Saturday, November 28, 2015

දරැවන් යනු දරැවන්මය

වර්ෂයේ අවසානය කොහොමත් ගුරුවරුන්ට සම්මන්ත්‍රණ බහුලය. විෂය නිර්දේශ නිර්ණායක කෙසේ වෙතත් සම්මන්ත්‍රණ රැස්වීම් අතහැරීම තහනම්ය. පුරා සතියක් එක දිගට පැවැති සම්මන්ත්‍රණ පෙළ නිමවා පාසල් ආවේ අදය. 
" අද ශාලාධිපති ඔයා"
හුස්මක් ගන්නටත් පෙර ඉහළින් ආ අණකි. මඟ හැරුණු වැඩ බොහො තිබුණත් විභාග ශාලාවට ගියෙ සිතෙ ගතෙ වෙහෙස සඟවා ගනිමිනි.

" පේපර් ටික සාකාච්ඡා කරනකං මට නින්දෙ යන්නෙ නෑ අක්කා.. මමත් වැඩ,  ළමයිනුත් වැඩ, දවසක් නෑ හොයාගන්න .. අද ආවේ ඒක කරන්න හිතාගෙන. දැන් ඉතිං එකහමාර වෙනකං මෙතැනින් හෙල්ලෙන එක බොරුනේ"

හිතේ නොක්කාඩුව මම වචන කළෙමි. 

" කෝකටත් නංගි එක පේපර් එකක් වත් සාකාච්ඡා කරන්න.. හේතුවක් ඇතිව කියන්නෙ"

ඇය කළෙ එක් අනතුරු ඇඟවීමක් බව මට දැනුණි.

"හ්ම්.. අද හවස ළමයි තියා ගන්නවා අක්කා"

විදුහල්පතිවරයා ළඟට පැමිණෙන තුරු මම උන්නෙ හවස පාඩම් සටහන් හිතෙ ඇඳගනිමිනි.

" නිවාඩු නම් බොහොම වැඩියි.."

මම සිනාසුනා පමණී. කරුමක්කාර උණ මා සතියක් විවේක කර තිබූ බැවින් ඒ ගැන තර්ක නැත.

" සිලබස් එක කෙරිලා නෑලු නේද ටීච.. තොරතුරු තාක්ෂණය මදි කියලා දරුවො කියනවා.. පොඩ්ඩක් හිතන්න.. ගන්න පඩියට වත් අපි වැඩ කරන්න ඕනිනෙ නේද"

"කොයි ළමයද  කිව්වෙ සර්... "

"එහෙම ළමයා පාවා දෙන්න බෑ... ඒත් ඊළඟ අවුරුද්දේ කාල සටහන් දෙන එක ගැන මං තව පාරක් හිතනවා. මාත් එක්ක තරහ වෙන්න එපා ටීච"

අද්භූත චෝදනාව මටය. විෂය නිර්දේශය අවසන් වුයේ ජූනි මාසයේය. පසුගිය ප්‍රශ්න පත්‍ර සාකාච්ජා දෙවන වරද අවසන්ය. අන්තර්ජාල බාගත කළ ප්‍රශ්න පත්‍රද අවසන්ය. මේ ගෙනෙන චෝදනාව මට පිළිගත නොහැක.
" ළමයාට කියන්නෙ නෑ. ඒත් නොදන්නා දේවල් මම දැනගන්න එපැයි සර් ආපහු කියලා දෙන්න"

 " ආ එහෙනම් නම නොලියපු කොළයක් ඇති.. ඒක දෙන්නම්. එකෙ ඇති සේරම"

මම විදුහල්පතිවරයා පසුපසින් කාර්යාලයට ගියෙමි. අත් අකුරු මට හුරුය. 

" අපිට ටීච තාර්කික ද්වාර ගැන කියා දී නැත. ඊ රාජ්‍ය ගැන කියා දී නැත."

මම සිනාසුනෙමි . වැරුද්ද මගේය පරිගණකයට හුරු පුරුදු ඉංග්‍රීසි වචන වෙනුවට සිංහල කතා කරන්න ට මම පුරුදු විය යුතුය. දරුවන් යනු දරුවන්මය.

