Thursday, July 27, 2017

එයා ඉන්නෙ දිව්‍ය ලෝකේ

කාලච්ජේදය අවසන් වන සීනූව නාද විය.
ඔවා සිප් දීමේන..
ම‍ා හික්මවන ප්‍රේමෙන
ඇඳුරු හද බැතියෙන
වදිමි ගරු සිත පෙරටු කරගෙන

මම පොඩි උන්ට සමුදෙන්නටත් පෙර ඔවුන් මට ආයුබෝවන් කියන්නට කවිය කියයි. වෙනදාට පොල්ලක් අරගෙන වත් එලවන්නට නොහැකි දරුවන් සඳුදා දිනයට මට නොකියාම යන්නට තරම් හදිස්සිකාරයන්ය. ඒ මගේ කාලච්ජේදයට පසුව එන විවේක කාලයට ඔට්ටු වෙන්නටය. කෑම එක කටට දෙකකට ගිලින ඔවුන්ගේ ඊළඟ නවාතැන ගිනිගහන අව්වෙ කාෂ්ඨක පිට්ටනියය. හිස අතගාන තුරුම පාත් වීම සිටින දරුවන්ට අද ඇත්තේ පුදුම කඩිකුලප්පුවක්ය.  මම තනියම සිනාසුනෙමි. මම ද ළමයෙක්ව උන්නෙමි. දරුවන්ගේ දඟකම් වලින් හිත තැලෙන හැම විටම මම සිතුවේ එසේය. මගේ එක්ක මගේ කතා ඉවර වෙන තැන එක දරුවෙක්වත් කාමරයේ නැත. උන් ඔක්කොම මා අතැර උන්ගේ ලෝකයේ දිව්‍යමය සුව දැනෙන කාෂ්ඨකෙට පැන හමාරය. මම ද ගුරු විවේකාගාරය දෙසට යාමට කාමරයේ දොරගුළු දැමුවෙමි. මේ වෙලාවට දුම් දමන කහට වැඩි තේ කෝප්පයක් චම්පා ටීච අතින් හැදෙන එක අනිවාර්‍යය. ඌව හයිලන්ඩ්ස් තේ කොළ වලින් හදන තේ එකෙ රස මතක වූ නිසාම මම පය ඉක්මන් කළෙමි.  බොහෝ තැන් වල අව්වට හේඩෑරී වි ගිය ගහකොළය. දූවිලි අවුස්සමින් සුළඟ හිටි ගමන් රස්තියාදුවේ යයි. මම සාරි පොට හිසට දමා ගත්තෙ අව්ව රවටන්නටය. උඩ බලාගෙන විකාර සිතුවිල්ලෙ හදිස්සියේ දිවු මම පියවි සිහියට ආවේ කකුල පය ගැසී වැටෙන්නට ගිය තැනය. කවුරුවත් දැක්කා නම් විලි ලැජ්ජාවය. මම හතර අත බැලුවෙමි. කවුරුත් නැත.
"ඇති යන්තම්" මම මටම ස්තුති කර ගත්තෙමි.
"හි..හි .ටීචලාත් වැටෙන්න යනවා"
මම ගල් ගැසුනෙමි. කිසිවෙක් නොසිටි බව මට ඉරහඳ සේ විශ්වාසය. මම උන් තැනම මොහොතක් ගල් ගැසුනෙමි.  හඬ ආවේ පරිගණක ශාලාවේ පිටුපසිනි. මම ඒ දෙසට හැරුනෙමි. ඉස්කෝලේම දඟකාරයා කවිෂ්ක එතැනය. ඔහු තාමත් සිනාසෙයි.
" වැටුනම හිනා වෙනවද.. ආ.."
මම ටිකක් සැරට ඇසුවෙමි.
" ඉතිං ටීචලත් වැටෙනවද"
"වැටෙනවා නේන්නම්.. මේ දැන් මම වැටුණේ"
පොඩි එකා ආයේම කොක්හඬලා සිනාසෙයි.
" ඇයි හිනාවෙන්නෙ..."
"ඉතිං ටීච ටීචලා දඟ නෑනේ.. දඟ ළමයිනෙ වැටෙනවා කියල  කියන්නෙ"
" කව්ද කිව්වෙ"
" අපේ අම්මා"
මම පොඩි එකාගේ කන් පෙත්ත හිනීයට අල්ලා ගත්තෙමි. ඒ ආදරණීය තරවටුවට දරුවන් කැමැතිය. ඔවුන්ට විශේෂ අවධානයක් ඉන් ලැබෙතැයි පුංචි උන් විශ්වාස කරයි.
"ඉන්නවකො.. මම අම්මට කියන්න පුතණ්ඩියාගේ තරම..."
" අපේ අම්මා ඒක දන්නවා.. ටීච.. ඒකනේ.. මට කිව්වෙ රංගෝලයා මම කියල එයාගේ"

මම සිනාසුනෙමි.

"ඉතිං හොඳයිනේ.... කොච්චර හොඳද එහෙම කියන එක.. රත්තරං ගෝලයා කියලනෙ අම්ම කියන්නෙ"

කොල්ලා ආපහු උඩ පැන පැන සිනාසෙයි. එවර නම් මට කේන්තිය තරමක් දුරට මා සොයා ආවේය.

" පුතේ.. ඔයාට මොකද මේ.. ආ."
"ඉතිං ටීච කරන්නෙ හිනා යන වැඩමනේ"
"මං දැන් මොකක්ද කළේ"
" ඇයි ටීච.. අපේ අම්මා කිව්වෙ  රත්තරං ගෝලය කියල නෙවේ.."
"එහෙනම්.."
"රන්ගෝල අනිත් පැත්ත හරවන්නකො.."
"රන්ගෝල.. ගෝල රන්"
පොඩි එකා එවර නම් මට සමච්චල්ම සිනාවක් තෑගි කළේය.
"ටීච නම් ටියුබ් ලයිට්ම තමයි... හයියෝ මන්දා.. ටීච.. රන්ගෝල .. ගොන්රාළ..ටීච.. ගොන්රාළ.."
එවර නම් මම සිනාසුනේ මටමය. පොඩි එකාගේ හිස අතගාමින් මම මටම සිනාසුනෙමි.
" ඉන්නවකො.. අම්මා හම්බුනාම මම කියන්නම් මේ කතා.. අම්මාටත් විහිළු කරනවා කියල"
එවර පොඩි එකා ගැඹුරු හුස්මක් මට පිම්ඹේය.
" ටීචට එයා හම්බ වෙන්න දිව්‍යලෝකේ යන්න වෙයි"
"ඔයාගේ විහිළු තෝර තෝර හිටියොත් පුතේ .. මට අද තේ නැතිවෙයි"
"ටීච යන්න.. ඒක විහිළුවක් නෙවේ.. අම්මා මැරිලනෙ ටීච.. එයා දිව්‍ය ලෝකේ නම් යනවා ෂුවර්"

3 comments:

  1. හිතට වැදෙන අත්දැකීමක්...

    ReplyDelete
  2. එදා තේ එකේ රස දැනුනද ? මට අකුරු බොදඋන

    ReplyDelete