Wednesday, October 26, 2016

හරිත පාසල දෙසැම්බරයේ

හැමදාම පුංචි පුංචි දේවල් මම මගේ ඉස්කෝලේ ට කළා. ඒ මමත් මේ දරුවන් ගේම කෙනෙක් නිසා. මහාචාර්ය නන්දසේන රත්නපාලයන් මුලකුර  ලියැවු මේ අභිමානවත් පාසල තුළ අද ඉන්නෙ ළමයි දෙසීය පනහයි. ඒ දරුවන්ගේ ජිවිත කතා අස්සෙ තියෙන සමහර කතා පපුව පුරවන වේදනාවන් . ඒත් මං මේ පුංචි උන්ට ආදරේ යි. වසර හයක සේවා කාලයක් උන් එක්ක හිටපු මට මේ ඉස්කෝලේ හැම හුස්මක්ම හුරුයි.


මේ පාර ඉස්කෝලේට වැඩක් කරමු කීවේ ලක්සිරි. අම්පාරේ ඉන්න වැලිමඩ උපන්ගම වුන මගෙ හිතවතා. වැඩේට අනික් පැත්තෙන් උදව් දෙන්නෙ බදූර්දීන් කපපු හැම ගහකම ණය ආපහු මේ පොළවට ගෙවන්න වගවුන ෆර්ෂාන් . බෑග් ටික මහන්න ෆර්ෂාන් බාර ගත්තා . එක බෑගයකට රුපියල් පන්සීයයි . සපත්තු වලට වවුචර් එකක් දෙන එක තමයි උචිත. මොකද දරුවන්ට අවශ්‍ය ප්‍රමාණ අපට නිවැරදි ව කියන්න බැරි නිසා. සපත්තු  කීවමයි මතක් වුනේ. අදත් උදේ පොඩි උන් දෙන්නෙක් විදුහල්පති ගෙන් බැනුම් ඇහුවා සපත්තු නැතුව ආවට.. හේතුව මේ දවස්වල වැස්සට කැඩිච්ච  සපත්තු දෙකත් තෙමිල. ඒ මදිවට තියෙන්නෙ එක මේස්  කුට්ටමයි. .. පොත් තනිරූල් පහයි කොටුරෑල් පහයි පෑන් පහයි පැන්සල් දෙකයි මකන දෙකයි තමයි අපේ එක ළමයෙක් ට දෙන ලැයිස්තුව ...


මේ පාසලට මට මුල් අකුරු කියල දුන්න පෙරෙහෙට්ටිය ප්‍රාථමික යේ ඉන්න ළමයි පනස් දෙනත් එකතු කර ගන්නවා. ඒ දරුවන්ගෙ කතා වුනත් මහ හුගක් වෙනස් නෑ. සල්ලි තියෙන මිනිස්සු අමාරුවෙන් හරි තමන්ගෙ දරුවා නගරයට තල්ලු කරනකොට එදා වේල හොයා ගන්න මගේ උන් ගමේ ඉස්කෝලේ ..


ඉතිං මේ වැඩේට ලක්සිරි ට ෆර්ෂාන් ට වගේම උදව් කරන හැමෝටම පින්..


උන්ගේ ටීච විදිහට මට කියන්න පුළුවන් එච්චරයි..


මේ ඉස්කෝලේ හෝ ගාන පොකුණේ ගුරුවරු හුඟක් ඉන්නවා ..


ඒ අයටත් පින්..


හීතල දෙසැම්බරයේ අපි ආදරණීය උණුසුම එක්ක පැල ටිකකුත් ඉස්කෝලේ වත්තෙ හිටවනවා


ඔබ කැමැති නම් පැළයක් හරි අපිට දෙන්න ත් පුළුවන් ..


පළතුරු , ඖෂධපැළ වෙනවා නම් වටිනවා.

