Thursday, July 27, 2017

එයා ඉන්නෙ දිව්‍ය ලෝකේ

කාලච්ජේදය අවසන් වන සීනූව නාද විය.
ඔවා සිප් දීමේන..
ම‍ා හික්මවන ප්‍රේමෙන
ඇඳුරු හද බැතියෙන
වදිමි ගරු සිත පෙරටු කරගෙන

මම පොඩි උන්ට සමුදෙන්නටත් පෙර ඔවුන් මට ආයුබෝවන් කියන්නට කවිය කියයි. වෙනදාට පොල්ලක් අරගෙන වත් එලවන්නට නොහැකි දරුවන් සඳුදා දිනයට මට නොකියාම යන්නට තරම් හදිස්සිකාරයන්ය. ඒ මගේ කාලච්ජේදයට පසුව එන විවේක කාලයට ඔට්ටු වෙන්නටය. කෑම එක කටට දෙකකට ගිලින ඔවුන්ගේ ඊළඟ නවාතැන ගිනිගහන අව්වෙ කාෂ්ඨක පිට්ටනියය. හිස අතගාන තුරුම පාත් වීම සිටින දරුවන්ට අද ඇත්තේ පුදුම කඩිකුලප්පුවක්ය.  මම තනියම සිනාසුනෙමි. මම ද ළමයෙක්ව උන්නෙමි. දරුවන්ගේ දඟකම් වලින් හිත තැලෙන හැම විටම මම සිතුවේ එසේය. මගේ එක්ක මගේ කතා ඉවර වෙන තැන එක දරුවෙක්වත් කාමරයේ නැත. උන් ඔක්කොම මා අතැර උන්ගේ ලෝකයේ දිව්‍යමය සුව දැනෙන කාෂ්ඨකෙට පැන හමාරය. මම ද ගුරු විවේකාගාරය දෙසට යාමට කාමරයේ දොරගුළු දැමුවෙමි. මේ වෙලාවට දුම් දමන කහට වැඩි තේ කෝප්පයක් චම්පා ටීච අතින් හැදෙන එක අනිවාර්‍යය. ඌව හයිලන්ඩ්ස් තේ කොළ වලින් හදන තේ එකෙ රස මතක වූ නිසාම මම පය ඉක්මන් කළෙමි.  බොහෝ තැන් වල අව්වට හේඩෑරී වි ගිය ගහකොළය. දූවිලි අවුස්සමින් සුළඟ හිටි ගමන් රස්තියාදුවේ යයි. මම සාරි පොට හිසට දමා ගත්තෙ අව්ව රවටන්නටය. උඩ බලාගෙන විකාර සිතුවිල්ලෙ හදිස්සියේ දිවු මම පියවි සිහියට ආවේ කකුල පය ගැසී වැටෙන්නට ගිය තැනය. කවුරුවත් දැක්කා නම් විලි ලැජ්ජාවය. මම හතර අත බැලුවෙමි. කවුරුත් නැත.
"ඇති යන්තම්" මම මටම ස්තුති කර ගත්තෙමි.
"හි..හි .ටීචලාත් වැටෙන්න යනවා"
මම ගල් ගැසුනෙමි. කිසිවෙක් නොසිටි බව මට ඉරහඳ සේ විශ්වාසය. මම උන් තැනම මොහොතක් ගල් ගැසුනෙමි.  හඬ ආවේ පරිගණක ශාලාවේ පිටුපසිනි. මම ඒ දෙසට හැරුනෙමි. ඉස්කෝලේම දඟකාරයා කවිෂ්ක එතැනය. ඔහු තාමත් සිනාසෙයි.
" වැටුනම හිනා වෙනවද.. ආ.."
මම ටිකක් සැරට ඇසුවෙමි.
" ඉතිං ටීචලත් වැටෙනවද"
"වැටෙනවා නේන්නම්.. මේ දැන් මම වැටුණේ"
පොඩි එකා ආයේම කොක්හඬලා සිනාසෙයි.
" ඇයි හිනාවෙන්නෙ..."
"ඉතිං ටීච ටීචලා දඟ නෑනේ.. දඟ ළමයිනෙ වැටෙනවා කියල  කියන්නෙ"
" කව්ද කිව්වෙ"
" අපේ අම්මා"
මම පොඩි එකාගේ කන් පෙත්ත හිනීයට අල්ලා ගත්තෙමි. ඒ ආදරණීය තරවටුවට දරුවන් කැමැතිය. ඔවුන්ට විශේෂ අවධානයක් ඉන් ලැබෙතැයි පුංචි උන් විශ්වාස කරයි.
"ඉන්නවකො.. මම අම්මට කියන්න පුතණ්ඩියාගේ තරම..."
" අපේ අම්මා ඒක දන්නවා.. ටීච.. ඒකනේ.. මට කිව්වෙ රංගෝලයා මම කියල එයාගේ"

