Friday, November 6, 2015

ඇගේ කතාව


                  දුවිල්ල කරණම් ගහන්නෙ දහඩියට පෙගුණ සිරුරේ සිත්තම් අදින්නට මෙනි.සාරි පොට අකීකරු හුළඟට රොන්දේ යන වාර අනන්තය .
"මාර රස්නයක් නේද නංගී" දැවෙන හිරුට මුවාවෙන්න දඟලන මට ප්‍රාථමිකයෙ ගුරුවරියක් හිනාවී ගියාය. පුරුදු හීතල දාහෙන් සම්පතක්ය. ඉරක නපුරුකම් දැනගන්න‍ට නම් රස්තියාදුකාර ඉරක් යටටම පැමිණිය යුතුය. ඉරට මුවාවෙන්නට සිතා ප්‍රධාන ගොඩනැඟිල්ලෙ පියස්ස යටට ගොඩ වුනෙමි. දහය වසර පන්තියෙ එක දරුවෙක් හැරෙන්න‍ට අනෙක් සැවෝම  පිට්ටනියේය. එකම එක ගැහැණු දරුවා අහසට ඉණිමං බැඳිමට සැලසුම් කරන්නාසේ බර කල්පනාවකය.
" නේද අක්කෙ.. අර ළමයා අනිත් අයත් එක්ක වැඩිය නෑ නේද.. මං බලාගෙන හුඟක් දවස්... සෙල්ලමක් නෑ.. හිනාවක් නෑ"
"ඔව්... ඔයා එයාගෙ කතාව ඇහුවොත් ඔයාට පිස්සු හැදෙයි. ෆ්‍රී වෙලාවක කියන්නම්.. දැන් ක්ලාස් එකක්"
හිතවත් ගුරුතුමිය මගෙන් සමුගන්නා විට කියු කතාවත් සමඟ ඇතිවු කුතුහලය මගෙ හුස්ම පවා පෙළා දැම්මාය. මම කුහුලෙන් යුතුවම ගැහැණු දරැවා උන් තැනට ගියෙමි. මා ආ බවක් වත්, හුනස්නෙන් නැඟිටීමක්වත් නොකළ දරුවා ඉවත බලා ගත්තාය.
" ස්වර්ණා... කොහොමද පුතේ"
ඇය මා දෙස බැලුවා පමණය. හැඟිම් විරහිත මුහුණෙ තිබුණෙ මගෙ පැමිණීම කරදරයක් ද යන්න වත් වටහා ගැනීමට මට නොහැකි විය.
"  මේ අහන්නකො අනේ... මං ආවේ ඔයා එක්ක ටිකක් කතා කරන්න..ස්වර්ණා... කැමැති නැද්ද මාත් එක්ක ටිකක් කතා කරන්න "
ඇය හිස දෙපසට වනමින් සිය අකමැත්ත ප්‍රකාශ කළාය. මම පුදුම විමි. ගුරුවරයාගෙ පෞද්ගලික අවධානයට දරුවන් බොහෝ කැමැතිය. ස්වර්ණා එය සෘජුව ප්‍රතික්ෂේප කරන්නීය.
" ඒකත් එහෙමද.. පුතා කාත් එක්කද කතා කරන්න කැමැති"
" කාත් එක්කවත් නෑ"
" කාටද වැඩිපුර ම ආදරේ"
"කාටවත් නෑ"
පෙර හමුවු ගුරුවරිය කීවා ඇත්තය. ඇගෙන් වචනයක් ගැනීම දුෂ්කරය.
