස එක්ක තිබු ගණුදෙණුව උසස්පෙළ පංතියක උන් ශ්‍රීමාලීගේ පැමිණීමත් සමඟම අත්හිටුවන්නට මට සිදුවිය.
“කියන්න ශ්‍රීමාලි”
“මිස් ලොකු කල්පනාවක උන්නෙ. මං ඇවිත් හුඟක් වෙලා”
“හ්ම්.... මං වැස්ස දිහා බලන් උන්නා... මං ආසයි රත්නපුරේට වහින හැටි බලන්න”
“තව ටික දවසකින් මිස් යනවනේ... “
මටත් දුකය. එත් මේ නවාතැන එකම එක ඉසිඹුවක් පමණී. යා යුතු ගමනක සොඳුරු ගිමන්හලය.
“ක්ලාස් එකට යමු කෙල්ල... ඉන්න දවස් දෙක තුනේ හරි සිලබස් කවර් කරන්ඩ ඕනි.. නැත්නම් එග්සැම් ආවාම මට දෙහි කපයි”
මම ශ්‍රීමාලි සමඟම පන්තිකාමරයට ගොඩ වුනෙමි. තාමත් මහ වැස්සය. පන්තියෙ උන් එක දරුවෙකු හැරෙන්නට අනික් සියළු දෙනාම මට ආචාර කළහ. මම නැඟි නොසිටි දරුවා දෙස බැලුවෙමි. ඔහු උන්නෙ මා දෙසම බලාගෙනය. ඔහු පාසලට ආවේ ළඟදීය. විනය ගැටළුවක් නිසා ඔහුට මුල් පාසල අහිමි වු බව පාසලම දන්නා රහසකි.
මම පාඩමට එබුනෙමි.සංඛ්‍යා පාද ගැටළු විසදීමට පොඩි උන් ආසය. එය කම්මැළි පාඩමක්ද නොවේ. ඒත් අළුත් සිසුවා මා සමඟ නැත. ඔහු උන්නෙ වෙනම ලෝකයකය. මම ඔහු අසළට ගියේ බැරිම තැනය.
“පුතේ..... මොකක් හරි ප්‍රශ්නයක්ද .... නැත්නම් පාඩම තේරෙන් නැද්ද’
“ තේරේනවා මිස්.. අවුලක් නෑ”
“එහෙනම් මොකද මේ... කියන්න පුතා. ඔයා පාඩමේ නෑනේ”
උත්තර වෙනුවට ඔහු නැවතත් අරමුණකින් තොරව බලා ඉන්නට පටන් ගත්තේය. ලොකු හුස්ම කිහිපයක් ඔහුට උත්තර හොයන්නට උදව් දෙන හඬ මටත් ඇසේ.
“ අපි කතා කරමු පුතා... ප්‍රශ්නයක් නම් පාඩම තේරේන්නෙ නෑ”
“මං මිස්ට වඩා බාල අවුරුදු හතරයි”
“ඔව් ඉතිං”
“මං මිස්ට හරි ආදරෙයි........... ඇත්තටම ආදරෙයි”
පපුව උඩම අකුණු හතක් පුපුරා යන්නට ඇත. ගුරු භූමිකාවේ මේ වැනි අවස්ථාවක් ගැන මා දන්නෙ නැත. පංතියම සිනාසේ.
“ඔව් පුතේ ගුරුවරුන්ට ළමයි හරි ආදරෙයි”
“මං ආදරේ එහෙම නෙවෙයි”
පොඩි එකා මාව බයිට් එකට අරගෙන ඇත. කරන්නට දෙයක් නැත. සිසුන් හැටක් ඉදිරියේ මම අසරණය.
“එහෙනම් කොහොමද”
උත්තරයක් නොවිමසා බැරිම තැන මම ඇසුවෙ හීන් දාඩිය මටත් හොරෙන් බේරේන අතරේය.