Wednesday, November 25, 2015

පොත් ව්‍යාපෘතිය 2016 සඳහා

ආධාර ලබා දිය හැකි අවසන් දිනය නොවැම්බර් තිහ බව ආදරණීය ව දැනුම් දෙමි

Thursday, November 19, 2015

කදුළ


තණමල්විලටත් එහා මං උන් ගමට ධාවනය වන්නෙ බස්රථය දෙකකි. උදේ අටයි තිහ වැරදුනොත් දහවල් දොළහ වෙනතුරු සිටිය යුතුය. නිවසේ සිට යන බොහෝ අවස්ථාවල පාසල වෙත යන්නෙ දහවල් දොළහේ බස් රථයේය. නැතිනම් එන කුමන හෝ වාහනයකට අත දිගුකර ගමනාන්තය පවසා ඒ ගමට යන්නෙ නම් පමණී. ඇඳුනුම්කම් එහිදි අදාළ නැත. ගමනෙ වැඩි හරියක් කැළැ රොද පසුකරමින් ගමන් ගත්තද ඒ ප්‍රදේශයෙ ගුරුවරැ යනු දෙවියන් ලෙස සලකන බැවින් අකටයුතුකම් සිදුනොවන්නේය. ඒ ගමට ගුරුවරු එන්නෙ නැත. ආවත් ඉන්නෙ නැත. ආ දා පටන් යන ගමන ගැන සෝදිසිය. කට්ට කන්නට ආස වුන් කිහිපදෙනෙකු පමණක් රැදී සිටියි.
අද ද බස්රථය මට මඟ හැරුණි. බණ්ඩාරවෙල මාතර බස්රථය රාවණා ඇල්ල කිට්ටුව ආපදාවට ලක් නොවුනා නම් මට අටයි තිහට පෙර එන්නට තිබුණි. අපේක්ෂා ශූන්‍යත්වයෙන් මම බස් නැවතුමේ තනිවි වුනෙමි.  ගමට යන වාහනයක් ද හමු නොවු බැවින් නිවාඩු ඉල්ලා දුරකථන ඇමතුමක් විදුහල්පතිතුමා ට ලබා දී දොළහ වෙනතුරු මම විනාඩි ගණන් කළෙමි. එකොළහයි තිහට පමණ දරුවෙකු තුරුළු කරගත් මවක් බස් නැවතුමට පැමිණියාය. දරුවා සුව නින්දේය. ගිනි ගහන මහ දහවලෙත් රෙදි කැබලි වලින් දරුවා ඔතා ඇත. ඒත් අපහසුවකින් තොරව දරුවා නිදිය. අම්මා ගේ දෑසේ කඳුළුය. ඇය නොනවත්වා හඬන්නීය. මම ඇය සමඟ කතා කරන්න ට ගත් සියලු වෑයම් අසාර්ථක විය. ඇය මා මඟහැර සිටින්නට උත්සහ ගත්තාය. බස්රථය තුළදීද දෙතුන් වරක දරුවා සිප ගනිමින් දරුවාගෙ මුහුණ අතගාමින් සිටින අැය මගෙ අැස් වලට හසුවිය. ඇය අතරමඟින් බැස ගියාය. මම ගුරු නිවස වෙත ආවේද කුහුලනි. සවස් වනතුරු මම දිගු නින්දක උන් බව දැනුනෙ මා සමඟ ගුරු නිවසේ උන් නදිෂා මගෙ මුහුණට එල්ල කළ  ජල බිඳු වලට පින්සිද්ධ වන්නටය.

" ඒයි නැගිටිනවා... මළ ගෙදරක්. එකේ ළමයෙක්ගෙ නංගි කෙනෙක්.. සමන් සර්ගෙ ට්‍රැක්ටරයෙන් යන්ඩ පුළුවන්... නැගිටිනවා"

මම ඩෙස් අැඳෙන් බැස ගත්තෙමි. සුදට හුරු ඇඳුමක් ඇඳ ගත් මම නදීෂා සමඟින් පාරට පැන්නෙමි.

"  මොනවා වෙලාද මැරිලා තියෙන්නෙ"

" නයෙක් ගහලා.. පව් පොඩි එකි.. අවුරුදු එකහමාරයිළු. වැඩේ කියන්නෙ විෂ් අම්මා දරුවා අරන් ඉස්පිරිතාලෙ ගිහින්.. මඟදි ගැණීට තේරීලා දරුවා මැරුණා කියලා... එයා බස් එකෙම දරුවා ආය ගෙනත්.. මෝචරිය‍ට දැන්මොත් ගන්න වියදම් යයි කියලා හිතුණලු.. හැබැයි මිනිස්සු නම් කියන්නෙ පෙට්ටියට දානකොටත් කෙල්ල දරදඬු වෙලා නෑලු. ඒ කියන්නෙ අම්මා ඉස්පිරිතාලෙ ට ගියා නම් දරුවා බේරගන්න තිබිලා."

කටුමැටි ගෙපැලක ළඟ ට්‍රැක්ටරය නතර විය. ඒ අම්මාය. මා මඟ හැරි අම්මාය. දරුවා මා දහවල දුටු පරිදිම සුව නින්දේය.

Saturday, November 14, 2015

දැන්නම් වැඩක් නෑ


             උසස්පෙළ පන්තියක ඉගැන්වීම සුවිශේෂීය. ගැටවර ලෝකය ත් ළමා ලෝකයත් අතර දෝලනය වන ජීවිත අතර හැසිරීම අපහසුය. එකෙකු රැවුල වවන්නේය. තවකෙක් ෂර්ට් එකෙන් බැගිය දමන්නේය. තව තැනක ආදර කතාය. 
ඉලක්කයක් වෙනුවෙන් සටනක යෙදෙන දරුවන් සමඟ ගුරු ජීවිතයද සමහරවිට අභියෝගාත්මක ය.
නෝට්ස් ගණන් පුරවනවාට වඩා අමතර දැනුම සොයා යාමට දරුවන් යොමු කිරීමට මම සිතා උන්නෙමි. පාසල් පුස්තකාල ය කෙසේවත් ප්‍රමාණවත් නැත. මහජන පුස්තකාලයද නගරයේය.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයය වෙනුවෙන් බැලු අමතර කියවීම් පොත් ලබා ගැනීමට නම් රැපියල් දහසක මුදලකට ආසන්නව වැය වේ. කුලී වැඩ කරන මව්පියන් ට එය දවසක වෙහෙසකි.
එය දරුවන් ට කිව යුතු නමුත් ප්‍රතිචාරය කේසේ වේ දැයි නොදත් මම පුංචි කතාබහක් දරුවන් වෙත යොමු කළෙමි.

