Sunday, February 21, 2016

ටීච ඇත්තටම මට වඳිනවද


***************-************-
හවසට මොර සූරන වැස්සත් එක්ක අපේ ජිවිතත් තෙමෙන්න පටන් අරන්. පහුවෙනිදා ඉස්කොලෙ එනකොට කූඩැල්ලො එක්ක මාරාන්තික සටන් කරන්නත් සිද්ධ වෙලා. මීදුමත් එක්ක වැටෙන පින්න උදේ පාන්දරට හෙම්බිරිස්සාවෙන් අපිව මුසපත් කරන්නෙ හරි ආදරෙන්. ඉස්කොලෙ ගේට්ටුව ළඟ පුංචි එවුන් ට නම් රජ මඟුල්. කඩදාසි බෝට්ටු හදාගෙන පිරුණු වතුර වලවල් වල ඔට්ටු වෙන්න කාගෙන්වත් තහනමක් නෑ.
" ගුඩ් මෝනිං ටීච"
ආදරණීය හිනාවත් එක්ක මහණ වෙන්න පන්සලට ගිය පුංචි පුතා ආපහු ඉස්කොලෙ ඇවිත්.
" අනේ ඔයා... ගුඩ් මෝනිං පුතේ.." පුංචි එකා වෙනදා පුරුද්දට ම සාරි පොට අරන් මගෙ පසු ගමන් එනවා.
" හාමුදුරුවෝ එන්න දුන්නද ඉස්කොලේ"
" ඔව් මහණ කරන්න නැකැත් තියෙන්නෙ පස්සෙ ලු තව.. එතකං මට ඉස්කොලේ එන්න කිව්වා"
මං හිනා වුනා. තාම අවුරුදු හත ගෙවුනෙ නැති පොඩි එකා මට මතක් කළෙ රාහුල හාමුදුරුවන් ව.
"කව්රු ගාවද නිදා ගත්තෙ"
" හාමුදුරුවෝ ගාව මෙට්ටයක් දාලා දුන්නා. තව ෂෝයි පුළුන්ම පුළුන් ෂීට් එකකුත් දුන්නා.. මට පොඩ්ඩක්වත් සීතල නෑ"
" මගෙ පුතාට නින්ද ගියාද"
ආච්චි අම්මාගෙ උණුහුමේ ගුලි වුන පුංචි එක‍ා තනියම නිදාගන්න හුරු නැතිව ඇති.. මට හිතුණා.
" ඔව් ටීච.... උදේ පිරිත් දානකොට තමයි මට ඇහැරෙන්නෙ... එතකොට තමයි මට ඉන්නෙ කොහෙද කියලා මතක් වෙන්නෙ"
ඇත්තටම දරුවා ඒ ජිවිතේ ට හුරු වෙලා හිතාගන්න වත් බැරි ඉක්මනින් . මගෙ හිත පොඩ්ඩක් නිවිලා ගියා. මේ දරුවා වෙනුවෙන් යමක් මට කළ හැකි තැනක නොසිටීම ගැන වේදනාවෙන්.
"පුතා කලාද... මං අත්සන් කරලා එන්නම්.
මගේ කෑම එක දෙන්නම කමු"
පුංචි එකා මගේ බෑග් එක අතට ගත්තා. මං අත්සන් කරලා එනකම්ම කාර්යාලය දොරකඩට වෙලා පුරුදු හිනාවෙන්ම ඔහු මං වෙනුවෙන් පෙරමඟ .
" අද උදේ දානේ ගේනවේ නෑ.. මං එනකංම... "
මං මගෙ බත් එක පොඩි එකාගෙ අතට දීලා මගෙ කාමරේ පැත්තට ගියා.
ඒත් පොඩි එකා මගෙ පස්සෙන් ආයේමත් ඇවිත්.
" ඇයි පුතේ... ඔයාට පන්සලෙ ඉන්න බෑ වගේද"
මට එහෙමත් හිතුණා. වෙනදට නම් කාර්යාලය ගාවින් මගෙන් වෙන්වෙන දරුවා අද තාමත් මගෙ පස්සෙන් එන්නෙ පන්සලෙ ඉන්න බෑ කියන්නද කියලා සැකයක් පපුව පුරා උඩු දිව්වා.
"මං පන්සලේ හිටියෙ නැත්නම් ආච්චි අම්මට කිරිපිටි පැකට් ගිහින් දෙන්නෙ කව්ද..නැත්නම් පුංචි කිරි හදල දෙන්නෙ මල්ලිට විතරයිනේ.. ආච්චි අම්මයි මායි අයියයි හැමදාම බලන් හිටියා විතරයි. හාමුදුරුවෝ කිව්වා ආච්චි අම්මට බෙහෙත් ගේන්ඩ යන්නත් සල්ලි දෙනවා කියලා"

පුංචි එකාගෙ පැහිච්ච කම් කෝටියයි. මම හිනාවෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බැරිව අතරමං වුනා. පොඩි එකා සතුටෙන්. ඒ ඇති හොඳටම මට.
" මං ඉතිං ටීච පස්සෙන් බෑග්  එක අරන් එන්නෙ ටික දවසයිනෙ තව... එකයි දුක.."
" ඔව් ඉතිං ඊට පස්සෙ මං පොඩි හාමුදුරුවෝ න්ට වඳිනවා."
" ඇත්තටම ටීච මට වඳිනවද"
"ඇත්තටම ඔව්"
"ෂොයි ෂොයි"
බත් එකත් උඩ දදා පුංචි එකා දේවදාර ගස් වැට ටත් එහා දුවනවා මං බලාගෙන

6 comments:

  1. මේ සටහන් කියෙව්වම දැනෙන හැඟීම වචන කරන්න අමාරුයි. ටීචර් ගෙ කරුණාවට බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. සනත් නන්දසිරි ගේ බෝ මළුවේ ගීතයේ අනිත් කතාව.

    ලස්සනට ලියා ඇත.

    ReplyDelete
  3. දෙවනි පාරටත් කියෙව්වා. මේක කලිනුත් දැම්ම නේද?

    ReplyDelete
    Replies
    1. මෙන්න හොයාගත්තා.
      http://guruwariyakageimathakaya.blogspot.com/2015/12/blog-post.html

      Delete
  4. ඒ කියන්නෙ පොඩි එකා මහණ උනා..?? ඔයිට කිට්ටුවෙන් යන කතා තියෙනවා ටීච.පොඩි ඉස්කෝලෙක පොඩි මිනිහත් එක්ක වැඩ කලාම තියෙන කතා දරාගන්න පොඩි හිතකට නම් බෑ..
    ජයවේවා..!!

    ReplyDelete
  5. ආර්ථික අපහසුකම් නිසයි, හතර කේන්දරේ පාලු නිසයි පුංචි උන් මහණ කරන එක ඒ ළමයින්ටයි, බුද්ධ සාසනේටයි දෙකටම කරන අපරාදයක්. යමක් තේරුම් ගන්න පුළුවන් වයසකදි තමන්ගෙ කැමැත්තෙන් සහ අවබෝධයෙන් වෙන්න ඕන දෙයක් සසුන්ගත වීම.

    ReplyDelete