“ මිස් මට පුතා කියද්දී මට හිතෙනවා මිස් මට හරි ආදරෙයි කියලා. ඒකට මං ආසයි.... මට කව්රුවත් පුතා කියලා නෑ මිස්... මගේ අම්මා උන්නා නම් එයා මට පුතා කියාවී... මිස් කියනවා වගේ ලස්සනට “
“ කෝ පුතාගේ අම්මා”
“මං ඉස්කොළේ එන්නෙ ළමා නිවාසෙක ඉඳන්නෙ මිස්”
Sunday, October 18, 2015
ටීච..... අම්මා කියන එකී මං දැකලත් නෑ
ඉර වැඩ පටන් ගෙන හුඟක් වෙලා ගිහින් වගේ තදේට අව්ව...කොළ පාටක් පේන තෙක් මානේක නෑ. දුවිලි පිරිච්ච ගුරු පාර දිගෙ හා හා පුරා කියලා වැඩ භාරගන්න විදුහලට ආවත් දැනුනේ මහ නුහුරු හැගීමක් විතරමයි. තළමල්විලටත් එහා හුඟක් දුෂ්කර ගමක පළවෙනි පත්වීම අරගෙන එනකොට දැක්කෙ පුංචි උන්ගෙ අව්වට පිච්චුණ මුහුණූ වලත් සුදු පාට හිනා.
“එහෙනම් අළුත් ටීචර් නෝනා එකොළහේ පන්තියට යන්ටකෝ අදට.... සිංහල උගන්වන ටීචර් නෑ අද”
විදුහල්පතිතුමා පළවෙනිම රාජකාරිය පවරද්දී හිතට දැනුනේ ආගන්තුක බයක්. අව්වටම සින්න වුණ අහසක් යට මම හරි අසරණයි වගේ දැණුනා. අව්ව අස්සෙන් දුවිලි පොරවගත්ත හුළඟත් එක්කම එකොළහේ පන්තියට ගොඩ වුනෙ පොඩි චකිතයකින්.
“ අළුත් ටීච කෙනෙක්”පොඩි උන් මුණු මුණු ගානවා මට ඇහුණා. අයිති නැති විෂයක් වුනත් සිංහල විෂයට මං ආදරේ හින්දම සාහිත්‍ය පොත පෙරලගෙන පුංචි රසාස්වාදයක් පොඩි උන් එක්ක කරන්න හදන වෙලාවේ පන්තියේ අන්තිම පේළියේ කොනේම හිටපු දරුවා තමන්ගෙ සටහන් පොත හෙමින් සැරෙ පිටුවෙන් පිටුව ඉරා දමනවා මං දැක්කේ අහම්බෙන්.
මං බලන් ඉන්නවා දරුවා දැක්කා. එත් මාව සතේකට ගණන් නොගෙන දරුවා එයාගෙ කාර්යය දිගටම කරගෙන ගියා.
“ පුතේ .... නම මොකක්ද?”
මං ඇහුවේ දරුවගෙ අවධානය ගන්න හිතාගෙන...
“චාමර .......” ඉරා ගත්ත පිටු වලින් රොකට් හදන ගමන්ම දරුවා මට උත්තර දුන්නා.
“ අම්මලා දුක් විදලා හොයන සල්ලි වලින් පොත් අරන් දෙන්නෙ අපට ඉගෙන ගන්න මිසක් ඉරන්න නෙවෙයි නේද පුතේ... අම්මලා පව්... පොත නාස්ති කරන්න එපා.” මං කිව්වේ බැරිම තැන .
පොඩි එකා සමච්චලේට මට හිනා වුනා.
“ටීච..... අම්මා කියන එකී මං දැකලත් නෑ... තාත්තා කියන එකා එකී දන්නෙත් නැතුවත් ඇති”
මගෙ හුස්ම හිරවුණා වගේ දැනුණා. පපුව හරහා එකපාර අකුණු සීයක් වැදුණා වගේ වචනයක් වත් පිට කරගන්න බැරිව අසරණ වුන මං පන්තියෙන් එළියට බැස්සෙ කාලපරිච්ඡේදය අවසන් වන සීනුවට පිං සිද්ධ වෙන්න....
“ටීචර්....”
මං ආපහු හැරුණා. අර දරුවා මගේ පස්සෙන්...
