Wednesday, October 28, 2015
තරහ
වගකීමට වගවෙන්න යැයි අම්මා මට කියා දුන්නාය. පෙළ පොත් නැති ඇගේ පාඩමෙන් මං ජිවිතය හදා ගත් තැන් බොහෝය. රාජකාරි ජිවිතයට ද එය එසේය. පැවැරැන යමක අවසානය මට සුභවාදීව අවශ්‍යමය. කථික තරඟයට මාත් එක්ක කෙල්ල සූදානම් වු දා පටන්ම මම ජයග්‍රහණය පිළිබඳ හීන දැක්කෙමි.
"අපි සමස්ත ලංකා දිනල ඇවිල්ලම අඬමු කෙල්ල" පළාත් තරඟය දිනා ආ දා හා බඳාගෙන ඉකිගැසු කෙල්ලට මම කීවේමි. ඇය ඉන් සැනසුනා යැයි මම අදටත් සිතමි.
"ඔයාට මොනවද තියෙන ප්‍රශ්න.."
"මට තාත්තා ගැන හරි කේන්තියි ටීච.... එයාට මං ඉන්නවාද නැද්ද කියලාවත් ගානක් නෑ.. සපත්තු දෙක කැඩිලා.. සෙරෙප්පු දාගෙන ඉස්කොලේ එන්න ලැජ්ජයි ටීච.."
පුහුණුවීම් අතරතුර ඇය සමඟ පුංචි කතාබහක් මගෙ පුරුද්දක් විය. විටෙක ඇය ආවේගශීලි වූවාය. තනිකම , නැතිබැරිකම ඇය තරහා ගන්වා තිබුණි.
" පුතා පොතක් ගන්න.. හිතට එන හැමදේම ලියන්න... තරහ, දුක, ආදරෙ ඕන දෙයක්.. හරියට දිනපොතක් වගේ... ඒක හැබැයි ප්‍රයිවෙට් වෙන්න ඕන... පුතා කැමැතියි නම් විතරක් මං ඒක කියවන්නම්..."
පොඩි එකි හිස වැනුවාය. පසුදින උදේ පාන්දරම ඇය මා අතට පොතක් දී යන්නට ගියාය. එකෙණිහිම එය කුමක්දැයි මට නිනව් නොවුණි. දවසෙ මැද හරියෙ මම එය දිග හැරිමි. පපුවට හුස්මක් කොයි තරම් බරක්දැයි දැනුනෙ එවිටය. මම බුකියෙ ආදරණීය මිත්‍ර ලක්ෂිත නඳුන් ඇමතුවෙමි. ඔහු හැකි ඉක්මනින් සපත්තු යුගල දහයක් එවන්නට පොරොන්දු විය. ඉන්පසු මා ඇමතුවේ මනොජ් සැලී මිතුරාය. මසකට රුපියල් දහසක් පොඩි එකී ගෙ ගිණුමට බැර කරන්නට ඔහු මා සමඟ ගිවිසුනේය.එතෙර උන් කමල් සහෝදරයා දැරිය වෙනුවෙන් මුදලක් එව්වේ අවශ්‍ය පතපොත සඳහාය.මගෙ බුකියෙ එකතුව එහෙමය. දැන් ඇයට තරඟයට යන්න බාධාවක් නැත. ඇය සියල්ල බාර ගත්තෙ සතුටිනි.
"දැන් තාත්තාට බනින්න එපා පුතේ.. පුළුවන් විදිහටයි එයා කරනවා ඇත්තෙත්.. දැන් ඔයාට ඕන දේවල් තියෙනවා.."
පොඩි එකීගෙ හිනාව මට තාමත් මතකය.
"මේක ටීචට.."
" මොනවද"
" පේර ගෙඩියක්.. ටීච පේර ගහ ගාව ඉඳන් කඩන්න හැදුවට බැරි වුනානේ.. මං දැක්කා.. මං කඩන් ආව"
පේර ගෙඩියක් කොහොමත් මට පෙනෙන්නට බැරිය. එදා පටන් හැම දවසේම ඇය අත මා වෙනුවෙන් පේර ගෙඩියක් විය.
සමස්තලංකා තරඟයට සතියක් තියා පරිපාලනයෙන් මට නියෝගයක් නිකුත් විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කථික තරඟ පුහුණුවීම් වලින් මා ඉවත් විය යුතු බවත්, ඒ සඳහා ඕනෑ තරම් ගුරුවරුන් සිටින බවත්ය. මගෙ හීන කඩා වැටුනේ එදාය. පළාත් මට්ටම දක්වා ගෙන එන්නට මට හැකි වුනිනම් මේ අවස්ථාවේ මා නුසුදුස්සකු වූයේ කේසේද යන්න මම මගෙන්ම ප්‍රශ්න කළෙමි.කෙසේ හො මම නුසුදුස්සකු කර තවෙකෙක් වර්ණ පෙන්වන්නට වූවාය. මම පසෙකට වී නරඹන්නෙක් පමණක් වුනෙමි. අවසානයෙ මගෙ මහන්සිය හීනයක්ම පමණක් කර සමස්ත ලංකා හීනය බොඳ විය.
කෙල්ල ප්‍රථම තිදෙනා අතර නොවු බව ඇසූ පළමු තප්පරය මට හුස්ම ද අමතක විය. සහභාගිත්ව සහතිකය අතට දී වැඳ වැටෙන විට මට කියන්නට වචන අමතක ව තිබුණි. පැරදී උන්නෙ මමය. ඉන්පසු ගෙවුන දවස් රාජකාරි මට්ටමෙන් කාර්යබහුල වනවිට මට කෙල්ලව මඟ හැරී තිබුණි. හිතාමතා නොකළත් බොහො දිනවල කාමරය අසළට පැමිණ මා දෙස බලා සිට කතා නොකරම යන කෙල්ල මගෙ ඇස් ඇතුළෙ පමණක් හිරවී උන්නාය. මම ඇයගෙන් පලා යන බවක් මට දැනෙන්නට විය.
" පුතා බැංකු පොත ගේන්න මේ මාසේ සල්ලි දාන්න"
එහෙම බලා උන්න දවසක මම කීවෙ මාසිකව එන මුදල ගිණුමේ තැන්පත් කිරීමේ වගකීම ද මා සතු නිසාමය.
" ගේන්නම් ටීච... ඒත් පේර ගේන්න වෙන්නෙ නෑ"
" පේර නම් එපා පුතේ.... ඒත් ඇයි ගේන්න වෙන්නෙ නැත්තේ.."