" ඒ වුනාට මං නම් මේ ඉස්කෝලේ වැඩිපුරම ආදරේ ඔයාට.. ඒත් ඉතිං ඔයා මං එක්ක කතා කරන්නෙත් නෑනේ... මටත් ඔයා වගේම නංගියෙක් ඉන්නවා. මට ඉතිං ගෙදර යන්න වෙන්නෙ කාලෙකින්නෙ.. ඔයා එක්ක කතා කරන්න ආවේ ඒ හින්දා. සොරි පුතේ මං වදයක් වුනානම්.. ගිහින් එන්නම්කෝ .."
තව දුරටත් ඇය වෙහෙස නොකර මා පිට්ටනියෙ සෙවණ ඇති ගසක් පාමුලට ගියෙමි. ස්වර්ණා මට ප්‍රහේලිකාවක් ඉතිරි කර දුන්නාය. කාලච්ඡේදය අවසන් වන සීනු හඬට මම දරුවන් ද කැටුව පන්ති කාමර දෙසට එන විට ස්වර්ණා මා සමඟින් සිනාසුණාය. ඒ මා දුටු ඇගෙ පළමු සිනාවය. එය අපූරැ සුන්දරත්වය ක් ඇගෙ වතට ගෙනවිත් තිබුණාය. මමද පෙරළා ඇයට සිනහවකින් සංග්‍රහ කළෙමි. දිනය නිමාවන තුරුම ඇගෙ සිනහව මම ආපසු නොදුටු‍වද එකම සිනහාවේ අරුමයක් ගැබ්ව තිබූ බව නම් සහතිකය.
පසුදා පාන්දර පාසල් බස්රථය නවත්වන තැනට වී ඇය උන්නාය.
" ගුඩ් මෝනිං ටීච"
"ආව් ආව් ගුඩ්මෝනිං කෙල්ල අද කළින්ම ඇවිත් නේ.. "
වචනයක්වත් කතා කරන්නට අකමැති වු ඇය ගුඩ්මෝනිං කියන්නට පෙරමඟ සිටීම මට නම් ආශ්චර්යයක් විය.
" ටීචට බඩුවක් ගෙනාවා... "
" ඒ මොනවද"
"කිරි කජු.... නැන්දා උදේ තැම්බුවා.. මං ටිකක් ගෙනාවා.. "
ඇය මට උණුසුම් පාර්සලයක් දිගු කළාය. රටකජු තම්බා කෑමට මම කැමැතිම නැත. එහෙත් මම එය සතුටින් බාර ගතිමි. කෙල්ල රටක් රාජ්‍යයක් ලද සේ ඉපිල යනු මම දුටිමි.
"ටීචගෙ නංගි මගෙ වයසද"
" ඔයාට වඩා චුට්ටක් විතර ලොකුයි ඉතිං"
"ටීච එයාට ආදරේද"
" ඔව් පුතේ... එහෙමනෙ "
ඇය කිසිත් නොකියා මා හා එක පෙළට පාසල් භූමියට ගොඩ වුනි.
" පුතාගෙ අම්මා තාත්තා මොකද කරන්නෙ "
" අම්මා රට ගියානෙ ටීච..."
" ෂොක් නෙ එහෙනම් එනකොට චොක්ලට් ගොඩක් අරන් එයි"
" දන්නෙ නෑ ටීච"
" එතකොට තාත්තා"
"තාත්තා නඩුවට බයේ වහබීලා මැරුණා.."
"අනේ සමාවෙන්න දරුවො දන්නෙ නැති කමට ඇහුවේ... මොන නඩුවද පුතේ"
"අම්මා රට ගියාට පස්සෙ තාත්තා අපිට රූට හරියට කරදර කළා. මට වඩා අක්කට ඉන්න දුන්නෙ නෑ.අක්කා ඒ නිසා එල්ලිලා මැරුණා.තාත්තා  ගැන හැමදේම ලියලා . තාත්තා ඊට පස්සෙ ගෙදර ආවේම නෑ... පස්සෙ එයාගෙ මරණෙත් කැලේ තිබ්බා"

