Saturday, December 23, 2017

අවුරුදු දහයකට එහා කතාවක්


*********-********************

එතකොට මම හිටියෙ ගුරු ජීවිතේ සීමාවාසි අවධියේ..
ඇඹිලිපිටියට ආසන්නයේ පාසලක..
ගෙදරින් එවන රුපියල් තුන්දහෙන් දෙදහස් පන්සීයක් බෝඩිමට ගෙවල ඉතිරි පන්සිය ඉතිරි කර ගන්න හැමදාම ඉස්කෝලේ ට ගියේ පයින් .. බස් යන ප්‍රධාන පාරෙම මම පයින් කිලෝමීටර් හතරක් පයින් යනවා. හවස එනවා.
බෝඩිමේ න් හම්බවුනෙ පොල් සම්⁣බෝලයි රෑ බත් එකයි. .
එකොළහ වෙද්දී ඒ බත් එක නරක් වෙනවා. හැමෝටම හොරෙන් ඒ බත් එක විසි කරන මං දවසම ගෙවන්නෙ බඩගින්නෙ..
ආපහු කෑම ලැබෙන්නෙ රෑට.
ඒ ඉස්කෝලේ හිටිය නියෝජ්‍ය විදුහල්පති ස්වාමීන් වහන්සේ නමක්.
උන්වහන්සේ දවසක් මගේ කාමරයට වැඩම කරනවා.
"නෝනෙ .. මෙහෙ සිරිතක් තියෙනවා හැමෝම එකට කෑම කන. ඔබතුමී විතරයි නොඑන්නෙ.. එහෙම නොවෙන එක හොඳ නෑ. අද ඉඳන් කෑම එක අරන් ස්ටාෆ් රූම් ගියොත් හොදයි ඉන්ටර්වල් එකට."
ඒක අණක්. ඒත් කෑම එක දිග අරින්න ඒ වගෙ තැනක බෑ කියල මම දැනං හිටියා. මම ඒ අණ කඩ කළේ ඒ නිසා.
පහුවෙනිදාත් උන්වහන්සේ පරිගණක කාමරයට වැඩම කළා.  අවසරයකින් තොරවම මගේ කෑම එක අතට ගත්තා. මම කිසිත් කර ගත නොහැකිව ඇස් පාත් කරගෙන උන්නා.
සමහරවිට මගේ ඇස්වල කඳුළු තියෙන්නෙ ඇති.
උන්වහන්සේ කෑම එක එහෙමම තියල ආපහු වැඩම කළා. පහුවෙනිදා ඉදන් ඒලේවල් පංතියේ හිටිය ඉරෝෂි අතේ මට හාමුදුරුවෝ කෑම එකක් එවල තිබුණා .
දානෙ බත් එකක් . අම්මා මතක් වෙලා ඇඩුණා. මේ සටහන ලියද්දී ත් ඒ බත් එකෙ සුවඳ , රස, පපුව ඉඹිනවා .
ඒ දවස පටන් සම්පූර්ණ අවුරුද්දම උදේට දවල්ට මට දානෙ බත් එක ලැබුණ . ඒක බෙදා ගන්න මට අපූරු යාළුවෙක් ලැබුණ . ඒ ඉරෝ. එතකොට අපි අතර මහ ලොකු වයස් පරතරයක් තිබුණෙ නෑ. පරිගණක කාමරේට එන ඉරෝ මාත් එක්ක ඒ බත් කට බෙදාගෙන කෑවා. එ වෙද්දී කාත් කවුරුවත් නැති තැනක මගෙ එකම සරණ ඉරෝ . උදේට ඉස්කෝලේ ගිය වෙලාවෙ ඉදන් හැම ඔෆ් වෙලාවකම ඉරෝ මාව බලන්න ආවා. ඒ වෙද්දී යුද්ධයේ දරුණුම කාලේ. ළඟින් හිටිය හමුදා සේවයේ උන් ආදරණීයතමයෙක් ගේ සමුගැනීම සිද්ධ වුනෙත් ඒ කියන දවස්වල.  නිවාඩුවක් හෝ ලබා ගැනීමට නොහැකි දවස්වල අවසන් මොහොතටවත් සහභාගි විය නොහැකි අවස්ථාවක පාඩම් අධීක්ෂණයටත් ආව දවසක මට කඳුළු වේලන්න සිද්ධ වුනා. පාඩම බැලුවෙත් උසස්පෙළ පංතියක.

"ටීච අද පාඩම හොඳට කළා.."
ඉරෝ ඉස්කෝලේ ඇරුණ ගමන් දුවගෙන ඇවිත් මාව බදා ගත්තා .
"ටීච උගන්වන පින් එයාට ලැබෙයි"

අම්මා කෙනෙක් වගෙ මගෙ හිත හැදුවෙ ඒ  කෙල්ල.  ඒ දවස් තාම හීන.
ඉරෝට හිටියෙ තාත්තා විතරයි . අම්මා පොඩි කාලෙම මිය ගිහින්. තාත්තා ත් හිටියෙ නිතරම ලෙඩ ගානේ.. පොත් ටික අතෙ ගෙනාවේ. බෑග් එක ක්  ගන්න හයියක් ඇයට තිබුණෙ නෑ . ඇයට පිහිට වෙන්න හයිය මට තිබුණෙත් නෑ.

"ටීචට පත්වීම ලැබුණම ඔක්කොම හරියයි"

"එහෙනම් ඉස්සෙල්ලාම එන්නෙ උඹ බලන්න "

" අපෝ එතකොට අමතක වෙයි.. අනික දුරනෙ.."

