සූදානම් වන්න
ගංවතුරට ගසාගෙන ගිය ජිවිත එක්ක හෙට දවස හොයන අපේ පොඩි උන්ට පිළිසරණක් වෙන්න.
පාසල් නිල ඇඳුම්
පසල් උපකරණ
දරුවන්ට යට ඇඳුම්
සපත්තු මේස්
බෑග්
අධ්‍යාපන සටහන්: / උසස්පෙළ විෂයයන්ඉතා වැදගත්
ඉතාම ඉක්මනින්
වතුර බහිනකොට අපී පොඩි උන්ගෙ ජීවිත කරට ගමු
.
සම්බන්ධ වෙන්න ගුරුවරියකගේ මතක පිටුව එක්ක ඔබට හැකිනම්
Tuesday, May 24, 2016
ගංවතුරට එහා
Thursday, April 28, 2016
දුකයි ටීච
අප්‍රේල් අවුරුදු නිවාඩුව අහවර ව පාසල ආරම්භ කළ පළමු දවස තරමක් කාර්යබහුලය. පොඩි උන් අත බුලත් හුරුළුය. බුලත් ගෙනෙන්නට අමතක වූවන් බුලත් ගෙනා අය පසුපස ය. සමහරු උස ගිහින්ය. අළුත් ඇඳුම් සමහරුන්ට ඇත. සමහරු නම් පරණ කහට පිපුණ ඇඳුමමය. තෙල් බේරෙන හිස අතගා බුදුසරණයි කියනතුරු සමහරු හිස ඔසවන්නනේද නැත.
" ටීච ව නම් පාට වැටිලා"
දඟකාර හඬක් මතුව නෑසී ගියේය.
"අවුරුදු නේ ඒකයි...පුතේ"
" නෑ... නෑ.. අපිට ආරංචියි"
තේරෙන වයසේ පොඩි උන් ඔච්චමට සිනාසෙන්නෙ අැයිදැයි දන්නා නමුත් ගාණකට නොගෙන මම ඔවුන්ගෙන් ඉවතට ඇදුනෙමි.
පරිගණක ශාලාවේ කෙළවරක ගිය වසරේ සාමාන්‍යපෙළට පෙනී සිටි ගැහැණු දරුවෙකු කණුවට හේත්තු වී උන්නාය. ඇයගෙ දෙනෙත් කෙළින්ම මා වෙත එල්ල වී තිබුණ නමුත් එහි සැගව තිබු කතාව මට ප්‍රේහෙලිකාවක් විය.
" මොකද අනූ .... ඇයි මාව හොල්මනක් වගේද"
" නෑ ටීච හැඩ වෙලා"
" ආ ඒකද... කොහොමත් අපි හැඩයිනෙ..."
ඇයගේ පිටට තට්ටුවක් දමාගෙන මා කාමරයට ඇතුළු වන්නට සූදානම් වු විටම මගේ සාරි පොට කිසිවෙකුගේ ග්‍රහණයට ලක් වු බව දැනී මා පිටු පසට හැරුනෙමි.
ඒ ඇයය. තවමත් ඇයගේ බැල්ම මටය.
" ඇයි පුතේ.. මොකද මේ.. ප්‍රශ්නයක්ද.
නැත්නම් වෙන මොනව හරි දෙයක්ද"
" නෑ ටීච... මහ හරි සතුටුයි.. ඒ වගේම මට හරි දුකයි"
"මොකක්ද කාරණේ"
" ටීච බඳිනවා නේද ළඟදි"
මම සිනාසුනෙමි. කාටවත් දැන් එහි රහසක් නැත.
" ආ ඒකද මේ... හරි දුක මොකටද එතකොට දුක"
ඇය මොහොතක් නොසන්සුන් නිහැඩියාවක උන්නාය.
" අනූ".
" ටීච එතකොට දුරස් වෙයි.. ඒක මහා අමුතු දෙයක් හිතට.. හරියට ටීච හොරු අරන් යන්න වගේ"
මම කිසිත් නොකියා ආදරණීය ටොක්කක් ඇයට දී කාමරයට එබුනෙමි.
