Sunday, February 21, 2016

ටීච ඇත්තටම මට වඳිනවද


***************-************-
හවසට මොර සූරන වැස්සත් එක්ක අපේ ජිවිතත් තෙමෙන්න පටන් අරන්. පහුවෙනිදා ඉස්කොලෙ එනකොට කූඩැල්ලො එක්ක මාරාන්තික සටන් කරන්නත් සිද්ධ වෙලා. මීදුමත් එක්ක වැටෙන පින්න උදේ පාන්දරට හෙම්බිරිස්සාවෙන් අපිව මුසපත් කරන්නෙ හරි ආදරෙන්. ඉස්කොලෙ ගේට්ටුව ළඟ පුංචි එවුන් ට නම් රජ මඟුල්. කඩදාසි බෝට්ටු හදාගෙන පිරුණු වතුර වලවල් වල ඔට්ටු වෙන්න කාගෙන්වත් තහනමක් නෑ.
" ගුඩ් මෝනිං ටීච"
ආදරණීය හිනාවත් එක්ක මහණ වෙන්න පන්සලට ගිය පුංචි පුතා ආපහු ඉස්කොලෙ ඇවිත්.
" අනේ ඔයා... ගුඩ් මෝනිං පුතේ.." පුංචි එකා වෙනදා පුරුද්දට ම සාරි පොට අරන් මගෙ පසු ගමන් එනවා.
" හාමුදුරුවෝ එන්න දුන්නද ඉස්කොලේ"
" ඔව් මහණ කරන්න නැකැත් තියෙන්නෙ පස්සෙ ලු තව.. එතකං මට ඉස්කොලේ එන්න කිව්වා"
මං හිනා වුනා. තාම අවුරුදු හත ගෙවුනෙ නැති පොඩි එකා මට මතක් කළෙ රාහුල හාමුදුරුවන් ව.
"කව්රු ගාවද නිදා ගත්තෙ"
" හාමුදුරුවෝ ගාව මෙට්ටයක් දාලා දුන්නා. තව ෂෝයි පුළුන්ම පුළුන් ෂීට් එකකුත් දුන්නා.. මට පොඩ්ඩක්වත් සීතල නෑ"
" මගෙ පුතාට නින්ද ගියාද"
ආච්චි අම්මාගෙ උණුහුමේ ගුලි වුන පුංචි එක‍ා තනියම නිදාගන්න හුරු නැතිව ඇති.. මට හිතුණා.
" ඔව් ටීච.... උදේ පිරිත් දානකොට තමයි මට ඇහැරෙන්නෙ... එතකොට තමයි මට ඉන්නෙ කොහෙද කියලා මතක් වෙන්නෙ"
ඇත්තටම දරුවා ඒ ජිවිතේ ට හුරු වෙලා හිතාගන්න වත් බැරි ඉක්මනින් . මගෙ හිත පොඩ්ඩක් නිවිලා ගියා. මේ දරුවා වෙනුවෙන් යමක් මට කළ හැකි තැනක නොසිටීම ගැන වේදනාවෙන්.
"පුතා කලාද... මං අත්සන් කරලා එන්නම්.
මගේ කෑම එක දෙන්නම කමු"
පුංචි එකා මගේ බෑග් එක අතට ගත්තා. මං අත්සන් කරලා එනකම්ම කාර්යාලය දොරකඩට වෙලා පුරුදු හිනාවෙන්ම ඔහු මං වෙනුවෙන් පෙරමඟ .
" අද උදේ දානේ ගේනවේ නෑ.. මං එනකංම... "
මං මගෙ බත් එක පොඩි එකාගෙ අතට දීලා මගෙ කාමරේ පැත්තට ගියා.
ඒත් පොඩි එකා මගෙ පස්සෙන් ආයේමත් ඇවිත්.
" ඇයි පුතේ... ඔයාට පන්සලෙ ඉන්න බෑ වගේද"
මට එහෙමත් හිතුණා. වෙනදට නම් කාර්යාලය ගාවින් මගෙන් වෙන්වෙන දරුවා අද තාමත් මගෙ පස්සෙන් එන්නෙ පන්සලෙ ඉන්න බෑ කියන්නද කියලා සැකයක් පපුව පුරා උඩු දිව්වා.
"මං පන්සලේ හිටියෙ නැත්නම් ආච්චි අම්මට කිරිපිටි පැකට් ගිහින් දෙන්නෙ කව්ද..නැත්නම් පුංචි කිරි හදල දෙන්නෙ මල්ලිට විතරයිනේ.. ආච්චි අම්මයි මායි අයියයි හැමදාම බලන් හිටියා විතරයි. හාමුදුරුවෝ කිව්වා ආච්චි අම්මට බෙහෙත් ගේන්ඩ යන්නත් සල්ලි දෙනවා කියලා"