33 comments:

  1. මෙවැනි දේ ගැන වාර්තා පුවත්පත්වලින් කියවීමට වඩා වින්දිතයින් ගේ මුවින් අසන්නට ලැබීම සිත වඩාත් තැති ගන්වන අත්දැකීමක් විය යුතුයි.

    මේ දරුවන්ට පාසල හැර වෙනත් පිළිසරණක් නෑ නේද?

    ReplyDelete
  2. මෙම දරුවන් ඔවුන් ජීවත්වන අවාසනාවන්ත පරිසරයෙ ගොදුරු. පාසලින් නික්මිලා යලිත් යන්නෙත් ඒ සමාජයටමයි. ඔය දරුවගෙ විතරක් නෙමෙයි ඔය පරිසරයෙ බොහෝ දරුවන්ගෙ කතාත් ඔය වගෙමයි. මේකට විසදුම මේ පරිසරය වෙනස් කරන එකයි.
    ඒ දරුවන්ගෙ වැඩිහිටියන් අපචාරී ජීවන රටාවකට හුරු වෙලා.මුලින්ම පුනරුත්ථාපනය කල යුත්තෙ වැඩිහිටියන්වයි.
    මේ දරුවන්ට මෙහෙම සවන් දීමෙන් වුනත් ඔබ කරන්නෙ ලොකු මෙහෙවරක්. එය ඔවුන්ට විශාල මානසික සහනයක්.ඔවුන්ට දුක කියන්නවත් කෙනෙක් නැති නිසා.
    මේ දරුවන් ගෙ ප්‍රශ්න ගැන සමාජ අවධානය මීට වඩායොමු විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සංවාදයක් ගොඩනැගිය හැකි නම්

      Delete
  3. සමාජයෙන් ගිලිහෙන ජීවිත

    ReplyDelete
    Replies
    1. සමාජයෙන් බැට කන ජීවිත

      Delete
    2. මෙහි කිසිදු අසත්‍ය තොරතුරු නැත.
      මේ කතාව සිදුවන්නෙ 2008 අවසාන භාගයේය

      Delete
  4. ආදරයක් නොලබා හැදෙන ලමය පහුවෙද්දි තමන් මුහුණදුන් කෲරත්වයට එහා ගිය පීඩකයෙක් වෙන්න පුළුවන්.

    ලඟදි අපේ කාර්යාලයට ආව තරුණ ජෝඩුවක්. ගෑනු කෙනාට රට යන්න අවසරය ගන්න. එයාගෙ අවසරය නොලැබුන නිසා. කරුණු හොයල බැලුවම විනාශයක් අතලඟ වියහැකි සිද්ධියක්.

    ගෑනු කෙනා අඩු වයසෙන් විවාහ වෙලා අවු 13විතර ගැහැනු දරුවෙක් ඉන්නව. මිනිහ පවුල අතහැරල ගියාට පස්සෙ හමුදාවෙන් පැනල ආපු කෙනෙක් එක්ක නීත්‍යානුකූල නෙවෙන පවුල් ජීවිතයක් ගෙවන්නෙ. ඒ හාදය ලඟ තමයි අර කෙල්ල දාල ගෑනි රට යන්න හදන්නෙ. ගෙයක් නැති නිසා ගෙයක් හදාගන්නලු රට යන්නෙ. ගෑනිට වැඩිය මිනිහට තමයි ගෑනි රට යවන්න උවමනාව තිබුනෙ. මේකෙ අවසන් ප්‍රතිපලය අනුමාන කරන්න අපහසු නෑ. අවසර නොදුන්නොත් කට්ටිය එක්ක වස බොනව කියල තර්ජනයකුත් කරලයි ගියේ.

    ReplyDelete
    Replies
    1. රාජ්, ගෑණු කෙනා රට යනවට වැඩිය පිරිමි කෙනා ගියහම දෙගුනයක් හොයන්න පුළුවන් කියල කොහොම හරි මිනිහව රට යවන්න සෙට් කරල දැම්මනම් හරි

      Delete
  5. මේ දරුවා සහ අක්කා දූෂණය වන්නෙ තාත්තා ගෙන්ම පමණක් නොවේ.
    තාත්තා,ලොකුතාත්තා,සහ ලොකු තාත්තා ගෙ පුතා යන තිදෙනාගෙන්ම අතවරයට පත්වෙනවා.

    ReplyDelete
    Replies
    1. තාත්ත නම් එල්ලිලා මැරැනා..අනිත් වුන්ව එල්ලන්න ඔනේ..