Tuesday, March 29, 2016
කොණ්ඩෙ
කාළෙකින් බණ්ඩාරවෙලට වැස්සක් ආවා. නෝක්කාඩුවටම මැලවුන ගස්වැල් තරහා නිවාගෙනත් තිබුණා. අතු අග තාම පිණි කැට ඉරට ඔච්චම් කරද්දි පාසලේ ආරම්භක සීනුව නාද වෙද්දි දරුවො එකා දෙන්නා උදෑසන රුස්වීම පැවැත්වෙන ස්ථානයට එකතු වෙනවා. හැමෝටම ඉවරයක් නැති කතාවන් ඕනතරම්. සමහරු වැස්ස ගැන කතාව. සමහරු වාර විභාගේ ගැන. තව සමහරු ටෙලි කතා ලෝකවල. එකොළහේ පංතියෙ දරුවෙක් ඔෆිස් එකෙ. වරද කොණ්ඩය කපාගෙන නොපැමිණීම. ඇත්තටම වරද දරුවගේ. ගේ ඉස්සරහම බාබර් සාප්පු ව. දවස් දෙකක නිවාඩුව. එහෙමට කියලා අඟහිඟකම් ඇති දරුවෙක් නෙවේ. පුංචි දඬුවමකට ඒ දරුවා යටත් විය යුතුමයි. උදෑසන රැස්වීම පැවැත්වෙන තැනට මම යන්න හැරුණා. ඒ අතරෙම තව දරුවෙක් කාර්යාලයට ගෙන්නුවා. වරද සමානයි. දඬුවමත් සමානයි. ඒත් දෙවෙනියට ආපු දරුවා ආපහු රැස්වීමට ගියේ නොනවත්වා වෑහෙන කඳුළු වලට අතින් වැට බඳිමින්.
" ඔය ළමයාට නම් සල්ලි තියෙනවා ද දන්නෙ නෑ නංගි... සමහරදාට අම්මා කොණ්ඩෙ කපනවාලු සල්ලි නැති වුනාම. "
" දැන් එහෙම කරන්න බෑනේ අක්කා දහයෙ පංතියෙ නේ. කොල්ලා ලැජ්ජාව ඇති... "
රැස්වීම ඉවර වෙනකම්ම විටෙන් විට කොල්ලා කඳුළු පිහදානවා මං බලාගෙන.
"පස්සෙ ගිහින් අහන්න ඕන. " මං මටම කියා ගත්තා.
පේපර් එකත් බෙදල ඉවර වුනාට පස්සෙ මම දඬුවමට ලක්වුණු දෙවැනියා ගාවට ගියා. තාමත් ඒ ඇස්වල කඳුළු .
" ඇයි පුතේ.. කොණ්ඩෙ වැවුනම කපලා ලස්සන ට පිළිවෙලට ඉන්න එපැයි. දැන් ඔයාලා ලොකුයි. ඉළන්දාරි . ම්... මොකද ප්‍රශ්නෙ"
පුංචි එකා උත්තර දෙනවා වෙනුවට ආයෙමත් ඇස් පොඩි කරන්න පටන් ගත්තා.
දන්නෙම නැතුව ඒ හඬුගැහැන කොණ්ඩෙ අතරින් මගෙ අත ඒ දරුවගෙ ඔළුව උඩ.
පුංචි එකා ඔළුව ඉස්සුවෙ ඊට පස්සෙ..
"ලොකු කොල්ලෙක් අඬන්නෙ නෑ..මොකද ප්‍රශ්නෙ කියන්න"
" අම්මගෙන් සල්ලි ඉල්ලුවා. තිබ්බෙ නෑ ටීච...."
"හ්ම්... කීයද කොණ්ඩෙ කපන්න "
" හැත්තෑවයි.."
මම ගුරු කාමරයට ආවා. රුපියල් දෙසීයක් මිට මොළවන් ගිහින් කාටත් හොරෙන් දරුවගෙ මේසේ උඩින් තිබ්බා.
Friday, March 25, 2016
හීන
බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම ටිකක් කලබලයි. නිවාඩු දවසක් වුනත් ටියුෂන් වලට දුවන දරුවෝ එහාට මෙහාට එකිනෙකා හැපි හැපි යනවා. මේ දවස්වල උණුසුම මහ දහවල පිච්චුවාට උදේට තියන හීතලේ අඩුවක් නම් නෑ.
" ටීච...."
පුංචි එකි මහ පාර කියල බලන්නෙ නැතුවම දණ ගැහුවා.
