Friday, January 26, 2018

ආදරය

ආදරය
***************

ඒ මට දවසටම හිමි නිදහස් කාලජ්ජේදයය. මම දුරකථනය ගෙන තිරය  එහාට මෙහාට කරමින් උන්නෙමි. හිරුණි කාමරයට පැමිණි ම සාමාන්‍ය සිද්ධියක් වන්නෙ කාලච්ඡේදය ක් මාරුවෙදී, ඇය හා ඇගේ යෙහෙළිය වසුන්දරා මගේ කාමරයට එබීම පාසල් කාලයේ අනිවාර්යය අංගයක්ව තිබු නිසාය.
" ටීච.. මේ.."

" මොනවද.."

" මොනවත් නෙවෙයි ටීච.. අහන්නකො"

මම හිස එසවුවෙමි. සුපුරුදු කොලොප්පම පටන් ගෙන තිබුණි.

" මොකක්ද "

" ටීච පැනල ගියාම මොකද වෙන්නෙ.."

මගේ ඉවසීමේ රතු ඉර පන්නවාගෙන ගුටියක් , බැනුමක් නොකා නොඅසා දවස ගෙවා ගන්න මොවුන්ට බැරි හැඩය. මම ඒ බව නොපෙන්වා ඉවත බලා ගත්තෙමි.
" ටීච.. කියන්නකො ටීච.."

" ක්ලාස් එකට යනවද .. අදාළ ටීච දැන් හොයනවා ඇති..යනවා ඉතිං.. මට වදයක් නොවී මෝඩ ප්‍රශ්න නාහා"

" ඕකනෙ කියන්නෙ.. ටීචට තේරෙන්නෙ නෑනේ මේ ප්‍රශ්නය මොකක්ද කියල.."

" පැනල ගියාම මොනවද වෙන්නෙ. .. මැරුණ වගෙ තමයි.. මොකෝ බොලාට රස්සාව ක් තියෙනවා ද.. ටික දවසක පැණි රස වගෙ දැනෙයි. පස්සෙ වහ කඳුරු වෙයි.. කාලකණ්ණි වෙනවා..දැන් යනවද.."

පැන යාම පිළිබඳ විටෙන් විට ඇසු සිද්ධි කිහිපයක් නිසා හිරුණි මේ ගැන විමසන බවක් මම සිතුවද ඇය කාමරයෙන් පිටව නොගොස් මා වෙතම රැදි උන්නාය.

" මොකෝ....."

" නෑ.. නෑ ටීච.. මොකුත් නෑ...ටීච ගෙ ෆෝන් එකෙ මොකක්ද එබුණ වගේ.. "

මම මගෙ  පාස්වර්ඩ් පැට්නය දුරකථනයෙන් සටහන් කළෙමි. කිසිම වෙනසක් එහි තිබුණෙ නැත. මම හිරුණි දිහා බලන විටද ඇය උන්නෙ දුරකථනයේය.

" මොකද.. මොකුත් නෑනේ.. දැන් යන්න පංතියට.. "

" යන්න ඕන ටීච. . මේ.. යන්න හදන්නෙ මං... මට ගෙදරට කෝල් එකක් ගන්නත් ඕන ටීච..."

" ඒ මොකටද.. පණිවිඩයක් තියෙනවා ද.. මම කියන්න ම්... කියන්න "

" ටීච ට කියල බෑ.. ෆොන් එක දෙනවද.."

" පණිවිඩය මට කියන්න ... බැරි නම් බෑ"

හිරුණිගෙ චර්යාවේ යම් වෙනසක් දුටු මම කෝල් රෙකොඩින් දමා දුරකථනය ඇයට පෙනෙන්නට තබා කාමරයෙන් පිටතට ගියෙමි.
ටික වෙලාවකින් යළි කාමරයට කඩා වැදුනෙමි. මා හිතුවා හරිය. ඇය උන්නෙ ඇමතුමකය. මම දුරකථනය ගෙන රෙකොඩ් වු ඇමතුම ඇසුවෙමි. පැන යන්න ට සුදානම් ව උන්නෙ වසුන්දරාය. හිරුණි එසේ නොකරන ලෙස ඇගෙන් බෑගැපත් වන හඬ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතක් කර දෙන තරමට සංවේදි විය.

" මම වසුන්දරා ට කතා කරන්නම්  හිරු.. ඔයා දැන් පංතියට යන්න"

" ෂුවර් නෙ ටීච.."

" ඔව් ඔව්"

මම දුරකථනයෙන් වසුන්දරා ගෙ අංකය ට ඇමතුමක් ගතිමි.
" කියපං..."
" මොනවද කියන්න ඕන පුතේ.. මම හිරුණි නෙවෙයි"
"ටීච......"
" ඔව්... ඔක්කොම දන්නවා ... ඔය ගමන යන්න එපා..."

මම බොහෝ කරුණු ඇයට කීවෙමි. ඇය හුමිටි තිබ්බා පමණය.
අවසානයේ " යනවාද.."
මා ඇසු ප්‍රශ්නයට ඇය නෑ කීවා පමණි. දවසේ ඉතිරි කාලය ගතවුවෙත් ඉබි ගමනින් බැවින් උදේ සිද්ධිය අමතක ව තිබුණි.  පාසැල නිමවී පිළිකා රෝගයෙන් අසනීප වු ඥාතියකු බැලීමට මමත් , මගේ සැමියාත් , අම්මාත් පිටත් වුයේ පාස් නොමැති නිසාම ශ්‍යාමලී සොයුරිය හරහා උදව්වක් ලබන අටියෙනි. නෙළුව පල්ලම බසින්නට වූයේ නැත. ඇමතුමක් ආ නිසා මම දුරකථනය අතට ගතිමි.
" ටිච... ටීච.. වසුන්දරා ගියා.... දෙ⁣කයි කාලෙ... මම නවත්වන්න හැදුවා... මට බැරිවුනා.. මම ගෙදරම ආව දුවගෙන.... ටීචට ගන්න... අනෙ ටීච නවත්වන්න ... එයාව"

අඩමින්ම හිරුණි කෑ ගැහුවා මට ඇහුනෙ යාන්තමට.

