Saturday, August 26, 2017

මුට්ටි යකා

වතුර බවුසරයක් ගේට්ටුව අරින තුරු මග රැක සිටි. ජලය ජිවිතයෙ කොයි තරම් ඉඩක් වෙන් කරගෙන සිටී දැයි බලන්නට ජලය නැතිවෙන්නටම ඕනිය. ඉස්කෝලේට වතුර එන්නෙ සති දෙකකට සැරයකි. ඒ තුරා බොහෝ දුක් දරුවන් මෙන්ම ගුරුවරුද විදිති. බඩදරු ගුරුවරියකට වැසිකිළි පහසුකමලෙබා දෙන්නට ගෙවල් තුන හතරකට ගොස්  වතුර වෙනුවෙන් අතපාන්නට වු දවස් එමටය.
"අද කළින්ම වතුර ඇවිත් වගේ"
ජයන්ත අයියා ගේට්ටුව අරින්නට දුවයි. පොඩි උන් වතුර බවුසරය එනකං පාර දෙපැත්තෙ පොර කන්නෙ බවුසරයෙන් ටැංකියට වතුර දෙන හැටි බලන්නටය.
" උඹ අයින් වෙයන්කො.. ගිය පාරත් ඉස්සරහම හිටියේ.."
"උඹ උඹ ගාන්න එපා බං.. පිටිපස්සෙ ටීච..."
"එහෙනම් උඹ බං බං ගාන්නෙ"
මම දෙදෙනාටම රැවුවෙමි. ඉන්පසු මීක් සද්දයක් වත් නැත. පෙරමුණ ගැනීමේ රණ්ඩුවත් නැත. කරට අත දමාගෙන ගජ මිතුරු වෙසින් පොඩි උන් ඇත. මම මටම සිනාසුනෙමි. මේ ජිවිතය උන්ගේය. අපේ රැවීම් අපටය. වතුර බවුසරය ටැංකිය ළඟට සේන්දු කර වතුර පොම්ප කිරීම අරඹා ඇත. දරුවන් මෙන්ම වැඩිහිටි අපද ඒ වතුර වැටෙන හඬට පෙම් කරනවා වන්නට ඇත. දවසක් දෙකක් අපට යළි ජලය ඇත. උල්පත් වතුර බිවු අපට වතුර බවුසර් එනතුරු ඇඟිලි ගණින්නට සිදුවීමද එක්තරා දෛවපෝගත සිදුවීමකි. ගණ දෙවියන්ද බට කොළ කෑවේ නම් අපි වතුර බවුසර් එනතුරු සිටියාම මොකද..
"ටීච.. ටීච.."
කල්පනා ලොවෙන් මිදුණේ පුංචි එකියෙක් සාරි පොටෙන් ද අැඳි පසුවය.
"අහ්.. ඇයි පුතේ"
"ටීච.. යකෙක්"
"යකෙක්.. කෝ... කොහේද?"
"ඉන්නවා ටීච.. අර දොළහේ පංතිය ගාව"
ඒකත් එකටම දොළහේ කෙල්ලො දෙදෙනා පොඩි උන් බය කරන්නට පටන් ගෙන ඇත. හවස සමිතියට ඉදිරිපත් කරන නාට්‍යයේ යකුන් දෙදෙනා ලෙස රඟපාන්නට නියමිතව උන්නෙ දොළහේ ගැහැණු දරුවන් දෙදෙනාය. ඔවුන් දෙදෙනා කළින්ම වෙස් මාරු කරගෙන ඇත. අද නම් මේ හිතුවක්කාරියන් දෙදෙනාට දඬුවමක් නම් දිය යුතුමය.
"යමු බලන්න ඔයාගේ යකා "
"අනේ.. අම්මො බැ බැ.. ටීච යන්නත් එපා.. ඒ යකා ගැණු ළමයින්ට ලු කරදර කරන්නෙ"
"එහෙනම් බලන්නම වටිනවා පුතේ.."
මම උසස්පෙළ පංති දෙසට හැරුනෙමි. දොළහේ කෙල්ලො දෙදෙනා තවමත් නිලඇඳුම පිටිනි. ඔවුන් ළමුන් බය කරන්නට තියා ඉන්න තැනවත් නිනව් නැතිව කෙටි සටහන් දිග අැරගෙනය. මම කිසිවත් නොවු ගානට යකා කේළම කියු පොඩි එකී වෙත හැරුණෙමි.
"කව්ද පුතේ.. ඔයාට යකෙක් ඉන්නවා කිව්වේ.."
"හයේ කවිමල් අය්යා..."
ආ.. මෙවර වැඩ අල්ලා ඇත්තෙ එහෙනම් ඔහුය. කවිමල් කොහොමත් ඔය වැනි වැඩ වලට ඔට්ටුය. ඔහු මට්ටු කරන්නට නම් වෙනම උගෙන ආ යුතුය.
මම දොළහේ පංතිය දෙසට ගියෙමි. එතැනට යන පාරේ බොගන්විලා පඳුර යට පොඩි එවුන් කිහිප දෙනෙක් වට රවුම් ගැසී ඇත. මම හෙමින් හෙමින් ඒ දෙසට කිට්ටු කළෙමි.
"අම්මෝ ඒ යකා.. බයේ බෑ නේ"
"දැන් මට රුපියල් දහයක් දුන්නෙ නැත්නම් මුට්ටි යකා ගෙදර එයි"
ඒ කවිමල්ය.
"දෙන්නම්..දෙන්නම්..අම්මෝ දෙන්නම්..හෙට එනකොට ගේන්නම්"

