Wednesday, September 20, 2017

අපි කොළඹ යනවෝ

ටීච.. ටීච වගේ කෙනෙක්
ලැබෙන්න නේද..

ට්‍රිප් එක යන සතුටට
පොඩි උන්ගෙ හරි බටර් මේ දවස් වල

සතයක වියදමක් නැතිව
ජිවිතේ පළවෙනි වතාවට කොළඹ යන්න
හීන මවන මගේ උන්ට
සතුට ඔබට දෙන්න හයිය වෙන්නෙ
ජිවිතය කණ්ඩායම වුන
Lionel De Silva
Ajith Abeydeera
Palitha Cyril
Lakshan Pandula Athukorala

එක්ක
Chandana Edirisinghe
Irosh Hettige
Aruna Muthumala
Sahan Kodikara
Hiru Minipura

එතකොට
Roshani Silva
Dinels Di
Eranga Harsha Walawearachchi

හවස තේ වේලට මොනවහරි අරන් මාත් එනව කියපු
Nikeshala Tennakoon

දරුවන් එක්ක එදාට පැයක් ගත කරන්න එන්න කීව ගමන් සතුටින් ඒ ආරාධනාව බාර ගත්ත
Samith Sirimanna
Madushan Nanayakkara ට

ගුවන්විදුලි සංස්ථාව ළමා පිටිය එදිනට අපට දෙන්න පොරොන්දු වුන Sudarshana Gunawardana
Indunil Jayawardana දෙපළට

Maduka Thaksala Fernando ට
Manjula Samarasekara ට

මගේ දරුවන් වෙනුවෙන්  ස්තුතියි

අමතක වුනා නෙවෙයි Damith Wilegoda

Tuesday, September 12, 2017

අයිස් පලම

නිවාසාන්තර ක්‍රීඩා උළෙල පටන් ගන්නට තව ටික වෙලාවක් ගත වෙනු ඇත. නිවාස තුනේම දරුවන් ලහි ලහියේ නිවාස සැරසිලි කරන්නෙ සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නටය. එක තැනක කෝචිචියක්ය. තව තැනක රතු ඉන්දියන් නිවසක්ය. තව තැනක හමුදා බංකරයක්ය. එකිනෙකට නොපරදින නිර්මාණ ශක්තීන් විදහ දැක්වෙන මේ අපූරු නිර්මාණ අතරේ මම සක්මන් කරමින් මගේ පාසල් කාලයට ඉගිලෙමින් සිටියෙමි.
"ටීච.. මොන හවුස්ද..."
උසස්පෙළ නිමවා පාසලට සමුදුන් දැලි රැවුල ඝන වෙමින් උන් නාඹරයෙකු වු ධනුෂ්ක මගේ ඉදිරියේය.
"මට මොන හවුස්ද..මාව මධ්‍යස්ථ මණ්ඩළයට දාලා නේ"
"අපරාදේ.. ටීචත් හවුස් එකක හිටිය නම් හොඳ හොඳ වලි ටිකක් බලා ගන්න තිබුණා."
"හ්ම්.."
"ටීචව.. අයින් කරන්න ඇත්තෙත් සර්ට වලි බේරන්න බැරි නිසා වෙන්න ඇති"
මම සිනාසුනෙමි. 
"ඔය ළමයා මොකද ඔතැන.. කෝ යුනිෆෝම්.. තාම ඉස්කෝලේ අස්වීම ගත්තෙ නැනේ..එහෙනම් යුනිෆෝම් එනව නම් එනවා.. නැත්නම් යනවා.. ටීචටත් පෙනුනෙ නැද්ද කතා කර කර හිටියේ.."

