කාළෙකින් බණ්ඩාරවෙලට වැස්සක් ආවා. නෝක්කාඩුවටම මැලවුන ගස්වැල් තරහා නිවාගෙනත් තිබුණා. අතු අග තාම පිණි කැට ඉරට ඔච්චම් කරද්දි පාසලේ ආරම්භක සීනුව නාද වෙද්දි දරුවො එකා දෙන්නා උදෑසන රුස්වීම පැවැත්වෙන ස්ථානයට එකතු වෙනවා. හැමෝටම ඉවරයක් නැති කතාවන් ඕනතරම්. සමහරු වැස්ස ගැන කතාව. සමහරු වාර විභාගේ ගැන. තව සමහරු ටෙලි කතා ලෝකවල. එකොළහේ පංතියෙ දරුවෙක් ඔෆිස් එකෙ. වරද කොණ්ඩය කපාගෙන නොපැමිණීම. ඇත්තටම වරද දරුවගේ. ගේ ඉස්සරහම බාබර් සාප්පු ව. දවස් දෙකක නිවාඩුව. එහෙමට කියලා අඟහිඟකම් ඇති දරුවෙක් නෙවේ. පුංචි දඬුවමකට ඒ දරුවා යටත් විය යුතුමයි. උදෑසන රැස්වීම පැවැත්වෙන තැනට මම යන්න හැරුණා. ඒ අතරෙම තව දරුවෙක් කාර්යාලයට ගෙන්නුවා. වරද සමානයි. දඬුවමත් සමානයි. ඒත් දෙවෙනියට ආපු දරුවා ආපහු රැස්වීමට ගියේ නොනවත්වා වෑහෙන කඳුළු වලට අතින් වැට බඳිමින්.
" ඔය ළමයාට නම් සල්ලි තියෙනවා ද දන්නෙ නෑ නංගි... සමහරදාට අම්මා කොණ්ඩෙ කපනවාලු සල්ලි නැති වුනාම. "
" දැන් එහෙම කරන්න බෑනේ අක්කා දහයෙ පංතියෙ නේ. කොල්ලා ලැජ්ජාව ඇති... "
රැස්වීම ඉවර වෙනකම්ම විටෙන් විට කොල්ලා කඳුළු පිහදානවා මං බලාගෙන.
"පස්සෙ ගිහින් අහන්න ඕන. " මං මටම කියා ගත්තා.
පේපර් එකත් බෙදල ඉවර වුනාට පස්සෙ මම දඬුවමට ලක්වුණු දෙවැනියා ගාවට ගියා. තාමත් ඒ ඇස්වල කඳුළු .
" ඇයි පුතේ.. කොණ්ඩෙ වැවුනම කපලා ලස්සන ට පිළිවෙලට ඉන්න එපැයි. දැන් ඔයාලා ලොකුයි. ඉළන්දාරි . ම්... මොකද ප්‍රශ්නෙ"
පුංචි එකා උත්තර දෙනවා වෙනුවට ආයෙමත් ඇස් පොඩි කරන්න පටන් ගත්තා.
දන්නෙම නැතුව ඒ හඬුගැහැන කොණ්ඩෙ අතරින් මගෙ අත ඒ දරුවගෙ ඔළුව උඩ.
පුංචි එකා ඔළුව ඉස්සුවෙ ඊට පස්සෙ..
"ලොකු කොල්ලෙක් අඬන්නෙ නෑ..මොකද ප්‍රශ්නෙ කියන්න"
" අම්මගෙන් සල්ලි ඉල්ලුවා. තිබ්බෙ නෑ ටීච...."
"හ්ම්... කීයද කොණ්ඩෙ කපන්න "
" හැත්තෑවයි.."
මම ගුරු කාමරයට ආවා. රුපියල් දෙසීයක් මිට මොළවන් ගිහින් කාටත් හොරෙන් දරුවගෙ මේසේ උඩින් තිබ්බා.