" ටීච තරහ වුන දවසෙ ඉඳන් පේර ගහෙත් ගෙඩි හැදෙන්නෙ නෑ ටීච... "
Sunday, October 25, 2015
අපේ කල්ලිය
තණමල්විල ජිවිතය මා අදටත් සිහිපත් කරන්නෙ ජිවිතයේ හොඳම දවස් ලෙසය. දුෂ්කර මහ සමාජයෙන් ටිකක් හෝ ඈතක තිබුණ ,ඔවුන්ටම විශේෂීකරණය වු සමාජ රටාවට මම ද අනුගත වෙමින් උන්නෙමි . ගුරු නිවාසයේ පදිංචියට ඒමට පෙර මම ගමේ නිවෙසක නවාතැන් ගත්තෙමි. නුපුරුදුකම් සුපුරුදුකම් වන විට මම ද ඔවුන්ගේම කෙනෙක් සේ මටම දැනී තිබුණි. යුද්ධය ද ගිනි ඇවිලෙන ,අවට ගම්මාන වල යුධ බිය දැනෙන වකවානුවක මම ගමේම එකීයක් ව උන්නෙමි. බොහෝ සෙයින් මුහුණ පෑ ගැටළුව ජල ගැටළුවය.නා ගැනීමට ගම කෙළවර ගලා බසින ගඟට යා යුතුය. තනිව යා නොහැකි මේ ගමන සඳහා කල්ලි ගැසීම පුරුද්දකි. අහළ පහළ දහයක් පමණ එකතු කරමින් යන මේ ගමන බොහෝ විනෝදජනකය. ගඟට යන ප්‍රධාන පාරට වඩා මගෙ කල්ලිය කැමැතිම කැලෑව මැදින් යන පාරටය. පාසලේදී මට මහත් බියක් දක්වන දරුවන් මේ කල්ලියේදී මගෙ සගයන්ය.මේ ගමනේදී මම ගුරුවරියක් යන්න මම ද අමතක කරමි. මමත් කැලෑ කෙල්ලක්මි. ගස් යට දිවුල් අහුලන්නට පොඩි උන් එක්ක මමද ඔට්ටු වෙමි. කරඹ ගාලක් ගානේ ගෙඩි සොයන්නට
ගොස් හීරුණු තැන් දකින පොඩි උන් මට සිනාසෙන හැටි අදත් මැවී පෙනේ. කොහොමත් ගඟට යන්නෙ පැයක හමාරක කැලෑ සංචාරයකිනි. ගඟ ඊට වඩා ප්‍රියජනකය. මම ගිය මුල් වකවානුවේ ප්‍රසිද්ධ තැනක දිය රෙද්ද ඇඳ ගන්නට දැන උන්නෙ නැත. මගෙ කල්ලියේ පොඩි උන් ඒ දවස්වල මට සහය වුයේ මට මුවාවෙන්නට උන් පවුරක් සේ හිට ගනිමිනි. ජලයට බැස බාල්දියකින් නාන උන් මට හිනාවී මා ගැඹුරු දියට තල්ලු කරගෙන ගියේ මට ඔච්චම් කරමිනි.මම දියෙ ගිලෙන්නට ගිය අවස්ථාද විය. අවසානයේ පොඩි උන් මගෙ ජලයේ ගුරුවරු විය. මම ද උන්ගෙ රැහේ ජල බුං ගසන සාමාජිකයෙක් කරගන්නට ඔවුන් සමත්විය. කෑ ගැසීම් ,ජල බුං අවසානයේ නිවෙසට එන්නෙ නම් ප්‍රධාන පාරේය.ඒත් ගොම්මන සමඟය. එදා දවසේද කැලෑ පාරෙන් ගඟට පැමිණ ගඟට බහින්නට කල්ලිය සුදානම් වුවා පමණි. අලි දෙදෙනෙ ක් කැලෑ රොද වෙතින් මෑත් විය. කල්ලිය ගෙන ආ සකල දේ අතහැර ප්‍රධාන පාරෙ ගම්මානය දෙසට දුවන්නට පටන් ගත්හ. දියබත් වු රෙද්දක් හැඳ දුවන්නට බැරි වු මා මඟ ඇද වැටුණි. මම තෙරුවන් සිහිකරගෙන අවසන් මොහොතට සුදානම් වුනෙමි. අම්මා තාත්තා මතක් නොවුනා කීවෝත් බොරුය. මම මරණ බය ද වින්දෙමි. සද්දන්තයා ළඟ ළඟම එනවා වන්නට ඇත. කල්ලියද නැත.
එහෙත් එක සැණින් මහ සද්දෙන් කෑ ගැසීම් මා වටා විය. හූ කියමින් සද්දන්තයා බය කරන්නට මා අතැර ගියා යැයි සිතු කල්ලිය පැමිණ ඇත. ළඟ හේනක උන් බණ්ඩේ මාමා අලි වෙඩිල්ලක් ද ගෙන අවේලාවේ ආ සද්දන්තයා එන මඟ ඇහුරුවේ කල්ලියේ කෑ ගැසීම් හඬට ඉව අල්ලා පැමිණීමෙන්ය.
" මං හිතුවේ ඔයාලා දිව්වා කියලා"
"පිස්සුද ටීච.. අපි එහෙම යනවද ... අපේ කල්ලියේ කෙනෙක් දාලා"
Wednesday, October 21, 2015
ටීචට කියන්න දෙයක් තියෙනවා මට
රත්නපුරේට වහින වැස්ස ආදරණීයය. පොළවට එන්නට වැහි බිංඳුවලටත් තරඟයක් ඇති සේය. සීමාවාසි අවුරුද්ද නිමාවෙන්නට තව ඇත්තෙ දින කිහිපයකි. මේ තරම් ආදරේ කළ රත්නපුරය දමා යන්නට දුකය. හැමදාමත් උදේම සිරිපා බිම නෙත ගැටෙන මේ ආදරණීය රත්නපුරය මට මගේ හුස්ම තරම් ළඟය.ජිවිතයේ බොහෝ දේ මතක අතරට එක් වුනේ මේ ආදරණීය අහස යටදීය.
“මිස්”
මගෙ වැස්ස එක්ක තිබු ගණුදෙණුව උසස්පෙළ පංතියක උන් ශ්‍රීමාලීගේ පැමිණීමත් සමඟම අත්හිටුවන්නට මට සිදුවිය.
“කියන්න ශ්‍රීමාලි”
“මිස් ලොකු කල්පනාවක උන්නෙ. මං ඇවිත් හුඟක් වෙලා”
“හ්ම්.... මං වැස්ස දිහා බලන් උන්නා... මං ආසයි රත්නපුරේට වහින හැටි බලන්න”
“තව ටික දවසකින් මිස් යනවනේ... “
මටත් දුකය. එත් මේ නවාතැන එකම එක ඉසිඹුවක් පමණී. යා යුතු ගමනක සොඳුරු ගිමන්හලය.
