Monday, November 2, 2015

මගේ කෙල්ලට බැන්නෙ ඇයි



බස්රථය පාලම අසළ නතර විය. ඒ මගෙ නැවතුමය. සුපුරුදු හෝල්ට් එකට එන විට බෙල් එක නැතත් ඩ්‍රයිවර් මහතා මා වෙනුවෙන් බස්රථය නවතයි.ගමේ හැටි එහෙමය. ගෙදරට හැරෙන අඩි පාරේ අළුතින් ඉදිවෙන බෝධි ප්‍රකාරය දෙස මම බලා උන්නෙමි. හිත සැනසිල්ලෙ සතුටකින් පිරී ගියේය. තව ‍ටික දවසකින් වැඩ නිමවෙනු ඇත. ටික වේලාවක් බෝ මළුවේ රැදී උන් මම දොළ පාර හරහා වැටී ඇති කොන්ක්‍රීට් ලෑල්ලට ගොඩ වුනෙමි. එගොඩ ගොඩ පිහිටි මගේ නිවෙස දෙස සිට පාසලේ දරුවෙකුගෙ මව හා පියා පැමිණයහ. ඒ වන විටත් මම මඟ දුරක් පැමිණ සිටි බැවින් මට ආපසු හැරෙන්නට ද නොහැකිය. දරුවාගේ පියා මා සිටින බව නොතකා ඉදිරියටම ආවේය.

" ආ නෝන මහත්තයා... අපි මේ උඹෙ ගෙදරට ගිහින් එන ගමන්....."

ඔහු විශාල ගලක්ද රුගෙන ඇවිත් තිබුණේය. එකවරම පාත් වු හෙණය කුමක්දැයි මම නොදැන උන්නෙමි.

" මොකක්ද ප්‍රශ්නෙ... කෑගහන්නෙ නැතුව කියන්න මහත්තයෝ... මේක මහ පාර.. පෞද්ගලික දෙයක් නම් දැන් කියන්න.. රාජකාරි දෙයක්නම් හෙට ඉස්කෝලේ ට එන්න."
මම සංසුන් වන්නට උත්සහ කරමින් කීවෙමි.

"හෙට ඉස්කෝලේ එන්න කළින් මං දැන් උඹ බාවනවා...  ම‍ගෙ දරුවට ඉස්කෝලේ දී උඹ බැන්නෙ කාගෙ හයිය අරන්ද..."

මම තුෂ්නිම්භූත වුනෙමි.ඔහු කියන අණ්ඩරය මට තේරේන්නෙ නැත.
" ඔයාගෙ දුවට කවද්ද මං බැන්නෙ.. වැරදීමක් .. "

" අද උදේ රුස්වීමේදී උඹ බැනලා. ..ඒකී වහ බොන්න හදනවා.මං ආවේ තෝත් බාවන්න"

මෙය වැරදීමක් විය යුතු බව මට දැණුනි. අද උදෑසන රුස්වීමට තියා මසක සිට උදෑසන රැස්වීමකට මම සහභාගි නොවුනේ විදුහලේ ලිපි ලේඛන කිහිපයක් පරිගණක ගත කිරිමේ වගකීම මා සතු වු නිසාය. අන් කාරණය වන්නෙ මේ දරුවා මගෙ විෂය නොහදාරණ නිසා සිදුවිය හැකි වචන ගණුදෙනු අල්පවීමය. නමුත් අද දිනය තුළ කිසිදු වේලාවක මෙම දරුවා මට හමු වුයේ නැත.

" මහත්තයාට වැරදීමක් වෙලා.. හෙට ප්‍රින්සිපල් ට කියන්න ඇවිත්.. "