මම සිනාසුනෙමි.

"ඉතිං හොඳයිනේ.... කොච්චර හොඳද එහෙම කියන එක.. රත්තරං ගෝලයා කියලනෙ අම්ම කියන්නෙ"

කොල්ලා ආපහු උඩ පැන පැන සිනාසෙයි. එවර නම් මට කේන්තිය තරමක් දුරට මා සොයා ආවේය.

" පුතේ.. ඔයාට මොකද මේ.. ආ."
"ඉතිං ටීච කරන්නෙ හිනා යන වැඩමනේ"
"මං දැන් මොකක්ද කළේ"
" ඇයි ටීච.. අපේ අම්මා කිව්වෙ  රත්තරං ගෝලය කියල නෙවේ.."
"එහෙනම්.."
"රන්ගෝල අනිත් පැත්ත හරවන්නකො.."
"රන්ගෝල.. ගෝල රන්"
පොඩි එකා එවර නම් මට සමච්චල්ම සිනාවක් තෑගි කළේය.
"ටීච නම් ටියුබ් ලයිට්ම තමයි... හයියෝ මන්දා.. ටීච.. රන්ගෝල .. ගොන්රාළ..ටීච.. ගොන්රාළ.."
එවර නම් මම සිනාසුනේ මටමය. පොඩි එකාගේ හිස අතගාමින් මම මටම සිනාසුනෙමි.
" ඉන්නවකො.. අම්මා හම්බුනාම මම කියන්නම් මේ කතා.. අම්මාටත් විහිළු කරනවා කියල"
එවර පොඩි එකා ගැඹුරු හුස්මක් මට පිම්ඹේය.
" ටීචට එයා හම්බ වෙන්න දිව්‍යලෝකේ යන්න වෙයි"
"ඔයාගේ විහිළු තෝර තෝර හිටියොත් පුතේ .. මට අද තේ නැතිවෙයි"
"ටීච යන්න.. ඒක විහිළුවක් නෙවේ.. අම්මා මැරිලනෙ ටීච.. එයා දිව්‍ය ලෝකේ නම් යනවා ෂුවර්"

Sunday, July 16, 2017

ම⁣ට කව්ද ඉන්නෙ ටීච


************-----******

ගිනියම් හුළඟට බොහෝ දේ අමතක ව නටයි. දූවිලි ද හිතුවක්කාරකමට සුළඟත් එක්ක හරි හරියට රෝන්දෙ යයි. වේලුණ අඹ කොළ ද  පදසට මත්ව මහපොළවට ඔට්ටු වෙන අතරේ කිරිස් කිරිස් හඬ එක්ක කවුරුන් හෝ මගෙ අසළට එන බව දැනුන හෙයින් මම හැරී බැලුවෙමි. පොඩි එකී මගේ ළඟමය. කාලෙකට පස්සෙ මගේ එකී මගේ ඉදිරියේ.

" ආ.. කොහොමද.. කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නෙ.."

"ටීච නම් මතක් වෙනවා.. ඒත් ඉතිං කතා කරන්න විදිහක් නැනේ.. ඇයි ටීච ගේ නහය දන්නෙ නෑ"

මම සිනාසුනෙමි.  ඇය කියන පරිදි මගේ නහය දන විට ඇය මා මතක් කරයි.  සමහරවිට ඇය දන්නෙ නැතුව ඇත. මට ඇය මගෙ තරමටම දැනෙන බව.

"කොහොමද.. අළුත් ඉස්කෝලේ..."