"ම් බලමුකෝ'

කාලයක් එක්ක මම අවුරුද්දේ අවසානේ ආවා. පත්වීම හම්බවුනේ ඊළග අවුරුද්දේ අග. ඉරෝ ඉදල හිටල මට ලිව්වා. ටවුමකට ගියොත් පහේ කාසි ටිකක් හොයං මට කතා කළා.

දෙසැම්බරයේ නිවාඩුවට මම ඉරෝ බලන්න යන්නෙ ඉස්කෝලේ ට ඕන හැම දෙයක් ම අරගෙන. ඇයට නොකියාම. උසස්පෙළ විභාගෙට ඉතිරි වෙලා තිබුණෙ මාස කිහිපයක් වුනත් ඇයට ඒ ටික වටියි කියන සතුට මට තිබුණා .

ඉස්සෙල්ලාම ගියෙ පංසලට. අවුරුද්ද ක් තිස්සෙ බඩගින්න නිවපු හාමුදුරුවන් වහන්සෙ  මුණ ගැහෙන්න. ඒ වෙද්දී උන්වහන්සේ මළ ගෙදරකට වඩින්න සූදානමින් හිටියෙ.
" නෝනත් ආව එහෙනම් "
"ඔව් හාමුදුරුවනෙ .. මට එහෙම අමතක කරන්න පුළුවන් ද.."
" ඒකත් හැබෑව.. එකටමනෙ උන්නෙ.. හරියට කිරිපැණි වගේ.. යමු .. ඉරෝෂිගෙ ගෙදරට ගිහින්ද මෙහෙ ආවෙ"
" නෑ හාමුදුරුවනෙ .. ඉස්සෙල්ලාම ආවෙ හාමුදුරුවෝ බලන්න .. "
" එහෙනම් යමු.."
" හාමුදුරුවෝ ත් එහාට වඩිනවද"
"මං නැතුව අවමඟුලට නෝනෙ"

"ඒ කියන්නෙ ඉරෝ ගෙ තාත්තා වත් නැති වෙලාද"

හාමුදුරුවෝ මං දිහා බැලුවෙ පුදුමයෙන්.
"ඒ කියන්නෙ නෝනා දන්නෙ නැතිවද ආවේ"

"ඔව්.. මං ආවෙ ඔබ වහන්සෙ යි.. ඉරෝවයි  බලල යන්න "

හාමුදුරුවෝ ලොකු හුස්මක් පිට කළා.

"අනිච්චාවත සංඛාරා.. සංසාරේ ම දුකක් නෝනෙ.. ඩෙංගු හැදිල ඉරෝෂි නැතිවුනා ඊයේ.. අද භූමදානේ"

ඒ වචන හීනයක්. මං හිතුවෙ එහෙම.  ඒත් කටුමැටි පැළෙ මගෙ පුංචි සුරංගනාවී අවසන් නින්දෙ සැනසිල්ලේ හිටියා.

ඊට සතියකට පස්සෙ මට ලියුමක් ආවා.

"දවස් දෙකක් ම උණ ටීච.. ටීච මතක් වුනා.. බලල යන්න එන්න බෑනේ ..රස්සාවක් කරන කාලෙක මං එන්නම්... "

*************************

මං අද හැම දරුවෙක් ගාවම උඹ දකිනවා ඉරෝ...
උඹට ඉරො දෙන්න බැරිවුණ දේ අද උන්ට දෙනවා

උඹෙ ඉරිච්ච බෑග් එක වගෙ බෑග් දෙසීයක කතාව මං මහන්නම්..
කකුල් දෙක දියපට්ට එනකං හිර වුණ ඉරිච්ච සපත්තු දෙක වෙනුවට අළුත් සපත්තු සියයක් හොයන්නම්

ස්තුතියි ජිවිතේ ළඟ හිටියට...

පුළුවන් කෙනෙක් එන්න
උදව්වට

දරුවෙක් ළඟ මතකයක් වෙන්න
සපත්තු ජෝඩුවක්
බෑග් එකක්
අරගෙන

Friday, December 15, 2017

නත්තල් සීයා

නත්තල් සීයා..
****************-**---*******
නිවාඩුවට කඩේ පැත්තෙ පොඩ්ඩක් යන්න පාරට බැස්සෙ කම්මැළිකමටටම. පොඩි සීතලක් එක්ක අමුතු ම හැඟිමක්. එහෙම දැනෙන්නෙ නත්තල් කාලයට විතරමයි.
පිණිකුඩු වැස්ස ත් එක්ක..

"වොන්ඩබා අයිස්ක්‍රීම් එකක් කකා යන්න තිබුණා නම්"

ඉස්සර ඉස්කෝලේ යන කාලෙ අපි යාළුවෝ හය දෙනා මේ කාලෙට කරන එක පිස්සු වැඩක් මතක් වෙලා මට තනියම හිනා ගියා.
ගැහෙන හීතලේ වැඩිපුර ම වොන්ඩබා කන්න අපිට තිබුණෙ මහා පෙරේතකමක්.

"ටීච..."

මම මගේ මනෝලෝකයෙන් එපිටට ආවේ පුරුදු කටහඬකට.. ඉස්කෝලේ පොඩි එකෙක් හති දාගෙන දුවගෙන එනවා මං දැක්කෙ එතකොට .

"ආ.. මේ කොහෙද යන්නෙ පුතේ"

" කඩේ.. කඩේ..."