      Delete
  6. ඕන්න ආයෙමත් සුපුරුදු දයානුකම්පාව රැඳුණු පෝස්ටුවක්.

    මඳකට තිගැස්සුණා ගුරුතුමී . ශානු තාත්තගෙ ආදරේ ගැන ලියද්දී ගුරුතුමී වෙනස්ම මානයක් ලියලා. අද කාලෙ හැමෝම හැල්මේ දුවනවා නැවතීමක් නැතුව . ඒ දිවිල්ලෙදි තමන්ගෙ ලේ වලින්ම හැදුණු දරුවා පවා අඳුරගන්න බැරිවෙනවා. ආදරය කියලා නම් තබාගෙන ඉන්නෙ කාමයටයි. එහෙම වෙද්දී මිනිසත්කම් අතුරුදන් වීම අහන්නත් දෙයක්ද ?

    ඔබතුමිය දරුවා එක්ක කතා කරපු ටිකම ලොකු පිනක් !

    ReplyDelete
  7. ඇත්තටම සමහර දරුවන්ට ප්‍රශ්ණයක් කතා කරන්න ඉන්න එකම කෙනා ගුරුවරය විතරක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  8. නොදකින්...
    ෂික්... කඩප්පුලියෙක්...

    True Detective

    ටෙලි කතා මාලාව මතක් වුණා...

    ReplyDelete
  9. පිතු සෙනෙහේ පිදු
    පියෙකු නොමැති සඳ ……

    ReplyDelete
  10. වෙනද වගේම හරිම සංවේදී ලිපියක්, දිගටම ලියන්න.

    ReplyDelete
  11. අද්‍යතන ශ්‍රීලාංකීය සමාජයේ ගුරු භූමිකාව තුළ, මෙවැනි සිදුවීම් දස දහස් ගණනකට මැදිහත්වීමේ හැකියාව, ගුරුවරුන්ට තිබෙනවා. ඔබට මේඅවස්ථාව ලැබී තිබෙන්නේ, ප්‍රාදේශීය පාසලක, අහම්බෙන් හෝ ලැබෙන විවේකය නිසා. අපි දකින මහා නගරවල තියන, මහා ඉස්කෝල වල ඉන්න දරුවන් අතරෙත්, මෙවැනි මනෝභාවයන්ට පත් දරුවන් ඉන්නවා. එය මේ ආකාරයට මව විදේශගතවීම සහ පියාගේඅනාචාරය ම නොවන්නට පුලුවන්. ඉතා ධනවත් පවුල්වල දරුවන්, යන්ත්‍ර හෝ ගෘහ උපකරණ මෙන් හදන, සල්ලි තියන මෝඩ දෙමව්පියන්ගේ දරුවන්ද, මෙලෙස මනෝ භ්‍රාන්තීන් තුළ සිටිනවා. ලනුන් 40ක් පමණ සිටින විශාල පන්තියක සිටීම, ගුරුවරුන් විසින් නිතර යම් යම් දේ වෙත යොමුකිරීම නිසා, ඔවුන් එදිනෙදා පාසල් කටයුතු කළත්, අධ්‍යාපනය සාර්ථකව අවසන් කරගන්නේ නැහැ බොහෝවිට.

    'ශිෂ්‍ය උපදේශනය' ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තිබෙන උපදෙස් කියවන්නට ජීවිත කාලයත් මදිවෙයි. නමුත් ප්‍රායෝගිකව ශිෂ්‍ය උපදේශනය කෙරෙන්නේ ඉතා පහත් මට්ටමකින්.