විදුහල්පතිවරයා ළඟටම ඇවිත්ය.දොස්මුර වරුසාව අහවර වෙනතුරු පෙර ධනුෂ්ක බිම බලාගෙන උන්නා මිස හිස එසවුවේ නැත. විදුහල්පතිවරයා ගිය සැණින් ලැජ්ජාවෙන් හිස ඔසවා සිනාසුනි.
"මං හින්දා ටීචත් බැනුම් ඇහුවා නේද.."
"ඔයාලා ඉස්කෝලෙට එනකොට පිළිවෙලකට එන්න එපැයි දරුවෝ"
"ඉතිං ටීච... ටවුමෙ යන්න ආවේ.. හවුස් හදකවා දකිනකොට පිට්ටනියටම නේ ආවේ.."
"හ්ම්.. හ්ම්.. දැන්වත් යනවා..ආය බැනුම් නොඅහා"

"මම නම් යන්නම්.. හැබැයි ටීච ආයෙම බැනුම් අහනවා.. "

ධනුෂ්ක හිනාවෙමින් පිට්ටනියේ එහා කොණ දෙස බලා උන්නේය.

"ඒ මොකද.."
මම ධනුෂ්ක  බලා සිටින දෙස බැලුවෙමි. අයිස්ක්‍රීම් වෙළෙන්දෙකු ළඟ කුඩා දරුවන් දෙදෙනෙකු මාන බලමින් සිටියි.
මම හෙමින් හෙමින් කුඩා දරුවන් දෙදෙනා වෙත ගියේ අතටම අල්ලා ගන්නටය. මම එන බව නොදැන පොඩි උන් දෙදෙනා අයිස් පලම් රස කරමින් සිටි.
"ගේට්ටුවෙන් එළියට ආවේ කාගෙන් අහලද"
පොඩි උන් දෙදෙනා ගැස්සි මා වෙත හැරුණි.
"මොනවද මෙතැන කරන්නෙ"
"මොකුත් නෑ ටිච.."
"එළියට ආවෙ ඇයි"
"නිකං ටීච.."
"එතකොට මොනවද ඔය කලිසම පහළට බහින්නෙ.."
එක් දරුවෙකුගෙ කලිසම් සාක්කුව තෙත් කරමින් යම් දියරයක් ගලමින් තිබේ.

" මොනවද ඒ..."
"ටීච මේ.. මේ"
"මොනවද සාක්කුවේ තියෙන්නෙ"
"ඒක මේ හවසට කළින් ගත්ත පලම තියෙන්නෙ"