"ම්...හති දාගෙනම"

"ටීච අල්ලන්න දුවගෙන අවේ"

"ඒකනේ"

"සීතලයි නේද ටීච..."

"ටිකක් විතර.."

පොඩි එකී මාත් එක්ක එක පෙලට වැටුණා. හරිම නිදහස් හැඟීමක් ඒ ඇස්වල තිබුණේ..

"ටීච.. පෙර පාසලේ කොන්සට් එක හරි ලස්සනයි නේද.."

ටික වෙලාවක් හති ඇරපු කෙල්ල මං දිහාට එබුණා.

"ම්"

" ටීච බඩුවක් අහන්නද.."

ඔය කට කැඩිච්ච කතාවක් අහන්න වෙන්න ඕන හදන්නෙ. කෙල්ල ගෙ කටකාරකම් ගැන මම හොදට දන්න නිසා මම තනි හිතට කියා ගත්තා.

"අහනවා... අහනවා..."

'" නත්තල අැත්තක් ද"

" ඔව්.. ඒක ජේසු කුමාරයා ගේ උපත නේ"

"එදා කොන්සට් එකට ආවෙත් ඇත්ත නත්තල් සීයද.."

"නත්තල් සීයට ඇඳපු කෙනෙක් .... ඇයි මොකද මේ ප්‍රශ්න පත්තරෙ දිග ඇරගෙන"

"මම හිතුවේ ඇත්ත නත්තල් සියා ඉන්නවා කියල ටීච තාම..."

" මොකටද ඔයාට නත්තල් සීයා"

පොඩි එකි පාරේ තිබ්බ ගලකට පයින් ගැහුවේ තරහට වගේ

" නත්තල් සීයා අපි ඉල්ලන දේ දෙනවනේ..."

"ඉතිං"

"  තාත්තා මගෙ මැරුණනේ ටීච.. ම..ම නත්තල් සීයගෙන් එක පැයකට තාත්තා ඉල්ලන හිටියේ මං.."

Thursday, November 2, 2017

මගෙ කතාව

අම්මගේ අත් දෙක.....
තාත්තගෙ උරහිස
*******-****-**------***

මේ මගේ අම්මාගේ අත් දෙක..
අවුරුදු පහළොවක්  වත්තෙ දළු කඩපු අත් දෙක..
⁣ඒත් තාමත් අයින් වෙලා නොගිය තේ කහට පැල්ලම්
කවදාවත් යා නොවෙන්න
හීතලටම පුපුරලා ගිය ඇඟිලි..

ඔව් මං එහෙම ආඩම්බරකාර අම්මෙක්ගෙ දුවෙක්.
එක වේලක්වත් අපිව බඩගින්නෙ නොතියා
ඒත් ඇය බඩගින්නෙ හිටපු..
කාටවත්ම අත නොපා ඒත් අනුන්නටම කඹුරපු
අපට ලස්සනට පිළි⁣වෙළට අන්දලා
වැරහැල්ල ටම සින්න වුනු
බණ්ඩාරවෙල සුපිරිම ඉස්කෝලෙට අපි යවලා
එයා වත්තෙ වැඩට ගිය

අතීතයක් කතා කරන මේ සේයාරුව
මම කැමැතිම
වඩාත්ම කැමැතිම ජායාරූපය...

තාත්තගෙ අත් දෙකත් මෙහෙමම තමයි..
ඒත් තාත්තගෙ රළු වෙලාම තිබුණේ උරහිස..
ඉස්කොලෙ පහේ පංතියට යනකම්ම තුන්දෙනාම
තුන්පාරට
උර උඩ තියාගෙන
පෙරහෙට්ටියෙ කන්ද නැංගේ තාත්තා..
මල්ලිත් පහේ පංතියෙන් ලොකු ඉස්කෝලෙකට යනකොට
මම ආය කවුරු වඩාගෙන මේ කන්ද නගින්නද
ඉකිබින්දේ තාත්තා..
අදත් වැඩ ඇරිල මං එනකං
ඉස්කෝලේ ගේට්ටුව ළඟ ත්‍රීවීල් එක නවත්වන් ඉන්නෙත් තාත්තා..
උදේම ගියාම ආය එළිවෙන පාන්දර වෙනකං තෙත බරිත හෝටු කුරුල්ලෙක් වගෙ
තේ දළු මුට්ට එහාට මෙහාට ඇද්ද තාත්තා..

මං එහෙම ණය නැති තාත්තෙක්ගේ දරුවෙක්..

ඒත් මගෙ අම්මා නූගත් ගෑණියෙක් නෙවෙයි..
පංතියේ හැමදාම පළවෙනියා වුන නිසා වෙලපනියා කියල කාඩ් එක ගහ ගත්ත
ඇස් දෙක පේන්නැති අම්මට බැරි නිසා ජ්‍යෙෂ්ඨෙ ඉස්කෝලේ යන්න රුපියලක් නැතිව
ජිවිතය නතර කරගත්ත ගැහැණියක්....

මගෙ තාත්තා කැම්පස් එකට තේරිලත් ඇදගෙන යන්න කලිසමක් නැතිව
ජිවිතය නතර කර ගත්ත මනුස්සයෙක්...

ඉස්සර අම්මලා කියනවා
කවුරු උඹලට දෙයක් දෙයිද කියල...

මම අද මගේ දරුවන්ගෙන් දකින්නෙ මම...

ඒ දරුවන්ට
අසරණකමට නෙවෙයි
මම ආදරේ නිසා

සපත්තු ජෝඩුවකට
බෑගයකට
පොත් පත් ටිකකට
බර පැන එක්ක
ආදරය දෙමුද....