"ආ .. කවිමල් මටත් බලන්න ඕන ඔය යකා"
"ටී..ච..."
"ඔව්.. ඔව්.. පෙන්වන්න බලන්න ඔය යකා"
"ටීච.. ඒ මුට්ටි යකෙක්"
හොඳටම බිය වී උන් පුංචි දරුවා ගේ ඇස් කියන්නෙ මට ළං නොවෙනු කියාය.
මම කවිමල් අතේ තිබු මුට්ටිය ගත්තෙමි. එය හොදින් කට වැසෙන සේ රතු රෙදි කඩින් බැඳ තිබුණි. ඇතුළේ යමෙක් දඟලන බවද දැනේ. මම සෙමින් රෙදි කඩ ලිහුවෙමි.
"එපා.. ටීච.. යකා පනියි"
මම පොඩි උන්ගේ  හඬ නොඇසුන පරිදි රෙදි කඩ ඉවත් කළෙමි. තඩි ගෙම්බන් දෙදෙනෙකු මුට්ටියේ අමාරුවෙන් එහා මෙහා දඟලමින් නිදහස සොයමින් සිටි.

Tuesday, August 22, 2017

අත්හැරීම

ඉරට කළින් ඇහැරෙන මිනිස්සු උදේ පාන්දරම කුඹුරු වල වැඩ. අද වෙනදටත් වැඩියෙන් මීදුම බාල තිබුණ දවසක්. වැහි කෝඩයක් ගියාට පස්සෙ කුඩැලි මිනින්දෝරුවෝ වැඩ පටන් ගන්න හින්දා හරි සීරුවට තමයි පාරට පැන්නෙ. උපන්දා ඉඳන් කුඩැල්ලො එක්ක ඔට්ටු වුනාට මොකද තාමත් බයයි කූඩැලි හමුදාවට.

"අද සීතල වැඩි දවසක් නේද ටීච නෝනේ"

බෝංචි සීයා අව්ව  තපින්න පාරට ඇවිත්. බෝංචි සීයා ඉස්සරම ඉදන් අපේ ගේ ඉස්සරහ කුඹුරේ වගා කරනවා. හැබැයි බෝංචි විතරමයි. ඒ නිසා කිරිවන්තෙ නම වුනාට අපිට ඔහු බෝංචි සීයා වුනේ ඒ නිසයි.

"ඒකනේ සීයා.. ඊයේ දවසම වැස්සනේ.. අදත් පටන් ගනියි තව ටිකකින්. "

"වහිනකොට ඉවරයක් නෑ චුරු චුරුව.. බෝංචි ටිකට කහ රෝගෙත් ගහල."

"හ්ම්...
මොනව කරන්නද සීයේ..."

"ආං ආං අරු අදත් මොකක් හරි අලුගෙත්තේරු වැඩක් කරලද කොහේද"

මම බෝංචි සීයා පෙන්වු දෙස බැලිමි. පහළ කඩේ නැන්දා පොඩි එකෙකුගෙ කණ මිරිකමින් බැණ වදියි.

"කව්ද බෝංචි සීයේ ඒ.."

"මහතුවාගේ ලොකු  කොල්ලනේ නෝනා ඒ"

ඒ සංදේශ්ය. පුංචි දේටත් හඩා වැටෙන හැම තිස්සෙම සාරි පොටේ එතෙන පොඩි එකාය.

"ඇයි  සීයේ.. මොනව කරලද ඔය"

"මොකක් හරි වසවර්ති වැඩක් කරන්න ඇතිනේ.."

මම කඩය දෙසට යන විටත් නැන්දා සංදේශ්ගෙ කණ මිරිකාගෙන බැණ වදියි.

"ඇයි නැන්දේ..."

"ටීච ආව එක හොදයි.. පේනවා නේද මු කරන වැඩේ.. දවසක් දෙකක් නම් මොකද.. දැන් හැමදාම පටන් ගෙන.."

නැන්දා බෙරිහන් දෙයි.

"මොකද කළේ"

"හැමදාම කඩෙන් බිස්කට් එකක් ගන්නවාමනේ නෝනේ.."
මම සංදේශ් ළඟට ඇද ගෙනම පැත්තකට කර ගත්තා. කදුළු නම් වෙනදා වගේම ඉස්සරවෙලා.
" මේ කතාව ඇත්තද.."
කතාව අනුමත කරන්නට මෙන් සංදේශ් හිස වනයි.
"ඇයි පුතේ එහෙම කරේ.."

"ඉතිං ටීච .. අම්මා බිස්කට් දෙන්නෙ  මල්ලිට විතරනේ.. "

"අම්මාට කිව්වොත් අරන් දෙනවනෙ පුතේ.. හොරකම් හොඳ නෑ.."

"අම්මා මාව අතඇරල ටීච.."