වෙලාව අනුව වසුන්දරා ගිය බස් රථය මේ වන විට නගරයට ආසන්නයේ තිබිය යුතු යැයි මම උපකල්පනය කළෙමි. අප ද සිටියේ ඊට ප්‍රතිවිරුද්ධ ව ඈතය. බස් රථයේ සිටිවි යැයි සිතු ගුරුවරියන් කිහිප දෙනෙකුටම කතා කළද කිසිවෙකුත් පිළිතුරු නොදුන් බැවින් මා උන්නෙ කලබලයෙනි. අවසානයේ එක ගුරුවරියක් සම්බන්ධ කර ගන්නට වාසනාව ලද අතර වසුන්දරා බස් රථයෙ උන් බව සැක හැර දැන ගතිමි. ඇයට යාමට නොදෙන ලෙස මම වසුන්දරා ගේ නිවසට පණිවිඩය දී ඇයව නිවසට රැගෙන එන ලෙස දැන්විමි.

" දරුවට තරවටු කරන්න එපා...." අම්මා ට කිහිප වරක් මම අවවාද කළේ දරුවන් ගේ හිතුවක්කාරකම් හොදටම දන්නා නිසාය.

" නංගි.. අම්මලා දරුවව අරන් ගියා... හැබැයි කෙල්ල හරි දරඳඩුව හිටියේ.. ඔයාට යන්න හේතුව කියන්න ම් කීවා...එච්චරයි ... වෙන කතාවක් නෑ.."

වසුන්දරා රදවා ගත් ගුරුවරිය ඇමතුමක් දෙන විටද මම උන්නෙ රෝහලේය.මම ආපසු නිවස බලා නොගොස් කෙළින්ම වසුන්දරා ගේ නිවසට ගියේ ඊට පසුදා සෙනසුරාදා බැවින් ඇයට මා සමග කතා කල යුතු නම් යළි සඳුදා එනතුරු ඇයට බලා සිටින්නට සිදුවන බව සිතුණ නිසාය. මා යන විටද ඇය කාමරයේ හඬමින් සිටියාය..

" වසුන්දරා .... මට ඇත්ත ඕන..."
" රස්සාවකට ගියේ ටීච... "
" කොහෙද..."
" කොළඹ කිවා"
" මොකක්ද රස්සාව "
" දන්නෙ නෑ.."
" කව්ද දෙන්නෙ"
" ට්‍රිප් එකකදි හම්බ වුන යාළුවෙක්"
" එයාව ඊට පස්සෙ හම්බවුනාද"
" නෑ"
" ඇයි යන්න හේතුව "
" අම්මලා ආදරේ නෑ.... මාව එයාලට වදයක් "
"කව්ද කිවේ"
" කිව්වෙ නෑ... දැනුණා"
මම මහ හඬින් සිනාසුනෙමි. ඇය තුරුල් කර ගතිමි.

" උඹ හරි මෝඩියෙක් බං මං වගේම..... උඹ දන්නවා ද වසුන්දරා මමත් ඒ ලෙවල් කරන කාලෙ ඔහොම හිතුවා. අම්මා තමයි මගෙ හතුරා . මම අම්මා මට බනින වචනයක් ගානෙ දුක පොතක් පිරෙන්න ලිව්වා . ඒක තාම මං ගාව තියෙනවා. ඒත් පුතේ ටික ටික ජිවිතය තේරේන වයසට එනකොට ඒ හැම වචනයකම තිබුණෙ ආදරය විතරයි කියල දැනෙද්දි මට මං ගැනම ලැජ්ජ හිතුණ. පවුලෙ ලොකු දරුව ඉන්නවා නේද..ඔයා මං වගේ. ඒයා තමයි වාසනාවන්තම දරුවා. පවුලේ සුවිශේෂීම දරුවා. ගැහැණියකයෙකුයි පිරිමි⁣යෙකුයි අම්මයි තාත්තයි වෙන්නෙ ඉස්සෙල්ලාම ලොකු දරුවගෙන්.ඊට පස්සෙ කවුරු ආවත්. අපිට වැඩිපුර බනින්නෙ අපට වැඩිපුරම ආදරේ මිනිස්සු."

කෙල්ලගෙ විතරක් නෙවි .අම්මගෙ තාත්තගෙ ඇස්වලත් කදුළු..
පාසල් පද්ධතියට උපදේශන ගුරුවරු අනිවාර්‍ය කරන්න පුළුවන් නම් දරුවො ලක්ෂ ගාණකගේ ජිවිත වලවෙනස්ම කතා ලියැවෙයි. මම එදා දවස නිමා කරන්න ගෙදරට එද්දි සෙනසුරාදා ට එළිවෙලා තිබුණා . සාරි පටියටම  කැපුණ පාරවල් වලට වතුර වැටෙද්දි දැණුන වේදනාවට වඩා දරුවෙක්ගෙ ජිවිතය ඉතිරි කළ සතුට හිතේ තිබුණා