පුංචි එකාගෙ පැහිච්ච කම් කෝටියයි. මම හිනාවෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බැරිව අතරමං වුනා. පොඩි එකා සතුටෙන්. ඒ ඇති හොඳටම මට.
" මං ඉතිං ටීච පස්සෙන් බෑග්  එක අරන් එන්නෙ ටික දවසයිනෙ තව... එකයි දුක.."
" ඔව් ඉතිං ඊට පස්සෙ මං පොඩි හාමුදුරුවෝ න්ට වඳිනවා."
" ඇත්තටම ටීච මට වඳිනවද"
"ඇත්තටම ඔව්"
"ෂොයි ෂොයි"
බත් එකත් උඩ දදා පුංචි එකා දේවදාර ගස් වැට ටත් එහා දුවනවා මං බලාගෙන

Friday, February 12, 2016

මීටර් සීය හතර

"ටීච අද සෙන්ට්‍රල් මීට් එක බලන්න යනවද"

" නෑ පුතේ... මට උණ"

" අනේ ටීච යන්කෝ"

"ඉතිං චම්පා ටීච යනවානේ.. "

" එහෙම නෙවෙයි ටීච... ටීච ගියා කියන්නෙ අපි දිනුවා තමයි"

" ඇයි මම ද දුවන්නෙ"

" නෑ ..ඒක ටීචට තේරෙන්නෙ නෑ.. ටීච යන හැම දවසකම අපි දිනනවා..අනේ යන්කො ටීච.. "

"දිනනවද..."

"ඔව් එක.. වෙනවා... අපි එක වුනොත් ටීච අපට හෝ ගාන පොකුණ බලන්න එක්ක යන්න ත් ඕන හැබැයි.."

" බදුල්ලෙ .."

කොහොම හරි වදෙන් පොරෙන් මාවත් ඇදගෙන ගියා. උණ එකසිය ගානට. ඒත් අමාරුයි කියන්නත් බෑ.
ආරාධිත පාසල් තරඟ වලට යකඩ කටෙන් කෑ ගහද්දි අපි පිට්ටනියට ආව විතරයි. මොකද පරිපාලනය කැමැත්ත දුන්නෙ නෑ ටිකක් කළින් යනවට..එත් අපි නිත්‍යානුකූල වම පාසල ඇරිලා ගියේ දිනන්න නෙවෙයි සහභාගි වෙන්න.
හිටියේ දඩාර් සයිස් ටීම්. විසි එකෙන් පහළ දහනවයෙන් පහළ. අනික බණ්ඩාරවෙල සුපිරි ම පාසල්..

" මුං එක්ක අපි උන්ට මොන දිවිලිද අක්කා... අපිට තර්ඩ් ප්ලේස් වත් ෂුවර් නෑ"
මං චම්පා අක්කට හෙමිහිට කිව්වෙ කෙල්ලො ටිකට නෑහෙන්න.