" මහ පාරේ වඳින්න ඕන නෑ කෙල්ල... මං දන්නවා ඔයා ගැන"
" ටීචට සතුටුද... මට නම් හරි සතුටුයි .. අයි ටී වලට මං බයේ හිටියේ... ටීච යි ඒ බය නැති කළේ.. මේ රිසල්ට් එක ටීචගේ"
" මං කරපු දෙයක් නෑ පුතේ.. ඒ හැමදේම ඔයාලගේ මහන්සිය"
පුංචි එකී හිනාවෙනවා. මෑත ඉතිහාසයේ විද්‍යාලයේ හොඳම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල . ගණිතය විද්‍යාවට විශිෂ්ඨ සාමාර්ථ එක්කම.
"ටීචට මතකද මගේ යාළුවා. අර එක දවසක් මං ටීචට පෙන්නුවේ. ගණන් ක්ලාස් එකේ"
" කව්ද අර මන්ත්‍රීතුමාගේ දුවද"
" ඔව් අර හැමදාම කාර් එකෙන් එන්නෙ.. එකම ඇඳුම දෙපාරක් කවදාවත් ක්ලාස් එකට ඇඳලා නෑ කිවේ"
" හ්ම් මතකයි... ඉතිං මොකෝ එයා"
" එයා ෆේල් නෙ ටීච"
" හ්ම්....."
" මට ඉතිං හරි ආස හිතුණා එයා අඳින විදිහ දැක්කම.."
"දවසක් එයි උඹටත් එහෙම අඳින්න.. මහන්සි වෙලා ඉගෙන ගනිං.. දවසක එකම ඇඳුම පැයකට වඩා අඳින්නෙ නැතුව ඉන්න කාලයක් එයි"
පුංචි එකී දිග හුස්මක් ගත්තා. බලාපොරොත්තු අහස උසට. දුප්පත්කම අහසෙමුත් එහාට.
"මං ටීචට දෙයක් කියන්න හිටියේ"
"කියන්න"
"මං බයෝ කරන්න හිතුවා .. දොස්තර කෙනෙක් වෙන්න ඕන මට.. මට ක්ලාස් යන්න උදව් කරන්න ටීච..මං කොහොම හරි ඩොක්ට කෙනෙක් වෙනවා."
" හරි පුතේ උඹ කරපං.. හීන දැකපං.. මං පස්සෙන් ඉන්නම්..බයවෙන්න එපා"
"මට ටීචට තුරුල් වෙන්න ඕන"
දිලිසෙන ඇස් එක්ක පුංචි එකී එහෙම කියනවා මට ඇහුණා,,
Sunday, March 20, 2016
ප්‍රතිඵල
ගිය අවුරුද්දේ දවසක බලයත් අධ්‍යාපන බලධාරියෙක් ඉස්කොලේ ට ඇවිත් පොඩි සත්තමක් දැම්මා මුළු ගුරු මණ්ඩළයටම. හේතුව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අඩු යි කියලා. ඒ අතර මගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සුවිශේෂී වුනා. එක දරුවෙක් පමණක් අසමත් වුනත් මාව වියළුව ට දානවා කිවා. මේ ඉස්කොලේ ට මගෙ විෂය ඕන නැ කිව්වා. වැඩ බැරි නම් යන්න කිව්වා. උගත් මෝඩකමට මං හිනාවුනා. ගමේ උන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අකැපයි හිතන තරමට මෝඩද සම්මාන ප්‍රමාණය ද වටින්නෙ ... අපේ අධ්‍යාපන ක්‍රමයෙ කාණ්ඩ විෂයක් විදිහට එන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කවද්ද මේ රටේ හැම දරුවාට පොදු විෂයක් බවට පත්වෙන්නෙ. ඒකත් තාම නැ. ඒත් තුන්වන කාණ්ඩයේ ටිකක් සංකීර්ණ මගේ විෂයට කිසිම දරුවෙක් ටියුෂන් ගියේ නැ. උන්ට ගෙවල්වල කම්පියුටර් එකක් වත් නැ. සතියට ලැබෙන පීරියඩ් තුන විතරයි. විභාගෙ ලං වෙලා විදුහල්පතිතුමාත් චෝදනා