Tuesday, October 18, 2016

බැංකු පොත

දවස් දෙකක අසනීප නිවාඩුව අවසන් කරල ඉස්කෝලේට ගියේ කැමැත්තෙන් ම නෙවේ. තව එක දවසක නිවාඩුව අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ඒත් මම නිවාඩු රැදෙන එක තුළ පීරීයඩ් හතක දවසක අඩුව මකන්න බැරි හින්දා සාරිය ඇඟට දාගෙන ලහි ලහියේ දිව්වෙ ඇඟේ වෙහෙස අතහැරලා.
" ටීච අපි බැංකුවට සල්ලි ගෙනාවා"
මං ගේට්ටුව ළඟට එනකොටම පුංචි උන් පෝලිමක්. පහුගිය දා ඉතුරුම් වලට තෑගී දීපු නිසා ඉතුරුම් නොකරපු අයත් දැන් ඉතුරුම් වලට පෝලීමේ. හොඳ වැඩකට පුංචි අල්ලසක් දෙන එක පව් නෑ කියලා මට හිතුණ නිසා වැඩිපුර කෑම පෙට්ටි ටිකක් මම කාමරයේ තියාගෙන උන්නෙ. බැංකුවෙන් තෑගී විදිහට පොත් දෙකක් ලැබෙන කොට මගේ ගානේ මම කෑම පෙට්ටියක් එකතු කළා. රුපියල් දහයක් පොතට දැම්මත් මම ඒ තෑග්ග දුන්නා.
" ටීච.. මම පේෂලා ටීචට ඊයේ සල්ලි දුන්නා පොතට දාන්න "
" හරි පුතා මම බලන්නම්"
මඟ රැකගෙන හිටපු පුංචි එකා ට පිටට තට්ටුවක් දාන ගමන් මම මගේ කාමරයට අැඳුණා.
" ටීච... මම ඊයේ පේෂලා ටීචට පොතට සල්ලි දුන්නා"
ආයෙමත් පොඩි එකා දොරළඟ. මගේ පස්සෙන්ම ඇවිත්.
" මම ටීච ආවම අහන්නම් පුතා .."
මම උදෑසන වැඩ කටයුතු සුදානම් කරන ගමන්ම උත්තර දුන්නා. දොර දිහාවට ඇස් යොමු කරන්න තරම් වෙලාවක් මට තිබ්බෙ නෑ. සද්දයක් නැති නිසා මම හිතුවේ පොඩි එකා යන්න ඇති කියලා.
" ටීච... මම පේෂලා ටීචට ඊයේ සල්ලි දුන්නා පොතට දාන්න "
මම ගැස්සුනා . මගේ පිළිතුර ට වඩා දෙයක් ඒ දරුවට ඕන වෙලා තිබුණා. මම මේසේ උඩ තිබුණ බැංකු පොත් ටික පෙරළුවා.
චතුරංග .......
දරුවගේ පොත තිබුණා . රුපියල් තිහක් ඒ පොත අස්සෙ තිබුණා ..
" හරි පුතේ පොත තියෙනවා ... මං මේක බැංකුවට දාන්නම්"
ඒත් දරුවා හෙළවුනේවත් නෑ. ඇස් තිබුණේ කෑම පෙට්ටි දිහාවට.
මම මටම හිනාවුනා . පුංචි උන්ගෙ හිත් කියවන්න මම තාම උගත් නෑ. කෑම පෙට්ටියක් දරුවගේ අතට දීලා හිනාවුනා . දරුවගේ හිතේ තව මොනවද තිබුණා කියල දැනුණා.  ඒත් ඒක මට කියවගන්න බැරිම වුනා.
තප්පර විනාඩි ගතවෙලා තුන්වෙනි කාලජ්ජේදය එන ඉක්මනින් පොඩි එකා ආපහු කාමරේ ළඟ.
" ඇයි පුතා"
"............................"
"කියන්න ඇයි"
ගුරු මේසේ ළඟ පොඩි එකා ඇඹරෙනවා.
" ටීච... දැන් තියෙන්නෙ විද්‍යාව"
" ඔව් ඉතිං"
" විද්‍යාව පොත ඉවරයි"
" හ්ම් .. කවද්ද ඉවර වුනේ"
"ඊයේ"
" අම්මට කීවේ නැද්ද "
" කිව්වා.... ඒත් අම්මා ගාව දෙකකට දෙන්න මේ දවස් වල සල්ලි නෑ කිව්වා"
" මොකක්ද දෙක"
"බැංකුවටයි.. පොත ගන්නයි...අම්මා පොත ගන්න දීපු රුපියල් තිහ තමයි බැංකුවට දැම්මේ.. එතකොට ටීච තෑග්ග ට පොත් දෙකයි කෑම පෙට්ටියයි දෙනවනෙ... "
මං හිනාවුනා. ඒත් බැංකුවේ තෑගි ඒ වෙද්දි ඉවර වෙලා. මම කාමරේ හැම තැනම පීරුවා. එකම එක පොතක් .. ඔව් එකම එක පොතක් මගේ වාසනාව ට මට හමුවුනා.
පොත ගත්තු ගමන් ළමයි අතරේ පොඩි එකා හැංගිලා යනවා මං බලාගෙන

Saturday, October 15, 2016

ස්තුති

රත්තරනේ ..
උඹලා... පට්ටයි.. මාරයි...
මං ඉන්නෙ ..දුර
දෙවියන් මට වරයක් දෙනවනම්
මං ඉල්ලන්නෙ
නුවරට ඉගිලෙන්නට මට අත්තටු ..
කොළඹ විශාකා
රත්නපුරේ සීවලී
වගෙ ලොකු ඉස්කෝල එක්ක දුවපු අද උඹලා මූලික වටයෙන් දෙවැනි තැන ට ඇවිත්
හාරසීය හතර සහය තරඟයෙන්...
මම හතරට කෝල් කළා
නුවරට මහ වැස්ස
පහට ගත්තා ..
තාම නෑ කිව්වා..
හයට උඹල දිනුම්...
හෙටත් දිනපල්ලා කෙල්ලනෙ..