“ක්ලාස් එකට යමු කෙල්ල... ඉන්න දවස් දෙක තුනේ හරි සිලබස් කවර් කරන්ඩ ඕනි.. නැත්නම් එග්සැම් ආවාම මට දෙහි කපයි”
මම ශ්‍රීමාලි සමඟම පන්තිකාමරයට ගොඩ වුනෙමි. තාමත් මහ වැස්සය. පන්තියෙ උන් එක දරුවෙකු හැරෙන්නට අනික් සියළු දෙනාම මට ආචාර කළහ. මම නැඟි නොසිටි දරුවා දෙස බැලුවෙමි. ඔහු උන්නෙ මා දෙසම බලාගෙනය. ඔහු පාසලට ආවේ ළඟදීය. විනය ගැටළුවක් නිසා ඔහුට මුල් පාසල අහිමි වු බව පාසලම දන්නා රහසකි.
මම පාඩමට එබුනෙමි.සංඛ්‍යා පාද ගැටළු විසදීමට පොඩි උන් ආසය. එය කම්මැළි පාඩමක්ද නොවේ. ඒත් අළුත් සිසුවා මා සමඟ නැත. ඔහු උන්නෙ වෙනම ලෝකයකය. මම ඔහු අසළට ගියේ බැරිම තැනය.
“පුතේ..... මොකක් හරි ප්‍රශ්නයක්ද .... නැත්නම් පාඩම තේරෙන් නැද්ද’
“ තේරේනවා මිස්.. අවුලක් නෑ”
“එහෙනම් මොකද මේ... කියන්න පුතා. ඔයා පාඩමේ නෑනේ”
උත්තර වෙනුවට ඔහු නැවතත් අරමුණකින් තොරව බලා ඉන්නට පටන් ගත්තේය. ලොකු හුස්ම කිහිපයක් ඔහුට උත්තර හොයන්නට උදව් දෙන හඬ මටත් ඇසේ.
“ අපි කතා කරමු පුතා... ප්‍රශ්නයක් නම් පාඩම තේරේන්නෙ නෑ”
“මං මිස්ට වඩා බාල අවුරුදු හතරයි”
“ඔව් ඉතිං”
“මං මිස්ට හරි ආදරෙයි........... ඇත්තටම ආදරෙයි”
පපුව උඩම අකුණු හතක් පුපුරා යන්නට ඇත. ගුරු භූමිකාවේ මේ වැනි අවස්ථාවක් ගැන මා දන්නෙ නැත. පංතියම සිනාසේ.
“ඔව් පුතේ ගුරුවරුන්ට ළමයි හරි ආදරෙයි”
“මං ආදරේ එහෙම නෙවෙයි”
පොඩි එකා මාව බයිට් එකට අරගෙන ඇත. කරන්නට දෙයක් නැත. සිසුන් හැටක් ඉදිරියේ මම අසරණය.
“එහෙනම් කොහොමද”
උත්තරයක් නොවිමසා බැරිම තැන මම ඇසුවෙ හීන් දාඩිය මටත් හොරෙන් බේරේන අතරේය.
“ මිස් මට පුතා කියද්දී මට හිතෙනවා මිස් මට හරි ආදරෙයි කියලා. ඒකට මං ආසයි.... මට කව්රුවත් පුතා කියලා නෑ මිස්... මගේ අම්මා උන්නා නම් එයා මට පුතා කියාවී... මිස් කියනවා වගේ ලස්සනට “
“ කෝ පුතාගේ අම්මා”
“මං ඉස්කොළේ එන්නෙ ළමා නිවාසෙක ඉඳන්නෙ මිස්”
Sunday, October 18, 2015
ටීච..... අම්මා කියන එකී මං දැකලත් නෑ
ඉර වැඩ පටන් ගෙන හුඟක් වෙලා ගිහින් වගේ තදේට අව්ව...කොළ පාටක් පේන තෙක් මානේක නෑ. දුවිලි පිරිච්ච ගුරු පාර දිගෙ හා හා පුරා කියලා වැඩ භාරගන්න විදුහලට ආවත් දැනුනේ මහ නුහුරු හැගීමක් විතරමයි. තළමල්විලටත් එහා හුඟක් දුෂ්කර ගමක පළවෙනි පත්වීම අරගෙන එනකොට දැක්කෙ පුංචි උන්ගෙ අව්වට පිච්චුණ මුහුණූ වලත් සුදු පාට හිනා.
“එහෙනම් අළුත් ටීචර් නෝනා එකොළහේ පන්තියට යන්ටකෝ අදට.... සිංහල උගන්වන ටීචර් නෑ අද”
විදුහල්පතිතුමා පළවෙනිම රාජකාරිය පවරද්දී හිතට දැනුනේ ආගන්තුක බයක්. අව්වටම සින්න වුණ අහසක් යට මම හරි අසරණයි වගේ දැණුනා. අව්ව අස්සෙන් දුවිලි පොරවගත්ත හුළඟත් එක්කම එකොළහේ පන්තියට ගොඩ වුනෙ පොඩි චකිතයකින්.
“ අළුත් ටීච කෙනෙක්”පොඩි උන් මුණු මුණු ගානවා මට ඇහුණා. අයිති නැති විෂයක් වුනත් සිංහල විෂයට මං ආදරේ හින්දම සාහිත්‍ය පොත පෙරලගෙන පුංචි රසාස්වාදයක් පොඩි උන් එක්ක කරන්න හදන වෙලාවේ පන්තියේ අන්තිම පේළියේ කොනේම හිටපු දරුවා තමන්ගෙ සටහන් පොත හෙමින් සැරෙ පිටුවෙන් පිටුව ඉරා දමනවා මං දැක්කේ අහම්බෙන්.
මං බලන් ඉන්නවා දරුවා දැක්කා. එත් මාව සතේකට ගණන් නොගෙන දරුවා එයාගෙ කාර්යය දිගටම කරගෙන ගියා.
“ පුතේ .... නම මොකක්ද?”
මං ඇහුවේ දරුවගෙ අවධානය ගන්න හිතාගෙන...
“චාමර .......” ඉරා ගත්ත පිටු වලින් රොකට් හදන ගමන්ම දරුවා මට උත්තර දුන්නා.
“ අම්මලා දුක් විදලා හොයන සල්ලි වලින් පොත් අරන් දෙන්නෙ අපට ඉගෙන ගන්න මිසක් ඉරන්න නෙවෙයි නේද පුතේ... අම්මලා පව්... පොත නාස්ති කරන්න එපා.” මං කිව්වේ බැරිම තැන .
පොඩි එකා සමච්චලේට මට හිනා වුනා.
“ටීච..... අම්මා කියන එකී මං දැකලත් නෑ... තාත්තා කියන එකා එකී දන්නෙත් නැතුවත් ඇති”
මගෙ හුස්ම හිරවුණා වගේ දැනුණා. පපුව හරහා එකපාර අකුණු සීයක් වැදුණා වගේ වචනයක් වත් පිට කරගන්න බැරිව අසරණ වුන මං පන්තියෙන් එළියට බැස්සෙ කාලපරිච්ඡේදය අවසන් වන සීනුවට පිං සිද්ධ වෙන්න....
“ටීචර්....”
මං ආපහු හැරුණා. අර දරුවා මගේ පස්සෙන්...