" අම්මා තාම වැඩට යනවද වත්තෙ, සම්පත්"

"ඔව් ටීච"

"එතකොට ඉරේෂා කොහොමද ගෙදර තත්වේ"

"තාත්තා තාම ඉස්පිරිතාලෙ ..
මේ පාර නම් ෂුවර් නෑ ටීච"

ඉතිං කිසිත් කියන්නෙ කේසේදැයි මම සිතුවේ ගුරු මේසයෙ එහා මෙහා යන කුඹියෙක් ගෙ ගමනෙ හැඩ බලමිනි.

"ටීච අද පාඩම කරන්නෙ නෑ"

"කරනවා ... ඒත් මේ මං පොඩි දෙයක් කල්පනා කලෙ සම්පත්"

" ටීච .. නිකං අද කොටියගෙ වලිගෙ අල්ලා ගෙන වගෙයි"

කොහොමත් පාඩම් වැඩ අතපසු කරන්නට වෙන මොනවා හො කියවන්නට දරුවන් කැමතිය. 

" නෑ සම්පත් මං මේ යෝජනාවක් කරන්න හැදුවේ සම්පත්"

"අය්යෝ සොරි ටීච .... මට නම් බෑ"

"ඇයි බැරි"

"ඇයි අහන්නෙ .. දැන් ටීච පරක්කු යි.. මං නංගිගෙ කැමැත්ත ගත්තනෙ..."

මුළු පන්තියම මහ හඬින් සිනාසුනේ මට නොාව ජිවිතයටය

දරුවන්ට සයිබරේ අපෙන්

ලබා දිය හැකි දේවල්

අභ්‍යාස පොත් පිටු  160
පෑන්
පැන්සල්
පාට පැන්සල්
ප්ලැටිලම්

ආදී පාසල් උපකරණ ..
දීමට අපේක්ෂිත පාසල බ/කුරුකුදේ සාරිපුත්ත මහ විද්‍යාලය, පට්ටිය ගෙදර
සිසුන් සංඛ්‍යාව දෙසිය පනහයි.
ලැබෙන ද්‍රව්‍ය අනුව අවට විදුහල් පිළිබඳ සලකා බලමු
ninivish@gmail.com
හෝ
0714407095 viber

Wednesday, November 11, 2015

අදහසක් පමණී

2016 අළුත් ඉස්කොලේ අවුරුද්දට ,
දුප්පත් දරුවන්ට පොත් පත් ටිකක් අරන් දෙමුද..
ඔබේ යෝජනා අදහස් දෙන්න