" උඹලා දිනලා වරෙල්ලා.. ප්ලේස් එක කීය වුනත් මම ෆිල්ම් එක බලන්න එක්ක යනවා.."
අපේ පඟර නැටි කෙල්ලො කණ්ඩායම් කරද්දි ත් හිටිය පුංචිම කණ්ඩායම පිට්ටනියේ එහා කෙළවරට යනකම් බලන් හිටියෙ පපුව පැලෙයි කියලා මම බයෙන්.
චම්පා ටීච, අමරා ටීච මම හිටියෙ දෙගඩියාවෙන්.
තරගය පටන් ගත්තා. පලවෙනි යෂ්ටි හුවමාරුව වෙනකං අපේ කෙල්ල අන්තිම. ඒත් දෙවැනි තුන්වෙනි යෂ්ටි හුවමාරු වලදි හිතා ගන්න බැරි තරම් පරතරයක් තියාගෙන අපේ කඟවේනියෝ ටික ඉස්සර වෙද්දි පළවෙනි තැනට එද්දි ඇස්වල කඳුළු පිරිලා ගියා.
චම්පා අක්කා අඬනවා. චම්පා කියන්නෙ 98 බැච් එකෙ ධාවන සුපිරි තරුව. උදේ ඉදන හවස්වෙනකං අව්වට පින්නට ඉන්නෙ නැතුව  අපේ දුප්පත් ඉස්කොලේ  ළමයි ටික සමස්ත ලංකා තරඟ වලට අරන් ගියේ චම්පා අක්කා. පේෂල් කරපු මුණ පිච්චෙයි කියලා, දාපු මේකප් එක දියවෙයි කියලා දරුවන් ට ගුරු වෘත්තීය විතරක් දෙන ගුරුවරු අතර මම දැකපු ආදරණීය ගුරුවරියක් චම්පා.
මොනවා වුනත් ඈත පිටිසර ගමක අපේ කෙල්ලො අපි ඉාගන ගත්ත ඉස්කොලේ පිට්ටනියේ වර්ණ පාද්දි ඇඬෙන් නැති ඇස් මොකටද

