මේ සටහන September 28ය. එය කතාවක් කරන්නට තරම් මා ශක්තිමත් නැත. ඒ කෙල්ල හැඩය. දගය. අල්ලපු දෙයකට හපන්ය.කටකාරය. ඇගේ අම්මා ජිවතුන් අතර නැත. අම්මා මිය යන්න පෙර දවසේ විදුහලේ මාපිය වන්දනාවකට ඇය ලෙඩ අම්මා කැටුව ආවාය. මම උන්නෙ ඇය අසලය. "කව්රු හරි දරුවෙක් තමන්ගේ අදහස් දක්වනවා නම් මම කැමැතියි" ස්වාමීන් වහන්සේ පැවසු විට කිසිම දරුවෙකු නැගිට සිටියේ නැත. මා අසල වුන් දුලිනි ව මම තල්ලු කලෙමි.
"යනවා මොනවා හරි කියනවා"
ඇය අසරණව මා දෙස බැලු හැටි තවමත් මතකය.
" අනේ ටීච මං කොහොමද කතා කරන්නෙ"
මම කිසිත් නොකියා රැව්වෙමි. කාටත් හොරෙන් මගෙ අත ඇය වෙත උල් වෙන හැටි දුටුවේ දුලිනි පමණය. ගුටියට බේරෙන්න හෝ ඇය නැගිට්ටාය. වේදිකාව උඩ ඇයගෙ කකුල් වේව්ලන හැටි මම පහළ සිට බලන් වුනෙමි.වචනයක් පාසා ඇය මගෙන් ධෛර්ය ඉල්ලුවාය.කතා කලේ ඇව
ය නොව මගේ ඇස්ය. පහුවෙනිදා ඇයගෙ අම්මා මිය ගියාය. මළගමින් පසු ඇය පාසල් ආවේ මාසෙකටත් පසුවය. ඇය පළමුව ආවේ මා වෙතය.
"ටීච ට පින් අම්මා ඉස්සරහ අන්තිම පාරට මට කතා කරන්න ඉගැන්නුවාට"
මම කිසිත් කීවේ නැත.හිස අත ගෑවා පමණය. ඉන් පසු හමුවෙන හැම විටකම මට ලැබෙන මයික්‍රෆෝනය ඇය වෙත පත් කරන්නට මම වග බලා ගතිමි.
"අනේ ටීච තැන්ක් යු හැමෝම කිව්වා මං ලස්සනට එනව්නිස් කරනවා කියලා... මට ඒ සතුට ටීචයි දුන්නෙ. මං ආසයි ටීච වගේම ලස්සනට කතා කරන්න"
ඇය මගේ පාරේ ආවාය. මම ඇයට මං සළකුණු දුන්නෙමි. මට අවශ්‍ය වුනේ ඇය මා පසුකර යනවා දැකීමය.
ඒත් කොහේදෝ නැති ආදරයක ඇය බැඳුනාය.
" මම ඔයාට නෑ"
මම එසේ කීවේ මගේ කේන්තියටය. මම ඇය අත් හැරියෙමි. ඇයට හිනාවක් වත් නොදෙන්න මම තීරණය කළෙමි. ඇය මා පසුපස ආවාය. වැඳ වැටුනාය. සමාව ඉල්ලුවාය.එහෙත් ඇය ආදරයක අන්ධ ව උන් බව මම ඇයටම පසක් වන තුරු මම නිහඬ වුනෙමි.
"මං ඒක නැවැත්තුවා දැන්වත් සමාවෙන්න ටීච"
"කොහොමද ඔප්පු කරන්නෙ"
"ටීච කියන ඕනම දෙයකින්"
මම කල්පනා කළෙමි.එ වන විටත් සිංහල භාෂා කොට්ඨාශ තරඟ දින එවා තිබුණි.
" තරඟෙ දිනලා පෙන්නන්න. එතකොට ඉස්සර වගේම මම ඉන්නම්. එච්චරයි."
ඉන් එහා යමක් නොවීය.ඇය පසුපස දිව් ඇස් ඇයගෙ මහන්සියට සාක්ෂි සොයා දුන්නේය.අවසානයේ
"දැන් යාළුයිද ටීච"
මම සිනාසුනෙමි. ඉන්පසු කලාප පළාත් තරඟ වල ඇයගෙ හයිය ලෙස මම වුන්නෙමි.
පළාත් තරඟය දිනා සමස්ත ලංකා තේරුණ දා ඇය මා බදා මහ හයියෙන් ඇඬුවාය. අම්මා නැති ඇයගෙ අම්මා ලෙස සිතා ඇය මා වැළඳ ගත්තාය. සමස්ත ලංකා තරඟයකට පාසල නියෝජනය කල පළමු දරුවා ඇය වූවාය.එතැන් පටන් සමස්ත ලංකා හීනය පසුපස ඇය සමඟ මම ද දිව්වෙමි. එහෙත් අද සමස්ත ලංකා තරඟයට ඇත්තෙ දින හතරකි.
පාසලේ අවසාන බෙල් එක නාද වෙන විට පොඩි එකී මං සොයාගෙන ආවාය.
"ටීච මං පරදිනවා'
" ඇයි මොකටද"
" ටීච නැතුව මොන තරඟද"
ඇගේ ඇස්වල කඳුළුය.
" ටීච නැත්නම් මොන කථීක තරගද .. මං පිස්සුයි නැටුවේ. කව්රුවත් මට කියලා දුන්නෙ නෑ..
මම සිනාසුනෙමි
මං උඹත් එක්ක තරඟෙට යන්න එන්න වෙන් නෑ පුතා.ඒත් මං උඹ දිනලා එනකං බලන් ඉන්නවා
අනිවාර්යයෙන් දිනාවි..
ReplyDeleteස්තුතියි
ReplyDeleteඅනිවාර්යෙන් දිනන්නම ඕනි........
ReplyDeleteස්තුතියි
Deleteඒත් දරුවා පැරදුනා
ඒත් පලාවනි වතාවටයි දරුවෙක් සමස්ත ලංකා යන්නෙ
ඒ දියනියට ඊලඟ වතාවෙදි දිනන්න සුබ පතනවා. තවත් මේ වගේ ලමුන් තේරුම්ගන්න, ලමයින්ට ලංවෙන්න, උසස් දරු පරපුරක් හදන්න ටීච ට හැකි වේවා.
ReplyDeleteස්තුතියි
Deleteහොද ටීච කෙනෙක්. වගේම හොද දරුවෙකුත්. කෙටි උනත් ලස්සනට ලියනව . අපේ මාතලන්ගෙ ඔත්තුවකට ඇවිත් බැලුවෙ.
ReplyDeleteස්තුතියි සහෘදයන් දෙදෙනාටම
Deleteස්තුතියි සහෘදයන් දෙදෙනාටම
Deleteසටහන් බොහොමයක් කියවලා මේකටම ප්‍රතිචාරයක් දක්වන්නේ ඇයි කියා නොදනිමි
ReplyDeleteඔබ ඇයට දිනන්නට මෙන්ම පැරදෙන හැමවිටම ආයේ නැගිටින්නත් උගන්නලා
සටහන් සියල්ල රසවිඳිමි
කව්රුහරි ළූණු කපනවා අප්පා මේ හරියේ.. දරුවන් යහමග ගන්නට යෝද සවිබල ලැබේවා..
ReplyDelete