“ටීච තරහද”
“ඒ ඇයි පුතේ”
“මගේ අම්මා මං පොඩි කාලේම රට ගිහින්... පිංතූරයක් වත් නෑ.... මගේ තාත්තා කව්ද කියලා කව්රුවත් දන්නේ නෑ ටීච”
මං ඒ දරුවගෙ ඔළුව අතගාලා හිනාවෙලා ඉක්මනට ගුරු කාමරේට ආවේ මට ඒ දරුවට කියන්න එකම වචනයක් වත් මං ඉගෙනගෙන තිබුණෙ නැති නිසා.
Saturday, October 17, 2015
උණුසුමේ සීතල
මීදුමට තරහ වුන පිණි කැට පිපෙන්නෙ තරඟයට . ඉරත් එක්ක දේදුන්නත් යාළුම නෑ. කඳුකරයේ ගිම්හානය ගෙවෙන්නෙ එහෙමයි. ආදරයක් විරහිත ආදරයක් එක්ක.පාන්දරට කන් පැලෙන සිතලත් දවාලට පුපුරු ගහන අව්වත් ගිම්හානයට හරි ලෙංගතුයි.
“ඔයාගේ කොල්ලො ටික නම් හදන්ඩ ම බෑ. තරහ වෙන්න එපා නංගි මං මෙහෙම කිව්වට... උන්ට විනයක් කියලා දෙයක් ඇත්තෙම නෑ”
උදේ පාන්දරම විනය භාර ගුරුවරියගෙන් පැමිණිල්ලක්. උසස්පෙළ කොල්ලො කොහොමත් හිතුවක්කාරයි නේන්නම්. එයාලට කතාකරන්න ඕන වෙනම කලාවකට. හිතට එහෙම කියන්න ආවත් මට වඩා ජ්‍යෙෂ්ඨ වුන ඇය ඉදිරියේ මං මුණිවත රැක්කා...
“පොඩ්ඩක් කියලා හදාගන්ඩ... අපිට අනිත් ළමයි ටිකවත් හදාගන්ඩ ඕන”
“මං කතා කරන්නම් මිස්. සොරි මිස් ..මං බලන්නම්කො”
කරපු දේ හරියටම දන්නෙ නැති වුනත් කරපු ඕනම වරදක් මං පිළිගත්තා. පිරිමි දරුවො ඒකා දෙන්නා පංති කාමරයෙන් හොරෙන් හොරෙන් එබෙනවා මං බලාගෙන. දැන් ඔවුන් සුදානම් වන්නෙ මගෙ ගුටි පූජාව බාරගන්න කියලා මං දන්නවා
“ළමයි කියන්නෙ ළමයි. එයාලා අනුකරණය කරන්නෙ තමන්ගෙ පන්ති භාර ටීචව ... ඔයා ළමයි එක්ක ඕනවට වැඩියි නංගි.. ඒකයි එයාලා ඔය තරම් මුරණ්ඩු... ඔයාගේ රැඩිකල් ද මොඩිකල්ද සිස්ටම් එක ඉස්කෝලෙට හරි යන්නෙ නෑ”
ළමයින්ට බැන බැන ආවට අන්තිමට දෝෂාරෝපණෙ මට... හොඳම දේ නිහඬකම. මගෙ හිත මට හොරෙන් හොරෙන් උපදෙස් දෙනවා.
“මං පන්තියට යන්නම් මිස්.. මට කියන්න මොකක්ද ළමයි කළේ. මං කතා කරන්නම් එයාලට”
විනය බාර ගුරුවරිය ඔරවනවා මං දැක්කත් හෙමින් සැරෙ මං අහක බලා ගත්තෙ දුර පේන පිදුරුතලාගල කන්දට හිනාවෙන ගමන්ම.
