Friday, September 16, 2016

දිනපං

හුගක් අය පංසලේ
තවත් අය ට්‍රිප් එකක
තවත් අය පවුලත් එක්ක
ඒත් මම
උඹ එක්ක

අද නිවාඩුව උගස් කර ඇයට
නිල නොලත් රාජකාරිය
කරන්නෙමි මම..
දිනල වරෙන් හෙට..
මම ඉන්නවා මඟ
පැරදුනත් පැරදීයන්
සටනකින් පසු
මතක හිටින

Tuesday, September 6, 2016

අම්මා

මේ කවිය ලියන්නෙ දැන්ය. ඇය කතාවට සුදානම්ය. මාතෘකාව වැඩිහිටි හා ළමා දිනයය. එයට සූදානම් වන්නට මා හා ඇය සටනේය. ..
මා වැඩිහිටියා ගෙ දෙමාපියන් ගෙ වැදගත්කම කීවෙමි. අපේ බිළිඳු විය ඇගෙ මනසේ සිත්තම් කළෙමි.
ඇය මහා හඬින් හැඩුවාය...
වරද මගේය...
අම්මා කෙනෙකුගෙ අගය ඇය තරම් දන්නෙ කව්ද..
අම්මා නැති ඇයම මිස
ඇස් අඩවන පාට එක්ක
හිත රිදවන මතක  ඕන.
අම්මෙ මට කියාදෙන්න
හුස්ම ගන්න ජිවිතයට....

හරි ලස්සන හීන තියෙන
සමනළීයක් හිටියා
ඒ සමනළ් ජිවිතේ ට
අම්මත් මගෙ හිටියා..
එක දවසක් මහ හයියෙන්
කුණාටු වැහි වැටුණා..
මගෙ අම්මගෙ හුස්ම ගිහින්
නැවතුන තැන නැතුවා...

පපුවෙ මුව උලා උලා
උණුසුම මම වින්ද
අම්මෙ මට එක දවසක්
අතීතයෙන් දෙන්න..
මිහිදන් වුන තැන තියෙනවා
නිදි කුම්බා ගොන්න
මටත් ඕන ඒ අසළම
නුඹෙ ළඟින් ඉන්න..

අප්පච්චිට මතකම නෑ
මල්ලි ත් මගෙ ළගකින් නෑ
පවුලක සුව සෙනෙහස නෑ
ඔබ ගියාට පසුව
මගෙ හුස්ම මම දෙන්නම්
අම්මෙ යළි එන්න...

Sunday, September 4, 2016

තාත්තා ගෙ නම

සුන්දර වුවත් ඉතාම ග්‍රාමීය ඒ පාසලට පැමිණෙන බොහෝ දරුවන් ගොවි දරුවන්ය. සමහර බෝග සිටුවන දාට , බෝග එකතු කරනදාට දරුවන්ට පාසල් ඒමක් නම් නැත. එදා දවසට හිස් පුටු ගණන වැඩිය. ගොයම් කපන කාලයට නම් දරුවන් කොහෙත්ම එන්නෙ නැත. පිදුරු ගොඩේ කොන්ඩිත්තන් ගසන්නට , මී ගවයන් පසුපස දුවන්නට මෙන්ම මැඩවුම් බත කන්නට දරුවන් ප්‍රියය. මට එහි අරුමයක් නැත. මගෙ ළමා කාලය ගෙවෙන්නේද එසේමය. ගොවි දරුවෙක්ව ඉපදුණ මම හෙල්මැලි කුඹුරු පහළ ඕනෑතරම් රෝන්ද ගසා අැත්තෙමි. ගොයම් පැළ තවානෙන් ගොයම් පැළය ගැළවෙන විට අතට දැනෙන හා කණට ඇසෙන සියුම් රසවින්ඳනයේ අපූරු බව විඳ ඇත්තෙමි. අනෙකාගෙ ඇඟට මඩ විසිවෙන ලෙස ගොයම් මිටි ලියදී වලට උඩින් පියඹා යවා ඇත්තෙමි. අනෙක් දඟම වැඩේ නම් ඇඳුම යටින් මඩ ඉහී යන යන පරිද්දෙන් උදැල්ලෙන් ලියදී වල ඇති ජලය කැළඹීමේ පුරුද්දය. ගොයම් කපන කාලයටත් එය පොදුය. පිදුරු ගොඩ දිව්‍ය සැපය. කොන්ඩිත්තම් ගසා බෙල්ල උලුක් වන තුරුම නටන්නට අප හපන්ය. මී හරක් පසුපස දිවීම, ඔවුන් ශරීර කෘත්‍යයන් කරන විට පිදුරු ඇල්ලීම මහා වීරකම්ය. ඉතිං මේ දරුවන්ට දැන් ඒ තරම්ම නැතත් ලැබෙන වින්දනයට හෝ ඉඩක් තිබිය යුතු බව මා විශ්වාස කරමි.