Saturday, August 26, 2017

මුට්ටි යකා

වතුර බවුසරයක් ගේට්ටුව අරින තුරු මග රැක සිටි. ජලය ජිවිතයෙ කොයි තරම් ඉඩක් වෙන් කරගෙන සිටී දැයි බලන්නට ජලය නැතිවෙන්නටම ඕනිය. ඉස්කෝලේට වතුර එන්නෙ සති දෙකකට සැරයකි. ඒ තුරා බොහෝ දුක් දරුවන් මෙන්ම ගුරුවරුද විදිති. බඩදරු ගුරුවරියකට වැසිකිළි පහසුකමලෙබා දෙන්නට ගෙවල් තුන හතරකට ගොස්  වතුර වෙනුවෙන් අතපාන්නට වු දවස් එමටය.
"අද කළින්ම වතුර ඇවිත් වගේ"
ජයන්ත අයියා ගේට්ටුව අරින්නට දුවයි. පොඩි උන් වතුර බවුසරය එනකං පාර දෙපැත්තෙ පොර කන්නෙ බවුසරයෙන් ටැංකියට වතුර දෙන හැටි බලන්නටය.
" උඹ අයින් වෙයන්කො.. ගිය පාරත් ඉස්සරහම හිටියේ.."
"උඹ උඹ ගාන්න එපා බං.. පිටිපස්සෙ ටීච..."
"එහෙනම් උඹ බං බං ගාන්නෙ"
මම දෙදෙනාටම රැවුවෙමි. ඉන්පසු මීක් සද්දයක් වත් නැත. පෙරමුණ ගැනීමේ රණ්ඩුවත් නැත. කරට අත දමාගෙන ගජ මිතුරු වෙසින් පොඩි උන් ඇත. මම මටම සිනාසුනෙමි. මේ ජිවිතය උන්ගේය. අපේ රැවීම් අපටය. වතුර බවුසරය ටැංකිය ළඟට සේන්දු කර වතුර පොම්ප කිරීම අරඹා ඇත. දරුවන් මෙන්ම වැඩිහිටි අපද ඒ වතුර වැටෙන හඬට පෙම් කරනවා වන්නට ඇත. දවසක් දෙකක් අපට යළි ජලය ඇත. උල්පත් වතුර බිවු අපට වතුර බවුසර් එනතුරු ඇඟිලි ගණින්නට සිදුවීමද එක්තරා දෛවපෝගත සිදුවීමකි. ගණ දෙවියන්ද බට කොළ කෑවේ නම් අපි වතුර බවුසර් එනතුරු සිටියාම මොකද..
"ටීච.. ටීච.."
කල්පනා ලොවෙන් මිදුණේ පුංචි එකියෙක් සාරි පොටෙන් ද අැඳි පසුවය.
"අහ්.. ඇයි පුතේ"
"ටීච.. යකෙක්"
"යකෙක්.. කෝ... කොහේද?"
"ඉන්නවා ටීච.. අර දොළහේ පංතිය ගාව"
ඒකත් එකටම දොළහේ කෙල්ලො දෙදෙනා පොඩි උන් බය කරන්නට පටන් ගෙන ඇත. හවස සමිතියට ඉදිරිපත් කරන නාට්‍යයේ යකුන් දෙදෙනා ලෙස රඟපාන්නට නියමිතව උන්නෙ දොළහේ ගැහැණු දරුවන් දෙදෙනාය. ඔවුන් දෙදෙනා කළින්ම වෙස් මාරු කරගෙන ඇත. අද නම් මේ හිතුවක්කාරියන් දෙදෙනාට දඬුවමක් නම් දිය යුතුමය.
"යමු බලන්න ඔයාගේ යකා "
"අනේ.. අම්මො බැ බැ.. ටීච යන්නත් එපා.. ඒ යකා ගැණු ළමයින්ට ලු කරදර කරන්නෙ"
"එහෙනම් බලන්නම වටිනවා පුතේ.."
මම උසස්පෙළ පංති දෙසට හැරුනෙමි. දොළහේ කෙල්ලො දෙදෙනා තවමත් නිලඇඳුම පිටිනි. ඔවුන් ළමුන් බය කරන්නට තියා ඉන්න තැනවත් නිනව් නැතිව කෙටි සටහන් දිග අැරගෙනය. මම කිසිවත් නොවු ගානට යකා කේළම කියු පොඩි එකී වෙත හැරුණෙමි.
"කව්ද පුතේ.. ඔයාට යකෙක් ඉන්නවා කිව්වේ.."
"හයේ කවිමල් අය්යා..."
ආ.. මෙවර වැඩ අල්ලා ඇත්තෙ එහෙනම් ඔහුය. කවිමල් කොහොමත් ඔය වැනි වැඩ වලට ඔට්ටුය. ඔහු මට්ටු කරන්නට නම් වෙනම උගෙන ආ යුතුය.
මම දොළහේ පංතිය දෙසට ගියෙමි. එතැනට යන පාරේ බොගන්විලා පඳුර යට පොඩි එවුන් කිහිප දෙනෙක් වට රවුම් ගැසී ඇත. මම හෙමින් හෙමින් ඒ දෙසට කිට්ටු කළෙමි.
"අම්මෝ ඒ යකා.. බයේ බෑ නේ"
"දැන් මට රුපියල් දහයක් දුන්නෙ නැත්නම් මුට්ටි යකා ගෙදර එයි"
ඒ කවිමල්ය.
"දෙන්නම්..දෙන්නම්..අම්මෝ දෙන්නම්..හෙට එනකොට ගේන්නම්"

"ආ .. කවිමල් මටත් බලන්න ඕන ඔය යකා"
"ටී..ච..."
"ඔව්.. ඔව්.. පෙන්වන්න බලන්න ඔය යකා"
"ටීච.. ඒ මුට්ටි යකෙක්"
හොඳටම බිය වී උන් පුංචි දරුවා ගේ ඇස් කියන්නෙ මට ළං නොවෙනු කියාය.
මම කවිමල් අතේ තිබු මුට්ටිය ගත්තෙමි. එය හොදින් කට වැසෙන සේ රතු රෙදි කඩින් බැඳ තිබුණි. ඇතුළේ යමෙක් දඟලන බවද දැනේ. මම සෙමින් රෙදි කඩ ලිහුවෙමි.
"එපා.. ටීච.. යකා පනියි"
මම පොඩි උන්ගේ  හඬ නොඇසුන පරිදි රෙදි කඩ ඉවත් කළෙමි. තඩි ගෙම්බන් දෙදෙනෙකු මුට්ටියේ අමාරුවෙන් එහා මෙහා දඟලමින් නිදහස සොයමින් සිටි.