    ReplyDelete
  12. අපට අසන්නට නොලැබෙන මේ වගේ සංවේදි කතා බොහොම්යක් තිබෙනවා.මේ වගේ දරුවන් බොහෝ දෙනෙක් එක්ක මම කතා බහ කරලා තියනවා.ඒ සමහර දරුවෝ තමන්ට හිමි අනාගතයක් තියනවා කියන එක අමකත කරලා දාලයි ජීවත් වෙන්නේ.මේ හැමෝම ජීවත් වෙන්නේ අනිත් අයට නොකියන මහා වේදනාවක් හිතේ හංගගෙන.නිතර දැවෙන සිතින් ජීවත් වෙනවා.අපි සතුටින් ජීවත් වෙනකොට මේ දරුවෝ හැම මොහොතකම සුසුම් හෙලනවා.ලොකුම ගැටලුව වෙන්නේ කාලයත් එක්ක සමහර දරුවන් මේ කෙරෙහි ඇබ්බැහි වීම.ඉන් පස්සේ ඔවුන් නැඹුරු වෙන්නේ ඒ දෙසටමයි.ඒ වගේම මේ දරුවෝ හිතන දෙයක් තමයි තමන්ගේ කතාව ඇහුවම අනිත් අයව තමා දිහා පහත් විදියට සමාජයේ පිලිකුලට ලක් කරාවි කියන එක.ඒ නිසා ලොකු පීඩනයකින් දවස ගෙවන්නේ.

    ඔබ මේ ක්‍රියා කල ආකාරය ප්‍රසංසනීයයි.ඒ වගේම තවදුරටත් ඇය උදෙසා සහනයක් දක්වන්න ඔබට පුලුවන්.

    පහලින් තිබෙන්නේ මේ වගේ දරුවන් ගැන මා පලකල ලිපියක්.

    ලිංගික අපයෝජනයට ලක් වන දියණියන්ගේ ඉරණම

    ReplyDelete
  13. නොදකිං විතරක්..... ඒ අමනුස්සයා නම් එල්ලිලා මැරුණා...... ඒත් ඒ දරුවගෙ අනාගතේ........

    ReplyDelete
  14. අපි කිරි කජු කියන්නේ නොමේරු කොල පාට කජු වලට , එහෙනං ඹය කියන පැත්තේ එහෙම කියන්නේ තම්බපු රටකජු වලට , හොදයි එහෙනං අද ඒකත් දැනගත්තා

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙ කිරි කජු මොන වගේද කියල බලන්න ගුරුතුමී පාර්සලේ ලිහල බැලුවෙ නැතුව ඇති. ඒ දරුවගෙ පාර්සල් වෙලා තිබුනු හිතුවිලි ටික ලිහල බලන එකනෙ කරල තියෙන්නෙ.

      Delete
    2. මං හිතන්නෙ අටම් ඔයා කියන ඒවා තමා. එ කියන්නෙ රට කජු කොළ පාට කාලෙ තම්බලා හදන්නෙ කිරි කජු..

      Delete
  15. ඒ කෙල්ල වෙනුවෙන් පොඩි හෝ වෙලාවක් වෙන්කිරීම ඔබ කල ලොකු පිනක්.
    -------
    ඔය ජාතියේ සිද්ධි ඕන තරම් තියෙනවා. සමාජයේ ඛේදවාචකයක්.

    ReplyDelete
  16. ඉරක නපුරුකම් දැනගන්න‍ට නම් රස්තියාදුකාර ඉරක් යටටම පැමිණිය යුතුය


    ලස්සනයි ..... ටීච

    ReplyDelete
  17. මිට පසු කතාවත් ලියන්න පුලුවන්නම් හොදයි..
    හිතේ ලොකු බරක් එකතු වුනා..

    ReplyDelete
    Replies
    1. මම බලාපොරොත්තු වෙන්නෙ.මේ ළමයට රැකවරනයක් ලැබුනද?

      Delete
    2. ඒ පවුලෙ අනිත් දෙදෙනා පරිවාසයට යොමු කලා

      Delete
  18. සල්ලි හොයන්න ගෑනු රට යවන හයේ හතරේ පිරිමින්ගේ පිරිමිකමෙන් වැඩක් ගන්න බැරිවෙන්න මොකක් හරි ශල්‍යකර්මයක් කරන්න ඕන කියල හිතුන මේක කියවල.. මොකද පිරිමි වෙලා ඉපදිලා පවුල නඩත්තු කරන්න ගෑනිව රට යවන පිරිමියෙකුගේ පිරිමිකම මොකක්ද කියල සොයාබැලිය යුතුයි..

    ReplyDelete