ස්තුති දීපු හැම සහයකටම බුකියේ..
මාසයක් පුරා උන්ගෙ හැම අවශ්‍යතාවයක්ම සැපිරුවේ බුකිය.

අවශ්‍ය සියළුම ඇඳුම්
පෞද්ගලික ඇඳුම් පවා සැපයුවේ ඔබ..
කෑම වේලක ගුණ සපිරි
බර පැන දැරුවේ ඔබ..
ක්‍රීඩා උපකරණ දුන්නෙ ඔබ..

ඔබ පැතු හැම සුභ පැතුමක්ම
ආශිර්වාදයක් වී අපේ කෙල්ලන්ට
හේතුවක් වු බව ද ලියමි..

හෙට ෆයිනල්..
එත් අපි දැනටමත් දිනුම්
ෆයිනල් ඇවිත් නැ
කවදාවත් අපේ ඉස්කෝලේ කවදාවත් ..
මේ පාර උඹල ආවා..

ක්‍රීඩා ගුරුවරිය නොවුනත්
ආදරණීය සෙන්ට්‍රල් සෙනෙහස වුන ක්‍රීඩා ගුරුවරිය මගේ හොඳම මිතුරිය වු නිසාම
කිසිම ක්‍රීඩාවකට කැමැති නැති මම
උඹල එක්ක පුළුවන් හැම තැනම ආවා..
ෆැක්ට්‍රීස් කරන්න දන්නෙ නැති වුනත් දුවපල්ලා කියල බැන්නා..
චොක්ලට් එකක් වෙනුවෙන් ඔට්ටු තියලා උඹල එක්කම පුංචි එකෙක් වුනා..
උඹලටත්
ආදරණීය පුහුණුකාරිනිය චම්පා ටීචටත් ස්තුති ..
අවසානයේ අසම සම සතුටක්...
දිනල වරෙල්ලා හෙටත්..
මං තොරණ් ගහනවා උඹලට

Monday, October 3, 2016

කොළඹ වටේ

ගේට්ටුව ළඟ කම්බි වැටට එහා පොඩි එකී අතුගානවා. මං අහක බලාගත්තෙ ඇයි කියල මම දන්නෙත් නෑ. පොඩ්ඩක් ආඩම්බර වෙන්න හිතුණා .  එච්චරයි .
" ටීච"
................
"ගුඩ් මෝනීං"

" ගුඩ්මෝනිං පුතේ.... කියන්න "

" කියන්න දෙයක් නෑ.... සහතිකයක් හම්බ වුනානේ"

" ඉතිං ඒක කියන්න දෙයක් නෙවෙයිද"

" නෑ .... ටීච දන්නවා නෙ මං  දිනුම් කියලා.... ඒත් ටීච අතින් සහතිකය ගන්න තිබ්බ නම් හොඳයි"

" ඒ මොකද... "

" කවුරු  කීවත් නැතත් ටීචනෙ මාව ෆැක්ට්‍රීස් කරන්නෙ"

මං හිනාවුනා.

" මට කාගෙන්වත් ප්‍රශංසා එපා පුතේ"

අම්මා තාත්තා හයිය ජිවිතේට නැති උඹේ මේ දක්ෂතාවය මට වටිනවා මහ හුඟක්

" සමස්ත ලංකා තරඟ අට.. ඒකත් දිනපං..."

" ටීච මාව කොළඹ වටේ එක්ක යනවද එදාට...  මම ආසයි කොළඹ බලන්න ... මං කවදාවත් ගිහින් නෑනේ.."

උඹ දන්නෙ නෑ පුතේ පර්ස් එකෙ තියෙන ගාන. ඒත් මම උඹ දිනුවත් නැතත් කොළඹ වටේ රවුමක් එක්ක යනවා.   ඇයි දන්නවා ද..
උඹට අම්ම නැති අඩුව තප්පරයෙන් දශමයකවත් තියන්නෙ නෑ

