Sunday, July 2, 2017

අම්මා

44 වන දිග හැරුම

-----------------------------

බස්රථයේ අයිනෙ අසුනක් හිමි වීම සතුටකි. බොහෝ දේ සිතීමට ඇත. බොහෝ දේ මැවීමට ඇත. ඒ සඳහා ගමනාන්තය දක්වා ඇති කාලය ආශිර්වාදයකි. මම අසුනට බරවී හිස තියා ගත්තෙමි. ලග අසුන බර වෙමින් මගෙ ඇගේ වැදුන බෑගය නිසා මගෙ අසුනේම අනෙක් භාගයට අයිතිකරුවෙක් පැමිණ ඇති බව මම දැන ගතිමි. නමුත් ඇස් ඇර ඒ අමුත්තා පිළිගැනීමට මගෙ හිත කැමැති නොවුන බැවින් දිගටම අැස් දෙක තද කරගෙනම මම උන්නෙමි. ටිකට් ගත් නැති අය ටිකට් ගන්න යැයි කොන්දොස්තර තැන පණිවිඩ පිට පණිවිඩ එවයි. මම ටිකට් ගෙන අවසන් නිසා එයද මට වැදගත් නැත . අවශ්‍ය වුයේ සිතුවිලි සමග මගෙ ගමන යන්නටය.
" රුපියල් දෙකක් අඩුයි මහත්තයෝ.."

ඒ ඇසුණේ මගෙ අසුනෙ බාගයක අයිතිකාර හඬය. ඒ ගැහැණු හඬකි.

" හැමදාම ණයට යන්න එපා .. අපටත් වදයක්.. දවසකට දහයක් පහලොවක් අඩුවෙන් දීලා ගියාම අපි කොහොමද ⁣ඒවා ගෙවන්නෙ"

එවර නම් මම දෑස් හැරියෙමි. ළඟ උන්නෙ මැදිවියේ කාන්තාවකි. ඇගේ ඇස් යට පිට නොවු කඳුළු ගුලි එළියට පැන නිදහස් වන්නට මාන බලමින් සිටියි. මම මගේ අතේ ගුලි කරගෙන උන් රුපියල් දහය කොන්දොස්තර වෙත දිගු කළෙමි.

" මේකෙන් ගන්න"

කොන්දොස්තර තැන ටිකට් පත නිකුත් කර බස් රථයේ පසුපසට කිටි කිට්යේ තද වෙමින් රිංගුවේය.

" පින් සිද්ධ වේවා නෝනේ.."

මම සිනාසුනෙමි.

" අමතක කරන්න අම්මා.. අම්මා කොහේට යන ගමන්ද මේ.. "

" වැඩට යනවා නෝනේ.."

" කොහේද"

ඇය කැස්සාය. වියළි කැස්සක් පපුව ගලවා එන්නට හදන සෙයකි.  කැස්සෙන්ම ඇය නගරයේ රෙස්ටුරන්ට් එකක නම කීවාය.

" මම එහෙ අතුගානවා නෝනේ.. දවසට දෙසීයයි පඩිය.. පොඩි එකා තාම ඉගෙන ගන්න වයසේ.. සාමාන්‍ය පෙල විතරයි කළේ. ඒත් ඌත් හෝටලේක පිගන් හෝදනවා."

" හ්ම්.. ටිකක් අසනීපයෙන් වගෙ නේද අම්මා.."

"මට හොඳ වෙන එකක් නෑ නෝනේ.. මට වකුගඩු ලෙඩ.. හැම මාසේම නුවර යනවා.. බස් එකට කීයක් හරි හොයා ගන්න මම මේ අතුගාන වැඩේට යන්නෙ.. මට තව ටිකක් කල් ජීවත් වෙන්න ඕන නෝනා.. මගෙ පොඩි එකා ට මම විතරයි.."

බස් නැවතුම් දෙකකින් අදාළ හෝටලය අසළ බස් රථය නැවතුණි. ඇය බැස ගියාය. ඉදිමිණු දෙපා හොඳටම මම දැක්කෙ ඇය පාර මාරුවන්නට ඔට්ටු වෙන අතරතුරය.  බසින්නට පෙර ඇයගේ නිවසට යන පාර මම අසා ගත් බැවින් ඇය යළි හමුවන අළුත් බලාපොරොත්තුවක් හිතේ මහා ඕනෑකමකින් පැළපදියම්ව ඇත

5 comments:

  1. /* 44 වන දිග හැරුම */

    මොකක්ද ඒ 44 අංකයේ තේරුම?

    ටීචර්ස්ලාට තුනේ පන්තියේ ගණං වරදින්න විදියක් නෑ නේ!

    ReplyDelete
  2. ඔය වගේ අය නිතරම මග තොටේදී හමුවෙනවා. ඔබ වැනි කෙනෙක් ඉඳහිට පිහිට වෙනවා.

    ReplyDelete
  3. කොන්දොස්තර මහත්තුරුත් ඉතුරු සල්ලි වලින් හැමදාම රුපියල දෙක තියා ගන්නවානේ.මේ වගේ අසරණ මිනිස්සු වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න බැරිද ?ඒ අම්මා හොරෙන් යන්න ගිහින් නෙමේනේ.

    ReplyDelete
  4. ඔබ වැනි කාරුණික හදවත් අද දුලබ වන්නට ද කරුණු කාරණා බොහොමයකි... උපකාර කරන්න..... අවදියෙන් සිටින්න

    ReplyDelete