දවසක රට කරවන අතක්.. මනුස්සකම දත්
මේ දරු අතර නොසිටී යැයි කිව හැකිද

Thursday, October 26, 2017

තාත්තා

පොඩි උන්ගෙ කචබචය කන පුරා සිසාරා යයි. උන් ට නම් වැස්සෙ ගාණක් නැත. දූවිලි සුවඳ මිශ්‍ර වු සිහින් පවන් නහයට ගෙන එන්නෙ අමුතුම මිහිරකි.
"තෙමෙන් නැතුව එන්න.. මෙහාට එන්න ළමයි"
මම කෑමොර දුන්නෙමි. නමුත් මම පරාජිතය. මගේ හඬ උන්ගෙ හඬ ඉදිරියේ බාලය.

"ළමයි... පුතේ... ළහිරු... ගයාන්"

මගෙ අවාසනාව උන්ගේ වාසනාව එතැනය. මගෙ හඬට සවන් දෙන්නෙක් නැත. අවසානයේ මම ද වැස්සට එකතු වුනෙමි.

"පුතේ...."

එවර නම් ඔවුන්ට මම ඇසුණී

"අයියෝ ටීච තෙමෙනවානේ"

"ඒක තමයි ... දැන් මං කොච්චර කතා කළාද..."

"වැස්සනේ ටීච....."

"යමු.. යමු.. මේ හා පුරා එන වැස්සට තෙමෙන්න හොඳ නෑ"

"කව්ද කියන්නෙ ටීච.."

"අපේ අම්මා..."

"ටීචගේ අම්මත් අපේ අම්ම වගේම හරි පැහිල"

එක කටකාරයෙක් මගෙ දෑස් වලට ඔච්චම් කළේය. මම ඔරවා බැලුවෙමි.

"දුවන්න කිව්වෙ පංතියට"

තෙත බරියම් හිස් අත්වලින් පිසිමින් කෑ ගසමින් පිට්ටනියේ උස පඩිපෙළ වලට ද ලැජ්ජා හිතෙන තරමට පනිමින් උන් ඉගිළෙයි. මට ඒ තරම් වේගයෙන් යන්නට බැරිය. මම එකින්නෙක පඩි නඟිමින් සිටියෙමි.
"ටීච..ටීච.."

පුංචි එකියක් ගිය සැණෙන් කුඩයක් රැගෙන ආපසු ඇවිත්ය.

"අනේ.. ගුඩ් ගර්ල්.. තැන්ක්ස් පුතේ"

මම සිනහවකින් ඇයට සංග්‍රහ කළෙමි.

"පහුගිය ටිකේ පුතා ඉස්කෝලේ ආවේ නෑ නේද"

ඇය නැහැ කියන්නට හිස වැනුවාය.

"ඇයි ඒ"

"අම්මා එක්ක තාත්තා බලන්න ඉස්පිරිතාලේ ගියා"

"ඇයි තාත්තාට.."
"තාත්තා වැස්සෙ තෙමිල ඇවිත් නාලා ගෙට එනකොටම වැටුණ ටීච.."
"අනේ"
"අද ටීච නාන්න එහෙම එපා.. වැටෙයි.."
"හ්ම්.. දැන් තාත්තට කොහොමද"

"දැන් හොඳයි ටීච.. මැෂින් ගොඩාක් හයි කරල.. ෂෝක් ඇඳක තාත්තා ඉන්නෙ.. තාත්තට දැන් හුස්ම දෙන්නෙ මැෂින් එකෙන්නෙ ටීච..ආ ඒක නෙවේ නෙ ටීච.. තාත්තා ඉන්නෙ ලොකු තැනක .. වාට්ටුවෙ නෙවෙයි "

"කොහෙද"

"මොකක්ද සි යු ද මොකක්ද එකේ"

මම ඇගේ හිස අතගෑවෙමි. පසුව ඇසුණු තොරතුරු වලට අනුව ඔහුගේ ජිවිතය ගැන විශ්වාසය සෘණ මට්ටමක බව මම වෙනත් ගුරුවරියකගෙන් දැන ගතිමි

Wednesday, September 20, 2017

අපි කොළඹ යනවෝ

ටීච.. ටීච වගේ කෙනෙක්
ලැබෙන්න නේද..

ට්‍රිප් එක යන සතුටට
පොඩි උන්ගෙ හරි බටර් මේ දවස් වල

සතයක වියදමක් නැතිව
ජිවිතේ පළවෙනි වතාවට කොළඹ යන්න
හීන මවන මගේ උන්ට
සතුට ඔබට දෙන්න හයිය වෙන්නෙ
ජිවිතය කණ්ඩායම වුන
Lionel De Silva
Ajith Abeydeera
Palitha Cyril
Lakshan Pandula Athukorala

එක්ක
Chandana Edirisinghe
Irosh Hettige
Aruna Muthumala
Sahan Kodikara
Hiru Minipura

එතකොට
Roshani Silva
Dinels Di
Eranga Harsha Walawearachchi

හවස තේ වේලට මොනවහරි අරන් මාත් එනව කියපු
Nikeshala Tennakoon

දරුවන් එක්ක එදාට පැයක් ගත කරන්න එන්න කීව ගමන් සතුටින් ඒ ආරාධනාව බාර ගත්ත
Samith Sirimanna
Madushan Nanayakkara ට

ගුවන්විදුලි සංස්ථාව ළමා පිටිය එදිනට අපට දෙන්න පොරොන්දු වුන Sudarshana Gunawardana
Indunil Jayawardana දෙපළට

