Tuesday, August 22, 2017

අත්හැරීම

ඉරට කළින් ඇහැරෙන මිනිස්සු උදේ පාන්දරම කුඹුරු වල වැඩ. අද වෙනදටත් වැඩියෙන් මීදුම බාල තිබුණ දවසක්. වැහි කෝඩයක් ගියාට පස්සෙ කුඩැලි මිනින්දෝරුවෝ වැඩ පටන් ගන්න හින්දා හරි සීරුවට තමයි පාරට පැන්නෙ. උපන්දා ඉඳන් කුඩැල්ලො එක්ක ඔට්ටු වුනාට මොකද තාමත් බයයි කූඩැලි හමුදාවට.

"අද සීතල වැඩි දවසක් නේද ටීච නෝනේ"

බෝංචි සීයා අව්ව  තපින්න පාරට ඇවිත්. බෝංචි සීයා ඉස්සරම ඉදන් අපේ ගේ ඉස්සරහ කුඹුරේ වගා කරනවා. හැබැයි බෝංචි විතරමයි. ඒ නිසා කිරිවන්තෙ නම වුනාට අපිට ඔහු බෝංචි සීයා වුනේ ඒ නිසයි.

"ඒකනේ සීයා.. ඊයේ දවසම වැස්සනේ.. අදත් පටන් ගනියි තව ටිකකින්. "

"වහිනකොට ඉවරයක් නෑ චුරු චුරුව.. බෝංචි ටිකට කහ රෝගෙත් ගහල."

"හ්ම්...
මොනව කරන්නද සීයේ..."

"ආං ආං අරු අදත් මොකක් හරි අලුගෙත්තේරු වැඩක් කරලද කොහේද"

මම බෝංචි සීයා පෙන්වු දෙස බැලිමි. පහළ කඩේ නැන්දා පොඩි එකෙකුගෙ කණ මිරිකමින් බැණ වදියි.

"කව්ද බෝංචි සීයේ ඒ.."

"මහතුවාගේ ලොකු  කොල්ලනේ නෝනා ඒ"

ඒ සංදේශ්ය. පුංචි දේටත් හඩා වැටෙන හැම තිස්සෙම සාරි පොටේ එතෙන පොඩි එකාය.

"ඇයි  සීයේ.. මොනව කරලද ඔය"

"මොකක් හරි වසවර්ති වැඩක් කරන්න ඇතිනේ.."

මම කඩය දෙසට යන විටත් නැන්දා සංදේශ්ගෙ කණ මිරිකාගෙන බැණ වදියි.

"ඇයි නැන්දේ..."

"ටීච ආව එක හොදයි.. පේනවා නේද මු කරන වැඩේ.. දවසක් දෙකක් නම් මොකද.. දැන් හැමදාම පටන් ගෙන.."

නැන්දා බෙරිහන් දෙයි.

"මොකද කළේ"

"හැමදාම කඩෙන් බිස්කට් එකක් ගන්නවාමනේ නෝනේ.."
මම සංදේශ් ළඟට ඇද ගෙනම පැත්තකට කර ගත්තා. කදුළු නම් වෙනදා වගේම ඉස්සරවෙලා.
" මේ කතාව ඇත්තද.."
කතාව අනුමත කරන්නට මෙන් සංදේශ් හිස වනයි.
"ඇයි පුතේ එහෙම කරේ.."

"ඉතිං ටීච .. අම්මා බිස්කට් දෙන්නෙ  මල්ලිට විතරනේ.. "

"අම්මාට කිව්වොත් අරන් දෙනවනෙ පුතේ.. හොරකම් හොඳ නෑ.."

"අම්මා මාව අතඇරල ටීච.."

12 comments:

  1. පව් පොඩි උන්, උන් දන් නෑ ගෙදර තියන ප්‍රශ්න.

    ReplyDelete
  2. ඔව්වා අපිට නිකං කතා.. උන්ට ජීවිතය..

    ReplyDelete
    Replies
    1. ඒ හිත් රිදෙන්නෙ අපිට නොදැනෙන තැන්වලදී

      Delete
  3. නොාමත් මල්ලිල නංගිල ෙදකතුනක් එද්දි රජා වගේ හිටපු පලවෙනියට ෙදයියන්ගෙම පිහිටයිි. (දැකල තියෙන විදිය ෙමාකද මද්ද නම් එකා යකා තමයි)

    ReplyDelete
  4. සමහර තැන්වල කෙල්ලයි කොල්ලයි හිටියම කෙල්ලට මාර පීඩනයක් තියෙන්නෙ

    ReplyDelete
  5. දෙමව්පියෝ තමන්ගේ දරුවන් ඔක්කොමල්ලාට එකවගේ ආදරෙයි කියන එක සම්පූර්ණ වැරදි කතාවක්. ඒක දෙමාපියන්ට අන්දවලා තියෙන 'උතුම්' ස්ටේටස් එකේ අගය වැඩි කරන්න එකතු කරපු තවත් අමුම අමු බොරුවක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මම එතැන අසරණයි. අවස්ථාව අනුව ආදරය අඩු වැඩි බව දැනෙනවා වෙන්න ඇති

      Delete