මම ඔහු මඟ හැරියෙමි. නමුත් ඔහු මා තල්ලු කරන්නට මෙන් ඉදිරියට ආවේය. මම වහා හැරී බෝ මළුව දෙසට ඉවත් වුනෙමි. තල්ලු කළා නම් වැටෙන්නෙ දොළ පාරේ ගල්  ගොඩටය.
අසැබි වදන් අවමන් ඉදිරියේ මම විදුහල්පතිතුමා වෙත දුරකතන ඇමතුමක් දුනෙමි.ඔහුගෙ තීරණය වුයෙ මගෙ පෞද්ගලික දේවල් අදාළ නැති බවත් පොලීසි නොගොස් ගෙදරට යන ලෙසත්ය. පාර දෙපස නරඹන්නො විශාල පිරිසක් මගෙ
අසරණකම වින්දනය කරමින් උන්හ. මට නොකියා මගේ කඳුළු මටම සරදම් කරමින් ගලා ගියේය. මට මතක් වුනේ අම්මාය. ඇයද දුරකය. විදුහල්පතිතුමා වත් මගෙ පිහිටට නැත. ගමේ කසිප්පු විකුණපු පුද්ගලයෙක් හා හැපෙන්නට මගෙ ගැහැණුකමටද බැරිය. නරඹන්නන්ගෙ අනන්ත කතා මැද මම නිවසට ගියෙමි. සිදුවු දෙය මට අදහාගන්නටද බැරිය. පසුදින වනතුරු මට ඉවසුමක් නැති විය. අඩු තරමේ විදුහල්පතිතුමා මා නිර්දෝෂ බව හෝ කියනු ඇත.
මම විදුහලට ඇතුළු වීමටත් පෙර දැරියගෙ දෙමාපියන් විදුහලට පැමිණ සිටියහ. නඩුව අසා තිබුණි. විදුහල්පතිතුමා ගේ දෝෂ දර්ශනයද මට විය. දෙමාපියන් පොලීසි යන බවත් එයින් විදුහලට ඇතිවන අපකීර්තියට වග කිව යුත්තෙ මම බැවින් දරුවා ගෙන් හා මව්පියන්ගෙන් සමාව ඉල්ලීම සිදුකිරීම මගෙ වගකීම බවත් තීරණය කරමින් කැකිල්ලේ රජ නඩුව අහවර විය. සිදුවු දෙය පිළිබඳ ව මගෙන් කරුණු විමසීමක් නොවීය. දරුවාට බැන්නා යැයි පැවසෙන ගුරුවරියද නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම මා තවත් අසරණ කරවීය. සාධාරණය හා මනුස්සකම අතර මම අතරමං විමී.

" මං සමාව ඉල්ලන්නම් සර්.. ඒත් මෙතැනට ඒ ගැණු ළමයයි තාත්තාවයි ගෙන්වන්න..."

විදුහල්පතිතුමා ගෙ අණින් ඔවුන් කාර්යාලයට පැමිණියහ. මම බැලුවේ දරුවා දෙසය.

" මගෙ ඇස් දෙක දිහා බලලා කියන්න කොයි වෙලාවේද මං ඔයාට බැන්නෙ"

"උදේ පන්තියට ටීච ආවනෙ පේපර් දෙන්න අයි ටී ළමයින්ට.. ඒ වේලාවේ...උදේ රුස්වීමේදි ලතා ටීච මටයි බැන්නෙ කිව්වෙ.. කසිප්පු කාරයාගෙ දුව කියලා ඊට පස්සෙ ටීච ගියේ... "

මම පන්තියට ගිය වගක් මතකය. පේපර් දුන් බවත් මතකය. එහෙත් ඇය කියන
කතා බොරුය. තර්ක කිරීම වැරදිය. වැරුද්දට සමාව ඉල්ලනවා හැර අන් යමක් නොවීය. ගුරු ජිවිතයෙ අප්‍රසන්නම දවසේ මම හුස්ම ගත්තේද අමාරුවෙනි.
ඉන් අවුරුද්දකට පසු ඇය මගෙ උසස්පෙළ පන්තියෙ අසුන් ගත්තාය. කිසිදු වෙනසක් නොපෙන්වා ඇයට ද සමානව ඉගැන්වීමේ හැකියාව මට තිබුණි.

" මාත් එක්ක තරහක් නැද්ද ටීච"
" හේතුව"
" මං ටීචට තාත්තාට කියලා බැන්නුවා... ටීච ඇඩෙව්වා.. ඒත් අද මට ටීච කතා කරන්නෙ තරහක් නැතිව.. "

" මං වැරද්දක් කළේ නෑ කියලා මගෙ හිත දන්නවා පුතා.. එච්චරයි .. ඔයා එහෙම කළෙ ඇයි කියලා මං අහන්නෙත් නෑ "

ගැණු දරුවා බොහෝ වේලාවක් යනතුරු කිසිත් නොකියා උන්නාය.

" ටීච... අතු ගෑවේ නැතුවට දවසක් මට බැන්නනෙ... ගැණු ළමයෙක් වුනාම හරියට අතු ගාන්න වත් බෑ කියලා.. මට එදා තරහ හිතුණා. ලතා ටීච උදේ රුස්වීමේදී බැන්නා සමහර ගැණු ළමයි අතු ගාන්නවත් දන්නෙ නෑ කියලා.. මං ගෙදර ගිහින් කිව්ව...ඒත් ලතා ටීචගෙ මහත්තයාට තාත්තා බයයි. ටීච ට විතරක් බැන්නෙ ඒකයි.. "

මම හිස ඔසවා ඇයට සිනහවක් පමණක් දුන්නෙමි.

23 comments:

  1. පලවෙනි වතාවට මෙහෙට ගොඩ වුනේ..
    එල ද බ්‍රා

    ReplyDelete
  2. බුදු අම්මෝ, එහෙමත් ළමයි, හැබැයි මං නං නොකළ දෙයකට වරද පිළිගන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අසරණ වෙනවා

      Delete
    2. ටෙලි නාට්‍යයක මා දුටු ජවනිකාවක්.