“ටීච තරහද”
“ඒ ඇයි පුතේ”
“මගේ අම්මා මං පොඩි කාලේම රට ගිහින්... පිංතූරයක් වත් නෑ.... මගේ තාත්තා කව්ද කියලා කව්රුවත් දන්නේ නෑ ටීච”
මං ඒ දරුවගෙ ඔළුව අතගාලා හිනාවෙලා ඉක්මනට ගුරු කාමරේට ආවේ මට ඒ දරුවට කියන්න එකම වචනයක් වත් මං ඉගෙනගෙන තිබුණෙ නැති නිසා.
Saturday, October 17, 2015
උණුසුමේ සීතල
මීදුමට තරහ වුන පිණි කැට පිපෙන්නෙ තරඟයට . ඉරත් එක්ක දේදුන්නත් යාළුම නෑ. කඳුකරයේ ගිම්හානය ගෙවෙන්නෙ එහෙමයි. ආදරයක් විරහිත ආදරයක් එක්ක.පාන්දරට කන් පැලෙන සිතලත් දවාලට පුපුරු ගහන අව්වත් ගිම්හානයට හරි ලෙංගතුයි.
“ඔයාගේ කොල්ලො ටික නම් හදන්ඩ ම බෑ. තරහ වෙන්න එපා නංගි මං මෙහෙම කිව්වට... උන්ට විනයක් කියලා දෙයක් ඇත්තෙම නෑ”
උදේ පාන්දරම විනය භාර ගුරුවරියගෙන් පැමිණිල්ලක්. උසස්පෙළ කොල්ලො කොහොමත් හිතුවක්කාරයි නේන්නම්. එයාලට කතාකරන්න ඕන වෙනම කලාවකට. හිතට එහෙම කියන්න ආවත් මට වඩා ජ්‍යෙෂ්ඨ වුන ඇය ඉදිරියේ මං මුණිවත රැක්කා...
“පොඩ්ඩක් කියලා හදාගන්ඩ... අපිට අනිත් ළමයි ටිකවත් හදාගන්ඩ ඕන”
“මං කතා කරන්නම් මිස්. සොරි මිස් ..මං බලන්නම්කො”
කරපු දේ හරියටම දන්නෙ නැති වුනත් කරපු ඕනම වරදක් මං පිළිගත්තා. පිරිමි දරුවො ඒකා දෙන්නා පංති කාමරයෙන් හොරෙන් හොරෙන් එබෙනවා මං බලාගෙන. දැන් ඔවුන් සුදානම් වන්නෙ මගෙ ගුටි පූජාව බාරගන්න කියලා මං දන්නවා
“ළමයි කියන්නෙ ළමයි. එයාලා අනුකරණය කරන්නෙ තමන්ගෙ පන්ති භාර ටීචව ... ඔයා ළමයි එක්ක ඕනවට වැඩියි නංගි.. ඒකයි එයාලා ඔය තරම් මුරණ්ඩු... ඔයාගේ රැඩිකල් ද මොඩිකල්ද සිස්ටම් එක ඉස්කෝලෙට හරි යන්නෙ නෑ”
ළමයින්ට බැන බැන ආවට අන්තිමට දෝෂාරෝපණෙ මට... හොඳම දේ නිහඬකම. මගෙ හිත මට හොරෙන් හොරෙන් උපදෙස් දෙනවා.
“මං පන්තියට යන්නම් මිස්.. මට කියන්න මොකක්ද ළමයි කළේ. මං කතා කරන්නම් එයාලට”
විනය බාර ගුරුවරිය ඔරවනවා මං දැක්කත් හෙමින් සැරෙ මං අහක බලා ගත්තෙ දුර පේන පිදුරුතලාගල කන්දට හිනාවෙන ගමන්ම.
“ අර නුවන් උදේ ඉඳන්ම රතු පාට ජැකට් එකක් දාගෙන.. ඉස්කෝලෙට කොහොමත්ම ගැලපෙන්නෙ නෑ.. මං කිව්වට කනනට වත් ගත්තෙ නෑ”
මම මගේ ගමන නතර කරලා උසස්පෙළ පන්තිය දිහාට හැරුණා. විනය සම්බන්ධව නුවන් අතින් එහෙම වෙන එක අනුමත කරන්න මගේ හිත ලෑස්ති වුනේම නෑ. පේර කෝටුවක් යන ගමන්ම කඩා ගත්තෙ නුවන් කියන්නෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුන හින්දම විතරක් නෙවෙයි. ඒ මං ආදරේ කරපු දරුවෙක් හින්දා
“නුවන්” මගෙ වචන අස්සෙ කෙන්තිය හුඟක් තිබුනා.ඒක මට වඩා මගේ පපුවට දැණුනා.
“ගුරුවරයෙක් මොනවාහරි කිව්වම ඒක ඇහෙන් නෑ වගේ ඉන්නද මං කියලා තියෙන්නෙ. බලනවා උදේ පාන්දර මං බැනුම් අහන්න ඕනි.. ගලවනවා ඔය කම්බාය දැන්වත්”
නුවන් මං කියන දේ අහන් උන්නා මිසක් මං කියපු දේ කළේ නෑ. ඒ වෙනුවට ගල් පෑදුන සිමෙන්තියෙ අනනත්ය ඇස් දෙකෙ ලකුණු කරන්න නුවන් පොරකනවා.
“කියන දේ අහන්න බැරිද? “පේර කෝටුව පිට හරහා යද්දීත් වෙනදා පන්තිය පුරා දුවන දඩබ්බරයා ඔළුව පාත්කරගෙනම උන්නා.
“මගේ කේන්තිය අවුස්සන්න හදන්න එපා පුතා...ගලවනවා ඕක... ප්‍රින්සිපල් දැක්කනම් මගෙ ඔළුව කයි... ඇයි දරුවො ඔය තරම් හිතුවක්කාර.. අනික අද සීතල දවසක්ද ... ගිනිගහන අව්වෙ ජර්සි දාන්නෙ මොන මෝඩයෝද“
නුවන් මොකුත් නොකියාම ජර්සිය උඩට ගත්තා. . කමිසයක් බැනියමක් නැතුව නිරුවත් වු දහඩියට පෙගුණ පිට විතරක්ම නෙවෙයි පේර කෝටුවට වයිරම් ඇන්ද රතු පාට ඉරි දෙකකුත් පිට හරහා තිබුණා.
“උදේ කමීසේ මදින කොට පිච්චුනා ටීච... වෙන එකක් මට නෑ” අකුණු ලක්ෂ ගාණක් මගෙ පපුව උඩ පත්තු වෙනවා වගෙ මට දැණුනා
Friday, October 16, 2015
තීන්දුව
උසාවිය සාක්ෂි කූඩුව මට ආගන්තුකය. ජිවිතේ කිසිදිනෙක අඩිය නොතිබු අධිකරණ භූමියට දැරියකගෙ ආත්ම ගරුත්වය උදෙසා සාක්ෂියක් ලෙසින් පැමිණෙන්නට මට සිදුවුයේ දෛවයෙ සරදමට වන්නට ඇත. බුලත් හුරුල්ලක් දී දෙපා වැඳ ගුරු ජිවිතය අරඹන්නට ආශිර්වාද ගත් විදුහල්පතිවරයාටම විරුද්ධව සාක්ෂි දෙන්නට මට සිදුව ඇත.