“ අර නුවන් උදේ ඉඳන්ම රතු පාට ජැකට් එකක් දාගෙන.. ඉස්කෝලෙට කොහොමත්ම ගැලපෙන්නෙ නෑ.. මං කිව්වට කනනට වත් ගත්තෙ නෑ”
මම මගේ ගමන නතර කරලා උසස්පෙළ පන්තිය දිහාට හැරුණා. විනය සම්බන්ධව නුවන් අතින් එහෙම වෙන එක අනුමත කරන්න මගේ හිත ලෑස්ති වුනේම නෑ. පේර කෝටුවක් යන ගමන්ම කඩා ගත්තෙ නුවන් කියන්නෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුන හින්දම විතරක් නෙවෙයි. ඒ මං ආදරේ කරපු දරුවෙක් හින්දා
“නුවන්” මගෙ වචන අස්සෙ කෙන්තිය හුඟක් තිබුනා.ඒක මට වඩා මගේ පපුවට දැණුනා.
“ගුරුවරයෙක් මොනවාහරි කිව්වම ඒක ඇහෙන් නෑ වගේ ඉන්නද මං කියලා තියෙන්නෙ. බලනවා උදේ පාන්දර මං බැනුම් අහන්න ඕනි.. ගලවනවා ඔය කම්බාය දැන්වත්”
නුවන් මං කියන දේ අහන් උන්නා මිසක් මං කියපු දේ කළේ නෑ. ඒ වෙනුවට ගල් පෑදුන සිමෙන්තියෙ අනනත්ය ඇස් දෙකෙ ලකුණු කරන්න නුවන් පොරකනවා.
“කියන දේ අහන්න බැරිද? “පේර කෝටුව පිට හරහා යද්දීත් වෙනදා පන්තිය පුරා දුවන දඩබ්බරයා ඔළුව පාත්කරගෙනම උන්නා.
“මගේ කේන්තිය අවුස්සන්න හදන්න එපා පුතා...ගලවනවා ඕක... ප්‍රින්සිපල් දැක්කනම් මගෙ ඔළුව කයි... ඇයි දරුවො ඔය තරම් හිතුවක්කාර.. අනික අද සීතල දවසක්ද ... ගිනිගහන අව්වෙ ජර්සි දාන්නෙ මොන මෝඩයෝද“
නුවන් මොකුත් නොකියාම ජර්සිය උඩට ගත්තා. . කමිසයක් බැනියමක් නැතුව නිරුවත් වු දහඩියට පෙගුණ පිට විතරක්ම නෙවෙයි පේර කෝටුවට වයිරම් ඇන්ද රතු පාට ඉරි දෙකකුත් පිට හරහා තිබුණා.
“උදේ කමීසේ මදින කොට පිච්චුනා ටීච... වෙන එකක් මට නෑ” අකුණු ලක්ෂ ගාණක් මගෙ පපුව උඩ පත්තු වෙනවා වගෙ මට දැණුනා
Friday, October 16, 2015
තීන්දුව
උසාවිය සාක්ෂි කූඩුව මට ආගන්තුකය. ජිවිතේ කිසිදිනෙක අඩිය නොතිබු අධිකරණ භූමියට දැරියකගෙ ආත්ම ගරුත්වය උදෙසා සාක්ෂියක් ලෙසින් පැමිණෙන්නට මට සිදුවුයේ දෛවයෙ සරදමට වන්නට ඇත. බුලත් හුරුල්ලක් දී දෙපා වැඳ ගුරු ජිවිතය අරඹන්නට ආශිර්වාද ගත් විදුහල්පතිවරයාටම විරුද්ධව සාක්ෂි දෙන්නට මට සිදුව ඇත.
“මට බයයි ටීච” පොඩි එකී මගෙ අත් දෙකම කොනිත්තයි. ඇයට වඩා මම බයය.මගෙ පපුව ගැහෙන වේගය මට ගණින්නටත් අමාරුය.
“ටීච මට ලොකු සර් කරන්න බැරි දේවල් කියනවා” තනියම ගුරු විවේකාගාරය තුළ මා රැඳි උන් අතීතයේ දිනෙක කදුළු පිරී ඇස් දෙකෙන් ලොකු කතාවක් කියු පොඩි කෙල්ල තාමත් මට මතකය.
“ මොනවාද පුතේ”
“ඒවා මට කියන්න බෑ... මාව බේරගන්න ටීච” පුංචි එකී වෙනුවෙන් මට කළ හැකි එකම දෙය වුයේ විනය භාර ගුරුවරිය වෙත ඇය යොමු කිරීම පමණය.