Friday, November 6, 2015

ඇගේ කතාව


                  දුවිල්ල කරණම් ගහන්නෙ දහඩියට පෙගුණ සිරුරේ සිත්තම් අදින්නට මෙනි.සාරි පොට අකීකරු හුළඟට රොන්දේ යන වාර අනන්තය .
"මාර රස්නයක් නේද නංගී" දැවෙන හිරුට මුවාවෙන්න දඟලන මට ප්‍රාථමිකයෙ ගුරුවරියක් හිනාවී ගියාය. පුරුදු හීතල දාහෙන් සම්පතක්ය. ඉරක නපුරුකම් දැනගන්න‍ට නම් රස්තියාදුකාර ඉරක් යටටම පැමිණිය යුතුය. ඉරට මුවාවෙන්නට සිතා ප්‍රධාන ගොඩනැඟිල්ලෙ පියස්ස යටට ගොඩ වුනෙමි. දහය වසර පන්තියෙ එක දරුවෙක් හැරෙන්න‍ට අනෙක් සැවෝම  පිට්ටනියේය. එකම එක ගැහැණු දරුවා අහසට ඉණිමං බැඳිමට සැලසුම් කරන්නාසේ බර කල්පනාවකය.
" නේද අක්කෙ.. අර ළමයා අනිත් අයත් එක්ක වැඩිය නෑ නේද.. මං බලාගෙන හුඟක් දවස්... සෙල්ලමක් නෑ.. හිනාවක් නෑ"
"ඔව්... ඔයා එයාගෙ කතාව ඇහුවොත් ඔයාට පිස්සු හැදෙයි. ෆ්‍රී වෙලාවක කියන්නම්.. දැන් ක්ලාස් එකක්"
හිතවත් ගුරුතුමිය මගෙන් සමුගන්නා විට කියු කතාවත් සමඟ ඇතිවු කුතුහලය මගෙ හුස්ම පවා පෙළා දැම්මාය. මම කුහුලෙන් යුතුවම ගැහැණු දරැවා උන් තැනට ගියෙමි. මා ආ බවක් වත්, හුනස්නෙන් නැඟිටීමක්වත් නොකළ දරුවා ඉවත බලා ගත්තාය.
" ස්වර්ණා... කොහොමද පුතේ"
ඇය මා දෙස බැලුවා පමණය. හැඟිම් විරහිත මුහුණෙ තිබුණෙ මගෙ පැමිණීම කරදරයක් ද යන්න වත් වටහා ගැනීමට මට නොහැකි විය.
"  මේ අහන්නකො අනේ... මං ආවේ ඔයා එක්ක ටිකක් කතා කරන්න..ස්වර්ණා... කැමැති නැද්ද මාත් එක්ක ටිකක් කතා කරන්න "
ඇය හිස දෙපසට වනමින් සිය අකමැත්ත ප්‍රකාශ කළාය. මම පුදුම විමි. ගුරුවරයාගෙ පෞද්ගලික අවධානයට දරුවන් බොහෝ කැමැතිය. ස්වර්ණා එය සෘජුව ප්‍රතික්ෂේප කරන්නීය.
" ඒකත් එහෙමද.. පුතා කාත් එක්කද කතා කරන්න කැමැති"
" කාත් එක්කවත් නෑ"
" කාටද වැඩිපුර ම ආදරේ"
"කාටවත් නෑ"
පෙර හමුවු ගුරුවරිය කීවා ඇත්තය. ඇගෙන් වචනයක් ගැනීම දුෂ්කරය.
" ඒ වුනාට මං නම් මේ ඉස්කෝලේ වැඩිපුරම ආදරේ ඔයාට.. ඒත් ඉතිං ඔයා මං එක්ක කතා කරන්නෙත් නෑනේ... මටත් ඔයා වගේම නංගියෙක් ඉන්නවා. මට ඉතිං ගෙදර යන්න වෙන්නෙ කාලෙකින්නෙ.. ඔයා එක්ක කතා කරන්න ආවේ ඒ හින්දා. සොරි පුතේ මං වදයක් වුනානම්.. ගිහින් එන්නම්කෝ .."
තව දුරටත් ඇය වෙහෙස නොකර මා පිට්ටනියෙ සෙවණ ඇති ගසක් පාමුලට ගියෙමි. ස්වර්ණා මට ප්‍රහේලිකාවක් ඉතිරි කර දුන්නාය. කාලච්ඡේදය අවසන් වන සීනු හඬට මම දරුවන් ද කැටුව පන්ති කාමර දෙසට එන විට ස්වර්ණා මා සමඟින් සිනාසුණාය. ඒ මා දුටු ඇගෙ පළමු සිනාවය. එය අපූරැ සුන්දරත්වය ක් ඇගෙ වතට ගෙනවිත් තිබුණාය. මමද පෙරළා ඇයට සිනහවකින් සංග්‍රහ කළෙමි. දිනය නිමාවන තුරුම ඇගෙ සිනහව මම ආපසු නොදුටු‍වද එකම සිනහාවේ අරුමයක් ගැබ්ව තිබූ බව නම් සහතිකය.
පසුදා පාන්දර පාසල් බස්රථය නවත්වන තැනට වී ඇය උන්නාය.
" ගුඩ් මෝනිං ටීච"
"ආව් ආව් ගුඩ්මෝනිං කෙල්ල අද කළින්ම ඇවිත් නේ.. "
වචනයක්වත් කතා කරන්නට අකමැති වු ඇය ගුඩ්මෝනිං කියන්නට පෙරමඟ සිටීම මට නම් ආශ්චර්යයක් විය.
" ටීචට බඩුවක් ගෙනාවා... "
" ඒ මොනවද"
"කිරි කජු.... නැන්දා උදේ තැම්බුවා.. මං ටිකක් ගෙනාවා.. "
ඇය මට උණුසුම් පාර්සලයක් දිගු කළාය. රටකජු තම්බා කෑමට මම කැමැතිම නැත. එහෙත් මම එය සතුටින් බාර ගතිමි. කෙල්ල රටක් රාජ්‍යයක් ලද සේ ඉපිල යනු මම දුටිමි.
"ටීචගෙ නංගි මගෙ වයසද"
" ඔයාට වඩා චුට්ටක් විතර ලොකුයි ඉතිං"
"ටීච එයාට ආදරේද"
" ඔව් පුතේ... එහෙමනෙ "
ඇය කිසිත් නොකියා මා හා එක පෙළට පාසල් භූමියට ගොඩ වුනි.
" පුතාගෙ අම්මා තාත්තා මොකද කරන්නෙ "
" අම්මා රට ගියානෙ ටීච..."
" ෂොක් නෙ එහෙනම් එනකොට චොක්ලට් ගොඩක් අරන් එයි"
" දන්නෙ නෑ ටීච"
" එතකොට තාත්තා"
"තාත්තා නඩුවට බයේ වහබීලා මැරුණා.."
"අනේ සමාවෙන්න දරුවො දන්නෙ නැති කමට ඇහුවේ... මොන නඩුවද පුතේ"
"අම්මා රට ගියාට පස්සෙ තාත්තා අපිට රූට හරියට කරදර කළා. මට වඩා අක්කට ඉන්න දුන්නෙ නෑ.අක්කා ඒ නිසා එල්ලිලා මැරුණා.තාත්තා  ගැන හැමදේම ලියලා . තාත්තා ඊට පස්සෙ ගෙදර ආවේම නෑ... පස්සෙ එයාගෙ මරණෙත් කැලේ තිබ්බා"