Monday, September 19, 2016

මම දිනුම්

කහත්තෙවෙල පංසල පේන මානේ. ඊට එහා කදු වළල්ල තව ටිකක් පේනවා නම් කොයිතරම් නම් හොඳ ද.. උඩු මහළට ටිකක් හුළඟ සැරේට දැනෙනවා. හිරිගඩු පිපෙන්නෙ ඉඩ නැති වෙයි කියල තරඟෙට වගේ.මං ජනේල් පියන හෙමිහිට වැහුවා. ශාලාවේ ඉස්සරහම හිටපු මම හොරෙන්ම පිටුපස බැලුවා. හැමෝගෙම ඇස් තිබුණේ පේපර් එකෙ. සමහරු ගජරාමෙට ලියනවා. මම විතරක් ලියන්නෙ නැතුව අහසට ඇස් විසි කරනවා.  මම වෙලාව බැලුවා. එකොළහට ළඟයි. කෙල්ල දැන් කතා කරල ත් ඇති. දිනුම් ද දන්නෙ නෑ. හිතේ එක එක ප්‍රශ්න. ඇත්තටම මට පේපර් එකට ලියන්න කරුණු නැ. පහුගිය දවස් ටිකේම මේ තරඟයට කෙල්ල  පුහුණු  කරන්න මහන්සි වුනා මිසක් මට පොතක් බලාගන්න වෙලාව තිබුණෙ නෑ. පෝය දවසෙත් හතර වෙනකම් මම හිටියේ කෙල්ලත් එක්කම. ඒක විවෘත තරඟයක්. උසස්පෙළ දරුවනුත් ඒ තරඟය තුළ හිටියා. ජාතික පාසල්, පවා ඒ තරඟයට ඇවිත් තිබුණා. ඒ නිසාම කෙල්ලට ඕන වුනෙ දිනන්නමයි.


" ටීච මට පළාත් එකෙනුත් පළවෙනියා වෙන්න ඕන.. එතකොට මට පුළුවන් කියන්න පළාතේ හොඳම කථිකයා මම කියල"


දිස්ත්‍රික් තරඟෙ දිනල ඇවිත්  කෙල්ල කිව්වෙ එහෙම.


" දිනපං ඉතිං"


එහෙම කියල මම හිනාවුනා විතරයි. වැඩිහිටි දින තේමාව යටතේ තමයි තරඟය. ඒත් වැඩිහිටි පරම්පරාවෙන් වැඩිපුරම බැට කාලා තියෙන මේ කෙල්ල ධනවාදී කතා පූරක සපයයි කියල කොහොම හිතන්න ද. අම්මා ඉස්පිරිතාලෙ ඉදන් ගෙදර එනකම් පුංචි කාලේ බලන් හිටිය පොඩි එකී  ලොකු ළමයෙක් වුනදා අම්මා ඉස්පිරිතාලෙ ඉදන් එනවා.


" අපේ අම්මට සනීපයි දැන්"


කෙල්ල එහෙම කිය කිය නටපු අතීතය මට තාම මතකයි.ඒත් ඒ කිට්ටුම දවසක අම්මා නැතිවෙනවා. ඊටපස්සෙ තැනින් තැන. ඉන්න ගෙදර හැම වැඩකම උදව්වෙවි ගෙවුණ ජිවිතය.. අහපු කතාන්දර. තනිකම දුක. ඒ හැමදේම විඳගෙන ගෙවන මේ ජිවිතය .


" තාත්තා අප්‍රේල් වලට ආවට පස්සෙ මම තාම දැක්කෙ නෑ. දැන් ඉන්නෙ පුංචි ළඟ නිසා මට බය නැ. ඒත් මගේම කියල කවුරු හරි මාව බලල යනවා නම් ටීච මම ආසයි."


වෙලාවකට එහෙම කියවන පොඩි එකීට දෙමාපියන් ගැනම කතා කරන්න මාතෘකාව ලැබුණ කියල කෙල්ල එක්කං ගිය ටීච කෙටි පණිවිඩයක් එවල තිබුණා.


මම පේපර් එක මේසෙ උඩ තියල නැගිට්ටා. බොරුවට කාලෙ නාස්ති නොකර කෙල්ල ගෙ තත්ත්වය හොයන්න මං කෝල් එකක් ගත්තෙ තරප්පුපෙළ බහින ගමන්මයි.


"ආ මේ ඔයාද..විශාකා. අපි කෝල් කරන්න ට්‍රයි කළා. ඒත් වැඩ කළේ නෑනේ.."


" කියන්න ටීච..මොකද වුනෙ තරඟෙට"


පුංචි වෙලාවක් ගියා. ආපහු ඇහුනෙ කෙල්ලගෙ හඬ.


" ටීච"


"මොකද වුනෙ පුතා... තරඟෙ රිසාල්ට් කිව්වද"


"ටීච ට හිතෙන්නේ කොහොමද ... රිසාල්ට් ගැන"


මං හිනාවුනා. මං තරම් දන්නෙ වෙන කව්ද කෙල්ල ගැන.


" උඹ පළවෙනියා..... එච්චරයි ..."