“ඔයා ඕවාට මැදිහත් වෙන්න එපා” මා සමඟම උන් ගුරුවරියක් කීවේ අනාගත වාක්‍යයක් වන්නට ඇත. එහෙත් සියල්ල කණපිට පෙරළමින් නීතී මාර්ගයට කව්රු හෝ පෙත්සමක් යවා තිබුණෙ අවසානයෙ පැමිණිලිකරු ලෙස මගෙ නම ඇතුළත් කරමිනි. මුළු විදුහලම විදුහල්පතිවරයා වෙනුවෙන් පෙනී සිටිද්දී පොඩි එකී සහ මම සාධාරණයක් වෙනුවෙන් තනි වී ඇත
“ඔයා සාක්ෂි දෙන්න යනවා එහෙනම්” ලැබුණු සිතාසිය දෙස බලා මගෙ හිතවතිය විමසුවේ තර්ජනාත්මකය.
“ඔව් අක්කෙ... මං යනවා... මං ගැහැණියක් වෙලා ඉපදුණ නිසා යනවා”
ඒ අවසන් තීරණය අනුව පොඩි එකී සහ මම උසාවි බංකුවේ තනි වී ඇත.
“නඩු අංක .............. බාල වයස්කාර දැරියකට ලිංගික ක්‍රියාකාරකම් වලට බල කිරීම............”
තොල්ක තැන පොඩි එකී සාක්ෂි කූඩුවට කැඳවනු ඇසේ.
“බයද .... “
“නෑ ටීච... මං යන්නම්” කෙල්ල උසාවි කූඩුවට නැඟි පසුවත් ආපසු හැරී මා දෙස බලනවා මට පෙනුණි. ඇස් දෙකෙන් වාරුවක් උදුරා ගත් ඇය නීතිඥයා හැරුණි. බොහෝ ප්‍රශ්න අබිමුව ඇය අසරණ වන සැටිත් මම බලා උන්නෙ වේදනාවෙනි.
“ පැමිණිල්ල සාමදාන වෙන්න කැමැතිද” ප්‍රශ්න කිරීම අවසානය තීරණාත්මක විය.
“ ඔව් මං කැමැතියි” පොඩි එකී හොඳ සිහියෙන් සිටී දැයි මට සැකය. ඇය ඉබි ගමනින් මා උන් තැනට ආවාය.
“මොකක්ද ඒ කළේ මෝඩි.. “
“ටීච ගැන බයයි ටීච.. ටීච ට මොනවාහරි කළොත් කියලා මට හිතුණා. සමාවෙන්න ටීච... එත් මං වෙනුවෙන් කතා කරලා ටිච ට කරදරයක් වෙනවා බලන් ඉන්න බෑ.. අපි දෙන්නා විතරනේ ටීච..”
දිනලා වරෙන්
මේ සටහන September 28ය. එය කතාවක් කරන්නට තරම් මා ශක්තිමත් නැත. ඒ කෙල්ල හැඩය. දගය. අල්ලපු දෙයකට හපන්ය.කටකාරය. ඇගේ අම්මා ජිවතුන් අතර නැත. අම්මා මිය යන්න පෙර දවසේ විදුහලේ මාපිය වන්දනාවකට ඇය ලෙඩ අම්මා කැටුව ආවාය. මම උන්නෙ ඇය අසලය. "කව්රු හරි දරුවෙක් තමන්ගේ අදහස් දක්වනවා නම් මම කැමැතියි" ස්වාමීන් වහන්සේ පැවසු විට කිසිම දරුවෙකු නැගිට සිටියේ නැත. මා අසල වුන් දුලිනි ව මම තල්ලු කලෙමි.
"යනවා මොනවා හරි කියනවා"
ඇය අසරණව මා දෙස බැලු හැටි තවමත් මතකය.