Wednesday, November 4, 2015

කළකිරීම

මේ කළකිරීම මගේ අකුරු ගැනය. මම බ්ලොග් කාරියක් නොවේ. මට කොහොමත් ලියන්නට හැකිය. එහෙත් මා මගෙ ෆේස් බුක් ගිණුමේ යම් යම් දේවල් සටහන් කළෙමි. ඒ මම වින්ද දේවල්ය.මට මුණගැසුණ සමහර ජිවිත කතා මම අකුරු අතර හිර කළෙමි.
මම කොහොමත් අනුන්ගෙ දුකේදී සංවේදීය. එය මට කරදරයක් වු අවස්ථාද ඇත. එහෙත්  මා අසරණ මිනිසුන් පස් දෙනෙකු සොයාගෙන දරුවන් හා එක්ව වෙසක් පෝය දවසේ ඔවුන් නහවා කවා පොවා පංසලට එක්කරගෙන ගොස් අටපිරිකර පූජාවක් කාළ මගෙ පෞද්ගලික ධනය යොදාගෙනය. ඉන් එක් අයෙකු වසර විස්සකින් නිවසින් පිටට ගොස් තිබුණෙ නැති කාත් කවුරුත් නැති කොන්ද කැඩුනු කාන්තාවකි. ඉන් ඇරඹි මගේ ගමන බුකියේ හිතවතුන් එක්ව පාසල් හතරකට හා පෙරපාසල් දෙකකට අවශ්‍ය මේස්,කවකටු පෙට්ටි,පොත් ආදී එක ළමයෙකුට රු දාහක් සරිලන පාර්සලයක් ලබා දෙන්නෙ 2014දීය. ඉන් පසු සපත්තු නැති දරුවන්ට සපත්තු කුට්ටම් විසි පහක් ලබා දෙන්නෙ ද මගෙ මිතුරන් හා එක්වය. මෙවර ද අසරණ සරණ ව්‍යාපෘතිය තවත් පුළුල් කරමින් දහදෙනෙකු තෝරාගෙන රු 10000 ක වියළි ආහාර ද්‍රව්‍ය ඇඳුම් ආදී දේ සැපයුවෙමි. ගරා වැටෙමින් තිබු බෝධීන් වහන්සෙ නමක් නැවත අළුතින් ඉදිකර ගමේ අයට වන්දනාවන්ට ඉඩ සලසා දුන්නෙ බුකියේ මා ලියු අකුරෙනි. විදුලිය අහිමි දරුවෙකුට විදුලිය ලබා දෙන්නෙ මේ වසරේ ජුනි මසය. මේ මැයි මස සිට මෙත් අරණ ශිෂ්‍යත්ව වැඩසටහන අරඹා දුප්පත් දරුවන් පස්දෙනෙකු උදෙසා මසකට රුපියල් දහස බැගින් පාසල් දිවිය නිමවන තුරු ලබා දීමට කටයුතු කළේද මමය.මෙවර සමස්ත ලංකා සහය දිවීමේ තරඟ සඳහා අවශ්‍ය සපත්තු කණ්ඩායම් දෙකක් සඳහා ලබා දෙන්නෙ මගෙ සයිබරේ අකුරු කියවු මිතුරු සමුහයේ පිනටය. ඉන් එක් රු 7000ක මුදලක් ලබාදෙන්නෙ මගෙන් ගුටි හැටපහක් කෑ දරුවාය. පන්ති යන්න සල්ලි නෑ කියු උසස්පෙළ දරුවෙකුට මාස් පතා අදටත් පන්ති ගාස්තු ගෙවන්නෙ මමය. අනාත නිවාසෙක ජීවත් වෙන බණ්ඩාරවෙල ප්‍රසිද්ධ විදුහලක උසස්පෙළ හදාරණ අම්මා තාත්තා දෙදෙනාම මිය ගිය පුතෙකුගෙ නිල නොලත් අම්මා මමය. මෙවර සාමාන්‍ය පෙළ දරුවන් දෙදෙනෙකු ගෙ අධ්‍යාපනය පිළිබඳ පෞද්ගලික අවධානය හා අවශ්‍ය සියළු පේපර් වියදම් මමය.

මම සැරය. දඬුවම් කිරීම  ද මම කරමි. හැබැයි දඩුවමින් පසු දරුවන් ගෙ හිස අතගා රිදුණද පුතේ කියා අසන්නට තරම් මම මැදහත්ය. මම දරැවන් ඉදිරියේ දරුවෙක් ය. මට උන්ගෙ ලෝකය ට යන්නට බැරි මහන්තත්වයක් නැත.
ටිපර් රියකට යටව කකුල මුත්‍රාශය ලඟින්ම කැපු මගෙන් ඉගෙනගත් දරුවෙකුට කෘතිම කකුලක් ගන්නට වෙහෙස වූයේ මමය. ඔහු මේ වන විට කෘතිම කකුල පුහුණුවීම් වල නිරත වේ.