Maduka Thaksala Fernando ට
Manjula Samarasekara ට

මගේ දරුවන් වෙනුවෙන්  ස්තුතියි

අමතක වුනා නෙවෙයි Damith Wilegoda

Tuesday, September 12, 2017

අයිස් පලම

නිවාසාන්තර ක්‍රීඩා උළෙල පටන් ගන්නට තව ටික වෙලාවක් ගත වෙනු ඇත. නිවාස තුනේම දරුවන් ලහි ලහියේ නිවාස සැරසිලි කරන්නෙ සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නටය. එක තැනක කෝචිචියක්ය. තව තැනක රතු ඉන්දියන් නිවසක්ය. තව තැනක හමුදා බංකරයක්ය. එකිනෙකට නොපරදින නිර්මාණ ශක්තීන් විදහ දැක්වෙන මේ අපූරු නිර්මාණ අතරේ මම සක්මන් කරමින් මගේ පාසල් කාලයට ඉගිලෙමින් සිටියෙමි.
"ටීච.. මොන හවුස්ද..."
උසස්පෙළ නිමවා පාසලට සමුදුන් දැලි රැවුල ඝන වෙමින් උන් නාඹරයෙකු වු ධනුෂ්ක මගේ ඉදිරියේය.
"මට මොන හවුස්ද..මාව මධ්‍යස්ථ මණ්ඩළයට දාලා නේ"
"අපරාදේ.. ටීචත් හවුස් එකක හිටිය නම් හොඳ හොඳ වලි ටිකක් බලා ගන්න තිබුණා."
"හ්ම්.."
"ටීචව.. අයින් කරන්න ඇත්තෙත් සර්ට වලි බේරන්න බැරි නිසා වෙන්න ඇති"
මම සිනාසුනෙමි. 
"ඔය ළමයා මොකද ඔතැන.. කෝ යුනිෆෝම්.. තාම ඉස්කෝලේ අස්වීම ගත්තෙ නැනේ..එහෙනම් යුනිෆෝම් එනව නම් එනවා.. නැත්නම් යනවා.. ටීචටත් පෙනුනෙ නැද්ද කතා කර කර හිටියේ.."

විදුහල්පතිවරයා ළඟටම ඇවිත්ය.දොස්මුර වරුසාව අහවර වෙනතුරු පෙර ධනුෂ්ක බිම බලාගෙන උන්නා මිස හිස එසවුවේ නැත. විදුහල්පතිවරයා ගිය සැණින් ලැජ්ජාවෙන් හිස ඔසවා සිනාසුනි.
"මං හින්දා ටීචත් බැනුම් ඇහුවා නේද.."
"ඔයාලා ඉස්කෝලෙට එනකොට පිළිවෙලකට එන්න එපැයි දරුවෝ"
"ඉතිං ටීච... ටවුමෙ යන්න ආවේ.. හවුස් හදකවා දකිනකොට පිට්ටනියටම නේ ආවේ.."
"හ්ම්.. හ්ම්.. දැන්වත් යනවා..ආය බැනුම් නොඅහා"

"මම නම් යන්නම්.. හැබැයි ටීච ආයෙම බැනුම් අහනවා.. "

ධනුෂ්ක හිනාවෙමින් පිට්ටනියේ එහා කොණ දෙස බලා උන්නේය.

"ඒ මොකද.."
මම ධනුෂ්ක  බලා සිටින දෙස බැලුවෙමි. අයිස්ක්‍රීම් වෙළෙන්දෙකු ළඟ කුඩා දරුවන් දෙදෙනෙකු මාන බලමින් සිටියි.
මම හෙමින් හෙමින් කුඩා දරුවන් දෙදෙනා වෙත ගියේ අතටම අල්ලා ගන්නටය. මම එන බව නොදැන පොඩි උන් දෙදෙනා අයිස් පලම් රස කරමින් සිටි.
"ගේට්ටුවෙන් එළියට ආවේ කාගෙන් අහලද"
පොඩි උන් දෙදෙනා ගැස්සි මා වෙත හැරුණි.
"මොනවද මෙතැන කරන්නෙ"
"මොකුත් නෑ ටිච.."
"එළියට ආවෙ ඇයි"
"නිකං ටීච.."
"එතකොට මොනවද ඔය කලිසම පහළට බහින්නෙ.."
එක් දරුවෙකුගෙ කලිසම් සාක්කුව තෙත් කරමින් යම් දියරයක් ගලමින් තිබේ.

" මොනවද ඒ..."
"ටීච මේ.. මේ"
"මොනවද සාක්කුවේ තියෙන්නෙ"
"ඒක මේ හවසට කළින් ගත්ත පලම තියෙන්නෙ"