" ඔව් ටීච.. මම දිනුම්"

Friday, September 16, 2016

දිනපං

හුගක් අය පංසලේ
තවත් අය ට්‍රිප් එකක
තවත් අය පවුලත් එක්ක
ඒත් මම
උඹ එක්ක

අද නිවාඩුව උගස් කර ඇයට
නිල නොලත් රාජකාරිය
කරන්නෙමි මම..
දිනල වරෙන් හෙට..
මම ඉන්නවා මඟ
පැරදුනත් පැරදීයන්
සටනකින් පසු
මතක හිටින

Tuesday, September 6, 2016

අම්මා

මේ කවිය ලියන්නෙ දැන්ය. ඇය කතාවට සුදානම්ය. මාතෘකාව වැඩිහිටි හා ළමා දිනයය. එයට සූදානම් වන්නට මා හා ඇය සටනේය. ..
මා වැඩිහිටියා ගෙ දෙමාපියන් ගෙ වැදගත්කම කීවෙමි. අපේ බිළිඳු විය ඇගෙ මනසේ සිත්තම් කළෙමි.
ඇය මහා හඬින් හැඩුවාය...
වරද මගේය...
අම්මා කෙනෙකුගෙ අගය ඇය තරම් දන්නෙ කව්ද..
අම්මා නැති ඇයම මිස
ඇස් අඩවන පාට එක්ක
හිත රිදවන මතක  ඕන.
අම්මෙ මට කියාදෙන්න
හුස්ම ගන්න ජිවිතයට....

හරි ලස්සන හීන තියෙන
සමනළීයක් හිටියා
ඒ සමනළ් ජිවිතේ ට
අම්මත් මගෙ හිටියා..
එක දවසක් මහ හයියෙන්
කුණාටු වැහි වැටුණා..
මගෙ අම්මගෙ හුස්ම ගිහින්
නැවතුන තැන නැතුවා...

පපුවෙ මුව උලා උලා
උණුසුම මම වින්ද
අම්මෙ මට එක දවසක්
අතීතයෙන් දෙන්න..
මිහිදන් වුන තැන තියෙනවා
නිදි කුම්බා ගොන්න
මටත් ඕන ඒ අසළම
නුඹෙ ළඟින් ඉන්න..

අප්පච්චිට මතකම නෑ
මල්ලි ත් මගෙ ළගකින් නෑ
පවුලක සුව සෙනෙහස නෑ
ඔබ ගියාට පසුව
මගෙ හුස්ම මම දෙන්නම්
අම්මෙ යළි එන්න...

Sunday, September 4, 2016

තාත්තා ගෙ නම

සුන්දර වුවත් ඉතාම ග්‍රාමීය ඒ පාසලට පැමිණෙන බොහෝ දරුවන් ගොවි දරුවන්ය. සමහර බෝග සිටුවන දාට , බෝග එකතු කරනදාට දරුවන්ට පාසල් ඒමක් නම් නැත. එදා දවසට හිස් පුටු ගණන වැඩිය. ගොයම් කපන කාලයට නම් දරුවන් කොහෙත්ම එන්නෙ නැත. පිදුරු ගොඩේ කොන්ඩිත්තන් ගසන්නට , මී ගවයන් පසුපස දුවන්නට මෙන්ම මැඩවුම් බත කන්නට දරුවන් ප්‍රියය. මට එහි අරුමයක් නැත. මගෙ ළමා කාලය ගෙවෙන්නේද එසේමය. ගොවි දරුවෙක්ව ඉපදුණ මම හෙල්මැලි කුඹුරු පහළ ඕනෑතරම් රෝන්ද ගසා අැත්තෙමි. ගොයම් පැළ තවානෙන් ගොයම් පැළය ගැළවෙන විට අතට දැනෙන හා කණට ඇසෙන සියුම් රසවින්ඳනයේ අපූරු බව විඳ ඇත්තෙමි. අනෙකාගෙ ඇඟට මඩ විසිවෙන ලෙස ගොයම් මිටි ලියදී වලට උඩින් පියඹා යවා ඇත්තෙමි. අනෙක් දඟම වැඩේ නම් ඇඳුම යටින් මඩ ඉහී යන යන පරිද්දෙන් උදැල්ලෙන් ලියදී වල ඇති ජලය කැළඹීමේ පුරුද්දය. ගොයම් කපන කාලයටත් එය පොදුය. පිදුරු ගොඩ දිව්‍ය සැපය. කොන්ඩිත්තම් ගසා බෙල්ල උලුක් වන තුරුම නටන්නට අප හපන්ය. මී හරක් පසුපස දිවීම, ඔවුන් ශරීර කෘත්‍යයන් කරන විට පිදුරු ඇල්ලීම මහා වීරකම්ය. ඉතිං මේ දරුවන්ට දැන් ඒ තරම්ම නැතත් ලැබෙන වින්දනයට හෝ ඉඩක් තිබිය යුතු බව මා විශ්වාස කරමි.


කළින් දවසේ පංතියට පැමිණි නැති අයගෙන් නිදහසට කරුණු ඇසුවේ ඔවුන්ට වඩා ඒ කරුණු දැනගෙනමය. පුරුද්දට ඔවුන් විමසීමට මම සිතා උන්නෙමි.

" චන්දන... මොකද ඊයේ ආවෙ නැත්තෙ"

"කුඹුරේ ගියා..ටීච"


" කෝ ලියුම.. ආවෙ නැත්නම් අම්මල ලියල එවනවනෙ"

" අමතක වුනා ටීච.... "


" ඊළඟ දවසේ ගෙන්නනවා මං තාත්තව ඉස්කෝලේට ...