Tuesday, August 22, 2017

අත්හැරීම

ඉරට කළින් ඇහැරෙන මිනිස්සු උදේ පාන්දරම කුඹුරු වල වැඩ. අද වෙනදටත් වැඩියෙන් මීදුම බාල තිබුණ දවසක්. වැහි කෝඩයක් ගියාට පස්සෙ කුඩැලි මිනින්දෝරුවෝ වැඩ පටන් ගන්න හින්දා හරි සීරුවට තමයි පාරට පැන්නෙ. උපන්දා ඉඳන් කුඩැල්ලො එක්ක ඔට්ටු වුනාට මොකද තාමත් බයයි කූඩැලි හමුදාවට.

"අද සීතල වැඩි දවසක් නේද ටීච නෝනේ"

බෝංචි සීයා අව්ව  තපින්න පාරට ඇවිත්. බෝංචි සීයා ඉස්සරම ඉදන් අපේ ගේ ඉස්සරහ කුඹුරේ වගා කරනවා. හැබැයි බෝංචි විතරමයි. ඒ නිසා කිරිවන්තෙ නම වුනාට අපිට ඔහු බෝංචි සීයා වුනේ ඒ නිසයි.

"ඒකනේ සීයා.. ඊයේ දවසම වැස්සනේ.. අදත් පටන් ගනියි තව ටිකකින්. "

"වහිනකොට ඉවරයක් නෑ චුරු චුරුව.. බෝංචි ටිකට කහ රෝගෙත් ගහල."

"හ්ම්...
මොනව කරන්නද සීයේ..."

"ආං ආං අරු අදත් මොකක් හරි අලුගෙත්තේරු වැඩක් කරලද කොහේද"

මම බෝංචි සීයා පෙන්වු දෙස බැලිමි. පහළ කඩේ නැන්දා පොඩි එකෙකුගෙ කණ මිරිකමින් බැණ වදියි.

"කව්ද බෝංචි සීයේ ඒ.."

"මහතුවාගේ ලොකු  කොල්ලනේ නෝනා ඒ"

ඒ සංදේශ්ය. පුංචි දේටත් හඩා වැටෙන හැම තිස්සෙම සාරි පොටේ එතෙන පොඩි එකාය.

"ඇයි  සීයේ.. මොනව කරලද ඔය"

"මොකක් හරි වසවර්ති වැඩක් කරන්න ඇතිනේ.."

මම කඩය දෙසට යන විටත් නැන්දා සංදේශ්ගෙ කණ මිරිකාගෙන බැණ වදියි.

"ඇයි නැන්දේ..."

"ටීච ආව එක හොදයි.. පේනවා නේද මු කරන වැඩේ.. දවසක් දෙකක් නම් මොකද.. දැන් හැමදාම පටන් ගෙන.."

නැන්දා බෙරිහන් දෙයි.

"මොකද කළේ"

"හැමදාම කඩෙන් බිස්කට් එකක් ගන්නවාමනේ නෝනේ.."
මම සංදේශ් ළඟට ඇද ගෙනම පැත්තකට කර ගත්තා. කදුළු නම් වෙනදා වගේම ඉස්සරවෙලා.
" මේ කතාව ඇත්තද.."
කතාව අනුමත කරන්නට මෙන් සංදේශ් හිස වනයි.
"ඇයි පුතේ එහෙම කරේ.."

"ඉතිං ටීච .. අම්මා බිස්කට් දෙන්නෙ  මල්ලිට විතරනේ.. "

"අම්මාට කිව්වොත් අරන් දෙනවනෙ පුතේ.. හොරකම් හොඳ නෑ.."