කලා. මගේ විෂය කෙරිලා නැ කියලා. ඒත් එතුමා හෙව්වද නැද්ද දන්නැ. නිවාඩු ප්‍රමාණය වැඩි නිසා එහෙම කියන්න ඇති. ඒත් සම්‍ප්‍රදායට එරෙහි මගේ ඉගැන්වීම රටාව එක්ක මම සිලබස් කවර් කළේ අවුරුද්දේ මුල. මට යන්න කියපු උන්ට උඹලා හොඳ උත්තරයක් දුන්නෙ. මට ඉංග්‍රීසි ඉගෙන බැ . ඒත් මං IT කරන්න ආසයි ටීච කියපු අරවින්ද මගේ විෂයට ආවේ බයෙන්. ඒත් මං උඹට කිව්වෙ පුතේ කරන්න බැරි දෙයක් නැ කියලා. අනුරාධා මගේ කෙල්ල ඔව් උඹේ ප්‍රතිඵලය මට කෝටියක් වටිනවා. පංතියේ අන්තිමයාගෙන් දෙවැනියා වුන මලිඳු. උඹේ වගකීම මට දෙනකොට මං හිතුවා උඹව කොහොම හරි ගොඩ දානවා කියලා. සපත්තු දෙකක් නැති උඹට සපත්තු දෙකක් දුන්නෙ Shain C Jayakody. ක්ලාස් යන්න සල්ලි දුන්නෙ Vimukthei Akalanka. පොත් ටික අරන් දෙන්න සල්ලි කිහිප දෙනෙක් දුන්නා. ඒ හැමෝම බලාපොරොත්තු වුනා වගේම උඹ සාමාන්‍ය පෙළ පාස්. ඒක හරි වටිනාකමක් . මොකද උඹ ෆේල් මට්ටමේ හිටියේ. හිටපු ගමන් හොරා පොලිස් සෙල්ලමක් කරන්න වගේ උඹ ගැන මං හොයද්දි බයට හරි පාඩම් කළානේ.
ඔව් මං දැනං මට යන්න කියපු අයට ටටා බායි කියන්න මං ලෑස්තියි .
මට වගකීමක් ගන්න බෑ කියපු ලොකු ලොකු උදවියටත් වගවීම ගැනත් කියලා දීලා මං දැන් යන්න ලෑස්තියි .
මම පරාජය අඳුරන්නෙවත් නෑ.
ඒක ඔප්පු කරන්න මාත් එක්ක වැඩ කරපු මගේ දරුවන්ට ස්තුතියි .
සතුට නම් බොහෝ සංකීර්ණ විෂයයන්වල ප්‍රතිඵල වලට ටියුෂන් ගුරුවරුත් අයිතිවාසිකම කියනවානෙ.ඒත් මගෙ දරුවෝ විශ්වාස කළේ මාව විතරයි. උන්ට ටියුෂන් ඕන වුනෙ නැ.
ඒ වගේම අධ්‍යාපන ඇමැතිතුමාටත් යෝජනා කරන්න ඕනි මේ විෂයය හැම දරුවන්ට ම අනිවාර්ය කරන්න. Harin Fernando අැමැතිතුමා දකින තාක්ෂණයෙන් සන්නද්ධ හෙට දවස වැඩි ඈතක වෙන එකක් නැ එහෙම කළොත්.
Wednesday, March 16, 2016
දක්ෂයාට තැන
කාලෙකට පසු දරුවන් ට අළුත් බලාපොරොත්තුවක් ලැබී ඇත. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් නොපැවැත්වු බැවින් මෙවර ළමයින්ට අධ්‍යාපන චාරිකාවක් යාමට හැකි බව විදුහල්පතිවරයා දැනුම් දුන් පසු එයට ලක ලැහැස්ති වන දරුවන් ට වැඩ වැඩිය. දින ළං වත්ම නොඉවසිලිමත් ආසාව නිසා පැවරුම් අතපසු වීම්ද ඉතා ඉහළය.
සංඛ්‍යා පාද පාඩමේ ක්‍රියාකාරකම් පැවරුමක් ලෙස කරගෙන එන ලෙස සිසුන් දැනුවත් කළේ පාඩමේ සියළු අහුමුළු ද හාරමින් දරුවන්ට පැහැදිලි නිරවුල් අවබෝධයක් ලබා දීමෙන් අනතුරුවය.
" දීපු වැඩ කරගෙන ආවනෙ"
එක පීරියඩ් එකක් පමණක් වු බැවින් මම ඇසුවේ පාඩමේ අනෙක් කොටසට යාමේ බලාපොරොත්තුවෙනි.
