Tuesday, October 18, 2016

බැංකු පොත

දවස් දෙකක අසනීප නිවාඩුව අවසන් කරල ඉස්කෝලේට ගියේ කැමැත්තෙන් ම නෙවේ. තව එක දවසක නිවාඩුව අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ඒත් මම නිවාඩු රැදෙන එක තුළ පීරීයඩ් හතක දවසක අඩුව මකන්න බැරි හින්දා සාරිය ඇඟට දාගෙන ලහි ලහියේ දිව්වෙ ඇඟේ වෙහෙස අතහැරලා.
" ටීච අපි බැංකුවට සල්ලි ගෙනාවා"
මං ගේට්ටුව ළඟට එනකොටම පුංචි උන් පෝලිමක්. පහුගිය දා ඉතුරුම් වලට තෑගී දීපු නිසා ඉතුරුම් නොකරපු අයත් දැන් ඉතුරුම් වලට පෝලීමේ. හොඳ වැඩකට පුංචි අල්ලසක් දෙන එක පව් නෑ කියලා මට හිතුණ නිසා වැඩිපුර කෑම පෙට්ටි ටිකක් මම කාමරයේ තියාගෙන උන්නෙ. බැංකුවෙන් තෑගී විදිහට පොත් දෙකක් ලැබෙන කොට මගේ ගානේ මම කෑම පෙට්ටියක් එකතු කළා. රුපියල් දහයක් පොතට දැම්මත් මම ඒ තෑග්ග දුන්නා.
" ටීච.. මම පේෂලා ටීචට ඊයේ සල්ලි දුන්නා පොතට දාන්න "
" හරි පුතා මම බලන්නම්"
මඟ රැකගෙන හිටපු පුංචි එකා ට පිටට තට්ටුවක් දාන ගමන් මම මගේ කාමරයට අැඳුණා.
" ටීච... මම ඊයේ පේෂලා ටීචට පොතට සල්ලි දුන්නා"
ආයෙමත් පොඩි එකා දොරළඟ. මගේ පස්සෙන්ම ඇවිත්.
" මම ටීච ආවම අහන්නම් පුතා .."
මම උදෑසන වැඩ කටයුතු සුදානම් කරන ගමන්ම උත්තර දුන්නා. දොර දිහාවට ඇස් යොමු කරන්න තරම් වෙලාවක් මට තිබ්බෙ නෑ. සද්දයක් නැති නිසා මම හිතුවේ පොඩි එකා යන්න ඇති කියලා.
" ටීච... මම පේෂලා ටීචට ඊයේ සල්ලි දුන්නා පොතට දාන්න "
මම ගැස්සුනා . මගේ පිළිතුර ට වඩා දෙයක් ඒ දරුවට ඕන වෙලා තිබුණා. මම මේසේ උඩ තිබුණ බැංකු පොත් ටික පෙරළුවා.
චතුරංග .......
දරුවගේ පොත තිබුණා . රුපියල් තිහක් ඒ පොත අස්සෙ තිබුණා ..
" හරි පුතේ පොත තියෙනවා ... මං මේක බැංකුවට දාන්නම්"
ඒත් දරුවා හෙළවුනේවත් නෑ. ඇස් තිබුණේ කෑම පෙට්ටි දිහාවට.
මම මටම හිනාවුනා . පුංචි උන්ගෙ හිත් කියවන්න මම තාම උගත් නෑ. කෑම පෙට්ටියක් දරුවගේ අතට දීලා හිනාවුනා . දරුවගේ හිතේ තව මොනවද තිබුණා කියල දැනුණා.  ඒත් ඒක මට කියවගන්න බැරිම වුනා.
තප්පර විනාඩි ගතවෙලා තුන්වෙනි කාලජ්ජේදය එන ඉක්මනින් පොඩි එකා ආපහු කාමරේ ළඟ.
" ඇයි පුතා"
"............................"
"කියන්න ඇයි"
ගුරු මේසේ ළඟ පොඩි එකා ඇඹරෙනවා.
" ටීච... දැන් තියෙන්නෙ විද්‍යාව"
" ඔව් ඉතිං"
" විද්‍යාව පොත ඉවරයි"
" හ්ම් .. කවද්ද ඉවර වුනේ"
"ඊයේ"
" අම්මට කීවේ නැද්ද "
" කිව්වා.... ඒත් අම්මා ගාව දෙකකට දෙන්න මේ දවස් වල සල්ලි නෑ කිව්වා"
" මොකක්ද දෙක"
"බැංකුවටයි.. පොත ගන්නයි...අම්මා පොත ගන්න දීපු රුපියල් තිහ තමයි බැංකුවට දැම්මේ.. එතකොට ටීච තෑග්ග ට පොත් දෙකයි කෑම පෙට්ටියයි දෙනවනෙ... "
මං හිනාවුනා. ඒත් බැංකුවේ තෑගි ඒ වෙද්දි ඉවර වෙලා. මම කාමරේ හැම තැනම පීරුවා. එකම එක පොතක් .. ඔව් එකම එක පොතක් මගේ වාසනාව ට මට හමුවුනා.
පොත ගත්තු ගමන් ළමයි අතරේ පොඩි එකා හැංගිලා යනවා මං බලාගෙන

10 comments:

  1. ලිපිය කියවද්දී කදුලක් එක්කම පොඩි සතුටකුත් දැණුනා. ඔබතුමියගේ සේවාව අගයමි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මගේ ඇස්දෙක තෙත් වුණා. මගේ දියණිය මේ වගේ වෙලාවට සිහියට එන එක වලක්වන්නම බෑ. මගේ පාසල් කාළෙත් ඒ එක්කම මතකයට ආවා

    ReplyDelete
  3. සිරාවටම දුක හිතුන අක්කෙ. අපි කන්න බොන්න යාලුවො එක්ක ෆන් ගන්න වියදම් කරද්දි මේ පොඩි එකාගෙ අම්මා පොතක් ගන්න රු50ක් දෙන්න නැතුව දුක් වෙනවා.

    ReplyDelete
  4. සල්ලි....සල්ලි...සල්ලි....හපොයි.

    ReplyDelete
  5. මොනවා කියන්නද හිතා ගන්න බෑ. හැමදේම තියෙන අය අතරේ මෙහෙම දේකට වියදම් කරන්නත් දෙතුන් පාරක් හිතන මිනිස්සු අපි අතරේ ඉන්නවනේ.

    ReplyDelete
  6. පුලුවන් හැමවෙලේම වැඩකට නැති වියදම් අඩු කරලා ඒ ඉතුරු වෙන ගාන මේ වගේ දෙයකට දෙන්න....

    ReplyDelete
  7. කිය කිය ඉන්නැතුව ඔබ ක්‍රියාවෙන්ම දායක වෙලා ඊට අමතරව ඒ පණිවුඩය බෙදා හැරීමටත් ඉදිරිපත්වීමයි මා දකිම වැදගත්ම ගුණාංගය.
    නැත්තන් සම හරක් ටැබ් එකෙන් ඊබුක් එක රිෆර් කරන්න බැරි ළමයි ලංකාවෙ නෑ කියල කියන දවසටත් වැඩි දුර නෑ.ඇත්තටම එහෙම දවසක් උදාවෙනව නම් හොඳයි.
    ජයවේවා..!!

    ReplyDelete
  8. ඇහැට කඳුලක් ආවා...ඔබේ ක්‍රියාව අගය කරනවා බොහොමත්ම...

    ReplyDelete