“මට බයයි ටීච” පොඩි එකී මගෙ අත් දෙකම කොනිත්තයි. ඇයට වඩා මම බයය.මගෙ පපුව ගැහෙන වේගය මට ගණින්නටත් අමාරුය.
“ටීච මට ලොකු සර් කරන්න බැරි දේවල් කියනවා” තනියම ගුරු විවේකාගාරය තුළ මා රැඳි උන් අතීතයේ දිනෙක කදුළු පිරී ඇස් දෙකෙන් ලොකු කතාවක් කියු පොඩි කෙල්ල තාමත් මට මතකය.
“ මොනවාද පුතේ”
“ඒවා මට කියන්න බෑ... මාව බේරගන්න ටීච” පුංචි එකී වෙනුවෙන් මට කළ හැකි එකම දෙය වුයේ විනය භාර ගුරුවරිය වෙත ඇය යොමු කිරීම පමණය.
“ඔයා ඕවාට මැදිහත් වෙන්න එපා” මා සමඟම උන් ගුරුවරියක් කීවේ අනාගත වාක්‍යයක් වන්නට ඇත. එහෙත් සියල්ල කණපිට පෙරළමින් නීතී මාර්ගයට කව්රු හෝ පෙත්සමක් යවා තිබුණෙ අවසානයෙ පැමිණිලිකරු ලෙස මගෙ නම ඇතුළත් කරමිනි. මුළු විදුහලම විදුහල්පතිවරයා වෙනුවෙන් පෙනී සිටිද්දී පොඩි එකී සහ මම සාධාරණයක් වෙනුවෙන් තනි වී ඇත
“ඔයා සාක්ෂි දෙන්න යනවා එහෙනම්” ලැබුණු සිතාසිය දෙස බලා මගෙ හිතවතිය විමසුවේ තර්ජනාත්මකය.
“ඔව් අක්කෙ... මං යනවා... මං ගැහැණියක් වෙලා ඉපදුණ නිසා යනවා”
ඒ අවසන් තීරණය අනුව පොඩි එකී සහ මම උසාවි බංකුවේ තනි වී ඇත.
“නඩු අංක .............. බාල වයස්කාර දැරියකට ලිංගික ක්‍රියාකාරකම් වලට බල කිරීම............”
තොල්ක තැන පොඩි එකී සාක්ෂි කූඩුවට කැඳවනු ඇසේ.
“බයද .... “
“නෑ ටීච... මං යන්නම්” කෙල්ල උසාවි කූඩුවට නැඟි පසුවත් ආපසු හැරී මා දෙස බලනවා මට පෙනුණි. ඇස් දෙකෙන් වාරුවක් උදුරා ගත් ඇය නීතිඥයා හැරුණි. බොහෝ ප්‍රශ්න අබිමුව ඇය අසරණ වන සැටිත් මම බලා උන්නෙ වේදනාවෙනි.
“ පැමිණිල්ල සාමදාන වෙන්න කැමැතිද” ප්‍රශ්න කිරීම අවසානය තීරණාත්මක විය.
“ ඔව් මං කැමැතියි” පොඩි එකී හොඳ සිහියෙන් සිටී දැයි මට සැකය. ඇය ඉබි ගමනින් මා උන් තැනට ආවාය.
“මොකක්ද ඒ කළේ මෝඩි.. “
“ටීච ගැන බයයි ටීච.. ටීච ට මොනවාහරි කළොත් කියලා මට හිතුණා. සමාවෙන්න ටීච... එත් මං වෙනුවෙන් කතා කරලා ටිච ට කරදරයක් වෙනවා බලන් ඉන්න බෑ.. අපි දෙන්නා විතරනේ ටීච..”
දිනලා වරෙන්
මේ සටහන September 28ය. එය කතාවක් කරන්නට තරම් මා ශක්තිමත් නැත. ඒ කෙල්ල හැඩය. දගය. අල්ලපු දෙයකට හපන්ය.කටකාරය. ඇගේ අම්මා ජිවතුන් අතර නැත. අම්මා මිය යන්න පෙර දවසේ විදුහලේ මාපිය වන්දනාවකට ඇය ලෙඩ අම්මා කැටුව ආවාය. මම උන්නෙ ඇය අසලය. "කව්රු හරි දරුවෙක් තමන්ගේ අදහස් දක්වනවා නම් මම කැමැතියි" ස්වාමීන් වහන්සේ පැවසු විට කිසිම දරුවෙකු නැගිට සිටියේ නැත. මා අසල වුන් දුලිනි ව මම තල්ලු කලෙමි.
"යනවා මොනවා හරි කියනවා"
ඇය අසරණව මා දෙස බැලු හැටි තවමත් මතකය.
" අනේ ටීච මං කොහොමද කතා කරන්නෙ"
මම කිසිත් නොකියා රැව්වෙමි. කාටත් හොරෙන් මගෙ අත ඇය වෙත උල් වෙන හැටි දුටුවේ දුලිනි පමණය. ගුටියට බේරෙන්න හෝ ඇය නැගිට්ටාය. වේදිකාව උඩ ඇයගෙ කකුල් වේව්ලන හැටි මම පහළ සිට බලන් වුනෙමි.වචනයක් පාසා ඇය මගෙන් ධෛර්ය ඉල්ලුවාය.කතා කලේ ඇව
ය නොව මගේ ඇස්ය. පහුවෙනිදා ඇයගෙ අම්මා මිය ගියාය. මළගමින් පසු ඇය පාසල් ආවේ මාසෙකටත් පසුවය. ඇය පළමුව ආවේ මා වෙතය.
"ටීච ට පින් අම්මා ඉස්සරහ අන්තිම පාරට මට කතා කරන්න ඉගැන්නුවාට"
මම කිසිත් කීවේ නැත.හිස අත ගෑවා පමණය. ඉන් පසු හමුවෙන හැම විටකම මට ලැබෙන මයික්‍රෆෝනය ඇය වෙත පත් කරන්නට මම වග බලා ගතිමි.
"අනේ ටීච තැන්ක් යු හැමෝම කිව්වා මං ලස්සනට එනව්නිස් කරනවා කියලා... මට ඒ සතුට ටීචයි දුන්නෙ. මං ආසයි ටීච වගේම ලස්සනට කතා කරන්න"
ඇය මගේ පාරේ ආවාය. මම ඇයට මං සළකුණු දුන්නෙමි. මට අවශ්‍ය වුනේ ඇය මා පසුකර යනවා දැකීමය.
