Tuesday, March 29, 2016

කොණ්ඩෙ

කාළෙකින් බණ්ඩාරවෙලට වැස්සක් ආවා. නෝක්කාඩුවටම මැලවුන ගස්වැල් තරහා නිවාගෙනත් තිබුණා. අතු අග තාම පිණි කැට ඉරට ඔච්චම් කරද්දි පාසලේ ආරම්භක සීනුව නාද වෙද්දි දරුවො එකා දෙන්නා උදෑසන රුස්වීම පැවැත්වෙන ස්ථානයට එකතු වෙනවා. හැමෝටම ඉවරයක් නැති කතාවන් ඕනතරම්. සමහරු වැස්ස ගැන කතාව. සමහරු වාර විභාගේ ගැන. තව සමහරු ටෙලි කතා ලෝකවල. එකොළහේ පංතියෙ දරුවෙක් ඔෆිස් එකෙ. වරද කොණ්ඩය කපාගෙන නොපැමිණීම. ඇත්තටම වරද දරුවගේ. ගේ ඉස්සරහම බාබර් සාප්පු ව. දවස් දෙකක නිවාඩුව. එහෙමට කියලා අඟහිඟකම් ඇති දරුවෙක් නෙවේ. පුංචි දඬුවමකට ඒ දරුවා යටත් විය යුතුමයි. උදෑසන රැස්වීම පැවැත්වෙන තැනට මම යන්න හැරුණා. ඒ අතරෙම තව දරුවෙක් කාර්යාලයට ගෙන්නුවා. වරද සමානයි. දඬුවමත් සමානයි. ඒත් දෙවෙනියට ආපු දරුවා ආපහු රැස්වීමට ගියේ නොනවත්වා වෑහෙන කඳුළු වලට අතින් වැට බඳිමින්.


" ඔය ළමයාට නම් සල්ලි තියෙනවා ද දන්නෙ නෑ නංගි... සමහරදාට අම්මා කොණ්ඩෙ කපනවාලු සල්ලි නැති වුනාම. "


" දැන් එහෙම කරන්න බෑනේ අක්කා දහයෙ පංතියෙ නේ. කොල්ලා ලැජ්ජාව ඇති... "


රැස්වීම ඉවර වෙනකම්ම විටෙන් විට කොල්ලා කඳුළු පිහදානවා මං බලාගෙන. 

"පස්සෙ ගිහින් අහන්න ඕන. " මං මටම කියා ගත්තා.


පේපර් එකත් බෙදල ඉවර වුනාට පස්සෙ මම දඬුවමට ලක්වුණු දෙවැනියා ගාවට ගියා. තාමත් ඒ ඇස්වල කඳුළු .


" ඇයි පුතේ.. කොණ්ඩෙ වැවුනම කපලා ලස්සන ට පිළිවෙලට ඉන්න එපැයි. දැන් ඔයාලා ලොකුයි. ඉළන්දාරි . ම්... මොකද ප්‍රශ්නෙ"


පුංචි එකා උත්තර දෙනවා වෙනුවට ආයෙමත් ඇස් පොඩි කරන්න පටන් ගත්තා.


දන්නෙම නැතුව ඒ හඬුගැහැන කොණ්ඩෙ අතරින් මගෙ අත  ඒ දරුවගෙ ඔළුව උඩ.


පුංචි එකා ඔළුව ඉස්සුවෙ ඊට පස්සෙ..


"ලොකු කොල්ලෙක් අඬන්නෙ නෑ..මොකද ප්‍රශ්නෙ කියන්න"

" අම්මගෙන් සල්ලි ඉල්ලුවා. තිබ්බෙ නෑ ටීච...."


"හ්ම්... කීයද කොණ්ඩෙ කපන්න "


" හැත්තෑවයි.."


මම ගුරු කාමරයට ආවා. රුපියල් දෙසීයක් මිට මොළවන් ගිහින් කාටත් හොරෙන් දරුවගෙ මේසේ උඩින් තිබ්බා.

14 comments:

  1. බණ්ඩාරවෙලා ඉස්කෝලෙක මගේ අම්මා වැඩකරන්නේ! 
    මේ වගේ ගැටලු අනන්තයකට අම්මත් මුහුණ දීලා තියෙනවා

    ReplyDelete
  2. ටිචට වැඩි වැඩියෙන් ලැබේවා...

    ReplyDelete
  3. තව දරුවෙකුට උදව්කරන්න යහපත්ව හම්බකරන්න හොඳින් ඉගෙනගන්න පුතේ..
    ජයවේවා..!!

    ReplyDelete
  4. ඔබ සැබෑම ගුරුතුමියක්...
    දන්නා කියන ඔක්කොම වචන එක්කහු කරලා එච්චරයි මට කියන්න තියෙන්නේ..

    ReplyDelete
  5. ඔබ සුන්දර අත්දැකීම් එකතු කරන ගුරුවරියක්..... ජයවේවා

    ReplyDelete
  6. අර මල්ලිට සෑහෙන්න සතුටු හිතෙන්න ඇති..රෙෂ්පට් මිස් !!
    කොන්ඩෙ කියන්නෙ ගුරුවරුන්ට සෑහෙන්න ප්‍රශ්නයක් තමා..විනය තියෙනෙ කොන්ඩේ !! ඕ යේස්

    ReplyDelete
  7. දරුවෙකුගේ ජීවිතය වෙනස් කරන්නේ ගුරුවරු.....පුංචිම පුංචි සිද්ධියකින් ඒ දරුවන්ගේ ජීවිත වලට මහා විශාල වෙනස් කම් වෙනවා. ඒ දරුවගේ ජීවිත කාලෙටම මේක මතක හිටීවි.....!

    ReplyDelete
  8. Heart touching! !!!
    I thought now a days there are no more disapamok like our days seeing news articles and so much stories invented by teachers. It's really apresciated what u are doing and wording it so far. Many can take examples by u.
    Hats off to chooti teacher

    ReplyDelete
  9. බණ්ඩාරවෙලට ඊයේ වැහැපු කතාව අම්මා ගෙන් ස්කයිප් කතා කරද්දී දැන ගත්තා . අවුරුදු කිට්ටු කරලා එන "කොල්ලු වැහි " නේද ඔය?.

    ReplyDelete
  10. ඉස්සර අපේ ප්‍රින්සිපල් කොන්ඩේ වැවිලා තියෙන කොල්ලොන්ට රුපියල් දහයක් දෙනවා ළඟ තියෙන බාබර් සාප්පුවෙන් එවෙලේම කොන්ඩේ කපාගෙන එන්න කියලා. ඒ කොල්ලොන්ගේ කොන්ඩේ වැවුනේ සල්ලි නැති නිසා නෙවෙයි "මොඩ් එකට " "අරලන්ගන්විල ඉස්කෝලේ කිංස්ලි සර්" ගැන මම මේ කියන්නේ.

    ReplyDelete
  11. මිස් ඔන්න අපිනම් කියෙව්වා. මේ කොමෙන්ට්ස් වලටත් උත්තර දෙන්න. එතකොට තමා අපි හැමදාම කොමෙන්ට් කරන්නෙ

    ReplyDelete