අනෙක් ගුරුවරු මෙන් මම තෑගි ඉල්ලා නැත.
මගෙ කසාඳය  සිදුවනොන්නෙ දියණියක නිසා
විදුහල්පතිවරයා හා නඩු කීමට යාමෙනි. ඉන් මගෙ පෙම්වතාට මා පිළිබඳ වැරදි විදුහල්පතිවරයා කියුවද මා මගෙ පෞද්ගලිකත්වයෙන් කැප කොට දරුවා හා උන්නෙමි.

මේ බ්ලොග් එක ලියුවේ ප්‍රසිද්ධියට නොවේ. මට ප්‍රසිද්ධ වීමේ උණක් නැත. මධ්‍යස්ථ මතධාරියා මට විරුද්ධව බ්ලොග් සටහනක් ලියා ඇති බව මා දැනගත්තෙ ඊයේය. එය කියවු පසු මට දැනුනෙ අප්පිරියාවකි.

1. මා ලිංගික ආශාවන් නිසා ඒ දරුවා ට පහර දුන්නෙ නැත.  ඒ පහරදීම අමානුෂික නැත. ගුටි හැට පහ ගහන්නෙ අනෙක් දරුවන්ට ප්‍රදර්ශනය ය සඳහාය. ඒ තමන් නිසා තමන්ගෙ මිත්‍රයා ගුටි කෑ බව ආත්ම දෝෂාරෝපණය ක් ඔව්න් ඔවුන්ටම හදා ගනි. වේගවත් පහර වෙනුවට ප්‍රදර්ශන දඩුවමක් දුන් බව සදහන් කරමි.

ඉන් මතුවු වැදගත් සංසිද්ධිය වන්නෙ ඉන්පසු කිසිම දිනෙක නායකයාට පන්තියෙ දරුවන් එරෙහි වුයේ නැත. එය ඒ වයසේ දරුවන් ගෙ බැජ් පිට් එකය. මා යොදාගත් සංකල්පය එයය.

අනෙක් කාරණය තණමල්විල වන සතුන් බහුලය. සර්පයන් අලියන් ගහණය. මේ පාසල වනාන්තරයේ ආසන්න ය. ගුරුවරුන්ට ඇස් දහසක් නැත. යමක්සිදුවු පසු හූල්ලන වාට වඩා ඒ දඩුවමින් පසු දරුවන් හිතුමතෙ පාසල් කාලය තුළ පිටට නොයාම වළක්වා ගත හැකි වීම මට සැනසිල්ලක් විය.

තණමල්විල වැනි කර්කශ ජිවිත උරුම වු දරුවන් හිතුවක්කාරය. එවිට දඩුවම අත්‍යවශ්‍ය ය.

මේ දරුවා ත්‍රිරෝද රථ රියදුරකු වු බව මධ්‍යස්ථ මතධාරියා පවසයි. නැත ඔහු ඒ සිද්ධිය වන විට පවුලෙ වාහනය වු ත්‍රිරෝද රිය පැදවුවා පමණි. ඔහු අධ්‍යාපනය කඩාකප්පල් කර ගත්තෙ නැත. අද ඔහු පරිගණක උපාධිය වෙනුවෙන් ඉගෙනුම ලබන දරුවෙකි. ඔහු අමතරව හම්බ කළ මුදලින් මා දැනට වැඩ කරන පාසලෙ දරුවන් ට ධාවන සපත්තු පවා මිලදිගෙන දුන්නෙ ගිය මාසයේය.

මෙහි අතිශයෝක්තියකි . යැයි ඔහු උලුප්පා දක්වයි. නැත කතාවේ යම් යම් සිද්ධීන් අයින් කලා මිසක මේවා අසත්‍ය නැත. ලිවීමේ ප්‍රයෝග පමණක් මා භාවිතා කර ඇත.

මගෙ ෆේස්බුක් ගිණුමේ හා මෙත් අරණ පිටුවේ මා සිදුකළ කාර්යයන් සඳහා සාක්ෂි ජායාරූප සහිතව ඇත.

මේ බ්ලොග් සටහන මා ලියන්නෙ මෙවැනි දරුවන් ද සිටින බව සමාජගත කිරීම පමණි. ඔබ මා විවෙිචනය කර එයට පැමිණෙන පිරිස නවතා දැමීමෙන් කළෙ වීරක්‍රියාවක් නොව සමාජයෙන් වහන් වු දරුවන් ට අසාධාරණය කි