"අම්මා මාව අතඇරල ටීච.."

Thursday, July 27, 2017

එයා ඉන්නෙ දිව්‍ය ලෝකේ

කාලච්ජේදය අවසන් වන සීනූව නාද විය.
ඔවා සිප් දීමේන..
ම‍ා හික්මවන ප්‍රේමෙන
ඇඳුරු හද බැතියෙන
වදිමි ගරු සිත පෙරටු කරගෙන

මම පොඩි උන්ට සමුදෙන්නටත් පෙර ඔවුන් මට ආයුබෝවන් කියන්නට කවිය කියයි. වෙනදාට පොල්ලක් අරගෙන වත් එලවන්නට නොහැකි දරුවන් සඳුදා දිනයට මට නොකියාම යන්නට තරම් හදිස්සිකාරයන්ය. ඒ මගේ කාලච්ජේදයට පසුව එන විවේක කාලයට ඔට්ටු වෙන්නටය. කෑම එක කටට දෙකකට ගිලින ඔවුන්ගේ ඊළඟ නවාතැන ගිනිගහන අව්වෙ කාෂ්ඨක පිට්ටනියය. හිස අතගාන තුරුම පාත් වීම සිටින දරුවන්ට අද ඇත්තේ පුදුම කඩිකුලප්පුවක්ය.  මම තනියම සිනාසුනෙමි. මම ද ළමයෙක්ව උන්නෙමි. දරුවන්ගේ දඟකම් වලින් හිත තැලෙන හැම විටම මම සිතුවේ එසේය. මගේ එක්ක මගේ කතා ඉවර වෙන තැන එක දරුවෙක්වත් කාමරයේ නැත. උන් ඔක්කොම මා අතැර උන්ගේ ලෝකයේ දිව්‍යමය සුව දැනෙන කාෂ්ඨකෙට පැන හමාරය. මම ද ගුරු විවේකාගාරය දෙසට යාමට කාමරයේ දොරගුළු දැමුවෙමි. මේ වෙලාවට දුම් දමන කහට වැඩි තේ කෝප්පයක් චම්පා ටීච අතින් හැදෙන එක අනිවාර්‍යය. ඌව හයිලන්ඩ්ස් තේ කොළ වලින් හදන තේ එකෙ රස මතක වූ නිසාම මම පය ඉක්මන් කළෙමි.  බොහෝ තැන් වල අව්වට හේඩෑරී වි ගිය ගහකොළය. දූවිලි අවුස්සමින් සුළඟ හිටි ගමන් රස්තියාදුවේ යයි. මම සාරි පොට හිසට දමා ගත්තෙ අව්ව රවටන්නටය. උඩ බලාගෙන විකාර සිතුවිල්ලෙ හදිස්සියේ දිවු මම පියවි සිහියට ආවේ කකුල පය ගැසී වැටෙන්නට ගිය තැනය. කවුරුවත් දැක්කා නම් විලි ලැජ්ජාවය. මම හතර අත බැලුවෙමි. කවුරුත් නැත.
"ඇති යන්තම්" මම මටම ස්තුති කර ගත්තෙමි.
"හි..හි .ටීචලාත් වැටෙන්න යනවා"
මම ගල් ගැසුනෙමි. කිසිවෙක් නොසිටි බව මට ඉරහඳ සේ විශ්වාසය. මම උන් තැනම මොහොතක් ගල් ගැසුනෙමි.  හඬ ආවේ පරිගණක ශාලාවේ පිටුපසිනි. මම ඒ දෙසට හැරුනෙමි. ඉස්කෝලේම දඟකාරයා කවිෂ්ක එතැනය. ඔහු තාමත් සිනාසෙයි.
" වැටුනම හිනා වෙනවද.. ආ.."
මම ටිකක් සැරට ඇසුවෙමි.
" ඉතිං ටීචලත් වැටෙනවද"
"වැටෙනවා නේන්නම්.. මේ දැන් මම වැටුණේ"
පොඩි එකා ආයේම කොක්හඬලා සිනාසෙයි.
" ඇයි හිනාවෙන්නෙ..."
"ඉතිං ටීච ටීචලා දඟ නෑනේ.. දඟ ළමයිනෙ වැටෙනවා කියල  කියන්නෙ"
" කව්ද කිව්වෙ"
" අපේ අම්මා"
මම පොඩි එකාගේ කන් පෙත්ත හිනීයට අල්ලා ගත්තෙමි. ඒ ආදරණීය තරවටුවට දරුවන් කැමැතිය. ඔවුන්ට විශේෂ අවධානයක් ඉන් ලැබෙතැයි පුංචි උන් විශ්වාස කරයි.
"ඉන්නවකො.. මම අම්මට කියන්න පුතණ්ඩියාගේ තරම..."
" අපේ අම්මා ඒක දන්නවා.. ටීච.. ඒකනේ.. මට කිව්වෙ රංගෝලයා මම කියල එයාගේ"

