Tuesday, October 13, 2015
.අපි හරි දුප්පත් ටීච
සතියක්ම නිවාඩු උන්න නිසා වැඩ හුඟක් ගොඩ ගැහිලා...පුංචි පුංචි හැල හැප්පීම් ජිවිතේ නැතුවාම නෙවෙයිනෙ. එත් පොඩි උන් එක්ක ජිවිතේ හරි සැහැල්ලුයි.එක අකුරක් වත් අතපසු වෙයි කියන බයත් එක්ක හැල්මේ දුවන ගමන් මං එක දරුවෙක්ගෙ සටහන් පොත ගත්තේ දීපු වැඩක් කරලද බලන්න. පොත මගෙ අතට දුන්නත් මගෙ මුණ දිහා බලන්නෙ නැතුව ඉන්න පොඩි එකී හරි පරෙස්සම් වුනා.
"කෝ පුතේ වැඩේ කරලා නෑනේ" මට දැනුණ දේ ඇත්තටම වෙලා තිබුණා. කරගෙන එන්න දීපු අභ්‍යාස වෙනුවට තිබුණෙ හිස් පිටු ටිකක් විතරයි. මට ඇත්තමට කේන්තියි.ඊටත් වඩා දුකයි. වෙන දෙයකට නෙවෙයි. මේ පොත අයිති වුනේ පන්තියෙ දක්ෂතම දරුවට. මං කෝටුව ගත්තෙ දඩුවමක් දෙන්න ඕනි නිසාමයි.
"අල්ලනවා අත"
මං කෝටුව ගන්නකොටත් පොඩි එකී වැරැද්ද බාරගෙන අත දික් කරලත් ඉවරයි.
එත් "දරුවෝ සත්තු නෙවී" කාලෙකට කලින් දීපු දඬුවමක් ගැන කියද්දී මගෙ හිතවතෙක් මට දොස් පවරපු හැටි පපුවේ කොණක ඉඳන් මහ හයියෙන් කෑ ගැහැහුවා.
මම කෝටුව පහතට දැම්මා. දරුවා මගේ ළඟට ගත්තා. ඉණ වටේ අත දාලා මගෙ පපුවට තුරුල් කර ගනිද්දිත් පුංචි එකී ගැහෙනවා.
"කියන්න ඇයි කරන්න බැරි වුනේ.... ම්...."
දරුවගේ ඇස්වල කඳුළු.
"අපේ අම්මට සනීප නෑ ටීචර්.... ගෙදර උයන්නෙ මම"
මම හිනා වුනා .
"එක කොච්චර හොඳද පුතේ... මට වත් රසට උයන්ඩ බෑ... ඔයා හරි ෂෝක් නේ... ඉතිං උයලා ඉවරවෙලා රෑ වෙලා කරන්ඩ තිබ්බනේ" මට ඕනි වුනෙ කෙල්ලගෙ හිත කියවන්න. මටත් හංගන කතාවක් මහ හයියෙන් ගන්න හුස්ම අස්සෙ තියෙනවා කියලා මට දැනුනා.
“පුතා”
පුංචි එකී ඇස් දෙක බිමටම හරවාගෙන උන්නා. ඇස් දෙකෙ කඳුළු නතර වෙලා තිබ්බෙ නෑ.
“අපි මහන්සි වුනොත් නේද විභාගෙ හොඳට පාස් වෙන්න පුළුවන්. කම්මැලි වුනොත් අපි පරාදයි නේද”
කිසිම උත්තරයක් මට දෙන්න පොඩි එකී සුදානම් නෑ. කතාකරන කඳුළු එක්ක විනාඩි කිහිපයක් ගෙවෙන්න ඇති.
"............"
"කමක් නැ මට ගහන්න ටීච"
මං දිහාට කඳුළු පිහදාන ගමන්ම කෙල්ල අත දික්කළා. වැරැද්දක් වුනත් කෝටුවට බර දෙන්න මගෙ අත ඉස්සුනෙ නෑ. කොහේ හරි මට වැරදුන වග විතරක් හිතට දැනෙන්න ගත්තා. මං කෝටුව පන්තියෙන් එළියට විසිකරලා එළිමහනට ආවේ හිත ටිකක් හිස් කරගන්න හිතාගෙන. පුංචි එකීගෙ අඩි සද්දෙ මගෙ පස්සෙන් එනවා ඇහුණත් මං හැරිලා බැලුවෙ නෑ.
" තාත්තා වැඩ ඉවර වෙලා එද්දී රෑ වුනා ටීචර්..... තාත්තට දවස් 2කින් පඩි දීලා නෑ... ගෙදර ලාම්පු තෙල් ඉවර වෙලා...අපිට කරන්ට් එක නෑ... පාඩම් කරන්න ආසයි.. එත්.. අපි හරි දුප්පත් ටීච" කාටවත් ඇහෙන්නෙ නැති හුස්මටත් හොරෙන් කෙල්ල කියනවා මං අහගෙන.