දෙදෙනෙකු හැර අනෙක් දරුවන් පැවරුම කළ බවට සංඥා දුන්නහ.
" ඇයි ඉසුරංග මොකද ප්‍රශ්නේ"
" තේරුන් නෑ ටීච"
" හ්ම් හරි ... එතකොට එල් එස් ඩි , එම් එස් ඩි තේරුන් නැ කියන්නකො. එතකොට අර සංඛ්‍යා පාද ටික...ඒ ටික තේරෙනවානේ"
"..................................."
" එතකොට රශ්මික"
" මුල් ටික හදපු නැති නිසා අනිත් ටිකත් හදන්න බැ හිතුණා ටීච"
" ඒකත් එහෙමද... හරි මම මුල් ගණන් ටික
හදන්නම්කෝ. ඊට පස්සෙ බලමු ඔයාලා හදන හැටි"
මම එකින් එක ගණන තේරුම් කරමින් යළිත් සෑදුවෙමි.
සියලු ගණන් මම ම සාදා ඇති බව මට වැටහුනේ පසුවය.
" ඔයාලා නම් නියම ළමයි. කොහොමහරි මට කියලම ගණන් ටික හදවා ගත්තා නේද"
" මේකනෙ ටීච.. දක්ෂතාවයට අපි ඉඩ දෙන්න එපැයි"
Saturday, March 12, 2016
අළුත් ගුරුතුමා
මේ කතාව දරුවෙක් ගැන නෙවෙයි. අපේ කාලයේ දුයිෂෙන් කෙනෙක් ගැන. අල්තානීයිලා ගොඩක් වට කරගෙන ජිවිතේ කියලා දෙන.
ගමේ ඉස්කොලේ දුප්පත්කම හින්දා ටවුමේ ඉස්කොලේට යන්න බැරිව ඉතිරි වුන ළමයි ටික එකතු වෙච්ච අපේ ඉස්කොලේට සමහරවිට තියෙන පහසුකම් හරි අඩුයි. ඒත් නැත්තෙමත් නැ. සංගීත කාමරයක් නැති නිසා ගුරු මණ්ඩලයේ හැමෝම හුණ්ඩු කාමරේකට ගිහින් ගුරු කාමරය සංගීත කාමරයට දුන්නා. ගුරුවරියකුත් හිටියා. හැබැයි ඒ කාමරෙන් පිටට කවමදාවත් සංගීත හඬක්වත් ගීත හඬක්වත් ඇහුනේ නැ. ජාතික ගීය ගයද්දි අපිටම දුක හිතුණා. ඌව ගීතය තමයි ලංකාවේ ලස්සනම පළාත් ගීතය. ඒත් අපේ උන් කියද්දි යකා නගිනවා. ඒත් කරන්න දෙයක් තිබ්බෙ නැ. අපිටත් සංගීතය ගැන ලොකු දැනුමක් තිබ්බෙ නෑ.
පහුගිය දවසක ඉස්කොලේ ට මාරුවීමක් අරන් අළුත් සර් කෙනෙක් ආවා.
වෙනසක් දැනුනෙ නැ. කවුරුත් එනවා.. පොතට කරනවා. එච්චරයි .. දැන් ගුරුවරු හරි අඩුයි. දවසක් පරිගණක ශාලාවේ ඉඳන් ගුරු කාමරයට යන අතරමඟ අපූරු හඬක්. මම යන ගමන නවත්වලා එහෙමම නැවතුනා. මොන තරම් අපූරුද. මේ ඌව ගීතය. ගයන්නෙ අනේ අපේ ළමයිමද .. තාලයට ගයන්න බැරි අපේ උන් මේ තරම් අපූරුවට ගයන්නෙ කොහොමද ..
මම ජනේලයෙන් එබුණා. ගීතයට අත්වැල් දෙන්නෙ අළුත් සර්..
ඇස් වලට ආව කඳුළක් හංගාගෙන මං ආපහු හැරුණා.
ඇත්තමයි හිතුවොත් මොනවද කරන්න බැරි..
එහෙම ගුරුවරු වාසනාවක්.
උඹ මහා මිනිසෙක් අයියා.
ස්තුතියි ගුරුවරු තාම ඉන්නවා කියලා පෙන්නුවාට..