Thursday, February 11, 2016

අපෙන් පොතක්

පුංචියට මම මේ වැඩේ පටන් ගත්තෙ ගෙදර තිබ්බ පොත් අල්මාරියේ දූවිලි පිහදාන ගමන්. මට හිතුණා. මම ඒ වෙලාවෙම බුකියට දැම්මා. ආදීශිෂ්‍ය සංගමය මේ ව්‍යාපෘතියට පූර්ණ අනුමැතිය දුන්නා. මගේ මහන්සියිය අපේ මහන්සිය කරන්න හැමෝම මට අත දුන්නා. චන්ද්‍රා අයියා, දුනුසිංහ අයියා, මධුර අයියා, මධුරංග අයියා, භාරත අයියා, තිලිණ  මල්ලි, තිලිණ අයියා, චුලා අක්කි , මිහිරි අක්කි තරිඳු මල්ලි කාන්ති අක්කා මුදිත අයියා මේ වගේ හුඟක් අය ...
ඒ අතර චන්දන අයියා කොළඹ ඉදන් කතා කරලා කාසල් රෝහල ළඟ තියෙන එයාගේ ආයතනය කොළඹ පොත් එකතු කරන්න දෙන්නම් කිවා. ඒ වගේම බණ්ඩාරවෙල නගරයේ විෂන් කෙයා ආයතනයේ ඉඩත් අපිට පොත් එකතු කරන්න දුන්නා. ලොකු පොත් ප්‍රමාණයක් තියෙනවා නම් එයා ගිහින්ම ගේන්නත් සුදානම්.
ඒ වගේම අද #art gallery එකේ නියමුවා සජිත් අයියා ගෘප් ඇඩ්මින්ලා එක්ක කතා කරලා අපේ පෝස්ට් එක ෂෙයා කළා. ඒකෙන් කතා කරපු නාලි මහත්මිය අපිට පොත් අඩුම තරමේ පනහක් දෙන්න කැමැත්ත පල කළා.
ගිනි අව්වෙ ඉස්කොලේ ඇරිලා තැන් තැන් වල තියෙන පොත් එකතු කරගෙන හෙම්බත් වෙලා ගෙදර එනකොට පොත් ගෙනියන්න මඟට එන තාත්තයි මහන්සියියට හති අරින මට පවන් ගහන අම්මත් මේ වැඩේට එයාලගෙ සහය දෙනවා.
ඇත්තටම මම බණ්ඩාරවෙල සෙන්ට්‍රල් එකට යන්නෙ 95 .ශිෂ්‍යත්වය ඌව පළාතේ වැඩිම ලකුණු එක්ක. ගේට්ටුවෙන් ඇතුළට යද්දි මෙච්චර ලොකු බිල්ඩින් ඇයි තාත්තෙ ඉස්කොලේකට කියලා මම ඇහුවේ මං ඉගෙන ගත්ත පෙරහෙට්ටිය ඉස්කොලේ තිබ්බෙ එකම එක ගොඩනැගිල්ලක් නිසා.
මට හොදටම මතකයි මම මුදිත අයියව දැක්කා. අම්මෝ මෙච්චර මහත ළමයි. ඇත්තටම මම බය වුනා. මාව බාර දීපු තාත්තා අර තමයි පරිගණක කියන්නෙ කියලා වීදුරු දොරකින් එහා තිබ්බ පරිගණක ටිකක් පෙන්නුවා. ඒ තමයි මං පරිගණකයක් දැක්ක පළවෙනි දවස. මධුර අයියා අමරදේව අයියා දකිද්දි ත් අපි බයයි. මන්දා ඒ බය තාම තියෙනවා. කොච්චියි , ගම්මිරිසුයි එනවා. දුවපියෝ.. අපි හයේදි බය වුනේ එහෙම ඒ දෙන්නට.
මම ඉස්කොලේ වැඩිපුරම ආස කළේ පුස්තකාලයට . ඒත් මගේ පන්තියේ ළමයෙක් මාත් එක්ක තරහට මම පුස්තකාලයෙන් ගත්ත පොතේ කුරුටු ගෑව. මම එදා හරියට ඇඬුවා. මට දඬුවම් ලැබුණා. පුස්තකාල සමාජීකත්වය මට නැති වුනා. එදා මම හිතා ගත්තා දවසක මම මේ පුස්තකාලයට පොත් ගොඩක් හොයලා දෙනවා කියලා. දැන්  අවුරුදු විස්සක් පැනපු ඒ සිද්ධියට ණය ගෙවන්න මේ වැඩේ කොහොම හරි සාර්ථක කර ගන්නවා.
මේක දැකලා සමහරු පේන්නෙ නෑ වගේ යනවා. සමහරැ කතා කරලා උදව් කරනවා.
මොනවා වුනත් මාර්තුවේ දවසක මේ පොත් සේරම අපේ පුස්තකාලයට දෙනවා. කට්ට කාලා ඉගෙන ගන්න මං වගේ දුප්පත් උන් ට පොත් දෙන්න එකතු වුනෙ ආදී ශිෂ්‍යයෝ විතරක්ම නෙවේ . මගේ බුකියේ හිතවත්තු , මං වැඩ කරන පාසලේ හිතවතුන් මේකට සහය දුන්නා.
තව ඉස්සරහටත් කාලය ඉතිරියි.
එකතු වෙන්න අපට

Wednesday, February 10, 2016

රැස්වීම

තාම හීතල බණ්ඩාරවෙල ට. පාන්දර නොවුනත් ඉර සැරට පැයුවත් හීතල පුපුරු ගහනවා.  හෙමින් ගමන  බැරි කකුල නොන්ඩි තිය තියා එල්ලෙ තරඟ ඉවර වෙලා පඩිපෙළ නඟින්න උදව් වෙන්න පුංචි උන් දෙන්නෙක් මගේ ළඟින් ළඟ එනවා.

" ටීචත් කරගන්නෙ හරි වැඩනේ.. "

"ප්‍රශ්නයක් නැ.. ඔයාලා ඉන්නවා නේ මට උදව්වට..."

"අපි ඉතිං ටීචට ගෙදර  ගියාම නෑනේ..."