" අනේ ටීච මං කොහොමද කතා කරන්නෙ"
මම කිසිත් නොකියා රැව්වෙමි. කාටත් හොරෙන් මගෙ අත ඇය වෙත උල් වෙන හැටි දුටුවේ දුලිනි පමණය. ගුටියට බේරෙන්න හෝ ඇය නැගිට්ටාය. වේදිකාව උඩ ඇයගෙ කකුල් වේව්ලන හැටි මම පහළ සිට බලන් වුනෙමි.වචනයක් පාසා ඇය මගෙන් ධෛර්ය ඉල්ලුවාය.කතා කලේ ඇව
ය නොව මගේ ඇස්ය. පහුවෙනිදා ඇයගෙ අම්මා මිය ගියාය. මළගමින් පසු ඇය පාසල් ආවේ මාසෙකටත් පසුවය. ඇය පළමුව ආවේ මා වෙතය.
"ටීච ට පින් අම්මා ඉස්සරහ අන්තිම පාරට මට කතා කරන්න ඉගැන්නුවාට"
මම කිසිත් කීවේ නැත.හිස අත ගෑවා පමණය. ඉන් පසු හමුවෙන හැම විටකම මට ලැබෙන මයික්‍රෆෝනය ඇය වෙත පත් කරන්නට මම වග බලා ගතිමි.
"අනේ ටීච තැන්ක් යු හැමෝම කිව්වා මං ලස්සනට එනව්නිස් කරනවා කියලා... මට ඒ සතුට ටීචයි දුන්නෙ. මං ආසයි ටීච වගේම ලස්සනට කතා කරන්න"
ඇය මගේ පාරේ ආවාය. මම ඇයට මං සළකුණු දුන්නෙමි. මට අවශ්‍ය වුනේ ඇය මා පසුකර යනවා දැකීමය.
ඒත් කොහේදෝ නැති ආදරයක ඇය බැඳුනාය.
" මම ඔයාට නෑ"
මම එසේ කීවේ මගේ කේන්තියටය. මම ඇය අත් හැරියෙමි. ඇයට හිනාවක් වත් නොදෙන්න මම තීරණය කළෙමි. ඇය මා පසුපස ආවාය. වැඳ වැටුනාය. සමාව ඉල්ලුවාය.එහෙත් ඇය ආදරයක අන්ධ ව උන් බව මම ඇයටම පසක් වන තුරු මම නිහඬ වුනෙමි.
"මං ඒක නැවැත්තුවා දැන්වත් සමාවෙන්න ටීච"
"කොහොමද ඔප්පු කරන්නෙ"
"ටීච කියන ඕනම දෙයකින්"
මම කල්පනා කළෙමි.එ වන විටත් සිංහල භාෂා කොට්ඨාශ තරඟ දින එවා තිබුණි.
" තරඟෙ දිනලා පෙන්නන්න. එතකොට ඉස්සර වගේම මම ඉන්නම්. එච්චරයි."
ඉන් එහා යමක් නොවීය.ඇය පසුපස දිව් ඇස් ඇයගෙ මහන්සියට සාක්ෂි සොයා දුන්නේය.අවසානයේ
"දැන් යාළුයිද ටීච"
මම සිනාසුනෙමි. ඉන්පසු කලාප පළාත් තරඟ වල ඇයගෙ හයිය ලෙස මම වුන්නෙමි.
පළාත් තරඟය දිනා සමස්ත ලංකා තේරුණ දා ඇය මා බදා මහ හයියෙන් ඇඬුවාය. අම්මා නැති ඇයගෙ අම්මා ලෙස සිතා ඇය මා වැළඳ ගත්තාය. සමස්ත ලංකා තරඟයකට පාසල නියෝජනය කල පළමු දරුවා ඇය වූවාය.එතැන් පටන් සමස්ත ලංකා හීනය පසුපස ඇය සමඟ මම ද දිව්වෙමි. එහෙත් අද සමස්ත ලංකා තරඟයට ඇත්තෙ දින හතරකි.
පාසලේ අවසාන බෙල් එක නාද වෙන විට පොඩි එකී මං සොයාගෙන ආවාය.
"ටීච මං පරදිනවා'
" ඇයි මොකටද"
" ටීච නැතුව මොන තරඟද"
ඇගේ ඇස්වල කඳුළුය.
