Friday, December 18, 2015

සපත්තූ



හීනී පිණි කැට ආදරණීයය. ඉදහිටක තෙමෙන නොතෙමෙන ගානට වැටෙන පිණි බිඳු අතරින් ඇවිද යාම සුන්දරය. බෝගහන්විලා ගහ ගාව දරුවන්ගේ ඕපාදූප සාකාච්ඡාවක සිරික්කිය පැතිරෙමින් තිබුණී.

" මොකක්ද ටීච ඔය කොණ්ඩේ ඉඉඉඉඉ"

දඟකාර කෙල්ලකගෙ හඬ හෙමින් මතුවී මැකී ගියේ රහසින් මෙනි. මම සිනාසුනෙමි . හිතාමතාම කොණ්ඩය අද මම පීරන විදිහ වෙනස් කළෙමි. එයට දරුවන් අකමැති බව ට විරෝධතා ගේට්ටුවට එහා සිටම ඇසෙමින් තිබුණි.

" ආය නම් එහෙම පීරන්න එපා.. ටීච වයසයි එතකොට"

" කොහොමත් මම වයසයිනෙ ඉතිං"

" අපෝ නෑ.. ටීච අර දම්පාට සාරිය ඇඳලා කොණ්ඩේට අර දිග කට්ට ගැහුවම ලස්සනයි... අනේ මෙහෙම පීරන්න එපා ටීච.. තරහ වුනාට කමක් නෑ.. කැතම කැතයි'

මම බොරුවට ඔරවා අහක බලා ගත්තෙමි. දරුවන් එහෙමය. අපේ හැමදේම ඔවුන් ට වැදගත්ය.

" මොකක්ද අර කතාවට අච්චර හිනාවෙන්නෙ.. ඉස්කොලේටම ඇහෙන්න"

" ඇයි ටීච දන්නෙ නැද්ද..පුදුමයි ටීච දන්නෑ කීවම... ටීච ඉතිං දත්ත ගබඩාවක්නෙ.."

" පැහෙන් නැතුව කියනවා..මොකක්ද ඒ"

"හැබැයි ඔන්න මං කිව්වා කියන්නෙ එහෙම බෑ ටීච"

" ප්‍රොමිස්"
" ලක්ෂාන් ගණන් ක්ලාස් එකෙ කෙල්ලෙක් එක්ක  යාළුයි"

කෙල්ල මා අතහැර දිව්වාය. මම සිරික්කි නඩය වෙත අැවිද ආවේමි. මා දුටු විට රහස රකින්නට මෙන් ඔවුන් නිහඬ විය.

"මොකද මෙතැන කැකිරි  පලන්නෙ. වැඩ නැද්ද"

දරුවන් නිහඬය. එකිනෙකා දෙස බලමින් හිනාවන් තද කරගත් දෙතොල්පටවල් අතර ලක්ෂාන් ගෙ දෙනෙතින් කඳුළු ගලන බව මගේ ඇස් දෙකට රහසක් නොවීය.

" මොකද ලක්ෂාන් අඬන්නෙ... ඔයාට කවුරුහරි ගැහැව්වා ද.. බැන්නද පුතේ.. බය නැතුව කියන්න "

ඔහු එකවරම ඉකිගසමින් හඬන්නට විය. අවුරුදු දහසයක භද්‍ර යෞවනත්වය හිමි මේ දරුවා කඳුළු අතර හිරවූයේ ඇයිදැයි මට සිතාගන්නටවත් නොහැකි විය. එහෙත් අම්මා පවුල් ආරවුලක් මත ඝාතනය වු අතීතයන සිට අනාගත පෞරුෂත්වය ඔහුට අහිමි වන්නට ඇත.
" පුතා... ඇයි...."
" මෙයාලා ගණන් ක්ලාස් එකෙ ගැණු ළමයෙක් මට පටලවනවා ‍ටීච... මම අද සපත්තු දෙක දාගෙන ආවේ ඒ ගැණු ළමයා බලන්න යන්න ළුු."

කඳුළු අතරින් දරුවා නඩුව මට බාර කළේය.

*********************************************
 හම් කවරය ඉරී රෙදිපට පමණක් ඉතිරිව තිබු සපත්තු යුගල ඔහුට හොරෙන් දුරකථන කැමරාවේ සටහන් කර ගතිමි.

මිල = රුපියල් දුප්පත්කම

බුකියෙ ඒ සටහන සමග සපත්තු යුගල දිස්ව පැයක් ගතවෙන්නට පෙර ෂේන් නම්  බුකි හිතවතා ඔහුට රුපියල් තුන්දහසක් ව‍ටින සපත්තු යුගළක් ලබා දුන්නේය

8 comments:

  1. ඔන්න ටීචර් බලන්නකෝ...ටීචගෙ කෙස් ඉදෙන්න දෙන්නෙත් නෑ ළමයි.සාරියේ රැළි ටික පවා දරුවන්ට දැනෙනවා.පොටෙන් ටිකක් අල්ලගෙන යන්න එහෙම කොච්චර ආස අය ඉන්නවාද?
    අර දරුව අඬන්න ඇත්තෙ එයා ගැනම හිතිලා වෙන්න ඕනෙ.කෙල්ලන්ගෙ කටවල් වෙලාවකට කොල්ලෙක්ගෙ ජීවිතේම වෙනස් කරනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  2. එතකොට මේ කොයි කාලේ වෙච්ච කතාවක්ද

    ReplyDelete
  3. ෂේන් යහපත් මිනිහෙක් නෙ...

    ReplyDelete
  4. වැඩේ ඉස්තරම් ගුරුතුමී. ජයවේවා !

    ReplyDelete
  5. ටීචත් ලියන්නෙම ඇස් දෙකට කදුලු එන කතාමයි :'(

    ReplyDelete
  6. ටීච අයි ටී නැතුව සිංහල කරා නම් ගත් කතුවරියක් වෙයි, මේ කථා ටික දාල පොතක් ලියන්ඩ, සුබ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  7. මෙතෙක් මා කියවූ අපූරුතම බ්ලොගය , " ගුරුවරියකගේ මතක "

    ReplyDelete