මම  හිනාවුනා . ඇත්තටම ගෙදර ගියාම ඉස්කොලේ ගෙවුන කාලය ගැන ලෝබයි. පොඩි උන් එක්ක ජිවිතේ ලේසියි..
වේදනාව හරි අඩුයි. වැරදිමකට හරි ගුරු ජිවිතේට ආවේ පිනකට වෙන්න ඇති.

" පුතාලා යන්න.. අද අම්මලා තාත්තා ලා ඉස්කොලේ එනවනේ...මං යනවා අත්සන් කරන තැනට"

පාසල් සංවර්ධන සමිතියේ වැඩ ආරම්භ වෙන්න ළඟ හින්දා දෙමව්පියෝ පෝලිමට අත්සන් කරන්න එනවා. භාරකාරයෙක් එනකං ළමයින්ට පිටවීම තහනම්. සමහරු ගේට්ටුව දිහා බලාගෙන ඇස් එක්ක ඔට්ටු වෙන්නෙ ගෙදරින් එනකං.
ඒ අතර දහයෙ පන්තියේ දරුවෙක් බෝගන්විලා ගහ යට බංකුවේ ඉඳගෙන බිම සපත්තු නැති කකුලෙන් පහුරු ගහනවා. අම්මලා තාත්තලා රැස්වීමට වාඩි වෙනවා. ඒත් අර කොලු ගැටයා බිම පහුරු ගහනවා විතරයි.
දරුවන් කිහිප දෙනෙක් තාමත් විදුහල් භූමියේ එහා මෙහා නොඉවසිල්ලෙන් දුවන්නෙ තාමත් කවුරුත් ආවේ නැති නිසා කියලා මං දන්නවා.ඒත් විද්‍යාලයේ නිතීය ට අනුව මට එයාලට යන්න කියන්න අයිතියක් නෑ.

" ලතා අක්කෙ ඔය ළමයින්ගෙ අම්මලා ආවම අත්සන් අරන් ෆයිල් ටික ඔෆිස් එකෙන් තියන්න.. හිටගෙන ඉන්න බෑ කකුල රිදෙනවා.
"
මම එහෙම කියලා කාර්යාලයට ඇවිත් වාඩි වුනා. උණුසුම් වාද විවාද කතා බහ එක්ක රැස්වීමට අළුත් පණක් ලැබිලා. විද්‍යාලයේ එහා මෙහා දුවපු පොඩි උන් දැන් නෑ. හැමෝගෙම කව්රු හරි එන්න ඇති. ලතා අක්කත් ෆයිල් ටික අරගෙන කාර්යාලයට ආවා.

" හැමෙ‍ා්ම ගියාද අක්කෙ"

" එක ළමයෙක් තාම ඉන්නවා මිස්'

"කව්ද.. කෝ.."

" බෝගන්විලා ගහ යට ඉන්නවා "

මම ආයේම බෝගන්විලා ගහයට.. පොඩි එකා තාම බිම පහුරු ගහනවා..

" ළහිරු..... මොකද.. ඇයි ගෙදර කවුරුත් නැද්ද අද රැස්වීමට එන්න.."

" නෑ ටීච..."

" ඒ මොකද.. ඇයි අම්මා තාත්තා.."

"තාත්තා කොළඹ අත් උදව් වැඩට ගියා.."

" හරි පුතේ අම්මට එන්න කියන්න තිබ්බනේ"

" එයත් නෑ ටීච"

" වැඩට ගිහින්ද"

"නෑ පැනලා ගිහින්.. ඉන්න තැනක් දන්නෑ.. මං මෙතැන කොච්චර බලන් හිටියත් එන්න කවුරුත් නෑ.."

"යන්න පුතා...මම අත්සන් කරන්නම් ඔයාට"

කොල්ලා මල් වත්තක හිනා පුරවගෙන බෑග් එක කරෙන් දාගේන ගේට්ටුව දිහාට දුවනවා මං බලාගෙන. ඒත් පහුරු ගහපු පස් නම් මහ හුඟක් ඉතිරි වෙලා තිබුණා.