Thursday, March 30, 2017

සුවඳ

ගුරුවරියකගේ මතක 42
*************************
සුවඳ
*******-

ඒ කම්මැළිකාරී විභාග දවස්මය. හෝදා පාළුවට යන ජිවිතේ දවස්ය. ඒ දරුවන්ගෙ කෙළි කවට සිනහ අඩු නිසාමය. වෙනදාට කිච් බිචි අඩු නැති ඉස්කෝලේ විභාගය දා ට හැල හොල්මනක් නැති නිසොල්මන් ව තියෙන අපූරුව.
පුංචි සද්දයක්. ප්ලේන් එකක් යනව වගේ මම හැරිල බැලුවා. ඔව්.. ඒ මගේ පුංචි කරදරකාරයා.. මොනා කළත් දඟ වැඩ අත් හරින්න බැරි කරදරකාරයා. මං දැක්ක කියල දැක්ක විතරයි උපාසකයා. ප්ලේන් එකක් වුන කවකටු පෙට්ටිය මේසේ මැදක නතර වුනා.
මම ආයේමත් මගේ වැඩේට ඇස් ගත්තා. විනාඩියක් ගෙවෙන්න පෙර ආයේමත් ඒ සද්දේ. ඒ පාර කඩදාසි රොකට්ටුවකුත් ඇවිත්. ඒ වෙලාවෙත් මම දකින කොටම හොර උපාසක කම. හැබැයි කකුල් දෙක නම් වැඩ.  මම ඒ පාර ත් මගේ පාඩුවේ. තුන්වෙනි පාර නම් මම පොඩි එකාගෙ මේසේ ළඟට ගිහිල්ලමයි නතර වුනේ. කවකටු පෙට්ටියයි රොකට් එකයි මගේ අත්අඩංගුවට අරගෙන මගෙ තැනට ආවා. මුළු කවකටු පෙට්ටිය පුරාම එක එක දේවල් අලවලා. කාන්දම් කෑලි තියල. දැක්කම හිනාත් යනවා තමයි. ඒත් මං ඔරවන්ම හිටියා. පෙට්ටියෙ අනිත් පැත්තෙ තිබ්බෙ ස්ටිකර් එකක්. ඒකේ තිබුණේ අපූරු වාක්‍යයක්.

"සුළඟත් සැපයි නුඹෙ උණුසුම ගෙන හමන
ඇවිදින් යන්න එක පාරක් සිප නළල"

හීන් දාඩියක් දානවා මට දැණුනා. මම ආයේම දරුවා ළඟට ගියා.

"කව්රු ගැනද මේ"

පොඩි කමටද සිතුවිලි. තාම හයේ. මං හිතුවා විතරයි.

"ටීච මේ... මේ.."

" ඔව්.. "

"ඔය අම්මා ගැන ටීච..මං අම්ම ඉන්න තැන දන්නෙ නෑ.. එයා කොහේද ගියානේ අපි දාලා.. ඒ නිසා අම්මට කියන්නෙ ටීච.. ආසයි අම්මා එනවට"