මම සිනාසුනෙමි.

"ඉතිං හොඳයිනේ.... කොච්චර හොඳද එහෙම කියන එක.. රත්තරං ගෝලයා කියලනෙ අම්ම කියන්නෙ"

කොල්ලා ආපහු උඩ පැන පැන සිනාසෙයි. එවර නම් මට කේන්තිය තරමක් දුරට මා සොයා ආවේය.

" පුතේ.. ඔයාට මොකද මේ.. ආ."
"ඉතිං ටීච කරන්නෙ හිනා යන වැඩමනේ"
"මං දැන් මොකක්ද කළේ"
" ඇයි ටීච.. අපේ අම්මා කිව්වෙ  රත්තරං ගෝලය කියල නෙවේ.."
"එහෙනම්.."
"රන්ගෝල අනිත් පැත්ත හරවන්නකො.."
"රන්ගෝල.. ගෝල රන්"
පොඩි එකා එවර නම් මට සමච්චල්ම සිනාවක් තෑගි කළේය.
"ටීච නම් ටියුබ් ලයිට්ම තමයි... හයියෝ මන්දා.. ටීච.. රන්ගෝල .. ගොන්රාළ..ටීච.. ගොන්රාළ.."
එවර නම් මම සිනාසුනේ මටමය. පොඩි එකාගේ හිස අතගාමින් මම මටම සිනාසුනෙමි.
" ඉන්නවකො.. අම්මා හම්බුනාම මම කියන්නම් මේ කතා.. අම්මාටත් විහිළු කරනවා කියල"
එවර පොඩි එකා ගැඹුරු හුස්මක් මට පිම්ඹේය.
" ටීචට එයා හම්බ වෙන්න දිව්‍යලෝකේ යන්න වෙයි"
"ඔයාගේ විහිළු තෝර තෝර හිටියොත් පුතේ .. මට අද තේ නැතිවෙයි"
"ටීච යන්න.. ඒක විහිළුවක් නෙවේ.. අම්මා මැරිලනෙ ටීච.. එයා දිව්‍ය ලෝකේ නම් යනවා ෂුවර්"

Sunday, July 16, 2017

ම⁣ට කව්ද ඉන්නෙ ටීච


************-----******

ගිනියම් හුළඟට බොහෝ දේ අමතක ව නටයි. දූවිලි ද හිතුවක්කාරකමට සුළඟත් එක්ක හරි හරියට රෝන්දෙ යයි. වේලුණ අඹ කොළ ද  පදසට මත්ව මහපොළවට ඔට්ටු වෙන අතරේ කිරිස් කිරිස් හඬ එක්ක කවුරුන් හෝ මගෙ අසළට එන බව දැනුන හෙයින් මම හැරී බැලුවෙමි. පොඩි එකී මගේ ළඟමය. කාලෙකට පස්සෙ මගේ එකී මගේ ඉදිරියේ.

" ආ.. කොහොමද.. කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නෙ.."

"ටීච නම් මතක් වෙනවා.. ඒත් ඉතිං කතා කරන්න විදිහක් නැනේ.. ඇයි ටීච ගේ නහය දන්නෙ නෑ"

මම සිනාසුනෙමි.  ඇය කියන පරිදි මගේ නහය දන විට ඇය මා මතක් කරයි.  සමහරවිට ඇය දන්නෙ නැතුව ඇත. මට ඇය මගෙ තරමටම දැනෙන බව.

