Saturday, December 23, 2017

අවුරුදු දහයකට එහා කතාවක්


*********-********************

එතකොට මම හිටියෙ ගුරු ජීවිතේ සීමාවාසි අවධියේ..
ඇඹිලිපිටියට ආසන්නයේ පාසලක..
ගෙදරින් එවන රුපියල් තුන්දහෙන් දෙදහස් පන්සීයක් බෝඩිමට ගෙවල ඉතිරි පන්සිය ඉතිරි කර ගන්න හැමදාම ඉස්කෝලේ ට ගියේ පයින් .. බස් යන ප්‍රධාන පාරෙම මම පයින් කිලෝමීටර් හතරක් පයින් යනවා. හවස එනවා.
බෝඩිමේ න් හම්බවුනෙ පොල් සම්⁣බෝලයි රෑ බත් එකයි. .
එකොළහ වෙද්දී ඒ බත් එක නරක් වෙනවා. හැමෝටම හොරෙන් ඒ බත් එක විසි කරන මං දවසම ගෙවන්නෙ බඩගින්නෙ..
ආපහු කෑම ලැබෙන්නෙ රෑට.
ඒ ඉස්කෝලේ හිටිය නියෝජ්‍ය විදුහල්පති ස්වාමීන් වහන්සේ නමක්.
උන්වහන්සේ දවසක් මගේ කාමරයට වැඩම කරනවා.
"නෝනෙ .. මෙහෙ සිරිතක් තියෙනවා හැමෝම එකට කෑම කන. ඔබතුමී විතරයි නොඑන්නෙ.. එහෙම නොවෙන එක හොඳ නෑ. අද ඉඳන් කෑම එක අරන් ස්ටාෆ් රූම් ගියොත් හොදයි ඉන්ටර්වල් එකට."
ඒක අණක්. ඒත් කෑම එක දිග අරින්න ඒ වගෙ තැනක බෑ කියල මම දැනං හිටියා. මම ඒ අණ කඩ කළේ ඒ නිසා.
පහුවෙනිදාත් උන්වහන්සේ පරිගණක කාමරයට වැඩම කළා.  අවසරයකින් තොරවම මගේ කෑම එක අතට ගත්තා. මම කිසිත් කර ගත නොහැකිව ඇස් පාත් කරගෙන උන්නා.
සමහරවිට මගේ ඇස්වල කඳුළු තියෙන්නෙ ඇති.
උන්වහන්සේ කෑම එක එහෙමම තියල ආපහු වැඩම කළා. පහුවෙනිදා ඉදන් ඒලේවල් පංතියේ හිටිය ඉරෝෂි අතේ මට හාමුදුරුවෝ කෑම එකක් එවල තිබුණා .
දානෙ බත් එකක් . අම්මා මතක් වෙලා ඇඩුණා. මේ සටහන ලියද්දී ත් ඒ බත් එකෙ සුවඳ , රස, පපුව ඉඹිනවා .
ඒ දවස පටන් සම්පූර්ණ අවුරුද්දම උදේට දවල්ට මට දානෙ බත් එක ලැබුණ . ඒක බෙදා ගන්න මට අපූරු යාළුවෙක් ලැබුණ . ඒ ඉරෝ. එතකොට අපි අතර මහ ලොකු වයස් පරතරයක් තිබුණෙ නෑ. පරිගණක කාමරේට එන ඉරෝ මාත් එක්ක ඒ බත් කට බෙදාගෙන කෑවා. එ වෙද්දී කාත් කවුරුවත් නැති තැනක මගෙ එකම සරණ ඉරෝ . උදේට ඉස්කෝලේ ගිය වෙලාවෙ ඉදන් හැම ඔෆ් වෙලාවකම ඉරෝ මාව බලන්න ආවා. ඒ වෙද්දී යුද්ධයේ දරුණුම කාලේ. ළඟින් හිටිය හමුදා සේවයේ උන් ආදරණීයතමයෙක් ගේ සමුගැනීම සිද්ධ වුනෙත් ඒ කියන දවස්වල.  නිවාඩුවක් හෝ ලබා ගැනීමට නොහැකි දවස්වල අවසන් මොහොතටවත් සහභාගි විය නොහැකි අවස්ථාවක පාඩම් අධීක්ෂණයටත් ආව දවසක මට කඳුළු වේලන්න සිද්ධ වුනා. පාඩම බැලුවෙත් උසස්පෙළ පංතියක.