Saturday, August 26, 2017

මුට්ටි යකා

වතුර බවුසරයක් ගේට්ටුව අරින තුරු මග රැක සිටි. ජලය ජිවිතයෙ කොයි තරම් ඉඩක් වෙන් කරගෙන සිටී දැයි බලන්නට ජලය නැතිවෙන්නටම ඕනිය. ඉස්කෝලේට වතුර එන්නෙ සති දෙකකට සැරයකි. ඒ තුරා බොහෝ දුක් දරුවන් මෙන්ම ගුරුවරුද විදිති. බඩදරු ගුරුවරියකට වැසිකිළි පහසුකමලෙබා දෙන්නට ගෙවල් තුන හතරකට ගොස්  වතුර වෙනුවෙන් අතපාන්නට වු දවස් එමටය.
"අද කළින්ම වතුර ඇවිත් වගේ"
ජයන්ත අයියා ගේට්ටුව අරින්නට දුවයි. පොඩි උන් වතුර බවුසරය එනකං පාර දෙපැත්තෙ පොර කන්නෙ බවුසරයෙන් ටැංකියට වතුර දෙන හැටි බලන්නටය.
" උඹ අයින් වෙයන්කො.. ගිය පාරත් ඉස්සරහම හිටියේ.."
"උඹ උඹ ගාන්න එපා බං.. පිටිපස්සෙ ටීච..."
"එහෙනම් උඹ බං බං ගාන්නෙ"
මම දෙදෙනාටම රැවුවෙමි. ඉන්පසු මීක් සද්දයක් වත් නැත. පෙරමුණ ගැනීමේ රණ්ඩුවත් නැත. කරට අත දමාගෙන ගජ මිතුරු වෙසින් පොඩි උන් ඇත. මම මටම සිනාසුනෙමි. මේ ජිවිතය උන්ගේය. අපේ රැවීම් අපටය. වතුර බවුසරය ටැංකිය ළඟට සේන්දු කර වතුර පොම්ප කිරීම අරඹා ඇත. දරුවන් මෙන්ම වැඩිහිටි අපද ඒ වතුර වැටෙන හඬට පෙම් කරනවා වන්නට ඇත. දවසක් දෙකක් අපට යළි ජලය ඇත. උල්පත් වතුර බිවු අපට වතුර බවුසර් එනතුරු ඇඟිලි ගණින්නට සිදුවීමද එක්තරා දෛවපෝගත සිදුවීමකි. ගණ දෙවියන්ද බට කොළ කෑවේ නම් අපි වතුර බවුසර් එනතුරු සිටියාම මොකද..
"ටීච.. ටීච.."
කල්පනා ලොවෙන් මිදුණේ පුංචි එකියෙක් සාරි පොටෙන් ද අැඳි පසුවය.
"අහ්.. ඇයි පුතේ"
"ටීච.. යකෙක්"
"යකෙක්.. කෝ... කොහේද?"
"ඉන්නවා ටීච.. අර දොළහේ පංතිය ගාව"
ඒකත් එකටම දොළහේ කෙල්ලො දෙදෙනා පොඩි උන් බය කරන්නට පටන් ගෙන ඇත. හවස සමිතියට ඉදිරිපත් කරන නාට්‍යයේ යකුන් දෙදෙනා ලෙස රඟපාන්නට නියමිතව උන්නෙ දොළහේ ගැහැණු දරුවන් දෙදෙනාය. ඔවුන් දෙදෙනා කළින්ම වෙස් මාරු කරගෙන ඇත. අද නම් මේ හිතුවක්කාරියන් දෙදෙනාට දඬුවමක් නම් දිය යුතුමය.
"යමු බලන්න ඔයාගේ යකා "
"අනේ.. අම්මො බැ බැ.. ටීච යන්නත් එපා.. ඒ යකා ගැණු ළමයින්ට ලු කරදර කරන්නෙ"
"එහෙනම් බලන්නම වටිනවා පුතේ.."
මම උසස්පෙළ පංති දෙසට හැරුනෙමි. දොළහේ කෙල්ලො දෙදෙනා තවමත් නිලඇඳුම පිටිනි. ඔවුන් ළමුන් බය කරන්නට තියා ඉන්න තැනවත් නිනව් නැතිව කෙටි සටහන් දිග අැරගෙනය. මම කිසිවත් නොවු ගානට යකා කේළම කියු පොඩි එකී වෙත හැරුණෙමි.
"කව්ද පුතේ.. ඔයාට යකෙක් ඉන්නවා කිව්වේ.."
"හයේ කවිමල් අය්යා..."
ආ.. මෙවර වැඩ අල්ලා ඇත්තෙ එහෙනම් ඔහුය. කවිමල් කොහොමත් ඔය වැනි වැඩ වලට ඔට්ටුය. ඔහු මට්ටු කරන්නට නම් වෙනම උගෙන ආ යුතුය.
මම දොළහේ පංතිය දෙසට ගියෙමි. එතැනට යන පාරේ බොගන්විලා පඳුර යට පොඩි එවුන් කිහිප දෙනෙක් වට රවුම් ගැසී ඇත. මම හෙමින් හෙමින් ඒ දෙසට කිට්ටු කළෙමි.
"අම්මෝ ඒ යකා.. බයේ බෑ නේ"
"දැන් මට රුපියල් දහයක් දුන්නෙ නැත්නම් මුට්ටි යකා ගෙදර එයි"
ඒ කවිමල්ය.
"දෙන්නම්..දෙන්නම්..අම්මෝ දෙන්නම්..හෙට එනකොට ගේන්නම්"

"ආ .. කවිමල් මටත් බලන්න ඕන ඔය යකා"
"ටී..ච..."
"ඔව්.. ඔව්.. පෙන්වන්න බලන්න ඔය යකා"
"ටීච.. ඒ මුට්ටි යකෙක්"
හොඳටම බිය වී උන් පුංචි දරුවා ගේ ඇස් කියන්නෙ මට ළං නොවෙනු කියාය.
මම කවිමල් අතේ තිබු මුට්ටිය ගත්තෙමි. එය හොදින් කට වැසෙන සේ රතු රෙදි කඩින් බැඳ තිබුණි. ඇතුළේ යමෙක් දඟලන බවද දැනේ. මම සෙමින් රෙදි කඩ ලිහුවෙමි.
"එපා.. ටීච.. යකා පනියි"
මම පොඩි උන්ගේ  හඬ නොඇසුන පරිදි රෙදි කඩ ඉවත් කළෙමි. තඩි ගෙම්බන් දෙදෙනෙකු මුට්ටියේ අමාරුවෙන් එහා මෙහා දඟලමින් නිදහස සොයමින් සිටි.