ඔබ දක්වන පරිදි මා අහිංසක කඳුළු පුරවාගත් බොරුව මැවු ගුරුවරියක් ද නොවේ. මා සැරය. අවශ්‍ය විටෙක පහරක් ගසන්නට මා මැලි වන්නෙද නැත.
ඔවුන්ගෙ නිලඇඳුම, මා දුටු විට සැකසේ. කොණ්ඩය සැකසේ. ළමයින්ට මා ගුරුවරියකි. එනමුදු නිදහස් විටෙක මගෙ සාරි පොටේ එල්ලෙන්නට උන්ට තහනමක් නැත. ආදරය ගැන විරහව ගැන තම ප්‍රශ්න ගැන අවශ්‍ය දේ ගැන මා සමඟ කතා කරන්න ට තහනමක් නැත.
ජිවිතය වරදින තැන්වල මගෙ අත්වැල ගෙන ගොඩ එන්නට උන්ට තහනමක් නැත. හඩුගඳ ගහන සිරුරුන් යුතු දරුවන්ට මගෙ අත අල්ලාගෙන යන්නට තහනමක් නැත. හොටු ප‍ෙරන නහයෙ පිස දාන අත්ල වුවද මට දිගු කරන්නට තහනම් නැත.
මා සාන්තුවරියක්ද නොවෙමි. මගෙ අතින්ද වැරදි සිදුවිය හැක. හැබැයි මගෙ ජිවිතයෙ මනුස්සකම ඇත. මා මානසික රෝගියකු,ලිංගික විකෘතියෙකු,අමන ගැහැණියකු ගුරුවරියකට නිගා දුන් අයෙකු ලෙස හංවඩු ගැසුවද තරහක් නැත. මම මගෙ උපරිමය අදත් දරුවන්ට දෙන්නට උත්සහ කරමි. මධ්‍යස්ථ මතධාරියාගෙ යකාගෙ අඩවියට මම සුභ පතමි.
ලංකාවේ හැටි එහෙමය. හොඳ දහසක් මැද සංවාද කරන්නෙ වරද පමණය.

http://yakaageadaviya.blogspot.com/2015/10/blog-post_16.html

Monday, November 2, 2015

මගේ කෙල්ලට බැන්නෙ ඇයි



බස්රථය පාලම අසළ නතර විය. ඒ මගෙ නැවතුමය. සුපුරුදු හෝල්ට් එකට එන විට බෙල් එක නැතත් ඩ්‍රයිවර් මහතා මා වෙනුවෙන් බස්රථය නවතයි.ගමේ හැටි එහෙමය. ගෙදරට හැරෙන අඩි පාරේ අළුතින් ඉදිවෙන බෝධි ප්‍රකාරය දෙස මම බලා උන්නෙමි. හිත සැනසිල්ලෙ සතුටකින් පිරී ගියේය. තව ‍ටික දවසකින් වැඩ නිමවෙනු ඇත. ටික වේලාවක් බෝ මළුවේ රැදී උන් මම දොළ පාර හරහා වැටී ඇති කොන්ක්‍රීට් ලෑල්ලට ගොඩ වුනෙමි. එගොඩ ගොඩ පිහිටි මගේ නිවෙස දෙස සිට පාසලේ දරුවෙකුගෙ මව හා පියා පැමිණයහ. ඒ වන විටත් මම මඟ දුරක් පැමිණ සිටි බැවින් මට ආපසු හැරෙන්නට ද නොහැකිය. දරුවාගේ පියා මා සිටින බව නොතකා ඉදිරියටම ආවේය.

" ආ නෝන මහත්තයා... අපි මේ උඹෙ ගෙදරට ගිහින් එන ගමන්....."

ඔහු විශාල ගලක්ද රුගෙන ඇවිත් තිබුණේය. එකවරම පාත් වු හෙණය කුමක්දැයි මම නොදැන උන්නෙමි.

" මොකක්ද ප්‍රශ්නෙ... කෑගහන්නෙ නැතුව කියන්න මහත්තයෝ... මේක මහ පාර.. පෞද්ගලික දෙයක් නම් දැන් කියන්න.. රාජකාරි දෙයක්නම් හෙට ඉස්කෝලේ ට එන්න."
මම සංසුන් වන්නට උත්සහ කරමින් කීවෙමි.

"හෙට ඉස්කෝලේ එන්න කළින් මං දැන් උඹ බාවනවා...  ම‍ගෙ දරුවට ඉස්කෝලේ දී උඹ බැන්නෙ කාගෙ හයිය අරන්ද..."

මම තුෂ්නිම්භූත වුනෙමි.ඔහු කියන අණ්ඩරය මට තේරේන්නෙ නැත.
" ඔයාගෙ දුවට කවද්ද මං බැන්නෙ.. වැරදීමක් .. "

" අද උදේ රුස්වීමේදී උඹ බැනලා. ..ඒකී වහ බොන්න හදනවා.මං ආවේ තෝත් බාවන්න"

මෙය වැරදීමක් විය යුතු බව මට දැණුනි. අද උදෑසන රුස්වීමට තියා මසක සිට උදෑසන රැස්වීමකට මම සහභාගි නොවුනේ විදුහලේ ලිපි ලේඛන කිහිපයක් පරිගණක ගත කිරිමේ වගකීම මා සතු වු නිසාය. අන් කාරණය වන්නෙ මේ දරුවා මගෙ විෂය නොහදාරණ නිසා සිදුවිය හැකි වචන ගණුදෙනු අල්පවීමය. නමුත් අද දිනය තුළ කිසිදු වේලාවක මෙම දරුවා මට හමු වුයේ නැත.