"කොහොමද.. අළුත් ඉස්කෝලේ..."

"හොඳයි.. ඒත් ටීචලා ලඟ නෑ මෙහෙ තරම්"

"හ්ම්.."

"ටීච.. කථීක තරඟේ හෙටනේ"

සමස්ත ලංකා නම ඉස්කෝල ඉතිහාසයේ පළවෙනියටම රුන්ඳුවේ මගෙ ඉදිරිපිට ඉන්න බටු ඇට දෙකෙ  උස මගේ ලොකු එකීය.

"ඔව් දිනලම එන්න.. අන්තිම පාරට මේ ඉස්කෝලේ  වෙනුවෙන් තරඟ කරන්න හදන්නෙ .. ඒක මතක තියා ගන්න"

" එහෙම කියන කොට මගේ ඇඟේ හිරිගඩුත් පිපෙනවා..මේ බලන්න ටීච... බලන්න මේ.. "

තරඟයට අයඳුම් කරන විට ඇය මගෙ පාසලේ වුවද උසස්පෙළට ඇය නගරයේ සුපිරිතම පාසලට වරම් ලබන්නෙ ඇගේම හැකියාවෙනි.

"මට ඔක්කොම මාතෘකා පුළුවන්.. හැබැයි එකක් නම් මට කතා බැරි වෙයි ටී.ච.."

මම පුදුමයෙන් ඇය දෙස බැලුවෙමි. ඇගේ ඇස් කඳුළු හංගන්නට දුක් විදින හැටි දැක මම මගේ ඇස් සඟවා ගත්තෙමි.

" මොකක් ගැනද ඔයාට බැරි"

"මව්නි පියාණෙනි, ඔබට උවසර මට කරන්න බෑ ටීච.... මම ඉන්නවාද නැද්ද කියල බලන්න අම්ම තාත්තා නැති මම.. එක එක්කෙනාගේ ගෙදර වළං හොඳ හොඳ ඉස්කෝලෙ යන මම..
"

ඇයගේ ඉකිය.. වේගවත් හැඩුමක්ම අවසානය. මම ඇය තුරුළු කර ගතිමි.

"ටීච දන්නවාද... සෙන්ට්‍රල් එකට යන දවසේ හැමෝම ආවේ අම්ම තාත්තා එක්ක.. එත් ටීච මම .. මම ගියේ තට්ට තනියම ටීච..මට කාත් කවුරුවත්.. නෑ ටීච... "

ඇගේ කඳුළු සීතලද ගින්දරද කියා මට තේරුණේ නැත. නමුත් ඇයට වඩා වේගයෙන් මගේ කඳුළු මට නොකියාම මගේ ඇස් අත් හරිමින් සිටියි.

" සමාවෙයන් පුතේ... ආය උඹ තනි කරන්නෙ නෑ.. උඹට අම්ම.. තාත්තා වෙනුවට... මං ඉන්නවා.. "

Thursday, July 6, 2017

කැලෑ පත්තරේ

ගුරුවරියකගේ මතක..
******--*****-*********

ඒ හතේ පංතියේ රංචුවය. ඉස්කෝලේ දඟම පංතියය. කොච්චර තරවටු කළත් ඒ තරවටුව තඹේකට මායිම් නොකරන දඟකාරයන්ගේ පාරාදීසය හතය. තියෙන පරිගණක දෙකට වෙන රණ්ඩුවීම් කාල ගෝට්ටි කන් දෙකට දැන්නම් හුරුය. ඊට වඩා නාස් හකුලන මේස් ගඳට ඔක්කාරය හැදෙන තරම්ය. ඒත් සියල්ල ඉවසා ගන්න ට දැන් මගෙ පංචෙන්ද්‍රයන් සූදානමින් සිටියි.

" ටීච ටීච බලන්නකො මට සූකිරියා කම්පියුටරෙ ගහන්න දෙන්නෙ නෑ.."

" අඩෝ මම සූකිරියා නෙවෙයි හරි.. ඒ ගෙදරට.. මේ ඉස්කෝලේ ..මට නම කියපං .. මට ඉස්කෝලේ ට නමක් තියෙනවා හොදේ ඉස්කෝලේ ට.."