ඒත් කොහේදෝ නැති ආදරයක ඇය බැඳුනාය.
" මම ඔයාට නෑ"
මම එසේ කීවේ මගේ කේන්තියටය. මම ඇය අත් හැරියෙමි. ඇයට හිනාවක් වත් නොදෙන්න මම තීරණය කළෙමි. ඇය මා පසුපස ආවාය. වැඳ වැටුනාය. සමාව ඉල්ලුවාය.එහෙත් ඇය ආදරයක අන්ධ ව උන් බව මම ඇයටම පසක් වන තුරු මම නිහඬ වුනෙමි.
"මං ඒක නැවැත්තුවා දැන්වත් සමාවෙන්න ටීච"
"කොහොමද ඔප්පු කරන්නෙ"
"ටීච කියන ඕනම දෙයකින්"
මම කල්පනා කළෙමි.එ වන විටත් සිංහල භාෂා කොට්ඨාශ තරඟ දින එවා තිබුණි.
" තරඟෙ දිනලා පෙන්නන්න. එතකොට ඉස්සර වගේම මම ඉන්නම්. එච්චරයි."
ඉන් එහා යමක් නොවීය.ඇය පසුපස දිව් ඇස් ඇයගෙ මහන්සියට සාක්ෂි සොයා දුන්නේය.අවසානයේ
"දැන් යාළුයිද ටීච"
මම සිනාසුනෙමි. ඉන්පසු කලාප පළාත් තරඟ වල ඇයගෙ හයිය ලෙස මම වුන්නෙමි.
පළාත් තරඟය දිනා සමස්ත ලංකා තේරුණ දා ඇය මා බදා මහ හයියෙන් ඇඬුවාය. අම්මා නැති ඇයගෙ අම්මා ලෙස සිතා ඇය මා වැළඳ ගත්තාය. සමස්ත ලංකා තරඟයකට පාසල නියෝජනය කල පළමු දරුවා ඇය වූවාය.එතැන් පටන් සමස්ත ලංකා හීනය පසුපස ඇය සමඟ මම ද දිව්වෙමි. එහෙත් අද සමස්ත ලංකා තරඟයට ඇත්තෙ දින හතරකි.
පාසලේ අවසාන බෙල් එක නාද වෙන විට පොඩි එකී මං සොයාගෙන ආවාය.
"ටීච මං පරදිනවා'
" ඇයි මොකටද"
" ටීච නැතුව මොන තරඟද"
ඇගේ ඇස්වල කඳුළුය.
" ටීච නැත්නම් මොන කථීක තරගද .. මං පිස්සුයි නැටුවේ. කව්රුවත් මට කියලා දුන්නෙ නෑ..
මම සිනාසුනෙමි
මං උඹත් එක්ක තරඟෙට යන්න එන්න වෙන් නෑ පුතා.ඒත් මං උඹ දිනලා එනකං බලන් ඉන්නවා
අනේ මන්දා ටීචත් හරි මෝඩයි
ඉරට ආදරේ කරන තණමල්විල අහස යට වී ගෙවෙන දවස් ගණන හරියටම මතක නැත. සීතල හිරිගඩු පිපෙන බණ්ඩාරවෙල අහසට වඩා මේ අහස දඩබ්බරය. හෙවණක් පෙනෙන මානයේ නැත. කොළ පාට වෙනුවට ගහකොළද කහ පා හා දුඹුරු පාටට හුරු වර්ණයකට හැරී ඇත. වැහි වළාකුළක් පෙනෙන අහසක් මා ආවාට පසුවම දැක්කෙද නැත. පොඩි උන් පිට්ටනියට පැන සෙල්ලමේය. උන්ට අව්වෙ වගෙ වගක් නැත. අව්වටම පිච්ච්ණු දුඹුරු පාට මුහුණ දහඩියෙ පෙඟෙමින් සිනාසෙයි. අල්ලන සෙල්ලමේ ටයිම් කණුව මමය. මහන්සි වු තැන දුවවිත් ටයිම් කියා මගෙ සාරි පොට අල්වාගෙන එකෙකු ගිමන් හරී. එවිට ඒ දරුවා අල්ලා ගැනීමට තහනම්ය.
දඩබ්බරයෙක් හරි මහන්සියො කියමින් මගෙ සාරි පොටේ කොනක් අල්ලාගෙන බිම ඉඳගත්තේය.
“ අපිට බැරිද පිට්ටනිය වටේ හෙවණක් හදන්න” අව් කාෂ්ටකේට සාරි පොට දෙන ගමන් මං දරුවන්ගෙන් ඇසුවෙමි.
“ මොනවත් පැල වෙන්නෙ නෑ ටීචර්... අව්ව සැරයිනේ”
ගුරුවරයා මම වුවද පරිසරය ට ආගන්තුක මට පොඩි උන් ගුරුවරු ය..
“ ට්‍රයි කරමුද?”
“ ආය මොනවද ටීච දෙකක් නෑ කරමු... ටීච නේ කියන්නෙ..” මගෙ පන්තියේ උන් දඩබ්බරයා කිවේ ඇඟට පතට නොදැනීය
“ එහෙනම් කොහොඔ පැල ටිකක් පැකට් කරන්න... පිට්ටනිය වටේම දාමු... වතුර තමයි දාන්ඩ මහන්සි වෙන්ඩ වෙන්නෙ”
“ අයියෝ ටීච .... ඕකත් ගේමක්ද ... මම පැල කරලා නිවාඩු කාලෙත් වතුර දාන්නම්කෝ ඇවිත්”
මම සිනාසුනෙමි. පන්තියේ වැඩ වලට ඔහු දුර්වලය. එහෙත් අධිෂ්ඨානය ඔහු ළඟය.
“ ලොකු වුනාම පුතා කව්රු වෙන්නද හිතන් ඉන්නෙ”
“මල් වවනවා ටීච”
මම පුදුම වුනෙමි. මේ තණකොළ වත් ඉතිරි නොවන ගිනි කාෂ්ඨකේ මල් වැවීම සක්කරයාටවත් කළ හැක්කක් නොවේ.
“ මෙහෙ මල් වවන්ඩ බෑනේ පුතා”
“මල් වවන්ඩ මෙහෙ නැත්නම් වෙන තැනක් ලංකාවේ වෙන නෑ ටීච ... අනේ මන්දා ටීචත් හරි මෝඩයි” පොඩි එකා මට ඔලොක්කුවට හිනා විය
“ තළමල්විල මල් පිපුනත් සුවඳ සිදාදියට...... “පොඩි එකා මුමුණන හඬ අදත් මට ඇසේ
නිනි සෙනවිරත්න
Tuesday, October 13, 2015
.අපි හරි දුප්පත් ටීච
සතියක්ම නිවාඩු උන්න නිසා වැඩ හුඟක් ගොඩ ගැහිලා...පුංචි පුංචි හැල හැප්පීම් ජිවිතේ නැතුවාම නෙවෙයිනෙ. එත් පොඩි උන් එක්ක ජිවිතේ හරි සැහැල්ලුයි.එක අකුරක් වත් අතපසු වෙයි කියන බයත් එක්ක හැල්මේ දුවන ගමන් මං එක දරුවෙක්ගෙ සටහන් පොත ගත්තේ දීපු වැඩක් කරලද බලන්න. පොත මගෙ අතට දුන්නත් මගෙ මුණ දිහා බලන්නෙ නැතුව ඉන්න පොඩි එකී හරි පරෙස්සම් වුනා.