Tuesday, August 22, 2017

අත්හැරීම

ඉරට කළින් ඇහැරෙන මිනිස්සු උදේ පාන්දරම කුඹුරු වල වැඩ. අද වෙනදටත් වැඩියෙන් මීදුම බාල තිබුණ දවසක්. වැහි කෝඩයක් ගියාට පස්සෙ කුඩැලි මිනින්දෝරුවෝ වැඩ පටන් ගන්න හින්දා හරි සීරුවට තමයි පාරට පැන්නෙ. උපන්දා ඉඳන් කුඩැල්ලො එක්ක ඔට්ටු වුනාට මොකද තාමත් බයයි කූඩැලි හමුදාවට.

"අද සීතල වැඩි දවසක් නේද ටීච නෝනේ"

බෝංචි සීයා අව්ව  තපින්න පාරට ඇවිත්. බෝංචි සීයා ඉස්සරම ඉදන් අපේ ගේ ඉස්සරහ කුඹුරේ වගා කරනවා. හැබැයි බෝංචි විතරමයි. ඒ නිසා කිරිවන්තෙ නම වුනාට අපිට ඔහු බෝංචි සීයා වුනේ ඒ නිසයි.

"ඒකනේ සීයා.. ඊයේ දවසම වැස්සනේ.. අදත් පටන් ගනියි තව ටිකකින්. "

"වහිනකොට ඉවරයක් නෑ චුරු චුරුව.. බෝංචි ටිකට කහ රෝගෙත් ගහල."

"හ්ම්...
මොනව කරන්නද සීයේ..."

"ආං ආං අරු අදත් මොකක් හරි අලුගෙත්තේරු වැඩක් කරලද කොහේද"

මම බෝංචි සීයා පෙන්වු දෙස බැලිමි. පහළ කඩේ නැන්දා පොඩි එකෙකුගෙ කණ මිරිකමින් බැණ වදියි.

"කව්ද බෝංචි සීයේ ඒ.."

"මහතුවාගේ ලොකු  කොල්ලනේ නෝනා ඒ"

ඒ සංදේශ්ය. පුංචි දේටත් හඩා වැටෙන හැම තිස්සෙම සාරි පොටේ එතෙන පොඩි එකාය.

"ඇයි  සීයේ.. මොනව කරලද ඔය"

"මොකක් හරි වසවර්ති වැඩක් කරන්න ඇතිනේ.."

මම කඩය දෙසට යන විටත් නැන්දා සංදේශ්ගෙ කණ මිරිකාගෙන බැණ වදියි.

"ඇයි නැන්දේ..."

"ටීච ආව එක හොදයි.. පේනවා නේද මු කරන වැඩේ.. දවසක් දෙකක් නම් මොකද.. දැන් හැමදාම පටන් ගෙන.."

නැන්දා බෙරිහන් දෙයි.

"මොකද කළේ"

"හැමදාම කඩෙන් බිස්කට් එකක් ගන්නවාමනේ නෝනේ.."
මම සංදේශ් ළඟට ඇද ගෙනම පැත්තකට කර ගත්තා. කදුළු නම් වෙනදා වගේම ඉස්සරවෙලා.
" මේ කතාව ඇත්තද.."
කතාව අනුමත කරන්නට මෙන් සංදේශ් හිස වනයි.
"ඇයි පුතේ එහෙම කරේ.."

"ඉතිං ටීච .. අම්මා බිස්කට් දෙන්නෙ  මල්ලිට විතරනේ.. "

"අම්මාට කිව්වොත් අරන් දෙනවනෙ පුතේ.. හොරකම් හොඳ නෑ.."

"අම්මා මාව අතඇරල ටීච.."

Thursday, July 27, 2017

එයා ඉන්නෙ දිව්‍ය ලෝකේ

කාලච්ජේදය අවසන් වන සීනූව නාද විය.
ඔවා සිප් දීමේන..
ම‍ා හික්මවන ප්‍රේමෙන
ඇඳුරු හද බැතියෙන
වදිමි ගරු සිත පෙරටු කරගෙන

