Wednesday, June 21, 2017

43 වන මතක ඇරඹුම *******************

අත ඔසවන්න තහනම්
****---*---**------***

වෙනදට ඇසළ පෝය ගෙවා දාන කම් තියෙන්නෙ හූ කියන මහ හුළඟ. මේ අවුරුද්ද එක පාරම වෙනස් වෙලා. මොනා හරි හේතුවකට සාරි පොට හුළගෙ යවන ඒ හුළඟට මං ආසයි.  

"පී පී පීප්"

ගාල ගෝට්ටිය කඩා ලිහා ගෙන දරුවන් තියෙන එකම කම්පියුටර් එක තමන්ගේ කරගන්න එන මැරතන් එක.
පොඩ්ඩක් එහාට මෙහාට වුනොත් මාවත් පෙරළාගෙන යන තරමටම බලවත් වුන ආසාව.

බනින්න ගහන්න නෙවේ. මෙතැන සාධාරණෙ හොයන්න ත් නෙවෙි. කාමරේ කම්පියුටර් හතරක් තිබුණ ට වැඩ කරන්නේම එකයි නම් ඒක ලැබෙන්නෙත් සතියකට එක පීරියඩ් එකයි නම් මමත් මේ ගොඩේ  ම හිටියානම් මමත් එහෙමයි.
තාම කම්පියුටර් කියන්නෙ අපේ දරුවන් ට මැජික් . බොරු මොකටද..

කම්පියුටර් එකට ඔට්ටු වෙන්න බැරිවුන මගේ ඔටුනු නොපලන් කුමාර කුමාරිකාවෝ ඊට පස්සෙ කැරකෙන පුටුවක් අල්ලගන්න කුරුමානම.

" උඹේ නෙවෙයි ඕක මගේ"

"ඒයි ඒයි උඹ කියන්න එපා බං ටීච අහන් ඉන්නෙ"

"ඇයි උඹත් බං බං කිව්වෙ ඉතිං"

"බං කියන්නෙ නරක වචනයක් නෙවෙනේ.. උඹ කියන්නෙ කුණුහරුප නේ"

උඹ කියපු පොඩි එකා මහා හයියෙන් හිනාවෙනවා. මම හැරිලවත් නොබැලුවෙ හිනාවට හේතුව එයාගෙන්ම අහගන්න හිතාගෙන.

" උඹ කියන්නෙ සිංහල වචනයක්.. ගිහින් අහනවා ටීචගෙන් බොරු නම්.. ඒක හොදයි..දන්න එකකුත් නෑ"

උත්තරය නම් ලැබුණා. ඒත් තව දුරටත් කතාව දිග්ගැස්සෙන්න කලින් මම පාඩම පටන් ගත්තා.

"කවිඳු කව්ද පුතේ පරිගණක විද්‍යාවේ පියා"

මං ඇහුවේ පෙර දවසෙ පාඩම එක්ක සම්බන්ධ වෙන්න හිතාගෙන.

කවිදු එහාට මෙහාට ඇඹරෙන පටන් ගත්තෙ උත්තරය මතක නැතිව වෙන්න ඕන.
ඒත් උඹ කියන වචනෙට සිංහල වියරණ අටූවා ටීකා දීපු මගේ කතන්දරේ නායකයා කට හොලවා හොලවා උත්තර කියනවා.

" උත්තරය දන්නවා නම් අත ඔසවන්න.. කියන්න එපා.. මේ කවිඳුගෙ වාරේ"

පොඩි එකා මගෙ බිම බලා ගත්තා. මම කට හෙලවුන විදිහෙන් උත්තරය හරි කියලත් දන්නවා . එහෙම වෙලාවෙ නිහඬ වෙන්න හේතුවක් අහල පහලක දරුවට තිබුණෙ නැ.

" මොකද පුතේ .. උත්තරය දන්නවා නම් අත ඔසවන්න කිවම අහක බලා ගත්තේ.."

" උත්තරේ නම් දන්නවා .. ඒත් අත ඔස්සන්න තහනම් අද.."

පැහිච්ච කටකාරකම් සීමාව පනින්න ළඟයි. මට හිතුණෙ එහෙම.

" ඇයි මොකක් හරි අසනීපයක්වත්ද"

නෑ කියන්න පොඩි එකා ඔළුව දෙපැත්තට වැනුවා.

" එහෙනම්"

"අම්මා තහනම් කළානේ.. අත ඉස්සුවොත් කමීසේ කිහිල්ල ඉරිලනෙ ..ඒක පේනවනේ. මේ මේ බලන්න "

පුංචි එකා අත ඔස්සලා මට දික් කළා.