"කෝ පුතේ වැඩේ කරලා නෑනේ" මට දැනුණ දේ ඇත්තටම වෙලා තිබුණා. කරගෙන එන්න දීපු අභ්‍යාස වෙනුවට තිබුණෙ හිස් පිටු ටිකක් විතරයි. මට ඇත්තමට කේන්තියි.ඊටත් වඩා දුකයි. වෙන දෙයකට නෙවෙයි. මේ පොත අයිති වුනේ පන්තියෙ දක්ෂතම දරුවට. මං කෝටුව ගත්තෙ දඩුවමක් දෙන්න ඕනි නිසාමයි.
"අල්ලනවා අත"
මං කෝටුව ගන්නකොටත් පොඩි එකී වැරැද්ද බාරගෙන අත දික් කරලත් ඉවරයි.
එත් "දරුවෝ සත්තු නෙවී" කාලෙකට කලින් දීපු දඬුවමක් ගැන කියද්දී මගෙ හිතවතෙක් මට දොස් පවරපු හැටි පපුවේ කොණක ඉඳන් මහ හයියෙන් කෑ ගැහැහුවා.
මම කෝටුව පහතට දැම්මා. දරුවා මගේ ළඟට ගත්තා. ඉණ වටේ අත දාලා මගෙ පපුවට තුරුල් කර ගනිද්දිත් පුංචි එකී ගැහෙනවා.
"කියන්න ඇයි කරන්න බැරි වුනේ.... ම්...."
දරුවගේ ඇස්වල කඳුළු.
"අපේ අම්මට සනීප නෑ ටීචර්.... ගෙදර උයන්නෙ මම"
මම හිනා වුනා .
"එක කොච්චර හොඳද පුතේ... මට වත් රසට උයන්ඩ බෑ... ඔයා හරි ෂෝක් නේ... ඉතිං උයලා ඉවරවෙලා රෑ වෙලා කරන්ඩ තිබ්බනේ" මට ඕනි වුනෙ කෙල්ලගෙ හිත කියවන්න. මටත් හංගන කතාවක් මහ හයියෙන් ගන්න හුස්ම අස්සෙ තියෙනවා කියලා මට දැනුනා.
“පුතා”
පුංචි එකී ඇස් දෙක බිමටම හරවාගෙන උන්නා. ඇස් දෙකෙ කඳුළු නතර වෙලා තිබ්බෙ නෑ.
“අපි මහන්සි වුනොත් නේද විභාගෙ හොඳට පාස් වෙන්න පුළුවන්. කම්මැලි වුනොත් අපි පරාදයි නේද”
කිසිම උත්තරයක් මට දෙන්න පොඩි එකී සුදානම් නෑ. කතාකරන කඳුළු එක්ක විනාඩි කිහිපයක් ගෙවෙන්න ඇති.
"............"
"කමක් නැ මට ගහන්න ටීච"
මං දිහාට කඳුළු පිහදාන ගමන්ම කෙල්ල අත දික්කළා. වැරැද්දක් වුනත් කෝටුවට බර දෙන්න මගෙ අත ඉස්සුනෙ නෑ. කොහේ හරි මට වැරදුන වග විතරක් හිතට දැනෙන්න ගත්තා. මං කෝටුව පන්තියෙන් එළියට විසිකරලා එළිමහනට ආවේ හිත ටිකක් හිස් කරගන්න හිතාගෙන. පුංචි එකීගෙ අඩි සද්දෙ මගෙ පස්සෙන් එනවා ඇහුණත් මං හැරිලා බැලුවෙ නෑ.
" තාත්තා වැඩ ඉවර වෙලා එද්දී රෑ වුනා ටීචර්..... තාත්තට දවස් 2කින් පඩි දීලා නෑ... ගෙදර ලාම්පු තෙල් ඉවර වෙලා...අපිට කරන්ට් එක නෑ... පාඩම් කරන්න ආසයි.. එත්.. අපි හරි දුප්පත් ටීච" කාටවත් ඇහෙන්නෙ නැති හුස්මටත් හොරෙන් කෙල්ල කියනවා මං අහගෙන.
පසු සටහන:
මේ දරුවාට විදුලිය ලබා දීමට ගවීන්ද සිල්වා ආදරණීය ෆේස් බුක් හිතවතා අනුග්‍රහය ලබා දුනි.
ඇයගේ නිවසට විදුලිය ලබා දීමට අපට හැකි විය
Saturday, October 10, 2015
රණ්ඩුව
හා හා පුරා කියලා ඉස්කොලේ ඉස්සෙල්ලාම දවස. හරියටම මාසයක් නිවාඩුවට වහලා දාපු ඉස්කොලේට ම අද රජමඟුල් වගේ. පොඩි උන් එක්කම ගහ කොළ පවා ඔට්ටු සෙල්ලම් කරන්න පටන් අරන්. හැමදේම අළුත්.ඉස්කොලෙ විතරක් නෙවෙයි අහසත් හරි අළුත්.. සාරි පොට ඉව කරමින් අළුත් සුවඳයි කියන පුංචි උන් රොත්ත එක්ක මං ටිකක් වෙලා අතරමං වෙලා උන්නා.පොඩි උන්ට මාසයක් පුරා කියවන්න දාහක් දේවල් එකතු වෙලා තියෙනවා වගේ.හැමෝම ඕපදූප මළු පුරවන්න පටන් අරන් .ඒ අතරේ දේවදාර ගහ ළඟ හැංගුන ආදරවන්තයො ගැන හොයන්න ඇස් දිව්වට මගේ පාඩුවේ ඇහැළ මල් වැට දිහා බලන් ඉන්න කියලා මගේ හිත මට කිව්වා. ඒත් ඇස් ඇහැලමල් දෙවැට දිගේ යවලා මං නතර වෙලා උන්නෙ පාසල් ප්‍රේම ජවනිකා වල දෙබස් අහන්න.
" ටීචට මේ පොත බලන්න කිව්වා" ශිෂ්‍ය නායිකාවක් මගෙ අතට දුන්නෙ ගුරු නිවේදන පොත. දැන් ඉතිං යන්න වෙනවා.දම්මි සුගත් ආදර කතා වල හොර ගල් අහලපු මට එක වසරට යන්න කියලා එවපු නිවේදන පොතට මම හිතින් සාප කරමින් ප්‍රාථමිකය පැත්තට ගියා.