පසු සටහන:
මේ දරුවාට විදුලිය ලබා දීමට ගවීන්ද සිල්වා ආදරණීය ෆේස් බුක් හිතවතා අනුග්‍රහය ලබා දුනි.
ඇයගේ නිවසට විදුලිය ලබා දීමට අපට හැකි විය
Saturday, October 10, 2015
රණ්ඩුව
හා හා පුරා කියලා ඉස්කොලේ ඉස්සෙල්ලාම දවස. හරියටම මාසයක් නිවාඩුවට වහලා දාපු ඉස්කොලේට ම අද රජමඟුල් වගේ. පොඩි උන් එක්කම ගහ කොළ පවා ඔට්ටු සෙල්ලම් කරන්න පටන් අරන්. හැමදේම අළුත්.ඉස්කොලෙ විතරක් නෙවෙයි අහසත් හරි අළුත්.. සාරි පොට ඉව කරමින් අළුත් සුවඳයි කියන පුංචි උන් රොත්ත එක්ක මං ටිකක් වෙලා අතරමං වෙලා උන්නා.පොඩි උන්ට මාසයක් පුරා කියවන්න දාහක් දේවල් එකතු වෙලා තියෙනවා වගේ.හැමෝම ඕපදූප මළු පුරවන්න පටන් අරන් .ඒ අතරේ දේවදාර ගහ ළඟ හැංගුන ආදරවන්තයො ගැන හොයන්න ඇස් දිව්වට මගේ පාඩුවේ ඇහැළ මල් වැට දිහා බලන් ඉන්න කියලා මගේ හිත මට කිව්වා. ඒත් ඇස් ඇහැලමල් දෙවැට දිගේ යවලා මං නතර වෙලා උන්නෙ පාසල් ප්‍රේම ජවනිකා වල දෙබස් අහන්න.
" ටීචට මේ පොත බලන්න කිව්වා" ශිෂ්‍ය නායිකාවක් මගෙ අතට දුන්නෙ ගුරු නිවේදන පොත. දැන් ඉතිං යන්න වෙනවා.දම්මි සුගත් ආදර කතා වල හොර ගල් අහලපු මට එක වසරට යන්න කියලා එවපු නිවේදන පොතට මම හිතින් සාප කරමින් ප්‍රාථමිකය පැත්තට ගියා.
"අ ... නේ ටීච ර්... මෙයා මට බනිනවා" පන්තියෙ දොරකඩටම පැමිණිල්ල ඇවිත්.
" හරි අපි බලමුකෝ.."
පුංචි එකා ඒ උත්තරය පිළිගන්න සූදානම් නෑ.
"මෙයාට ගහන්න ටීච"
"හරි ඉතිං මං නඩුව අහන්නම්කෝ... එන්න "
" බෑ බෑ නඩු එපා.. ටීච මෙයාට ගහන්න"
"ඉතිං ටීච මෙයත් මට පැන්සලෙන් ඇන්නනේ"
රණ්ඩු කරපු අනෙත් දරැවා පැන්සල් තුඩු පහරකින් තුවාල වුන මහපටැඟිල්ල මට පෙන්නුවා. පුංචි තුවාලයක් තමයි. ඒත් කදුළු පේළි දෙකතුනක් ගලපු සළකුණු පොඩි එකාගේ මුහුණ පුරා තිබුණා.
"කව්ද ඉස්සෙල්ලාම රණ්ඩු කළේ "
" මෙයා ටීච"
"නෑ මෙයා "
අන්තිමට මුළු පන්තියම එකම කාලගෝට්ටියක් වෙලා.පොළොව දෙදරන්න දෙපැත්තටම සාක්ෂි කියන්න පටන් අරන්.
ප්‍රාථමිකයේ ගුරැවරැ ඇත්තටම විඳින්නෙ බරපතල වැඩ සහිත සිරදඬුවම් නේද කියලා මට හිතුණේ මේ රණ්ඩුවට විසඳුමක් හොයන්න මාත් එක්කම පොර බදන ගමන්.
" හරි පුතේ මේක මට බේරන්න බෑ.. මං මේක පොලිස් මාමා කෙනෙක්ට කියන්නම්. ඔයාලා පොලිසි මාමාට කියන්න වැරදි කව්ද කියලා"
ගණදෙවි නුවන මට පහළ වුනෙ පාසල් ගේට්ටුව පහු කරන පොළිස් නිළධාරියෙක් දැක්කට පස්සෙ. පන්තියම මීයට පිම්ඹා වගේ නිශ්ශබ්ද වුනත් පැන්සල් පහර කෑ දරැවා අඬන්න පටන් ගත්තා.