"


දරුවා කතාවක් නැත. ඒ හිතුවක්කාරකම සමඟ ඇති දඟකාරකමටය. ඕනෑතරම් ඒ මායම් මම දැක ඇත්තෙමි.

" කියන්න මොකක්ද නම තාත්තගෙ"

" කට්ට මහතු"

" මොකක් .. විහිළුවට ගන්න එපා පුතා.. කියනවා තාත්තගෙ නම.. සම්පූර්ණ නම"

" ඒක තමයි ටීච... ආරච්චි මුදියන්සේලාගේ කට්ට මහතුන්..."

සිනාසෙන්නට අවැසි වු නමුත් පිපිරෙන තරමට තරහක් මවා ගත් මම ඔහු දෙස බලා උන්නෙමි.

" ඉතිං ඇත්ත තමයි ටීච.... ගමේ ඔක්කොම උන් අපේ තාත්තාට කියන්නෙ කට්ට මහතුන්"

සඟවා ගත් සිනහව මහා හයියෙන් පිපිරි යනු නොදී මම පංති කාමරයෙන් එළියට ආවෙමි.



Wednesday, August 31, 2016

හැකිනම් ඔබට

මේ ඉන්නෙ කුරුකුදේ සාරිපුත්ත නම ලෝකයට ගෙනියපු කඟවේනියෝ හතර දෙනා. මුන් ටික දුවනවා කීවම සමහරු බය වෙනවා. ජව සම්පන්න ධාවනයන් ඉදිරියේ පුංචි ශරීර කූඩු එක්ක දුවන මේ දරුවන් දැක්කම ඇස්වලට කඳුළු එනවා සත්තයි.  මේ පාර සීය හතර, හාරසීය හතර දුවන්න ගියපාර වගේම සමස්ත ලංකා තරඟවලට යන්න මේ දරුවන් සූදානම්. මතක් කරන්න ඕන. මේ දරුවන්ට ගිය අවුරුද්දේ පළවෙනි ධාවන සපත්තු යුගලයක උරුමය ලැබුනෙත් මගේ ෆේස්බුක් මිතුරන්ගෙ මනුස්සකම සහ‍ය නිසා. ඒ වගේම ඔවුන්ගේ ගමනේ සියළු වියදම් සහ පුහුණුව අතර තුර බස් ගාස්තුව පවා. ඒ අතර මට මතක නම් අතර Supun J Wedasinghe, Pubudu Wanigasinhe, hemal matharage හා Anubha Arundathie Wijerathna යුවළ, මගේ ගුරු ජීවිතය තුළ හමුවු පළමු සිසු කණ්ඩායමේ පල්ලෙබැද්ද ඉස්කෝලේ හිටිය Manjula Nuwan Senevirathne, අදත් පාසලේ දරුවන් දෙදෙනෙකුට මසකට දෙදහක ශිෂ්‍යත්ව මුදලක් ලබාදෙන Channa Hettiarachchi  තියෙනවා . සමහර නමක් මඟ හැරුණා නම් සමාවෙන්න ..
මේ දරුවන්ට පුහුණුව දෙන්නෙ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ 98 කණ්ඩායමේ චම්පා නිල්මිණි . ඒ කැපවීම පුදුමයි. කුමන බාධක මැද වුනත් , කිරි දරුවා ඉකි ගගහා අඬද්දී හැමදාම උදේ හයවෙන කොට පිට්ටනියේ මේ දරුවන් එක්ක ඇය දකින්නට පුළුවන් . පිංතූරේ මැද ඉන්නෙ ඇය.දෙවියන් සම ගුරුවරුන්ට ඇය කදිම උදාහරණයක්. ඇය අද උදේ මං ගාවට ආවා
" නංගි උදව්වක් ඕන"
" ම්හ්.. කියන්න අක්කා "
" කරදර කරනවා නෙවේ.. මට ඔක්තෝබර් තරඟ .. මේ කෙල්ලොන්ට කාගෙන් හරි උදව්වක් අරන් දෙන්න.. දන්නවා නෙ දරුවන්ට ලොකු වියදමක් දරා ගන්න බෑ.. සර්ට කරදර කරන්නත් බෑ.. යන්න වාහනේ සර්ගෙන් ඉල්ලන්න ඉන්නෙ.. මට මේ දවස් ටිකේ මුන්ට පෝෂණය පිරුණ ආහාර ටිකක් දෙන්න උදව්වක් හොයල දෙන්න...  ලොකු පිනක්"

ගුරුවරියකගේ නොව මවකගේ සංවේදීතාවය ඒ ඇස්වලය.
විශ්වාස කරන්න .. ඔවුන් චීස් කෑල්ලක් කන්න දන්නෙ නැත. කිරි වීදුරුව අරුමයකි. මාංශ සමඟ අහර කලාතුරකින් ලැබෙන දිව්‍ය බොජුන් සරිය. ඇට වර්ග බණ්ඩාරවෙල ට ගිනි ගණන්ය.එක ව්‍යාංජනයක් සහිතව ලැබෙන එකාකාරී අහරක රස ඔවුන්ට අවශ්‍ය ජවය දෙන්නෙ නැත.