"අ ... නේ ටීච ර්... මෙයා මට බනිනවා" පන්තියෙ දොරකඩටම පැමිණිල්ල ඇවිත්.
" හරි අපි බලමුකෝ.."
පුංචි එකා ඒ උත්තරය පිළිගන්න සූදානම් නෑ.
"මෙයාට ගහන්න ටීච"
"හරි ඉතිං මං නඩුව අහන්නම්කෝ... එන්න "
" බෑ බෑ නඩු එපා.. ටීච මෙයාට ගහන්න"
"ඉතිං ටීච මෙයත් මට පැන්සලෙන් ඇන්නනේ"
රණ්ඩු කරපු අනෙත් දරැවා පැන්සල් තුඩු පහරකින් තුවාල වුන මහපටැඟිල්ල මට පෙන්නුවා. පුංචි තුවාලයක් තමයි. ඒත් කදුළු පේළි දෙකතුනක් ගලපු සළකුණු පොඩි එකාගේ මුහුණ පුරා තිබුණා.
"කව්ද ඉස්සෙල්ලාම රණ්ඩු කළේ "
" මෙයා ටීච"
"නෑ මෙයා "
අන්තිමට මුළු පන්තියම එකම කාලගෝට්ටියක් වෙලා.පොළොව දෙදරන්න දෙපැත්තටම සාක්ෂි කියන්න පටන් අරන්.
ප්‍රාථමිකයේ ගුරැවරැ ඇත්තටම විඳින්නෙ බරපතල වැඩ සහිත සිරදඬුවම් නේද කියලා මට හිතුණේ මේ රණ්ඩුවට විසඳුමක් හොයන්න මාත් එක්කම පොර බදන ගමන්.
" හරි පුතේ මේක මට බේරන්න බෑ.. මං මේක පොලිස් මාමා කෙනෙක්ට කියන්නම්. ඔයාලා පොලිසි මාමාට කියන්න වැරදි කව්ද කියලා"
ගණදෙවි නුවන මට පහළ වුනෙ පාසල් ගේට්ටුව පහු කරන පොළිස් නිළධාරියෙක් දැක්කට පස්සෙ. පන්තියම මීයට පිම්ඹා වගේ නිශ්ශබ්ද වුනත් පැන්සල් පහර කෑ දරැවා අඬන්න පටන් ගත්තා.
"දැන් අඬන්න එපා නඳුන්. අපි විමක්ෂ ව යවමු පොලිසි. එතකොට එයා අපහු කාටවත් ගහන එකක් නෑනේ.එන්න අපි තුවාලේ සෝදලා බෙහෙත් දාමු"
"අනේ ටීච මට රිදෙන්නෙ නෑ. විමක්ෂ පොලිස් මාමට දෙන්න එපා. එයා තමයි මගෙ හොඳම යාළුවා. එයා හොඳයි.එයා නැතිව පාළුයි "
Friday, October 9, 2015
මගේ පොතේ වැරදි දැම්මේ කව්ද?
හිතුවක්කාර සුළඟ එහාට මෙහාට නලියයි. අකීකරැ සාරි පොට මට කලින් ගමනේ යයි. ඉර එළියට ඔට්ටු වෙන ගහ කොළ කහ පැහැති වී ඇති හැටි දුක්මුසුය. ඇහිපිල්ලමක් ගහන තප්පරෙට ශරීරයේ වෙහෙස උඩු දුවයි. ඓතිහාසික සංඛපාල වෙහෙර පිහිටි ගල් කඳු මුඳුන ඈතින් පෙනෙන මානයෙ ඉසව්වක පුංචි පාසලක දෙකෙ පන්තියේ ගුරැ පුටුවට ඇන තියාගෙන පොඩි උන්ගෙ ක්‍රියාකාරකම් දෙස බලා උන්නෙමි. පරඩැල් වු ජිවිත වලට පණ දෙන්නට පොඩි එකෙක් ගෙ එක හිනාවක් ඇතිය. අව්වටම කළු ගැසුණු මුහුණු වලද බලාපොරොත්තුවේ සේයාවන් ඇත.
බරටම වැඩ කරන පොඩි උන් අතර එක් දැරියක් අනිකා සමඟ පොර අල්ලයි. මා පංතිය තුළ සිටින වගක් වත් ඇයට අදාළ නැත. කලහකාරි හැසිරිම අනෙක් දරැවා වෙත ඉසිලිය නොහැකි බව දැනුන හෙයින් මම ඇයව මගේ ළඟට ගෙන්වා ගතිමි.
"දුව ඔයා ටීචගේ මේසෙ උඩ පොත තියාගෙන ලියන්කෝ "
ඇය කිසිත් කීවේ නැත. ඒ වෙනුවට පුංචිකමට නොවු රැවිල්ලක් මා වෙත තිලිණ කර ඕනෑවට එපාවට වාක්‍ය ලියන්ට පටන් ගත්තාය. හිතුවක්කාරකමෙත්
" හරි දඟයි නේද ඔයා"
" මොකටද අහන්නෙ" දුන් පිළිතුරෙන් මගෙ කට වහන්නට ඇය සමත් වුවාය. මම මටම සිනාසුනෙමි. පොඩි දරැවෙකුට මම බිය වූ බව මට දැනෙන්නට විය.
" කෝ ඔයා ලියලා ඉවර නම් දෙන්න බලන්න" සන්සුන් වන්නට තතනමින් මම දැරියට අත පෑවෙමි.අපරක්ෂාකාරි ලෙස භාවිත කළ සලකුණු සහිත පොත ඇය මා වෙත පෑවාය..
ඇයගෙ නොසන්සුන්කම පොත තුළද විය. ලියු වාක්‍ය වල වැරදි තැන් බොහෝය.
මම වැරදි තැන් සළකුණු කළෙමි. ඒ සැණින් ඇය මගෙන් පොත උදුරා ගත්තාය.
"ඒයි..... කව්ද කිව්වෙ මගෙ පොතේ වැරදි දාන්න"
පසු සටහන
ගුරැ සිතක මතක අතර ලියැවෙන මේ කතා සත්‍ය සිදුවීම්ය.මේ කතාවට අදාළ දැරිය පැවසු වචනය ප්‍රසිද්ධ මාධ්‍යයක භාවිතා කළ නොහැකි තරම් අශෝබනය. අශිෂ්ඨය. පසුව ඇගෙ පන්ති භාර ගුරැවරයාගෙන් දැනගත් පරිදි ඇයගෙ පියා කසිප්පු ව්‍යාපාරිකයෙක් වන අතර නිවසේ කතා කරන භාෂාවන් හා හැසීරීම් රටා මේ දියණියගේ පෞරැෂත්වය කෙරෙහි දැඩි බලපෑමක් සිදු කර ඇත. දෙමාපියනි, විමසිලිමත් වන්න. දරැවන්ගෙ ප්‍රධාන ආදර්ශනය ඔබය
Subscribe to:
Posts (Atom)