"හොඳයි.. ඒත් ටීචලා ලඟ නෑ මෙහෙ තරම්"

"හ්ම්.."

"ටීච.. කථීක තරඟේ හෙටනේ"

සමස්ත ලංකා නම ඉස්කෝල ඉතිහාසයේ පළවෙනියටම රුන්ඳුවේ මගෙ ඉදිරිපිට ඉන්න බටු ඇට දෙකෙ  උස මගේ ලොකු එකීය.

"ඔව් දිනලම එන්න.. අන්තිම පාරට මේ ඉස්කෝලේ  වෙනුවෙන් තරඟ කරන්න හදන්නෙ .. ඒක මතක තියා ගන්න"

" එහෙම කියන කොට මගේ ඇඟේ හිරිගඩුත් පිපෙනවා..මේ බලන්න ටීච... බලන්න මේ.. "

තරඟයට අයඳුම් කරන විට ඇය මගෙ පාසලේ වුවද උසස්පෙළට ඇය නගරයේ සුපිරිතම පාසලට වරම් ලබන්නෙ ඇගේම හැකියාවෙනි.

"මට ඔක්කොම මාතෘකා පුළුවන්.. හැබැයි එකක් නම් මට කතා බැරි වෙයි ටී.ච.."

මම පුදුමයෙන් ඇය දෙස බැලුවෙමි. ඇගේ ඇස් කඳුළු හංගන්නට දුක් විදින හැටි දැක මම මගේ ඇස් සඟවා ගත්තෙමි.

" මොකක් ගැනද ඔයාට බැරි"

"මව්නි පියාණෙනි, ඔබට උවසර මට කරන්න බෑ ටීච.... මම ඉන්නවාද නැද්ද කියල බලන්න අම්ම තාත්තා නැති මම.. එක එක්කෙනාගේ ගෙදර වළං හොඳ හොඳ ඉස්කෝලෙ යන මම..
"

ඇයගේ ඉකිය.. වේගවත් හැඩුමක්ම අවසානය. මම ඇය තුරුළු කර ගතිමි.

"ටීච දන්නවාද... සෙන්ට්‍රල් එකට යන දවසේ හැමෝම ආවේ අම්ම තාත්තා එක්ක.. එත් ටීච මම .. මම ගියේ තට්ට තනියම ටීච..මට කාත් කවුරුවත්.. නෑ ටීච... "

ඇගේ කඳුළු සීතලද ගින්දරද කියා මට තේරුණේ නැත. නමුත් ඇයට වඩා වේගයෙන් මගේ කඳුළු මට නොකියාම මගේ ඇස් අත් හරිමින් සිටියි.

" සමාවෙයන් පුතේ... ආය උඹ තනි කරන්නෙ නෑ.. උඹට අම්ම.. තාත්තා වෙනුවට... මං ඉන්නවා.. "

Thursday, July 6, 2017

කැලෑ පත්තරේ

ගුරුවරියකගේ මතක..
******--*****-*********

ඒ හතේ පංතියේ රංචුවය. ඉස්කෝලේ දඟම පංතියය. කොච්චර තරවටු කළත් ඒ තරවටුව තඹේකට මායිම් නොකරන දඟකාරයන්ගේ පාරාදීසය හතය. තියෙන පරිගණක දෙකට වෙන රණ්ඩුවීම් කාල ගෝට්ටි කන් දෙකට දැන්නම් හුරුය. ඊට වඩා නාස් හකුලන මේස් ගඳට ඔක්කාරය හැදෙන තරම්ය. ඒත් සියල්ල ඉවසා ගන්න ට දැන් මගෙ පංචෙන්ද්‍රයන් සූදානමින් සිටියි.

" ටීච ටීච බලන්නකො මට සූකිරියා කම්පියුටරෙ ගහන්න දෙන්නෙ නෑ.."

" අඩෝ මම සූකිරියා නෙවෙයි හරි.. ඒ ගෙදරට.. මේ ඉස්කෝලේ ..මට නම කියපං .. මට ඉස්කෝලේ ට නමක් තියෙනවා හොදේ ඉස්කෝලේ ට.."