සපත්තු දෙකද අවුරුද්දක් පරණය.
දහඩිය ගඳ සමඟින් දිනපතා අඳින්නෙ එකම ට්‍රැක් කිට්ය.

ඔබට හැකිනම් සහය වෙන්නට..
හැකියි ඒ ගුරුවරියගේ හීනය ඉටුකරන්නට

Saturday, August 27, 2016

ලොසින්ජර

ගුරුවරියකගේ මතක 39
*************************

මේ තණමල්විල අහසේ වලාකුළු පාවෙන කොටසක හෙවණ ලද බිමමය. හෙවණක් සොයා කොහොඹ ගහක් හොයන ඇස් වලට ගිනි ගන්න අව්වෙ ගේට්ටුව ළඟ උන් මිනිස් රුවක් හමු වුයේ අහම්බෙනි.. විවේක කාලය එනතුරු ඔහු බලා සිටිනවා වෙන්නට ඇත. එහෙත් වියපත් ඔහු හැරමිටියට වාරු වී උහුලන් ඉන්න ඔහුගේම ශරීරය බරක් ව ඇත. මේ සෙවණේ තවත් මා සිටිය යුතු නැත. හිස් කාලපරිච්ඡේදයක් වු බැවින් රාජකාරිමය වගකීමක් පැවරී නැති බැවින් සාරි පොට හිසට සෙවණක් කර ගැනීමේ බොළඳ උත්සහයද සමඟින් මම ගේට්ටුව වෙත ආවෙමි. අවුරුදු අසුවකට එහා වයස හෝ ඒ තරම් වයසක දුක් වින්ද ඔහු ගේට්ටුවෙන් මෙහා කවුරු හෝ එනතුරු මඟ බලන්නේය.
"සීයේ.. සීයා කවුරු එනකම්ද ඉන්නෙ"
දතක් වත් නැති ලොබු කට පුරා සිනාවකි. අව්වටම පිළිස්සුම් ලද වත පුරා ඇති රැළි අතර දා බිඳු ජල තටාක මවා ඇත්තේය.
" අපේ කොල්ලගේ නෝනා හම්බුවෙන්ඩ ආවේ නෝනා"
එහෙනම් ඒ ඥාති සම්බන්ධයකි. ඇය මේ පාසලේ ගුරුවරියක් වන්නට ඇත.
" නම මොකක්ද සීයේ ඒ නෝනගේ"
" අනේ මං දන්නෙ නෑ නෝනේ.. අපේ කොල්ලගේ කටේ තියෙන්නෙම ඒ නෝනාගෙ වර්ණනාවමයි... මං ආවේ ඒ නෝනව මුණ ගැහිල යන්න.."
" කව්ද සීයාගෙ පුතා"
"කුමාර"
අගක් මුලක් නැති කතාවක සුලමුල සොයා මා ප්‍රශ්න කර ඔහු තෙහෙට්ටු කරනවාට වඩා කාර්යාලය වෙත යොමු කිරීම යහපත් බව මට දැනුණේ ඉර දිහා ඔහු බැලු අනුකම්පා සහගත බැල්ම දුටු පසුය.
"සීයේ.. අර ඔෆිස් එකට යන්න... ලොකු සර් ඉන්නවා .. සර් සීයාට උදව් කරයි"
ඔහු සිනාසී හැරමිටි වාරුවෙන් හෙමින් ගමනක කාර්යාලය වෙත ගිය පසු මා ගුරු නිවාසය වෙත හැරුණෙමි. තේ කහට එකක රස ඕනෑවටත් වඩා දිවට දැනෙමින් තිබුණි. ගුරු නිවසේ බිම ඉඳගෙන ගෑස් ලිප මත තැබු කේතලය කෑ ගසනු තුරු මම බලා සිටියෙමි.
" ටීච... ටීච"
ගුරු නිවසේ දොරකඩ ඇසෙන්නෙ හුරුපුරුදු කටහඬකි. බිත්තියේ වාරුවෙන් යළි මා නැගිට දොරකඩ වෙත ගියේ රැළි බිඳි ගිය සාරිය සකසමිනි.
" ආ කසුන් ... ඇයි.."
" ටීචව හම්බවෙන්ඩ ඕනිලු අපේ සීයට"
ඒ මට ගේට්ටුව ළඟ හමුවු සීයාය.. එතකොට ඔහු සොයා ආවේ මාවද
" මේ මගෙ කොල්ලා නෝනේ... ගෙදර ගිය වෙලේ ඉඳන් නෝනා ගැන කියවන්නෙ.. අම්ම අප්ප කියන උන් මගේ කොල්ලට නෑ නෝනේ.. මූ ඉගෙන ගන්නවද කියල හොයල බලන්න බුදු නෝනේ.. ඒක කියන්ට මං ආවේ"

ගොත ගසමින් කෙළ පෙරෙන කටවට අත්ළෙන් පිසදමමින් ඔහු කියවයි. ඒ අතර දිළිසෙන කඳුළු නැතුවාම නොවේ..