Saturday, March 25, 2017

ගුරුවරියකගේ මතක 40


මට ඕන රස්සාවක් කරන්න ටීච
*********************************

පළවෙනි වාර විභාගේ පටන් ගෙන තිබුණා. නිත්‍ය නිරීක්ෂක විදිහට ශාලාව⁣ට එබුනේ කම්මැළිකමෙන්ම තමයි. වෙනදාට කෑ ගහන පොඩි උන් මීයට පිම්බා වගේ නිශ්ශබ්දයි. හැමෝම අළුත් පංතියේ පළවෙනි විභාගේ . පුංචි පංති වල නම් තරඟය  පළවෙනියා දෙවැනියා වෙන්න. එයාලා ලියන්නෙත් ෆයිල් එකෙන් මුණත් වහගෙන. ලොකු පන්ති වල දරුවො නම් සාමුහිකව ලියන්න ලොකු උත්සහයක.
මම ගුරු පුටු ව ඇඳගෙන වාඩි වුණා. ඒක හරියට හුස්ම ගණන් කරන්න පුළුවන් තරම් කාලයක්.
"නංගි නම් ටික ලකුණු කරමුද"
නාම ලේඛණ ඔක්කොම ළඟට ම ගෙනත් දිීපු සහෝදර ගුරුවරිය හිනා වෙලා ගියා.
මම නාම ලේඛන එකින් එක පියවමින් දරුවන් ඉන්නවාද බලමින් කම්මැළිකමට දර දිය ඇද්දා. ඔව් ඒ කාලය ටිකක් දිගයි. ඒත් එක පාරම ඇස් දෙක නතර වුනේ බිංදුව සති දෙකක් පුරාම වැටුණ නමක් ළඟ..
මේ දරුවා සති දෙකක්ම ඉස්කෝලේ ඇවිත් නෑ.මම මුළු ශාලාව පුරාම ඒ මූණ හෙව්වා. අදවත් විභාගෙටවත් ඇවිත්ද..
ශාලාවේ එහා කොණක පෑන කටේ ගහගෙන අනන්තයට හුස්ම යවන පොඩි එකී ඉන්නවා මං දැක්කෙ ඒ වෙලාවේ..
මම හෙමින් සැරේ ඒ පැත්තට ඇවිද ගෙන ගියා. ළඟට ගිහින් පේපර් එකට එබුණේ ලියල ඉවරද බලන්න.
එකම එක අකුරක්වත් ඒ කොළවල තිබ්බේ නෑ..
"පුතේ"

පොඩි එකී ගැස්සුණා. එතකොටයි මම දැක්කෙ වේලිලා ගිය කඳුළු පාර වල් කම්මුල දිගේ.

" ලියන්න.. පස්සෙ මාව මුණ ගැහෙන්න..."

මම එහෙම කියල ඔළුව අත ගාගෙනම එතැනින් අයින් වුනා.
මොකක් හරි ලොකු ගැටළුවක කෙල්ල ඉන්නවා කියන හැඟීම පපුව පුරවා දැනෙන්න පටන් ගත්තා.
විනාඩිය පැය ගෙවිල පේපර් එකේ අවසානේ දරුවෝ ටික මිටින් හළ කුරුල්ලන් වගේ විසිරෙන්න පටන් ගත්තා. එකම කාලගෝට්ටිය. පැය දෙක තුනක නිහැඬියාවේ වාඩුව ගන්න වගේ.
ඒත් මගේ කතා නායිකාව අවට ලෝකයේ කිසිම දෙයකට උත්තර නොදී නිහඬ කම රකිමින් එයාගේ තැන උන්නා.
"පුතා....."
"ටීච...."
"වටින් ගොඩ්න් අහන්නෙ නෑ ... ඔයා ඉන්න ප්‍රශ්නෙ මට කියන්න... යාළුවෙක් කියල හිතල..
'
"ප්‍රශ්නයක් නෑ ටීච"
මම පොඩි එකී ගේ අත අල්ලා ගත්තා. ඒ අත් වල තිබ්බේ ලොකු හීතලක්. ඒ එක්කම කෙල්ල අඬන්න පටන් ගත්තා.

"ඔයා අඬවන්න නෙවේ.. මට ඕනෙ ඔයාට උදව් කරන්න පුතේ"

"මට රස්සාවක් හොයල දෙන්න ටීච"

"ම්..ම්"

"මට විභාගේ ලියන්න ඕන.. ඒත් අම්මා ලෙඩින්. දැන් දළු කඩන්න යන්න බෑ... තාත්තා ට ඇවිදින්නම බෑ ටීච දැන්... මට ඉස්කෝලෙ එන්න හිතෙන්නෙ නෑ ටීච.. කෑම එකවත් මට දෙන්න එයාලට දැන් බෑ..  පංති යන්න කොහොමත් බෑ.. මට රස්සාවක් කරන්න ඕන ටීච... සමහරවිට අපි ඔක්කොම ඉන්න අළුත් අවුරුද්ද මේකද දන්නෑ ටීච.. මට හරි දුකයි.. රස්සාවක් තිබ්බ නම් අම්මටයි තාත්තටයි මම අවුරුද්දක් දෙනවා නේද ටීච"

හුස්ම හිර වෙන පපුව එක්ක මම පොඩි එකී ගාවින් නැගිට්ටා.. එ් මගෙ කඳුළු හංගගන්න