Thursday, June 16, 2016

යන්නම්

ගුරුවරියකගේ මතක 33

යන්නම්
********--------*********

කාලෙකින් පරිගණක කාමරයේ දොර බොහෝ වේලාවක් නිදහසේ විවර වෙලා තිබුණා. කාලඡ්ඡේද අටක පිරෙන කාල සටහනෙ පුංචි විවේකයක් සටහන් වෙන එකම දවස. මං පරිගණකයට ඇස් රැදෙව්වෙ කම්මැළිකමට. හීන් හඬින් ගීත ඛණ්ඩයක් වාදනය වෙන්න තියලා මං බලන් හිටියේ කිසිම අරමුණක් නැතිව. පරිගණක ශාලාවටම වැඩ කරන්න හැකි මැෂින් තියෙන්නෙ දෙකයි. ඒ දෙකෙ විනාඩි හතළිහක සීමාවේ වැඩ කරන්න දරුවන් අතර තියෙන්නෙ ලොකු තරඟයක්.  තාක්ෂණය කොයිතරම් දියුණු වුනත් එදිනෙදා වේල හොයාගන්න අපේ ඉස්කෝලේ දරුවන්ට තාමත් පරිගණක හරි අරුමැසියක්. සමහරු රණ්ඩු වෙනවා. සමහර වේලාවට පංති කාමරයේ ඉඳන්ම පරිගණක කාමරයට මැරතන්. ඒ වෙලාවට මාවත් පෙරළාගෙන යන්න තරම් පොඩි උන්ගෙ උනන්දුව වේගවත්.
" ටීච...."
කල්පනා දැහැන බිදිලා ආවේ හුරුපුරුදු කටහඬක්.
" ආ ලක්මාල්... කාලෙකින් ඉස්කෝලේ මතක් වෙලා තියෙන්නෙ .. මොකක්ද දරුවො මේකේ තේරුම.. බලන්න කොච්චර පාඩුද කියලා.. තේරුම් ගන්න ටිකක්.. දැන් ඒලේවල් ඔයාලා. ලබන අවුරුද්දේ එග්සෑම්"

මොකුත්ම නොකියා මගේ බැනුම් ටිකත් අහගෙන බ්‍රැන්ඩන් බර්ග් වත්තේ මට්ටම් මලය දිහා බලාගෙන කොල්ලා කල්පනා කරනවා. කතා කරේ ඇයි කියලවත් නාහා බැනපු එක වැරදි ඇති. මම මටම දොස් කියා ගත්තා.

" මොකද පුතා... "

" ටීච මම පොඩ්ඩක් ඇතුළට එන්නද.. ලියුමක් ලියාගන්න තියෙනවා "

" හ්ම්"

පොඩි එකා ලියුමත් ලියාගෙන ඉවරවෙලා යන්නම් කියන්න වගේ මං දිහා බැලුවා. හැබැයි ඒ බැල්මේ තිබ්බෙ දුකක්.
" මං ප්‍රයිවෙට් එග්සෑම් ලියන්නම් ටීච... මට නෝට්ස් ටික පුළුවන් නම් දෙන්න... හොටෙල් එකක වැඩට යන්න අස්වීම ගෙනියන්න ආවේ.. අම්මා හැමදාම වත්තෙ වැඩට යවන්න බෑ..

මැරෙමින් ඉන්න දේවදාර ගහ හුළඟට හීන් කෙඳිරියක් නඟනවා මං අහගෙන.

8 comments:

  1. සංවේදී කතාවක් ....නෙතට කඳුලක් නැගුණා . තව ඔය වගේ දරුවන් කොයිතරම් ඇද්ද මේ රටේ ...

    ReplyDelete
  2. සංවේදී කතන්දරයක්...කොහොම උනත් ඒ දරුවාගේ හිතේ ශක්තිය අගය කල යුතුයි...ඔහු අනිවාර්යෙන් ජීවිතය ජය ගනීවි...

    ReplyDelete
  3. බොහොම සංවේදී කතාවක්.

    ReplyDelete
  4. තිත්තයි... ඇත්තයි..
    ජයවේවා..!!

    ReplyDelete
  5. තාමත් මේ වගේ දේවල් සිද්ද වෙනවා එහෙනම් .. හ්ම්ම්

    ReplyDelete