Monday, June 20, 2016

ඉන්ටර්වල්

ගුරුවරියකගේ  මතක 34

ඉන්ටර්වල්
***--*****************
ඉන්ටර්වල් එක අවසන් වෙන සීනූව නාද වෙනවා මං අහගෙන. අතට ගත්ත කහට කෝප්පෙ ගිනි වතුර පිටින් කටේ හලාගෙන යන්න බැරිකමට විනාඩි දෙකක් පහු වෙනකං උන්නෙ ඒ පීරියඩ් එක දොළහේ පන්තියට අයිති නිසා. විනාඩි දෙකක ඉවසුමක් ටිකක් තේරේන වයසේ  තියෙන පොඩි උන්ට නැතුවාම නෙවෙයිනේ. වැරදි වුනත් මම මගේ හිත හැදුවේ එහෙම. මොකද දිව කට වේලෙන හුළං කාලේ අපිම හදාගන්න තේ කහට කෝප්පෙ දිව්‍ය අමෘතයක් නිසාම.
" මේ වෙලාවෙ පන්තියක් තියෙනවා නේද.. මෙතැන තවත් කයිය ගගහ  ඉන්නෙ. අනික් ගුරුවරු ගිහින් උගන්වන්නත් පටන් අරන්"
විදුහල්පතිතුමාගේ ගෝරනාඩුවට තේ කහට එක මිදුලට විසි කෙරුණේ විදිල්ලක් වගේ.
" අනික් ගුරුවරු පීරියඩ් අටම වැඩ නෑ නේ සර්.. "
මට එහෙම කියන්න ඕන වුනා.  ඒත් කොහේදෝ නැති සංසුන්කමක් හිත පුරා පැතිරෙද්දි මම පන්ති කාමරයට එන්න ආවා. පොඩි උන් වැඩ. මට තනියම හිනා. කොහොමත් මගේ පීරියඩ් එකක් වෙලාවට වෙන වැඩක් කරනවාට වඩා විෂය ආශ්‍රිතව වැඩක ඉන්න එක අැඟට හොඳයි කියලා මාත් එක්ක ඉඳලම පොඩි උන් දන්නවා. වෙන වැඩක හිටියොත් ගුටියට , බැනුමට වඩා මගෙ දඬුවම් වෙනස්. ඒක හරි සාර්ථකයි මගේ අරමුණ හොයාගන්න.
මම පාඩම පටන් ගත්තා. විනාඩි ගාණක වැඩ අතරේ පන්තියේ හිටපු සුදුමැලිම කෙල්ල ඈනුම් අරිනවා මං බලාගෙන. ඒක දිගටම . ඒ මදිවට නිදිමත බේරෙන ඇස්. මං පාඩම නතර කළා.
"මොකද මධුෂි. වැඩිපුර කෑවම ඔහොම තමා,, නින්ද යනවා .." මං කිව්වෙ පොඩි එකීව නින්දෙන් ඇහැරවන්න හිතාගෙන.
පොඩි එකී ඇහැරුණා නම් තමයි. ඒත් බයාදු හිනාවක් එක්ක.
" නිදිමතද"
" හ්ම්"
" නිදි මැරුවද"
"නෑ"
" මොනවද කෑවේ ඉන්ටවල් එකට"
"එයා කෑවේ නෑ ටීච" ඒ උත්තරය මධුගෙන් නෙවෙ. ළඟ හිටපු නිශානිගෙන්.
ප්‍රශ්නාර්ථයක් එක්ක මං මධුෂි දිහා බැලුවා.

" ඇයි නිශා මධූෂිවත් කෑමට හවුල් කරගන්න තිබ්බනෙ"
මං එහෙම කිව්වෙ මධූෂි කෑම ගේන්න නැතුව ඇති කියලා උපකල්පනය කරලා.

