Thursday, October 26, 2017

තාත්තා

පොඩි උන්ගෙ කචබචය කන පුරා සිසාරා යයි. උන් ට නම් වැස්සෙ ගාණක් නැත. දූවිලි සුවඳ මිශ්‍ර වු සිහින් පවන් නහයට ගෙන එන්නෙ අමුතුම මිහිරකි.
"තෙමෙන් නැතුව එන්න.. මෙහාට එන්න ළමයි"
මම කෑමොර දුන්නෙමි. නමුත් මම පරාජිතය. මගේ හඬ උන්ගෙ හඬ ඉදිරියේ බාලය.

"ළමයි... පුතේ... ළහිරු... ගයාන්"

මගෙ අවාසනාව උන්ගේ වාසනාව එතැනය. මගෙ හඬට සවන් දෙන්නෙක් නැත. අවසානයේ මම ද වැස්සට එකතු වුනෙමි.

"පුතේ...."

එවර නම් ඔවුන්ට මම ඇසුණී

"අයියෝ ටීච තෙමෙනවානේ"

"ඒක තමයි ... දැන් මං කොච්චර කතා කළාද..."

"වැස්සනේ ටීච....."

"යමු.. යමු.. මේ හා පුරා එන වැස්සට තෙමෙන්න හොඳ නෑ"

"කව්ද කියන්නෙ ටීච.."

"අපේ අම්මා..."

"ටීචගේ අම්මත් අපේ අම්ම වගේම හරි පැහිල"

එක කටකාරයෙක් මගෙ දෑස් වලට ඔච්චම් කළේය. මම ඔරවා බැලුවෙමි.

"දුවන්න කිව්වෙ පංතියට"

තෙත බරියම් හිස් අත්වලින් පිසිමින් කෑ ගසමින් පිට්ටනියේ උස පඩිපෙළ වලට ද ලැජ්ජා හිතෙන තරමට පනිමින් උන් ඉගිළෙයි. මට ඒ තරම් වේගයෙන් යන්නට බැරිය. මම එකින්නෙක පඩි නඟිමින් සිටියෙමි.
"ටීච..ටීච.."

පුංචි එකියක් ගිය සැණෙන් කුඩයක් රැගෙන ආපසු ඇවිත්ය.

"අනේ.. ගුඩ් ගර්ල්.. තැන්ක්ස් පුතේ"

මම සිනහවකින් ඇයට සංග්‍රහ කළෙමි.

"පහුගිය ටිකේ පුතා ඉස්කෝලේ ආවේ නෑ නේද"

ඇය නැහැ කියන්නට හිස වැනුවාය.

"ඇයි ඒ"

"අම්මා එක්ක තාත්තා බලන්න ඉස්පිරිතාලේ ගියා"

"ඇයි තාත්තාට.."
"තාත්තා වැස්සෙ තෙමිල ඇවිත් නාලා ගෙට එනකොටම වැටුණ ටීච.."
"අනේ"
"අද ටීච නාන්න එහෙම එපා.. වැටෙයි.."
"හ්ම්.. දැන් තාත්තට කොහොමද"

"දැන් හොඳයි ටීච.. මැෂින් ගොඩාක් හයි කරල.. ෂෝක් ඇඳක තාත්තා ඉන්නෙ.. තාත්තට දැන් හුස්ම දෙන්නෙ මැෂින් එකෙන්නෙ ටීච..ආ ඒක නෙවේ නෙ ටීච.. තාත්තා ඉන්නෙ ලොකු තැනක .. වාට්ටුවෙ නෙවෙයි "

"කොහෙද"

"මොකක්ද සි යු ද මොකක්ද එකේ"

මම ඇගේ හිස අතගෑවෙමි. පසුව ඇසුණු තොරතුරු වලට අනුව ඔහුගේ ජිවිතය ගැන විශ්වාසය සෘණ මට්ටමක බව මම වෙනත් ගුරුවරියකගෙන් දැන ගතිමි

4 comments:

  1. ළමයින්ගේ අහිංසක හීන....

    ReplyDelete
  2. ඉතාමත් සංවේදී සිද්ධියක් සරලව ගලපා තිබීම ඉහලම දක්ෂ කමක්!!

    ReplyDelete
  3. පුංචි අහිංසකයෝ..

    ReplyDelete