"දැන් අඬන්න එපා නඳුන්. අපි විමක්ෂ ව යවමු පොලිසි. එතකොට එයා අපහු කාටවත් ගහන එකක් නෑනේ.එන්න අපි තුවාලේ සෝදලා බෙහෙත් දාමු"
"අනේ ටීච මට රිදෙන්නෙ නෑ. විමක්ෂ පොලිස් මාමට දෙන්න එපා. එයා තමයි මගෙ හොඳම යාළුවා. එයා හොඳයි.එයා නැතිව පාළුයි "
Friday, October 9, 2015
මගේ පොතේ වැරදි දැම්මේ කව්ද?
හිතුවක්කාර සුළඟ එහාට මෙහාට නලියයි. අකීකරැ සාරි පොට මට කලින් ගමනේ යයි. ඉර එළියට ඔට්ටු වෙන ගහ කොළ කහ පැහැති වී ඇති හැටි දුක්මුසුය. ඇහිපිල්ලමක් ගහන තප්පරෙට ශරීරයේ වෙහෙස උඩු දුවයි. ඓතිහාසික සංඛපාල වෙහෙර පිහිටි ගල් කඳු මුඳුන ඈතින් පෙනෙන මානයෙ ඉසව්වක පුංචි පාසලක දෙකෙ පන්තියේ ගුරැ පුටුවට ඇන තියාගෙන පොඩි උන්ගෙ ක්‍රියාකාරකම් දෙස බලා උන්නෙමි. පරඩැල් වු ජිවිත වලට පණ දෙන්නට පොඩි එකෙක් ගෙ එක හිනාවක් ඇතිය. අව්වටම කළු ගැසුණු මුහුණු වලද බලාපොරොත්තුවේ සේයාවන් ඇත.
බරටම වැඩ කරන පොඩි උන් අතර එක් දැරියක් අනිකා සමඟ පොර අල්ලයි. මා පංතිය තුළ සිටින වගක් වත් ඇයට අදාළ නැත. කලහකාරි හැසිරිම අනෙක් දරැවා වෙත ඉසිලිය නොහැකි බව දැනුන හෙයින් මම ඇයව මගේ ළඟට ගෙන්වා ගතිමි.
"දුව ඔයා ටීචගේ මේසෙ උඩ පොත තියාගෙන ලියන්කෝ "
ඇය කිසිත් කීවේ නැත. ඒ වෙනුවට පුංචිකමට නොවු රැවිල්ලක් මා වෙත තිලිණ කර ඕනෑවට එපාවට වාක්‍ය ලියන්ට පටන් ගත්තාය. හිතුවක්කාරකමෙත්
" හරි දඟයි නේද ඔයා"
" මොකටද අහන්නෙ" දුන් පිළිතුරෙන් මගෙ කට වහන්නට ඇය සමත් වුවාය. මම මටම සිනාසුනෙමි. පොඩි දරැවෙකුට මම බිය වූ බව මට දැනෙන්නට විය.
" කෝ ඔයා ලියලා ඉවර නම් දෙන්න බලන්න" සන්සුන් වන්නට තතනමින් මම දැරියට අත පෑවෙමි.අපරක්ෂාකාරි ලෙස භාවිත කළ සලකුණු සහිත පොත ඇය මා වෙත පෑවාය..
ඇයගෙ නොසන්සුන්කම පොත තුළද විය. ලියු වාක්‍ය වල වැරදි තැන් බොහෝය.
මම වැරදි තැන් සළකුණු කළෙමි. ඒ සැණින් ඇය මගෙන් පොත උදුරා ගත්තාය.
"ඒයි..... කව්ද කිව්වෙ මගෙ පොතේ වැරදි දාන්න"
පසු සටහන
ගුරැ සිතක මතක අතර ලියැවෙන මේ කතා සත්‍ය සිදුවීම්ය.මේ කතාවට අදාළ දැරිය පැවසු වචනය ප්‍රසිද්ධ මාධ්‍යයක භාවිතා කළ නොහැකි තරම් අශෝබනය. අශිෂ්ඨය. පසුව ඇගෙ පන්ති භාර ගුරැවරයාගෙන් දැනගත් පරිදි ඇයගෙ පියා කසිප්පු ව්‍යාපාරිකයෙක් වන අතර නිවසේ කතා කරන භාෂාවන් හා හැසීරීම් රටා මේ දියණියගේ පෞරැෂත්වය කෙරෙහි දැඩි බලපෑමක් සිදු කර ඇත. දෙමාපියනි, විමසිලිමත් වන්න. දරැවන්ගෙ ප්‍රධාන ආදර්ශනය ඔබය
Subscribe to:
Posts (Atom)