" මං කෑම ගෙනාවා ටීච"
"එහෙනම් නොකෑවේ"

"බඩගිනි නෑ .. උදේ කාලානෙ ආවේ"
" උදේ කාපු එක මේ වෙනකං තියෙනවාද බොල.. දෙනවා මෙහාට කෑම එක.."
බෑග් එක පාදලා පොඩි එකී කෑම එක මගෙ අතේ තිබ්බා.
එනවා මගෙ පස්සෙන්"
තරවටුවට වුනත්  මම දන්නවා බඩගින්නෙ උගන්වලා වැඩක් නෑ කියලා.
පරිගණක කාමරයට ගිහින් මම කෑම එක දිගහරිනවා පොඩි එකී බලාගෙන. ඒ ඇස්වල තිබ්බෙ එපා කියන්න බැරි කමක්. මට ඒක තේරුණේ කෑම එකෙ පිළුණු ගඳට ඇකිළුන මගේ නහය දිහා කෙල්ල දුකෙන් බලන් ඉද්දි.

Thursday, June 16, 2016

යන්නම්

ගුරුවරියකගේ මතක 33

යන්නම්
********--------*********

කාලෙකින් පරිගණක කාමරයේ දොර බොහෝ වේලාවක් නිදහසේ විවර වෙලා තිබුණා. කාලඡ්ඡේද අටක පිරෙන කාල සටහනෙ පුංචි විවේකයක් සටහන් වෙන එකම දවස. මං පරිගණකයට ඇස් රැදෙව්වෙ කම්මැළිකමට. හීන් හඬින් ගීත ඛණ්ඩයක් වාදනය වෙන්න තියලා මං බලන් හිටියේ කිසිම අරමුණක් නැතිව. පරිගණක ශාලාවටම වැඩ කරන්න හැකි මැෂින් තියෙන්නෙ දෙකයි. ඒ දෙකෙ විනාඩි හතළිහක සීමාවේ වැඩ කරන්න දරුවන් අතර තියෙන්නෙ ලොකු තරඟයක්.  තාක්ෂණය කොයිතරම් දියුණු වුනත් එදිනෙදා වේල හොයාගන්න අපේ ඉස්කෝලේ දරුවන්ට තාමත් පරිගණක හරි අරුමැසියක්. සමහරු රණ්ඩු වෙනවා. සමහර වේලාවට පංති කාමරයේ ඉඳන්ම පරිගණක කාමරයට මැරතන්. ඒ වෙලාවට මාවත් පෙරළාගෙන යන්න තරම් පොඩි උන්ගෙ උනන්දුව වේගවත්.
" ටීච...."
කල්පනා දැහැන බිදිලා ආවේ හුරුපුරුදු කටහඬක්.
" ආ ලක්මාල්... කාලෙකින් ඉස්කෝලේ මතක් වෙලා තියෙන්නෙ .. මොකක්ද දරුවො මේකේ තේරුම.. බලන්න කොච්චර පාඩුද කියලා.. තේරුම් ගන්න ටිකක්.. දැන් ඒලේවල් ඔයාලා. ලබන අවුරුද්දේ එග්සෑම්"

මොකුත්ම නොකියා මගේ බැනුම් ටිකත් අහගෙන බ්‍රැන්ඩන් බර්ග් වත්තේ මට්ටම් මලය දිහා බලාගෙන කොල්ලා කල්පනා කරනවා. කතා කරේ ඇයි කියලවත් නාහා බැනපු එක වැරදි ඇති. මම මටම දොස් කියා ගත්තා.

" මොකද පුතා... "

" ටීච මම පොඩ්ඩක් ඇතුළට එන්නද.. ලියුමක් ලියාගන්න තියෙනවා "

" හ්ම්"

පොඩි එකා ලියුමත් ලියාගෙන ඉවරවෙලා යන්නම් කියන්න වගේ මං දිහා බැලුවා. හැබැයි ඒ බැල්මේ තිබ්බෙ දුකක්.
" මං ප්‍රයිවෙට් එග්සෑම් ලියන්නම් ටීච... මට නෝට්ස් ටික පුළුවන් නම් දෙන්න... හොටෙල් එකක වැඩට යන්න අස්වීම ගෙනියන්න ආවේ.. අම්මා හැමදාම වත්තෙ වැඩට යවන්න බෑ..

