Wednesday, June 15, 2016

පැනය

ගුරුවරියකගේ මතක 32

පැනයක්
################

පොසොන් සුළඟ සපුමල් සුවඳත් අරන් එහාට මෙහාට යන්නෙ හරියට අනුරාධපුර ගමනකට ඇරයුම් කරන්නා වගේ. වේලිච්ච පොළවේ දූවිලිත් කරණම් ගහනකොට නිල්ම නිල් පාටට අහස හිනාවෙන්නෙ ඉර තනිකරම අයිති කරගෙන . වැහි කළුවක් අහළ පහළ තියා ගව් ගාණක දුරින්වත් නෑ. මේ බණ්ඩාරවෙල  අව්ව එක්ක දීග යන කාලේ. ඉරටත් විරිත්ත විරිත්තා දහය පන්තියේ කොළු ගැටව් ටික මගේ පස්සෙන් ඇවිදින්නෙ කම්පියුටර් රූම් එකේ වැඩ වලට පනින්න බලාගෙන.
" මේ... ළමයි.. අද කාපට් එලන්න වෙන්නෙ නෑ.. බාගයකට මදි... අපි ආය පොළක්වත්  තියලා සල්ලි හොයමු. එතකං මේ කාපට් ටිකත් අරන් තියමු."
හාවක් හූවක් නෑ.
කොලු රෑනම අපේක්ෂාභංගත්වයට පත්වුන ඇස්වලින් දූවිලි පිරුණු සිමෙන්තියේ රටා අඳිනවා මං බලාගෙන.

" ඒකට මොකක් හරි කරමු ..  පඩි ගත්තම.. දැන‍් තියෙනවා වෙන වැඩක්"

" ඒකත් බලාපොරොත්තුවක් විතරද දන්නෑ ටීච.. "

ඒකත් මට සරදමක්.

" නෑ නෑ.. දැන් ගිහින් අසරණ සරණ එකට ලැබුණ ආධාර තියෙනවා නම් එකතු කරන් එන්න පංතියක් ගානේ ගිහින්..."

" ටීච හරි බුද්ධාගම් නේ... පිංමයි කරන්නෙ"

කටකාර කොලු ගැටයෙක් ආපහු සරදමක් කරනවා මං අහගෙන.

" ඔව් එහෙම තමයි ... බුද්ධාගම කියන්නෙ ආගමක් නෙවේ.. දර්ශනයක්.. අපිට බුද්ධාගම අනුව ජීවිතේ ගෙවන්න පුළුවන්කම තියෙනවා නම් අපි දිනුම් පුතේ.."

පොඩි එකා  කල්පනා කරන ගමන් මාව පහු කරන් ගිහින් එකපාරම වැදගත් දෙයක් අහන්න වගේ ආයේමත් මං ළඟට දුවගෙන ආවා.

" ඇයි පුතේ"

"මට හරි ප්‍රශ්නයක් තියෙනවානෙ ටීච" ඔළුව කසන්නෙ දූවිල්ලටද මට ඔච්චම් කරන්නද කියලා හිතා ගන්න පොඩි වෙලාවක්වත් ඉතිරි නෑ.ඒත් පොඩි එකාගෙ පැනයට මම සූදානම් ..

" මොකක්ද "

" ඔය තරමට බුද්ධාගම දන්න ටීච ඇයි රහත් වෙන්නෙ නැත්තෙ"

හිනාව අරගෙනම පොසොන් සුළඟ දූවිලි සුවඳේ සාරි පොටට රැළි තියලා යන්න ගියා. ගුටි කන්න වෙයි කියලා බයටද මන්දා පොඩි එකා මාව පහු කරන් දිව්වෙ ඒ හුළඟටත් වඩා වේගෙන්.

10 comments:

  1. පුංචි හිත් අපි හිතනවට වඩා ලොකුයි නේද?

    ReplyDelete
  2. මටත් ඔය ප්‍රස්නේම තියෙනවා. බුදු දහම බොහොම පැහැදිළි නිරවුල් දර්මයක් ඒත් කිසිවෙකුත් මාර්ගඵල ලබන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. දහමේ ඇතුලට යන්න යන්න සද්ද දැමිල්ල අඩු වෙනවා.. වටේ අයට හොයාගන්නත් බෑ.. එයා කියන්නෙත් නෑ.(අත් දැකීම් නෙමෙයි.නිකමට හොයල බලන්නකො.)

      Delete
  3. හොඳ වෙලාවට ගුටිකන්න වෙයි කියලහරි දියුවේ.... නැත්තන් මොකක්ද දෙන උත්තරේ....

    ReplyDelete
  4. බුදුන් පෙන්වූ මාර්ගයේ ගමන් කරන කෙනා නිශ්ෂ්‍යබ්දව ගමන් කරනවා මිසක් බෝඩ් ගහගන්නෙ නෑ කියලා දරුවට කියලා දුන්න නම් ටීචත් ගොඩ.. ළමයත් ගොඩ.හැබැයි රහත් සහතික පත්‍ර දෙන බිස්නස් කාරයො බිම.
    ජයවේවා..!!

    ReplyDelete