      මෙහි ගමක සිටින තරුණ ගැහැණු ළමයෙකු පන්සලේ හාමුදුරුවන්ට වශී වෙලා ඉන්නවා. ඒ අතර ඇයව ගමට ආ පිටස්තර තරුණයෙකු නිසා දරුවෙකු ලැබෙන්න යනවා.

      කවුද මේක කළේ, කියපං උඹට උෘට බන්දලා දෙනවාය කියා තරුණියට දෙමව්වපියන් තර්ජනය කළ විට තරුණිය කියන්නේ අර සිල්වත් හාමුදුරුවන් කළාය කියායි!

      මං හිතන්නේ ජයසේන ජයකොඩි ගේ කතාවක්.
      තරුණිය - අමා විජේසේකර
      පිටස්තර තරුණයා - රවීන්ද්‍ර යසස්
      හාමුදුරුවන් - සුමින්ද සිරිසේන

      නොකළ වරදක් පිළිගැනීම බොරු කීමක් නේද? ඒ කියන්නේ වරදක් (පවක්!)

      Delete
    3. මේ කියන පොත "පිච්ච මල " හෝ "අරලිය මල් ආරාමය " වෙන්න ඕන.. නාට්‍ය නම් මතකයක් නැහැ. ඒත් ඔය පොත් ටික නම් අමතක වෙන්නේ නැහැ කවදාවත්..

      Delete
  3. ගුරු වෘත්තියත් සෑහෙන්න බයානකයි වගේ

    ReplyDelete
  4. ඇයි වරද පිලිගත්තෙ. නොකරපු දෙයක්නම් කවදාවත් පිලිගන්න නරකයි. ඒක අපිටම හෙනේට හිටිනව. අනේ මෙහෙමත් දෙමාපියො. අපේ දෙමාපියොත් ඔහොම නම් අද ගුරුවරු නෑ.

    ReplyDelete
  5. ඔහොම වෙනව ටීචර් දවසක් අපේ කෙල්ලෙක්ගේ ලවු ලෙටර් එකක් ටීචට අහුවෙලා ටීච ඒයාට ගැහුවා ඊට පස්සේ අම්මයි තාත්තයි ඇවිත් ටීචට හොදටම බැන්නා හරිම නරක විදිහට... පන්තියේ හැමෝම ඇඩුවා... අපි ටීචට බයයි ගහන නිසා පන්තියට නොඑනවනම් හරි ආසයි එදාට අවුරුදු වගේ ඒත් ටීචට බනිද්දි මාරෙටම දුක හිතුනා...

    ගුරුවරුන්ගේ වටිනාකම නොදන්න අයත් ඉන්නවා

    ReplyDelete
  6. ඔබට චෝදනාකත් දාලි බ්ගොග් එකක තිබ්බා. ඒකේ ලින්ක් එක දිගේ ආවම වැටුනේ ඔබේ බ්ලොග් එක මේ පිටුවමයි. ඊ්ට අදාල ලිපිය ඉවත් කරලා ලු. මේ චෝදනව ඔබටමද කියා මම පුදුම උනා. කරුණාකර පැහැදිලි කිරිමක් කරන්නේ නම් මැනවි

    ReplyDelete
    Replies
    1. මොන වගේ චෝදනාවක්ද
      ලින්ක් එක දෙන්න

      Delete
    2. http://yakaageadaviya.blogspot.com/2015/10/blog-post_16.html

      Delete
    3. ස්තුතියි උදාර
      ඔව් ඒ මට..
      සාන්තුවරු බ්ලොග් ලෝකයේද නැතිවාම නෙවෙටිනෙ

      Delete
  7. වෙනද වගේම හරිම සංවේදී, මමත් උදාර ලියල තියන චෝදනාව ගැන බ්ලොග් එකක දැක්කා,

    ReplyDelete
  8. එහෙමත් ළමයි ඉන්නවද ?

    ReplyDelete
  9. ඔහොම දෙමවපියෝ හින්දා තමයි ළමයි නරක් වෙන්නේ.......... ඒත් ඒ ළමයට වෙනසක් නැතුව සැලකුවානම් ඔබ නියම ගුරුවරියක්...........

    ReplyDelete
  10. වරද පිළිගැනීම හරි කියලත් හිතෙනවා. එහෙම නොවෙන්න අවුල් ජාලයක් මැවෙන්න තිබුණනෙ. ඒත් ගුරුතුමී වැරදි පිළිගන්න දරුවන්ටත් හුරු කලොත් තමා හොඳ. හැබැයි ඒ වරද නිසා ඇය හොඳටම හිතෙන් විඳවන්නට ඇති බව නම් විශ්වාසයි .

    ReplyDelete
  11. ඔබතුමිය ළමයාට දීපු දඬුවම තමයි එයාට දිය යුතුම දඬුවම.. වරදක් කරපු කෙනෙකුට තමුන්ගේ ඇතුලෙන් එන වරදකාරී හැගීමෙන් ගැලවෙන්න බැහැ මැරෙනකම්ම..

    ReplyDelete