"ටීච අද පාඩම හොඳට කළා.."
ඉරෝ ඉස්කෝලේ ඇරුණ ගමන් දුවගෙන ඇවිත් මාව බදා ගත්තා .
"ටීච උගන්වන පින් එයාට ලැබෙයි"

අම්මා කෙනෙක් වගෙ මගෙ හිත හැදුවෙ ඒ  කෙල්ල.  ඒ දවස් තාම හීන.
ඉරෝට හිටියෙ තාත්තා විතරයි . අම්මා පොඩි කාලෙම මිය ගිහින්. තාත්තා ත් හිටියෙ නිතරම ලෙඩ ගානේ.. පොත් ටික අතෙ ගෙනාවේ. බෑග් එක ක්  ගන්න හයියක් ඇයට තිබුණෙ නෑ . ඇයට පිහිට වෙන්න හයිය මට තිබුණෙත් නෑ.

"ටීචට පත්වීම ලැබුණම ඔක්කොම හරියයි"

"එහෙනම් ඉස්සෙල්ලාම එන්නෙ උඹ බලන්න "

" අපෝ එතකොට අමතක වෙයි.. අනික දුරනෙ.."

"ම් බලමුකෝ'

කාලයක් එක්ක මම අවුරුද්දේ අවසානේ ආවා. පත්වීම හම්බවුනේ ඊළග අවුරුද්දේ අග. ඉරෝ ඉදල හිටල මට ලිව්වා. ටවුමකට ගියොත් පහේ කාසි ටිකක් හොයං මට කතා කළා.

දෙසැම්බරයේ නිවාඩුවට මම ඉරෝ බලන්න යන්නෙ ඉස්කෝලේ ට ඕන හැම දෙයක් ම අරගෙන. ඇයට නොකියාම. උසස්පෙළ විභාගෙට ඉතිරි වෙලා තිබුණෙ මාස කිහිපයක් වුනත් ඇයට ඒ ටික වටියි කියන සතුට මට තිබුණා .

ඉස්සෙල්ලාම ගියෙ පංසලට. අවුරුද්ද ක් තිස්සෙ බඩගින්න නිවපු හාමුදුරුවන් වහන්සෙ  මුණ ගැහෙන්න. ඒ වෙද්දී උන්වහන්සේ මළ ගෙදරකට වඩින්න සූදානමින් හිටියෙ.
" නෝනත් ආව එහෙනම් "
"ඔව් හාමුදුරුවනෙ .. මට එහෙම අමතක කරන්න පුළුවන් ද.."
" ඒකත් හැබෑව.. එකටමනෙ උන්නෙ.. හරියට කිරිපැණි වගේ.. යමු .. ඉරෝෂිගෙ ගෙදරට ගිහින්ද මෙහෙ ආවෙ"
" නෑ හාමුදුරුවනෙ .. ඉස්සෙල්ලාම ආවෙ හාමුදුරුවෝ බලන්න .. "
" එහෙනම් යමු.."
" හාමුදුරුවෝ ත් එහාට වඩිනවද"
"මං නැතුව අවමඟුලට නෝනෙ"

"ඒ කියන්නෙ ඉරෝ ගෙ තාත්තා වත් නැති වෙලාද"

හාමුදුරුවෝ මං දිහා බැලුවෙ පුදුමයෙන්.
"ඒ කියන්නෙ නෝනා දන්නෙ නැතිවද ආවේ"

"ඔව්.. මං ආවෙ ඔබ වහන්සෙ යි.. ඉරෝවයි  බලල යන්න "

හාමුදුරුවෝ ලොකු හුස්මක් පිට කළා.