මම පොඩි උන්ට සමුදෙන්නටත් පෙර ඔවුන් මට ආයුබෝවන් කියන්නට කවිය කියයි. වෙනදාට පොල්ලක් අරගෙන වත් එලවන්නට නොහැකි දරුවන් සඳුදා දිනයට මට නොකියාම යන්නට තරම් හදිස්සිකාරයන්ය. ඒ මගේ කාලච්ජේදයට පසුව එන විවේක කාලයට ඔට්ටු වෙන්නටය. කෑම එක කටට දෙකකට ගිලින ඔවුන්ගේ ඊළඟ නවාතැන ගිනිගහන අව්වෙ කාෂ්ඨක පිට්ටනියය. හිස අතගාන තුරුම පාත් වීම සිටින දරුවන්ට අද ඇත්තේ පුදුම කඩිකුලප්පුවක්ය.  මම තනියම සිනාසුනෙමි. මම ද ළමයෙක්ව උන්නෙමි. දරුවන්ගේ දඟකම් වලින් හිත තැලෙන හැම විටම මම සිතුවේ එසේය. මගේ එක්ක මගේ කතා ඉවර වෙන තැන එක දරුවෙක්වත් කාමරයේ නැත. උන් ඔක්කොම මා අතැර උන්ගේ ලෝකයේ දිව්‍යමය සුව දැනෙන කාෂ්ඨකෙට පැන හමාරය. මම ද ගුරු විවේකාගාරය දෙසට යාමට කාමරයේ දොරගුළු දැමුවෙමි. මේ වෙලාවට දුම් දමන කහට වැඩි තේ කෝප්පයක් චම්පා ටීච අතින් හැදෙන එක අනිවාර්‍යය. ඌව හයිලන්ඩ්ස් තේ කොළ වලින් හදන තේ එකෙ රස මතක වූ නිසාම මම පය ඉක්මන් කළෙමි.  බොහෝ තැන් වල අව්වට හේඩෑරී වි ගිය ගහකොළය. දූවිලි අවුස්සමින් සුළඟ හිටි ගමන් රස්තියාදුවේ යයි. මම සාරි පොට හිසට දමා ගත්තෙ අව්ව රවටන්නටය. උඩ බලාගෙන විකාර සිතුවිල්ලෙ හදිස්සියේ දිවු මම පියවි සිහියට ආවේ කකුල පය ගැසී වැටෙන්නට ගිය තැනය. කවුරුවත් දැක්කා නම් විලි ලැජ්ජාවය. මම හතර අත බැලුවෙමි. කවුරුත් නැත.
"ඇති යන්තම්" මම මටම ස්තුති කර ගත්තෙමි.
"හි..හි .ටීචලාත් වැටෙන්න යනවා"
මම ගල් ගැසුනෙමි. කිසිවෙක් නොසිටි බව මට ඉරහඳ සේ විශ්වාසය. මම උන් තැනම මොහොතක් ගල් ගැසුනෙමි.  හඬ ආවේ පරිගණක ශාලාවේ පිටුපසිනි. මම ඒ දෙසට හැරුනෙමි. ඉස්කෝලේම දඟකාරයා කවිෂ්ක එතැනය. ඔහු තාමත් සිනාසෙයි.
" වැටුනම හිනා වෙනවද.. ආ.."
මම ටිකක් සැරට ඇසුවෙමි.
" ඉතිං ටීචලත් වැටෙනවද"
"වැටෙනවා නේන්නම්.. මේ දැන් මම වැටුණේ"
පොඩි එකා ආයේම කොක්හඬලා සිනාසෙයි.
" ඇයි හිනාවෙන්නෙ..."
"ඉතිං ටීච ටීචලා දඟ නෑනේ.. දඟ ළමයිනෙ වැටෙනවා කියල  කියන්නෙ"
" කව්ද කිව්වෙ"
" අපේ අම්මා"
මම පොඩි එකාගේ කන් පෙත්ත හිනීයට අල්ලා ගත්තෙමි. ඒ ආදරණීය තරවටුවට දරුවන් කැමැතිය. ඔවුන්ට විශේෂ අවධානයක් ඉන් ලැබෙතැයි පුංචි උන් විශ්වාස කරයි.
"ඉන්නවකො.. මම අම්මට කියන්න පුතණ්ඩියාගේ තරම..."
" අපේ අම්මා ඒක දන්නවා.. ටීච.. ඒකනේ.. මට කිව්වෙ රංගෝලයා මම කියල එයාගේ"

මම සිනාසුනෙමි.

"ඉතිං හොඳයිනේ.... කොච්චර හොඳද එහෙම කියන එක.. රත්තරං ගෝලයා කියලනෙ අම්ම කියන්නෙ"

කොල්ලා ආපහු උඩ පැන පැන සිනාසෙයි. එවර නම් මට කේන්තිය තරමක් දුරට මා සොයා ආවේය.

" පුතේ.. ඔයාට මොකද මේ.. ආ."
"ඉතිං ටීච කරන්නෙ හිනා යන වැඩමනේ"
"මං දැන් මොකක්ද කළේ"
" ඇයි ටීච.. අපේ අම්මා කිව්වෙ  රත්තරං ගෝලය කියල නෙවේ.."
"එහෙනම්.."
"රන්ගෝල අනිත් පැත්ත හරවන්නකො.."
"රන්ගෝල.. ගෝල රන්"
පොඩි එකා එවර නම් මට සමච්චල්ම සිනාවක් තෑගි කළේය.
"ටීච නම් ටියුබ් ලයිට්ම තමයි... හයියෝ මන්දා.. ටීච.. රන්ගෝල .. ගොන්රාළ..ටීච.. ගොන්රාළ.."
එවර නම් මම සිනාසුනේ මටමය. පොඩි එකාගේ හිස අතගාමින් මම මටම සිනාසුනෙමි.
" ඉන්නවකො.. අම්මා හම්බුනාම මම කියන්නම් මේ කතා.. අම්මාටත් විහිළු කරනවා කියල"
එවර පොඩි එකා ගැඹුරු හුස්මක් මට පිම්ඹේය.
" ටීචට එයා හම්බ වෙන්න දිව්‍යලෝකේ යන්න වෙයි"
"ඔයාගේ විහිළු තෝර තෝර හිටියොත් පුතේ .. මට අද තේ නැතිවෙයි"
"ටීච යන්න.. ඒක විහිළුවක් නෙවේ.. අම්මා මැරිලනෙ ටීච.. එයා දිව්‍ය ලෝකේ නම් යනවා ෂුවර්"