" ටීච නැත්නම් මොන කථීක තරගද .. මං පිස්සුයි නැටුවේ. කව්රුවත් මට කියලා දුන්නෙ නෑ..
මම සිනාසුනෙමි
මං උඹත් එක්ක තරඟෙට යන්න එන්න වෙන් නෑ පුතා.ඒත් මං උඹ දිනලා එනකං බලන් ඉන්නවා
අනේ මන්දා ටීචත් හරි මෝඩයි
ඉරට ආදරේ කරන තණමල්විල අහස යට වී ගෙවෙන දවස් ගණන හරියටම මතක නැත. සීතල හිරිගඩු පිපෙන බණ්ඩාරවෙල අහසට වඩා මේ අහස දඩබ්බරය. හෙවණක් පෙනෙන මානයේ නැත. කොළ පාට වෙනුවට ගහකොළද කහ පා හා දුඹුරු පාටට හුරු වර්ණයකට හැරී ඇත. වැහි වළාකුළක් පෙනෙන අහසක් මා ආවාට පසුවම දැක්කෙද නැත. පොඩි උන් පිට්ටනියට පැන සෙල්ලමේය. උන්ට අව්වෙ වගෙ වගක් නැත. අව්වටම පිච්ච්ණු දුඹුරු පාට මුහුණ දහඩියෙ පෙඟෙමින් සිනාසෙයි. අල්ලන සෙල්ලමේ ටයිම් කණුව මමය. මහන්සි වු තැන දුවවිත් ටයිම් කියා මගෙ සාරි පොට අල්වාගෙන එකෙකු ගිමන් හරී. එවිට ඒ දරුවා අල්ලා ගැනීමට තහනම්ය.
දඩබ්බරයෙක් හරි මහන්සියො කියමින් මගෙ සාරි පොටේ කොනක් අල්ලාගෙන බිම ඉඳගත්තේය.
“ අපිට බැරිද පිට්ටනිය වටේ හෙවණක් හදන්න” අව් කාෂ්ටකේට සාරි පොට දෙන ගමන් මං දරුවන්ගෙන් ඇසුවෙමි.
“ මොනවත් පැල වෙන්නෙ නෑ ටීචර්... අව්ව සැරයිනේ”
ගුරුවරයා මම වුවද පරිසරය ට ආගන්තුක මට පොඩි උන් ගුරුවරු ය..
“ ට්‍රයි කරමුද?”
“ ආය මොනවද ටීච දෙකක් නෑ කරමු... ටීච නේ කියන්නෙ..” මගෙ පන්තියේ උන් දඩබ්බරයා කිවේ ඇඟට පතට නොදැනීය
“ එහෙනම් කොහොඔ පැල ටිකක් පැකට් කරන්න... පිට්ටනිය වටේම දාමු... වතුර තමයි දාන්ඩ මහන්සි වෙන්ඩ වෙන්නෙ”
“ අයියෝ ටීච .... ඕකත් ගේමක්ද ... මම පැල කරලා නිවාඩු කාලෙත් වතුර දාන්නම්කෝ ඇවිත්”
මම සිනාසුනෙමි. පන්තියේ වැඩ වලට ඔහු දුර්වලය. එහෙත් අධිෂ්ඨානය ඔහු ළඟය.
“ ලොකු වුනාම පුතා කව්රු වෙන්නද හිතන් ඉන්නෙ”
“මල් වවනවා ටීච”
මම පුදුම වුනෙමි. මේ තණකොළ වත් ඉතිරි නොවන ගිනි කාෂ්ඨකේ මල් වැවීම සක්කරයාටවත් කළ හැක්කක් නොවේ.
“ මෙහෙ මල් වවන්ඩ බෑනේ පුතා”
“මල් වවන්ඩ මෙහෙ නැත්නම් වෙන තැනක් ලංකාවේ වෙන නෑ ටීච ... අනේ මන්දා ටීචත් හරි මෝඩයි” පොඩි එකා මට ඔලොක්කුවට හිනා විය
“ තළමල්විල මල් පිපුනත් සුවඳ සිදාදියට...... “පොඩි එකා මුමුණන හඬ අදත් මට ඇසේ
නිනි සෙනවිරත්න