අවසානයේ ඒ ගැටුමට මට මැදිහත් වන්නට සිදුවන්නෙ ගුටිබැට හුවමාරුවකට ආසන්නයේ පිපිරෙද්දිය.

" කාටවත් ගෙදරට කියන නම් අවශ්‍ය නෑ.. ඔයාලා නම් පොතේ තියෙන නම පාවිච්චි කරන්න ... එච්චරයි ..."

මම කිවේ යම් තරවටුවකින්ය. සූකිරියා යැයි කියු දරුවා ක්ෂණයෙන් නැගි සිටියේය.. මම ඔහු දෙස බැලුවේ ප්‍රශ්නය ඇස් දෙකට ගෙනය
.
" පංතියට දුවල එන්න ම් ⁣ටීච .'

" ඒ මොකටද..."

"නෑ නෑ ටීච.. සුකිරියගෙ වාසගම හොයාගෙන එන්නම් නාම ලේඛණෙන්"

" ඔන්න ටීච ආයෙත් සූකිරියා කීවා.. මං අද මූට.."
එවර නම් ගුටියක් දෙකක් හුවමාරු විය. මගෙත් ඉවසීමේ අංශුමාත්‍ර ද විසිරෙමින් තිබුණි..
" හරි දෙන්නම කම්පියුටර් එක ළඟින් අයින් වෙන්න.. මාසයක් කම්පියුටර් එක අල්ලන්න තහනම්"

ගුටියට වඩා බර දඬුවම එයය. කැමැති ම දෙයට වාරණයක් දැමීම ගුටි දහකට වඩා රිදෙනු ඇත. ඔවුන් පරිගණකයෙන් ඉවත් කළ මම තව කණ්ඩායමක දරුවන් දෙදෙනෙකුට පරිගණකය බාර දුන්නෙමි.  මුහුණු අකුලා ගත් චණ්ඩි දෙදෙනා පසෙකට වී බලා සිටියි. දැන් දෙදෙනාගෙ රණ්ඩු ව නැත .  දෙදෙනාම එකතුව කොළයක් පොතෙන් ඉරා මොනවාද කුරුටු ගානු මගේ ඇස් කොණෙන් පෙනේ. සමහරවිට දැන් බැන ගැනීම ලිඛිතව කරනවා වන්නට ඇත. මම අහක බලා ගත්තෙ පොඩි උන්ගෙ රණ්ඩුවල ආයූ කාලය කොයිතරම් කෙටිද යන්න හොඳටෝම දන්නා නිසාය.
පීරීයඩ් එක අවසන් සීනුව නාදය වෙන විට ආයුබෝවන් වෙනුවට ඇහෙන්නෙ අයියෝය. ඒ ඔවුන් කැමැතිම පීරියඩ් එක අවසන් වන දුකටය. කුලී වැඩ කරන ගොවිතැනක් කරන අම්ම තාත්තා ගේ දරුවන් වුන මගේ උන්ට පරිගණක තාමත් මැජික්ය. හිතු හැටියට පරිගණක එක්ක ඔට්ටු වන්නට විනාඩි හතලිහ මදිය. ඒකත් පරිගණක දෙකකට සිමා වු විට එක් දරුවෙකුට හිමිවන්නෙ විනාඩි කීපයක සිමාවය. ඉතිං ආයුබෝවන් වෙනුවට අපේක්ෂා බිදුණ අයියෝ ස්වරය මට දී ඔවුන් නික්ම ගියහ. මම ඊළඟ පංතියේ වැඩ මුරයට සූදානම් වන්නට ගුරු පුටුව දෙසට ආවෙමි. මේසය උඩ හතරට නැමු කොළයකි. කුතුහලය සමඟින් එය දිග හැරුවෙමි.

"කම්පියුටර් ළඟට අලි ආවම කූඹී කවුරු ද බ්‍රෝ
හු කෙයා සේ ලෝකෙයා..
ලබන සතියේ බලමු..
දුක දන්නෙ වෙන කව්ද ටීචම තරම්"