Friday, March 25, 2016

හීන

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම ටිකක් කලබලයි. නිවාඩු දවසක් වුනත් ටියුෂන් වලට දුවන දරුවෝ එහාට මෙහාට එකිනෙකා හැපි හැපි යනවා. මේ දවස්වල උණුසුම මහ දහවල පිච්චුවාට  උදේට තියන හීතලේ අඩුවක් නම් නෑ.


" ටීච...."


පුංචි එකි මහ පාර කියල බලන්නෙ නැතුවම දණ ගැහුවා.

" මහ පාරේ වඳින්න ඕන නෑ කෙල්ල... මං දන්නවා ඔයා ගැන"

" ටීචට සතුටුද... මට නම් හරි සතුටුයි .. අයි ටී වලට මං බයේ හිටියේ... ටීච යි ඒ බය නැති කළේ.. මේ රිසල්ට් එක ටීචගේ"

" මං කරපු දෙයක් නෑ පුතේ.. ඒ හැමදේම ඔයාලගේ මහන්සිය"

පුංචි එකී හිනාවෙනවා. මෑත ඉතිහාසයේ විද්‍යාලයේ හොඳම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල . ගණිතය විද්‍යාවට විශිෂ්ඨ සාමාර්ථ එක්කම.

"ටීචට මතකද මගේ යාළුවා. අර එක දවසක් මං ටීචට පෙන්නුවේ. ගණන් ක්ලාස් එකේ"

" කව්ද අර මන්ත්‍රීතුමාගේ දුවද"

" ඔව් අර හැමදාම කාර් එකෙන් එන්නෙ.. එකම ඇඳුම දෙපාරක් කවදාවත් ක්ලාස් එකට ඇඳලා නෑ කිවේ"

" හ්ම් මතකයි... ඉතිං මොකෝ එයා"


" එයා ෆේල් නෙ ටීච"


" හ්ම්....."


" මට ඉතිං  හරි ආස හිතුණා එයා අඳින විදිහ දැක්කම.."


"දවසක් එයි උඹටත් එහෙම අඳින්න.. මහන්සි වෙලා ඉගෙන ගනිං.. දවසක එකම ඇඳුම පැයකට වඩා අඳින්නෙ නැතුව ඉන්න කාලයක් එයි"

පුංචි එකී දිග හුස්මක් ගත්තා. බලාපොරොත්තු අහස උසට. දුප්පත්කම අහසෙමුත් එහාට.

"මං ටීචට දෙයක් කියන්න හිටියේ"


"කියන්න"


"මං බයෝ කරන්න හිතුවා .. දොස්තර කෙනෙක් වෙන්න ඕන මට.. මට ක්ලාස් යන්න උදව් කරන්න ටීච..මං කොහොම හරි ඩොක්ට කෙනෙක් වෙනවා."

" හරි පුතේ උඹ කරපං.. හීන දැකපං.. මං පස්සෙන් ඉන්නම්..බයවෙන්න එපා"

"මට ටීචට තුරුල් වෙන්න ඕන"


දිලිසෙන ඇස් එක්ක පුංචි එකී එහෙම කියනවා මට ඇහුණා,,

4 comments:

  1. මට ටීචට තුරුල් වෙන්න ඕන//
    ඕන්න බලන්න සුපිංවත්නි කොල්ලෙක් එහෙම ඕක කීව නං.. සංසාරේ.. :-D:-D

    හීන පස්සෙ යන එක විතරක් නෙවෙයි. ඒ වෙනුවෙන් දත කාල මහන්සි වෙන්න ත් ඒ දැරිවිට ශක්තිය ධෛර්ය ලැබේවා

    ReplyDelete
  2. ඒ දැරිවිට සුභ පතනවා

    ReplyDelete
  3. හීන පාට කරන අතරේ යතාර්ථයේ කටුක බවත් ඇයට අඳුනගන්න ඉඩ හරින්න ටීච.ගිණිකන වැටුනොත් හුටා.. ඇයට සෙතක්ම වේවා..!
    ජයවේවා..!!

    ReplyDelete
  4. කඳුළු පිරුණා ඇස්වලට.. ඔබ විශිෂ්ට ගුරුවරියක්.. ඇය විශිෂ්ට සිසුවියක්.. ඔබට තවත් එවන් දරුවන් තනන්නත්, ඇයට ඇගේ සිහිනය සැබෑ කරගන්න් ඉතා ම ආදරයෙන් සුබ පතනවා.. නාඳුනන නංගියේ.. නුඹේ සිහිනය සැබෑ වේවා..

    ReplyDelete