" මහත්තයාට වැරදීමක් වෙලා.. හෙට ප්‍රින්සිපල් ට කියන්න ඇවිත්.. "

මම ඔහු මඟ හැරියෙමි. නමුත් ඔහු මා තල්ලු කරන්නට මෙන් ඉදිරියට ආවේය. මම වහා හැරී බෝ මළුව දෙසට ඉවත් වුනෙමි. තල්ලු කළා නම් වැටෙන්නෙ දොළ පාරේ ගල්  ගොඩටය.
අසැබි වදන් අවමන් ඉදිරියේ මම විදුහල්පතිතුමා වෙත දුරකතන ඇමතුමක් දුනෙමි.ඔහුගෙ තීරණය වුයෙ මගෙ පෞද්ගලික දේවල් අදාළ නැති බවත් පොලීසි නොගොස් ගෙදරට යන ලෙසත්ය. පාර දෙපස නරඹන්නො විශාල පිරිසක් මගෙ
අසරණකම වින්දනය කරමින් උන්හ. මට නොකියා මගේ කඳුළු මටම සරදම් කරමින් ගලා ගියේය. මට මතක් වුනේ අම්මාය. ඇයද දුරකය. විදුහල්පතිතුමා වත් මගෙ පිහිටට නැත. ගමේ කසිප්පු විකුණපු පුද්ගලයෙක් හා හැපෙන්නට මගෙ ගැහැණුකමටද බැරිය. නරඹන්නන්ගෙ අනන්ත කතා මැද මම නිවසට ගියෙමි. සිදුවු දෙය මට අදහාගන්නටද බැරිය. පසුදින වනතුරු මට ඉවසුමක් නැති විය. අඩු තරමේ විදුහල්පතිතුමා මා නිර්දෝෂ බව හෝ කියනු ඇත.
මම විදුහලට ඇතුළු වීමටත් පෙර දැරියගෙ දෙමාපියන් විදුහලට පැමිණ සිටියහ. නඩුව අසා තිබුණි. විදුහල්පතිතුමා ගේ දෝෂ දර්ශනයද මට විය. දෙමාපියන් පොලීසි යන බවත් එයින් විදුහලට ඇතිවන අපකීර්තියට වග කිව යුත්තෙ මම බැවින් දරුවා ගෙන් හා මව්පියන්ගෙන් සමාව ඉල්ලීම සිදුකිරීම මගෙ වගකීම බවත් තීරණය කරමින් කැකිල්ලේ රජ නඩුව අහවර විය. සිදුවු දෙය පිළිබඳ ව මගෙන් කරුණු විමසීමක් නොවීය. දරුවාට බැන්නා යැයි පැවසෙන ගුරුවරියද නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම මා තවත් අසරණ කරවීය. සාධාරණය හා මනුස්සකම අතර මම අතරමං විමී.

" මං සමාව ඉල්ලන්නම් සර්.. ඒත් මෙතැනට ඒ ගැණු ළමයයි තාත්තාවයි ගෙන්වන්න..."

විදුහල්පතිතුමා ගෙ අණින් ඔවුන් කාර්යාලයට පැමිණියහ. මම බැලුවේ දරුවා දෙසය.

" මගෙ ඇස් දෙක දිහා බලලා කියන්න කොයි වෙලාවේද මං ඔයාට බැන්නෙ"

"උදේ පන්තියට ටීච ආවනෙ පේපර් දෙන්න අයි ටී ළමයින්ට.. ඒ වේලාවේ...උදේ රුස්වීමේදි ලතා ටීච මටයි බැන්නෙ කිව්වෙ.. කසිප්පු කාරයාගෙ දුව කියලා ඊට පස්සෙ ටීච ගියේ... "

මම පන්තියට ගිය වගක් මතකය. පේපර් දුන් බවත් මතකය. එහෙත් ඇය කියන
කතා බොරුය. තර්ක කිරීම වැරදිය. වැරුද්දට සමාව ඉල්ලනවා හැර අන් යමක් නොවීය. ගුරු ජිවිතයෙ අප්‍රසන්නම දවසේ මම හුස්ම ගත්තේද අමාරුවෙනි.
ඉන් අවුරුද්දකට පසු ඇය මගෙ උසස්පෙළ පන්තියෙ අසුන් ගත්තාය. කිසිදු වෙනසක් නොපෙන්වා ඇයට ද සමානව ඉගැන්වීමේ හැකියාව මට තිබුණි.

" මාත් එක්ක තරහක් නැද්ද ටීච"
" හේතුව"
" මං ටීචට තාත්තාට කියලා බැන්නුවා... ටීච ඇඩෙව්වා.. ඒත් අද මට ටීච කතා කරන්නෙ තරහක් නැතිව.. "

" මං වැරද්දක් කළේ නෑ කියලා මගෙ හිත දන්නවා පුතා.. එච්චරයි .. ඔයා එහෙම කළෙ ඇයි කියලා මං අහන්නෙත් නෑ "

ගැණු දරුවා බොහෝ වේලාවක් යනතුරු කිසිත් නොකියා උන්නාය.

" ටීච... අතු ගෑවේ නැතුවට දවසක් මට බැන්නනෙ... ගැණු ළමයෙක් වුනාම හරියට අතු ගාන්න වත් බෑ කියලා.. මට එදා තරහ හිතුණා. ලතා ටීච උදේ රුස්වීමේදී බැන්නා සමහර ගැණු ළමයි අතු ගාන්නවත් දන්නෙ නෑ කියලා.. මං ගෙදර ගිහින් කිව්ව...ඒත් ලතා ටීචගෙ මහත්තයාට තාත්තා බයයි. ටීච ට විතරක් බැන්නෙ ඒකයි.. "

මම හිස ඔසවා ඇයට සිනහවක් පමණක් දුන්නෙමි.