Monday, September 19, 2016

මම දිනුම්

කහත්තෙවෙල පංසල පේන මානේ. ඊට එහා කදු වළල්ල තව ටිකක් පේනවා නම් කොයිතරම් නම් හොඳ ද.. උඩු මහළට ටිකක් හුළඟ සැරේට දැනෙනවා. හිරිගඩු පිපෙන්නෙ ඉඩ නැති වෙයි කියල තරඟෙට වගේ.මං ජනේල් පියන හෙමිහිට වැහුවා. ශාලාවේ ඉස්සරහම හිටපු මම හොරෙන්ම පිටුපස බැලුවා. හැමෝගෙම ඇස් තිබුණේ පේපර් එකෙ. සමහරු ගජරාමෙට ලියනවා. මම විතරක් ලියන්නෙ නැතුව අහසට ඇස් විසි කරනවා.  මම වෙලාව බැලුවා. එකොළහට ළඟයි. කෙල්ල දැන් කතා කරල ත් ඇති. දිනුම් ද දන්නෙ නෑ. හිතේ එක එක ප්‍රශ්න. ඇත්තටම මට පේපර් එකට ලියන්න කරුණු නැ. පහුගිය දවස් ටිකේම මේ තරඟයට කෙල්ල  පුහුණු  කරන්න මහන්සි වුනා මිසක් මට පොතක් බලාගන්න වෙලාව තිබුණෙ නෑ. පෝය දවසෙත් හතර වෙනකම් මම හිටියේ කෙල්ලත් එක්කම. ඒක විවෘත තරඟයක්. උසස්පෙළ දරුවනුත් ඒ තරඟය තුළ හිටියා. ජාතික පාසල්, පවා ඒ තරඟයට ඇවිත් තිබුණා. ඒ නිසාම කෙල්ලට ඕන වුනෙ දිනන්නමයි.


" ටීච මට පළාත් එකෙනුත් පළවෙනියා වෙන්න ඕන.. එතකොට මට පුළුවන් කියන්න පළාතේ හොඳම කථිකයා මම කියල"


දිස්ත්‍රික් තරඟෙ දිනල ඇවිත්  කෙල්ල කිව්වෙ එහෙම.


" දිනපං ඉතිං"


එහෙම කියල මම හිනාවුනා විතරයි. වැඩිහිටි දින තේමාව යටතේ තමයි තරඟය. ඒත් වැඩිහිටි පරම්පරාවෙන් වැඩිපුරම බැට කාලා තියෙන මේ කෙල්ල ධනවාදී කතා පූරක සපයයි කියල කොහොම හිතන්න ද. අම්මා ඉස්පිරිතාලෙ ඉදන් ගෙදර එනකම් පුංචි කාලේ බලන් හිටිය පොඩි එකී  ලොකු ළමයෙක් වුනදා අම්මා ඉස්පිරිතාලෙ ඉදන් එනවා.


" අපේ අම්මට සනීපයි දැන්"


කෙල්ල එහෙම කිය කිය නටපු අතීතය මට තාම මතකයි.ඒත් ඒ කිට්ටුම දවසක අම්මා නැතිවෙනවා. ඊටපස්සෙ තැනින් තැන. ඉන්න ගෙදර හැම වැඩකම උදව්වෙවි ගෙවුණ ජිවිතය.. අහපු කතාන්දර. තනිකම දුක. ඒ හැමදේම විඳගෙන ගෙවන මේ ජිවිතය .


" තාත්තා අප්‍රේල් වලට ආවට පස්සෙ මම තාම දැක්කෙ නෑ. දැන් ඉන්නෙ පුංචි ළඟ නිසා මට බය නැ. ඒත් මගේම කියල කවුරු හරි මාව බලල යනවා නම් ටීච මම ආසයි."


වෙලාවකට එහෙම කියවන පොඩි එකීට දෙමාපියන් ගැනම කතා කරන්න මාතෘකාව ලැබුණ කියල කෙල්ල එක්කං ගිය ටීච කෙටි පණිවිඩයක් එවල තිබුණා.


මම පේපර් එක මේසෙ උඩ තියල නැගිට්ටා. බොරුවට කාලෙ නාස්ති නොකර කෙල්ල ගෙ තත්ත්වය හොයන්න මං කෝල් එකක් ගත්තෙ තරප්පුපෙළ බහින ගමන්මයි.


"ආ මේ ඔයාද..විශාකා. අපි කෝල් කරන්න ට්‍රයි කළා. ඒත් වැඩ කළේ නෑනේ.."


" කියන්න ටීච..මොකද වුනෙ තරඟෙට"


පුංචි වෙලාවක් ගියා. ආපහු ඇහුනෙ කෙල්ලගෙ හඬ.


" ටීච"


"මොකද වුනෙ පුතා... තරඟෙ රිසාල්ට් කිව්වද"


"ටීච ට හිතෙන්නේ කොහොමද ... රිසාල්ට් ගැන"


මං හිනාවුනා. මං තරම් දන්නෙ වෙන කව්ද කෙල්ල ගැන.


" උඹ පළවෙනියා..... එච්චරයි ..."

" ඔව් ටීච.. මම දිනුම්"

9 comments:

  1. ඔබවැනි ගුරුවරුන් රටට සම්පතකි.

    ReplyDelete
  2. අහන්නත් සතුටුයි... තවත් දිනුම් මඟ දිගට .. යමු ඉතින්

    ReplyDelete
  3. අපිටත් සතුටුයි.දෙන්නටම සුබ පැතුම්...!

    ReplyDelete
  4. නියමයි! සුබ පැතුම් !

    ReplyDelete
  5. සුභපැතුම් ටීච..!
    ජයවේවා..!!

    ReplyDelete
  6. සුබ පැතුම් !ගුරුතුමීටත් සිසුවියටත්

    ReplyDelete
  7. හරිම සන්තෝෂයි ඒ දියණිය ගැන...ඔබ දෙදෙනාටම සුබ පැතුම්...

    ReplyDelete