Saturday, August 27, 2016

ලොසින්ජර

ගුරුවරියකගේ මතක 39
*************************

මේ තණමල්විල අහසේ වලාකුළු පාවෙන කොටසක හෙවණ ලද බිමමය. හෙවණක් සොයා කොහොඹ ගහක් හොයන ඇස් වලට ගිනි ගන්න අව්වෙ ගේට්ටුව ළඟ උන් මිනිස් රුවක් හමු වුයේ අහම්බෙනි.. විවේක කාලය එනතුරු ඔහු බලා සිටිනවා වෙන්නට ඇත. එහෙත් වියපත් ඔහු හැරමිටියට වාරු වී උහුලන් ඉන්න ඔහුගේම ශරීරය බරක් ව ඇත. මේ සෙවණේ තවත් මා සිටිය යුතු නැත. හිස් කාලපරිච්ඡේදයක් වු බැවින් රාජකාරිමය වගකීමක් පැවරී නැති බැවින් සාරි පොට හිසට සෙවණක් කර ගැනීමේ බොළඳ උත්සහයද සමඟින් මම ගේට්ටුව වෙත ආවෙමි. අවුරුදු අසුවකට එහා වයස හෝ ඒ තරම් වයසක දුක් වින්ද ඔහු ගේට්ටුවෙන් මෙහා කවුරු හෝ එනතුරු මඟ බලන්නේය.
"සීයේ.. සීයා කවුරු එනකම්ද ඉන්නෙ"
දතක් වත් නැති ලොබු කට පුරා සිනාවකි. අව්වටම පිළිස්සුම් ලද වත පුරා ඇති රැළි අතර දා බිඳු ජල තටාක මවා ඇත්තේය.
" අපේ කොල්ලගේ නෝනා හම්බුවෙන්ඩ ආවේ නෝනා"
එහෙනම් ඒ ඥාති සම්බන්ධයකි. ඇය මේ පාසලේ ගුරුවරියක් වන්නට ඇත.
" නම මොකක්ද සීයේ ඒ නෝනගේ"
" අනේ මං දන්නෙ නෑ නෝනේ.. අපේ කොල්ලගේ කටේ තියෙන්නෙම ඒ නෝනාගෙ වර්ණනාවමයි... මං ආවේ ඒ නෝනව මුණ ගැහිල යන්න.."
" කව්ද සීයාගෙ පුතා"
"කුමාර"
අගක් මුලක් නැති කතාවක සුලමුල සොයා මා ප්‍රශ්න කර ඔහු තෙහෙට්ටු කරනවාට වඩා කාර්යාලය වෙත යොමු කිරීම යහපත් බව මට දැනුණේ ඉර දිහා ඔහු බැලු අනුකම්පා සහගත බැල්ම දුටු පසුය.
"සීයේ.. අර ඔෆිස් එකට යන්න... ලොකු සර් ඉන්නවා .. සර් සීයාට උදව් කරයි"
ඔහු සිනාසී හැරමිටි වාරුවෙන් හෙමින් ගමනක කාර්යාලය වෙත ගිය පසු මා ගුරු නිවාසය වෙත හැරුණෙමි. තේ කහට එකක රස ඕනෑවටත් වඩා දිවට දැනෙමින් තිබුණි. ගුරු නිවසේ බිම ඉඳගෙන ගෑස් ලිප මත තැබු කේතලය කෑ ගසනු තුරු මම බලා සිටියෙමි.
" ටීච... ටීච"
ගුරු නිවසේ දොරකඩ ඇසෙන්නෙ හුරුපුරුදු කටහඬකි. බිත්තියේ වාරුවෙන් යළි මා නැගිට දොරකඩ වෙත ගියේ රැළි බිඳි ගිය සාරිය සකසමිනි.
" ආ කසුන් ... ඇයි.."
" ටීචව හම්බවෙන්ඩ ඕනිලු අපේ සීයට"
ඒ මට ගේට්ටුව ළඟ හමුවු සීයාය.. එතකොට ඔහු සොයා ආවේ මාවද
" මේ මගෙ කොල්ලා නෝනේ... ගෙදර ගිය වෙලේ ඉඳන් නෝනා ගැන කියවන්නෙ.. අම්ම අප්ප කියන උන් මගේ කොල්ලට නෑ නෝනේ.. මූ ඉගෙන ගන්නවද කියල හොයල බලන්න බුදු නෝනේ.. ඒක කියන්ට මං ආවේ"

ගොත ගසමින් කෙළ පෙරෙන කටවට අත්ළෙන් පිසදමමින් ඔහු කියවයි. ඒ අතර දිළිසෙන කඳුළු නැතුවාම නොවේ..

