*******************************************
සමහර ජිවිත පාවෙනවා විතරයි. පැවැත්මක් නෑ. මට එහෙම හිතුණෙ හුළංතලා මල් වල කෝළම් දැකල. කාලෙකින් මුණ ගැහුණ අම්මයි අම්මගෙ ලොකුම අක්කගෙ අම්මා වයසෙම අක්කයි අවුරුදු ගාණක කතාවක් . ඒ කතාවට හවුල් වෙන්න නොදන්නකමත් කම්මැළිකමත් නිසාම මම හුළං රැල්ලට ගහගෙන යන මල් අල්ලන්න ඔට්ටු වුනා.
" ටීචත් පොඩි එකෙක් වගෙ සෙල්ලමට වැටිල.."
මම හැරිල බැලුවෙ මාව ගුරුවරියක් විදිහට නොහඳුනන පළාතක මට ටීච
කීවෙ කව්ද බලන්න . පුරුදු ඇස් දෙකක් නුපුරුදු මූණක මගෙ ඉස්සරහ තිබුණා.
" ඇදින්නෙ නෑ වගෙයි"
"ඇඳුනුවා.. ඒත් මෙච්චර වෙනසක්.. අක්කා "
අපි පුංචි කාලෙ ආශාවෙන් බලා හිටිය ශ්‍රිදේවි වගෙ ඇස් දෙක. ඩික්සිත් ගෙ කොණ්ඩේ විලාසිතාව .. වල ගැහෙන කම්මුල පෙන්වන්නම මවන හිනාව. .. පොඩිකමටත් අපි ඉරිසියා කරපු ඒ රුව රේණු අක්කා . අවුරුදු ගාණකට පස්සෙ හමුවුන තැන හඳුනාගත නොහැකි තරම් රුව දිරා ගිය හැඩ.
" වෙනසක් නෙවෙයි.. දිරල.. වයසට ගිහින් .. මම මේ පහලින් යද්දී දැක්කෙ ඇවිත් ඉන්නවා .. කෝ මහත්තයා.. දකින්න ආසයි..බැන්ද කීවට ආව එකක්යැ මෙහෙ"
" වෙලාව අඩුයි අක්කෙ.. මහත්තයා ආවේ නෑ. එයා ගමේ ගිහින් .මේත් අම්මා බැනල එක්ක ආවේ.. "
රේණු අක්කා ඉස්සර වගෙ ආඩම්බර පෙන්වන ඩ්ම්පල් එක පේන්න හිනාවුනෙ නෑ. තිබුණෙ තොල් අතර ඉරක්.
"ආවේ නැතුවට මොකද නංගි..සතුටින් කොහෙ හරි ඉන්නවා නම්.."
"අම්මා .. අම්මා .."
හොටු පෙත්ත තොලටම ආපු හෙලුවැලි පොඩි එකෙක් රේණු අක්කගෙ ඇගේ එතුණා.
"පලයං බං අහකට..."
රේණු අක්කා ගාව තිබුණ කරුණාව හොරු අරන්. මට හිතුණෙ එහෙම. මම පොඩි එකා එක්ක හිනා වුනා. උත්තර හිනාවත් මට හම්බුනා. අර ඩිම්පල් එකත් එහෙමම තිබුණා.
"මුංගෙන් වදේ නංගි.. ඇඹලයෝ වගේ ඇලිලාමයි.. "
" පොඩ්ඩද මේ"
" තව එකෙක් ඉන්නවා බාල කෙල්ලක්.. මූ මැද එකා. ලොක්කි ඉස්කෝලේ යනවා දැන් "
" අයියා එතකොට "
"ඌ වෙන ගෑණියෙක් අරගෙන අවුරුද්දකටත් වැඩියි. මම යනවා නංගි . මේ එල්ලෙන්නෙ බඩගින්න ට. මම ආවේ නංගි ඔයා ළමයින්ට පොත් දෙනව කියල ආරංචියට. ඉතිරි තියෙනවා නම් මට ලොක්කිට පොත් ටිකක් ඉල්ල ගන්න බලන්න . පින් අයිති වෙනව නංගි. හිඟා කන්න වෙලා මට. මුං ටික නැත්නම් මම මේ කරුමක්කාර ජිවිතේ නැති කරගෙන. "
" පොත් තියෙනවා අක්කෙ .. මම ගෙනත් දෙන්න ම්. මොනවත් හිතන්නෙ නැත්නම් ඇඳුම් ටිකක් තියෙනවා පාවිච්චි කරපු. ඒත් හොඳ. ගෙනත් දෙන්නද.."
මම එහෙම ඇහුවෙ අපේ මිඩ්වයිෆ් ඉනෝ නෝනා මට දීපු රෙදි තොගය මතක් වෙලා.
රේණු අක්කා හිනාවුනාද ඇඩුවද කියල මට නිච්චි නෑ. ඒත් ඒ බැල්ම මම තේරුම් කළා ඒක කොයිතරම් උදව්වක් ද කියල.
රේණු අක්කා පොඩි එකා කිහිලි ගන්නාගෙන පල්ලම් බැස්සා. මම ආපහු ගේ දිහාවට හැරුණා. එතකොටවත් අම්මලාගෙ කතාව ඉවර වෙලා නෑ.
" රේණු අක්කා හම්බුනා... පව්"
මම අම්මා ළග පුටුව ඇදල ගත්තා.
" අපෝ අපි නම් කතා කරන්නෙ නෑ..ඔය ගෑණි එච්චර හොඳ නෑ නංගි.. මොන එහෙකට කතාවට වැටුණද"
අක්කා තරවටු හඩෙන් මට කැගැහුවා.
"හේතුව"
" ගමේම බඩුව නේ.. "
ඒ හඩෙ තිබුණෙ සරදමක්.
" රේණු අක්කා ඉස්සරත් එහෙමද.. මං කීවේ මහත්තයා ඉන්න කාලෙත්"
" එහෙම නම් නෑ. නංගි .. මොනා වුනත් ඒ කාලේ ඕකී හොදට හිටියා. දරුවො ටිකට කන්න දෙන්න වෙන්න ඇති. කුලියකට යන්න කියලත් කොහොමද .. කවුරු ගාව දරුවො දාන්නද.."
" ගෑණිම වැරදි නෑ අක්කෙ. අසරණ කළෙත් පිරිමියෙක්. අසරණ කම ප්‍රයෝජනයට ගන්නෙත් පිරිමි. අන්තිමට ගෑණි බඩුව..ගෑණු අපිම තූ කියල කෙළ ගහනවා. ඒත් ඒ අම්මෙක්...අක්කෙ..දරුවන්ගෙ බඩකට නිවන "
(නම් පමණක් මනකල්පිතයි)