මැරෙමින් ඉන්න දේවදාර ගහ හුළඟට හීන් කෙඳිරියක් නඟනවා මං අහගෙන.

Wednesday, June 15, 2016

පැනය

ගුරුවරියකගේ මතක 32

පැනයක්
################

පොසොන් සුළඟ සපුමල් සුවඳත් අරන් එහාට මෙහාට යන්නෙ හරියට අනුරාධපුර ගමනකට ඇරයුම් කරන්නා වගේ. වේලිච්ච පොළවේ දූවිලිත් කරණම් ගහනකොට නිල්ම නිල් පාටට අහස හිනාවෙන්නෙ ඉර තනිකරම අයිති කරගෙන . වැහි කළුවක් අහළ පහළ තියා ගව් ගාණක දුරින්වත් නෑ. මේ බණ්ඩාරවෙල  අව්ව එක්ක දීග යන කාලේ. ඉරටත් විරිත්ත විරිත්තා දහය පන්තියේ කොළු ගැටව් ටික මගේ පස්සෙන් ඇවිදින්නෙ කම්පියුටර් රූම් එකේ වැඩ වලට පනින්න බලාගෙන.
" මේ... ළමයි.. අද කාපට් එලන්න වෙන්නෙ නෑ.. බාගයකට මදි... අපි ආය පොළක්වත්  තියලා සල්ලි හොයමු. එතකං මේ කාපට් ටිකත් අරන් තියමු."
හාවක් හූවක් නෑ.
කොලු රෑනම අපේක්ෂාභංගත්වයට පත්වුන ඇස්වලින් දූවිලි පිරුණු සිමෙන්තියේ රටා අඳිනවා මං බලාගෙන.

" ඒකට මොකක් හරි කරමු ..  පඩි ගත්තම.. දැන‍් තියෙනවා වෙන වැඩක්"

" ඒකත් බලාපොරොත්තුවක් විතරද දන්නෑ ටීච.. "

ඒකත් මට සරදමක්.

" නෑ නෑ.. දැන් ගිහින් අසරණ සරණ එකට ලැබුණ ආධාර තියෙනවා නම් එකතු කරන් එන්න පංතියක් ගානේ ගිහින්..."

" ටීච හරි බුද්ධාගම් නේ... පිංමයි කරන්නෙ"

කටකාර කොලු ගැටයෙක් ආපහු සරදමක් කරනවා මං අහගෙන.

" ඔව් එහෙම තමයි ... බුද්ධාගම කියන්නෙ ආගමක් නෙවේ.. දර්ශනයක්.. අපිට බුද්ධාගම අනුව ජීවිතේ ගෙවන්න පුළුවන්කම තියෙනවා නම් අපි දිනුම් පුතේ.."

පොඩි එකා  කල්පනා කරන ගමන් මාව පහු කරන් ගිහින් එකපාරම වැදගත් දෙයක් අහන්න වගේ ආයේමත් මං ළඟට දුවගෙන ආවා.

" ඇයි පුතේ"

"මට හරි ප්‍රශ්නයක් තියෙනවානෙ ටීච" ඔළුව කසන්නෙ දූවිල්ලටද මට ඔච්චම් කරන්නද කියලා හිතා ගන්න පොඩි වෙලාවක්වත් ඉතිරි නෑ.ඒත් පොඩි එකාගෙ පැනයට මම සූදානම් ..

" මොකක්ද "

" ඔය තරමට බුද්ධාගම දන්න ටීච ඇයි රහත් වෙන්නෙ නැත්තෙ"

හිනාව අරගෙනම පොසොන් සුළඟ දූවිලි සුවඳේ සාරි පොටට රැළි තියලා යන්න ගියා. ගුටි කන්න වෙයි කියලා බයටද මන්දා පොඩි එකා මාව පහු කරන් දිව්වෙ ඒ හුළඟටත් වඩා වේගෙන්.