" මං බලන්නම් සීයේ..."

" මෙික නෝනට..ලොසින්ජර ටිකක්.. "

සිලි බෑගයක දැමු ටොෆි කිහිපයක් ඔහු මා වෙත තැබුවේය.

" මට මොකටද සීයේ මේවා... "

" නෝනාට දෙන්න වෙන දෙයක් නෑ වයසක මට"

" සීයා ආය එන්න එපා.. මම එන්නම් ගෙවල් පැත්තෙ..පුතා ගැනත් මං හොයන්නම්... බොහොම ස්තුති ටොෆි  වලට.. මං හරි ආසයි ඒවට"

ඔහු යළිත් ලොබු කටෙන් මැවු ආදරණීය සිනහවකින් මගෙන් සමුගෙන ගිනි ගන්න අව්වෙම ඈත්ව ගියේය.

24 comments:

  1. සහෝදරී, මෙම සටහන් සයිබර් අවකාශයට සීමා නොකර පොතක් විදියට පළ කරන්න. 'ගුරු ගෙදර ග්‍රන්ථ කේන්ද්‍රය' නමින් ගුරුවරුන්ගේ පොත් පළ කරන අායතනයක් ගුරු මහතකු විසින්ම පවත්වාගෙන යනවා. සොයා බලන්න. ඒ වගේම මේ අත්දැකීම් සටහන් පුවත්පතකටත් තීරු ලිපියක් ලෙස ලියන්න ඉතා සුදුසුයි. පුළුවන්නම් යොමු කරන්න. මේවා අනිවාර්යයෙන්ම මිනිසුන් අතරට යා යුතුයි. ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා ..
      මුල්‍ය පහසුකම් සපයා ගත් දිනෙක මෙය පොතක් පළ කරන්න සුදානම්
      දිරි ගැන්වීම ගැන සතුටුයි

      Delete
  2. ස්තූතියි මැඩම් අප වැනිම වූ මිනිසුන්ගේ ජිවිතවලින් බිඳක් අකුරු කිරීම වෙනුවෙන්....

    දෙනෙත් මොහොතක් පියාගෙන ඔබ හා ඒ වියපත් මිනිසා අතර වූ හමුව මනසේ මවා ගතිමි.මා නොදැනීම නෙත් තෙත්වූබව පැවසීමට කිසිසේත් මැලි නොවෙමි.

    ReplyDelete
  3. නාඩි වැටෙන අපූරු මිනිස්සු

    ReplyDelete
  4. ඔබ ගැන මට ආඩම්බරයි

    ReplyDelete
  5. ඔබ ලැබූ සතුටම නොවුනත් නිරාමිස සතුටක් හිතේ ගෑවී ගියා..
    ජයවේවා..!!

    ReplyDelete
  6. මිස් මම අද තමා මේ බ්ලොග් අඩවිය පැත්තෙ ආවෙ. බ්ලොග් කියනා ලෝකෙට මං ආදුනිකයෙක් කියලා ම්ං හිතන්නෙ නෑ. පුලුවන් නම් මගේ බ්ලොගියටත් ගොඩවෙලා තේකක් එහෙම බීලා යන්න. ආ කියන්න අමතක වුනා මට තාම වයස 13.
    http://ranwanmakara.blogspot.com/
    ranwanmakara@gmail.com

    ReplyDelete
  7. Nice work, this reminds me of my school age. My parents were teachers too, I grow up in a small village as well (Sorry I do not have a Sinhala key board)

    ReplyDelete
  8. සීයා ටීචර්ව හොයාගෙන ස්කොලෙටම එනවා කියන්නේ ටීචර්ට ස්තුති කරන්න ටීචර්ට අවංකවම තමන්ගේ වැඩ ගැන සතුටු විය හැකියි.

    ReplyDelete
  9. මේ සමාජයට අවශ්‍ය ඔබ වැනි ගුරුවරියන්ය.

    ReplyDelete
  10. හරිම සංවේදි සටහනක්... තව කී කාලයක් මේ වගේ කතා අහනන් වෙයිද කියලයි මම හිතන්නේ හැමදාම..

    ReplyDelete