"අනිච්චාවත සංඛාරා.. සංසාරේ ම දුකක් නෝනෙ.. ඩෙංගු හැදිල ඉරෝෂි නැතිවුනා ඊයේ.. අද භූමදානේ"

ඒ වචන හීනයක්. මං හිතුවෙ එහෙම.  ඒත් කටුමැටි පැළෙ මගෙ පුංචි සුරංගනාවී අවසන් නින්දෙ සැනසිල්ලේ හිටියා.

ඊට සතියකට පස්සෙ මට ලියුමක් ආවා.

"දවස් දෙකක් ම උණ ටීච.. ටීච මතක් වුනා.. බලල යන්න එන්න බෑනේ ..රස්සාවක් කරන කාලෙක මං එන්නම්... "

*************************

මං අද හැම දරුවෙක් ගාවම උඹ දකිනවා ඉරෝ...
උඹට ඉරො දෙන්න බැරිවුණ දේ අද උන්ට දෙනවා

උඹෙ ඉරිච්ච බෑග් එක වගෙ බෑග් දෙසීයක කතාව මං මහන්නම්..
කකුල් දෙක දියපට්ට එනකං හිර වුණ ඉරිච්ච සපත්තු දෙක වෙනුවට අළුත් සපත්තු සියයක් හොයන්නම්

ස්තුතියි ජිවිතේ ළඟ හිටියට...

පුළුවන් කෙනෙක් එන්න
උදව්වට

දරුවෙක් ළඟ මතකයක් වෙන්න
සපත්තු ජෝඩුවක්
බෑග් එකක්
අරගෙන

9 comments:

  1. මාරම මාරයි
    මීීට කලින් ලියපු‍ එකකසද පුරුදු ගතියක් දැනුන.

    ReplyDelete
  2. අපූරුවට ලියල තියනව...

    ReplyDelete
  3. ඔබතුමිය ඇඹිලිපිටිය අසාන්නයේ පාසලක සේවය කලා යැයි කියලා තියනවා.කොහේ පාසලේ ද ?

    ReplyDelete
  4. මේක දුක්බර කතාවක් අමරදේවයන්ගේ " සුදු නෙළුම " ගීතයේ එන ඇත දැකීමට සමාන . අපේ රටේ තියන එක අවාසනාවක් මේක . උන හැ දුනගමන් ගමන් ම dengue antigen test එක කර නොගැනීම . මේ කියන දැරියට ඔය පහසුකම නොතිබෙන්න ඇති . නමුත් අමිහිරි සත්‍යය මේකයි දැන් ඉන්න හුඟක් pp කරන දොස්තරලවත් මේක කරන්න කියල කියන්නේ නැහැ. පහුගිය දාක රටේ ප්‍රසිද්ද පව්ලක දියණියක් අකාලයේ නැති උනා . එත් ඩෙංගු කල් තිය හඳුනා නොගැනීම දැන් හැම දේම වෙනස් වෙලා ඉස්සර platelet drop වෙන්නේ දවස් 3 සහ 4 දී නමුත් දැන් 2 වන දිනයේදීම ඔය සිද්දිය වෙනවා එක නිසා මගේ ඉල්ලීම් නම් ඔබ ජීවිතේට ආදරේ නම් ඔබට paracetamol වලට answer
    නොකරන උණක් නම් තියෙන්නේ 1 හෝ 2 දිනම dengue antigen එක කර ගන්න
    (මේ වගේ දේවල් ලියල අපේ ඇස වලට කඳුළු ගෙනාවට ඔබට පින්)

    ReplyDelete
  5. ඕන දවසක වව්චර් බෑග් සපත්තු එවන්න පුලුවන්ද?අදයි පෝස්ට් එක දැක්කේ.

    ReplyDelete
  6. සුන්දරයි ලස්සන සටහන්ක්!

    මම කලකට පෙර ගාල්ලෙ පාසැලක දරුවෙකුට සපත්තු කුට්ටමක් යැව්වා!

    ReplyDelete
  7. ආයෙමත් පොඩියට ඒවගේ දෙයක් කරණ්න පුළුවන්!

    ReplyDelete