අවසානයේ ඒ ගැටුමට මට මැදිහත් වන්නට සිදුවන්නෙ ගුටිබැට හුවමාරුවකට ආසන්නයේ පිපිරෙද්දිය.

" කාටවත් ගෙදරට කියන නම් අවශ්‍ය නෑ.. ඔයාලා නම් පොතේ තියෙන නම පාවිච්චි කරන්න ... එච්චරයි ..."

මම කිවේ යම් තරවටුවකින්ය. සූකිරියා යැයි කියු දරුවා ක්ෂණයෙන් නැගි සිටියේය.. මම ඔහු දෙස බැලුවේ ප්‍රශ්නය ඇස් දෙකට ගෙනය
.
" පංතියට දුවල එන්න ම් ⁣ටීච .'

" ඒ මොකටද..."

"නෑ නෑ ටීච.. සුකිරියගෙ වාසගම හොයාගෙන එන්නම් නාම ලේඛණෙන්"

" ඔන්න ටීච ආයෙත් සූකිරියා කීවා.. මං අද මූට.."
එවර නම් ගුටියක් දෙකක් හුවමාරු විය. මගෙත් ඉවසීමේ අංශුමාත්‍ර ද විසිරෙමින් තිබුණි..
" හරි දෙන්නම කම්පියුටර් එක ළඟින් අයින් වෙන්න.. මාසයක් කම්පියුටර් එක අල්ලන්න තහනම්"

ගුටියට වඩා බර දඬුවම එයය. කැමැති ම දෙයට වාරණයක් දැමීම ගුටි දහකට වඩා රිදෙනු ඇත. ඔවුන් පරිගණකයෙන් ඉවත් කළ මම තව කණ්ඩායමක දරුවන් දෙදෙනෙකුට පරිගණකය බාර දුන්නෙමි.  මුහුණු අකුලා ගත් චණ්ඩි දෙදෙනා පසෙකට වී බලා සිටියි. දැන් දෙදෙනාගෙ රණ්ඩු ව නැත .  දෙදෙනාම එකතුව කොළයක් පොතෙන් ඉරා මොනවාද කුරුටු ගානු මගේ ඇස් කොණෙන් පෙනේ. සමහරවිට දැන් බැන ගැනීම ලිඛිතව කරනවා වන්නට ඇත. මම අහක බලා ගත්තෙ පොඩි උන්ගෙ රණ්ඩුවල ආයූ කාලය කොයිතරම් කෙටිද යන්න හොඳටෝම දන්නා නිසාය.
පීරීයඩ් එක අවසන් සීනුව නාදය වෙන විට ආයුබෝවන් වෙනුවට ඇහෙන්නෙ අයියෝය. ඒ ඔවුන් කැමැතිම පීරියඩ් එක අවසන් වන දුකටය. කුලී වැඩ කරන ගොවිතැනක් කරන අම්ම තාත්තා ගේ දරුවන් වුන මගේ උන්ට පරිගණක තාමත් මැජික්ය. හිතු හැටියට පරිගණක එක්ක ඔට්ටු වන්නට විනාඩි හතලිහ මදිය. ඒකත් පරිගණක දෙකකට සිමා වු විට එක් දරුවෙකුට හිමිවන්නෙ විනාඩි කීපයක සිමාවය. ඉතිං ආයුබෝවන් වෙනුවට අපේක්ෂා බිදුණ අයියෝ ස්වරය මට දී ඔවුන් නික්ම ගියහ. මම ඊළඟ පංතියේ වැඩ මුරයට සූදානම් වන්නට ගුරු පුටුව දෙසට ආවෙමි. මේසය උඩ හතරට නැමු කොළයකි. කුතුහලය සමඟින් එය දිග හැරුවෙමි.