" මං බලන්නම් සීයේ..."

" මෙික නෝනට..ලොසින්ජර ටිකක්.. "

සිලි බෑගයක දැමු ටොෆි කිහිපයක් ඔහු මා වෙත තැබුවේය.

" මට මොකටද සීයේ මේවා... "

" නෝනාට දෙන්න වෙන දෙයක් නෑ වයසක මට"

" සීයා ආය එන්න එපා.. මම එන්නම් ගෙවල් පැත්තෙ..පුතා ගැනත් මං හොයන්නම්... බොහොම ස්තුති ටොෆි  වලට.. මං හරි ආසයි ඒවට"

ඔහු යළිත් ලොබු කටෙන් මැවු ආදරණීය සිනහවකින් මගෙන් සමුගෙන ගිනි ගන්න අව්වෙම ඈත්ව ගියේය.

Saturday, August 13, 2016

කෑම වට්ටෝරු

ගුරුවරියකගේ මතක 38

කෑම වට්ටෝරුව
*********************************************
ගුරු විවේකාගාරයට ඉස්සර වගේ නෙවේ. දැන් යන්න වෙන්නෙ ඉඳහිටලා. ඒ ගියාම කඳුළු පනිනකම් හිනාවෙන්න දේවල් ළමයි ගැන ගුරුවරු අතර තියෙනවා. සමහර දේවල් එක්ක අපි අපේ ඉස්කෝලේට හිතින් යන වාර අනන්තයි.ඒ කතා අහගෙනම ගුරු විවේකාගාරයේම පුටුවකට වාරැ වෙලා එපිටෙන් කැරකෙන දූවිලි වළලු දිහා මං ඔහේ බලාගෙන උන්නා. ඒ දුවිලි වළලු මැද්දෙ පොඩි උන්ට නම් රජ මඟුල්. සමහරුන්ගේ සුදෝසුදු ඇඳුම කහම කහ වෙලා තිබුණේ.

" අනේ මන්දා අප්පා මෙහෙමත් ළමයි"

ගණිත පාඩමකට ගිය රුවන්දි මිස් කෙුන්තියෙන් වගේ කාමරයට ඇතුළ් වෙලා පොත් ටික උඩම ඔළුව තියා ගන්න ගමන් කිව්වා.
" මොකො"

" මේ ළමයිගෙ කපටිකම් තේරුම් ගන්න වෙනම ඩිග්රියක් කරන්න වෙනවා."

මං හිනාවුනා. අද පන්තියේදී ළමයි රුවන්දි මිස්ට ලොකු දඩුවමක් දීලා වගෙයි. ඒත් මේ තරම් කේන්ති ගන්න තරම් ඇය නපුරු නෑ. කුතුහලය එක්ක බැනුම් අහන්න හරි මං ආයේම ඈ දිහාට හැරුණා.

" මොකද වුනේ අක්කෙ"

" මොකද තමා. ෂිට්.. තාම හත වසර.. පැහිල ඒ වුනාට හැටහුට හමාරක්.. "

මමත් ටික ටික බැනුම් අහනවා. ඒ  අත‍රේ හිනාත් යනවා.
" මේක බලලම හිනාවෙන්න "
රුවන්දි අක්කා මං ගාවට කොළයක් විසි කළා. විශේෂයක් නෑ. අල වලින් පැටිස් හදන විදිහ හරි අපූරුවට ඒ කොළේ ලියල තිබ්බා. ගණිතය වෙලාවේ ලියල අහු වෙන්න ඇති. ඒත් ඉතිං දරුවන්ගෙ ආසාවනේ. මට මොකුත් නොතේරෙනම තැන ආයේමත් රුවන්දි අක්කා දිහා බැලුවේ සැකේට.
" කියවං යන්න ඔක්කොම.. "
මං ආයේම කොළේට එබුණා. දෙවියනේ කෑම වට්ටෝරැවේ හරි මැද ඉදන් තිබුණේ පෙම් හසුනක්. ආයේම අවසානෙට කෑම වට්ටෝරුවක්. බැලු බැල්මට ඒක ලියුමක් කියල කාටද හිතාගන්න පුළුවන් . හැබැයි ඒ හතේ දරුවා ගාව ලස්සන ප්‍රේමණීය වචන හරඹයක් නම් තිබ්බා.