ගුරුවරියකගේ මතක 42
*************************
සුවඳ
*******-
ඒ කම්මැළිකාරී විභාග දවස්මය. හෝදා පාළුවට යන ජිවිතේ දවස්ය. ඒ දරුවන්ගෙ කෙළි කවට සිනහ අඩු නිසාමය. වෙනදාට කිච් බිචි අඩු නැති ඉස්කෝලේ විභාගය දා ට හැල හොල්මනක් නැති නිසොල්මන් ව තියෙන අපූරුව.
පුංචි සද්දයක්. ප්ලේන් එකක් යනව වගේ මම හැරිල බැලුවා. ඔව්.. ඒ මගේ පුංචි කරදරකාරයා.. මොනා කළත් දඟ වැඩ අත් හරින්න බැරි කරදරකාරයා. මං දැක්ක කියල දැක්ක විතරයි උපාසකයා. ප්ලේන් එකක් වුන කවකටු පෙට්ටිය මේසේ මැදක නතර වුනා.
මම ආයේමත් මගේ වැඩේට ඇස් ගත්තා. විනාඩියක් ගෙවෙන්න පෙර ආයේමත් ඒ සද්දේ. ඒ පාර කඩදාසි රොකට්ටුවකුත් ඇවිත්. ඒ වෙලාවෙත් මම දකින කොටම හොර උපාසක කම. හැබැයි කකුල් දෙක නම් වැඩ. මම ඒ පාර ත් මගේ පාඩුවේ. තුන්වෙනි පාර නම් මම පොඩි එකාගෙ මේසේ ළඟට ගිහිල්ලමයි නතර වුනේ. කවකටු පෙට්ටියයි රොකට් එකයි මගේ අත්අඩංගුවට අරගෙන මගෙ තැනට ආවා. මුළු කවකටු පෙට්ටිය පුරාම එක එක දේවල් අලවලා. කාන්දම් කෑලි තියල. දැක්කම හිනාත් යනවා තමයි. ඒත් මං ඔරවන්ම හිටියා. පෙට්ටියෙ අනිත් පැත්තෙ තිබ්බෙ ස්ටිකර් එකක්. ඒකේ තිබුණේ අපූරු වාක්‍යයක්.
"සුළඟත් සැපයි නුඹෙ උණුසුම ගෙන හමන
ඇවිදින් යන්න එක පාරක් සිප නළල"
හීන් දාඩියක් දානවා මට දැණුනා. මම ආයේම දරුවා ළඟට ගියා.
"කව්රු ගැනද මේ"
පොඩි කමටද සිතුවිලි. තාම හයේ. මං හිතුවා විතරයි.
"ටීච මේ... මේ.."
" ඔව්.. "
"ඔය අම්මා ගැන ටීච..මං අම්ම ඉන්න තැන දන්නෙ නෑ.. එයා කොහේද ගියානේ අපි දාලා.. ඒ නිසා අම්මට කියන්නෙ ටීච.. ආසයි අම්මා එනවට"