"කම්පියුටර් ළඟට අලි ආවම කූඹී කවුරු ද බ්‍රෝ
හු කෙයා සේ ලෝකෙයා..
ලබන සතියේ බලමු..
දුක දන්නෙ වෙන කව්ද ටීචම තරම්"

Sunday, July 2, 2017

අම්මා

44 වන දිග හැරුම

-----------------------------

බස්රථයේ අයිනෙ අසුනක් හිමි වීම සතුටකි. බොහෝ දේ සිතීමට ඇත. බොහෝ දේ මැවීමට ඇත. ඒ සඳහා ගමනාන්තය දක්වා ඇති කාලය ආශිර්වාදයකි. මම අසුනට බරවී හිස තියා ගත්තෙමි. ලග අසුන බර වෙමින් මගෙ ඇගේ වැදුන බෑගය නිසා මගෙ අසුනේම අනෙක් භාගයට අයිතිකරුවෙක් පැමිණ ඇති බව මම දැන ගතිමි. නමුත් ඇස් ඇර ඒ අමුත්තා පිළිගැනීමට මගෙ හිත කැමැති නොවුන බැවින් දිගටම අැස් දෙක තද කරගෙනම මම උන්නෙමි. ටිකට් ගත් නැති අය ටිකට් ගන්න යැයි කොන්දොස්තර තැන පණිවිඩ පිට පණිවිඩ එවයි. මම ටිකට් ගෙන අවසන් නිසා එයද මට වැදගත් නැත . අවශ්‍ය වුයේ සිතුවිලි සමග මගෙ ගමන යන්නටය.
" රුපියල් දෙකක් අඩුයි මහත්තයෝ.."

ඒ ඇසුණේ මගෙ අසුනෙ බාගයක අයිතිකාර හඬය. ඒ ගැහැණු හඬකි.

" හැමදාම ණයට යන්න එපා .. අපටත් වදයක්.. දවසකට දහයක් පහලොවක් අඩුවෙන් දීලා ගියාම අපි කොහොමද ⁣ඒවා ගෙවන්නෙ"

එවර නම් මම දෑස් හැරියෙමි. ළඟ උන්නෙ මැදිවියේ කාන්තාවකි. ඇගේ ඇස් යට පිට නොවු කඳුළු ගුලි එළියට පැන නිදහස් වන්නට මාන බලමින් සිටියි. මම මගේ අතේ ගුලි කරගෙන උන් රුපියල් දහය කොන්දොස්තර වෙත දිගු කළෙමි.

" මේකෙන් ගන්න"

කොන්දොස්තර තැන ටිකට් පත නිකුත් කර බස් රථයේ පසුපසට කිටි කිට්යේ තද වෙමින් රිංගුවේය.

" පින් සිද්ධ වේවා නෝනේ.."

මම සිනාසුනෙමි.

" අමතක කරන්න අම්මා.. අම්මා කොහේට යන ගමන්ද මේ.. "

" වැඩට යනවා නෝනේ.."

" කොහේද"

ඇය කැස්සාය. වියළි කැස්සක් පපුව ගලවා එන්නට හදන සෙයකි.  කැස්සෙන්ම ඇය නගරයේ රෙස්ටුරන්ට් එකක නම කීවාය.

" මම එහෙ අතුගානවා නෝනේ.. දවසට දෙසීයයි පඩිය.. පොඩි එකා තාම ඉගෙන ගන්න වයසේ.. සාමාන්‍ය පෙල විතරයි කළේ. ඒත් ඌත් හෝටලේක පිගන් හෝදනවා."

" හ්ම්.. ටිකක් අසනීපයෙන් වගෙ නේද අම්මා.."

"මට හොඳ වෙන එකක් නෑ නෝනේ.. මට වකුගඩු ලෙඩ.. හැම මාසේම නුවර යනවා.. බස් එකට කීයක් හරි හොයා ගන්න මම මේ අතුගාන වැඩේට යන්නෙ.. මට තව ටිකක් කල් ජීවත් වෙන්න ඕන නෝනා.. මගෙ පොඩි එකා ට මම විතරයි.."

බස් නැවතුම් දෙකකින් අදාළ හෝටලය අසළ බස් රථය නැවතුණි. ඇය බැස ගියාය. ඉදිමිණු දෙපා හොඳටම මම දැක්කෙ ඇය පාර මාරුවන්නට ඔට්ටු වෙන අතරතුරය.  බසින්නට පෙර ඇයගේ නිවසට යන පාර මම අසා ගත් බැවින් ඇය යළි හමුවන අළුත් බලාපොරොත්තුවක් හිතේ මහා ඕනෑකමකින් පැළපදියම්ව ඇත