කළින් දවසේ පංතියට පැමිණි නැති අයගෙන් නිදහසට කරුණු ඇසුවේ ඔවුන්ට වඩා ඒ කරුණු දැනගෙනමය. පුරුද්දට ඔවුන් විමසීමට මම සිතා උන්නෙමි.

" චන්දන... මොකද ඊයේ ආවෙ නැත්තෙ"

"කුඹුරේ ගියා..ටීච"


" කෝ ලියුම.. ආවෙ නැත්නම් අම්මල ලියල එවනවනෙ"

" අමතක වුනා ටීච.... "


" ඊළඟ දවසේ ගෙන්නනවා මං තාත්තව ඉස්කෝලේට ...


"


දරුවා කතාවක් නැත. ඒ හිතුවක්කාරකම සමඟ ඇති දඟකාරකමටය. ඕනෑතරම් ඒ මායම් මම දැක ඇත්තෙමි.

" කියන්න මොකක්ද නම තාත්තගෙ"

" කට්ට මහතු"

" මොකක් .. විහිළුවට ගන්න එපා පුතා.. කියනවා තාත්තගෙ නම.. සම්පූර්ණ නම"

" ඒක තමයි ටීච... ආරච්චි මුදියන්සේලාගේ කට්ට මහතුන්..."

සිනාසෙන්නට අවැසි වු නමුත් පිපිරෙන තරමට තරහක් මවා ගත් මම ඔහු දෙස බලා උන්නෙමි.

" ඉතිං ඇත්ත තමයි ටීච.... ගමේ ඔක්කොම උන් අපේ තාත්තාට කියන්නෙ කට්ට මහතුන්"

සඟවා ගත් සිනහව මහා හයියෙන් පිපිරි යනු නොදී මම පංති කාමරයෙන් එළියට ආවෙමි.



Wednesday, August 31, 2016

හැකිනම් ඔබට

මේ ඉන්නෙ කුරුකුදේ සාරිපුත්ත නම ලෝකයට ගෙනියපු කඟවේනියෝ හතර දෙනා. මුන් ටික දුවනවා කීවම සමහරු බය වෙනවා. ජව සම්පන්න ධාවනයන් ඉදිරියේ පුංචි ශරීර කූඩු එක්ක දුවන මේ දරුවන් දැක්කම ඇස්වලට කඳුළු එනවා සත්තයි.  මේ පාර සීය හතර, හාරසීය හතර දුවන්න ගියපාර වගේම සමස්ත ලංකා තරඟවලට යන්න මේ දරුවන් සූදානම්. මතක් කරන්න ඕන. මේ දරුවන්ට ගිය අවුරුද්දේ පළවෙනි ධාවන සපත්තු යුගලයක උරුමය ලැබුනෙත් මගේ ෆේස්බුක් මිතුරන්ගෙ මනුස්සකම සහ‍ය නිසා. ඒ වගේම ඔවුන්ගේ ගමනේ සියළු වියදම් සහ පුහුණුව අතර තුර බස් ගාස්තුව පවා. ඒ අතර මට මතක නම් අතර Supun J Wedasinghe, Pubudu Wanigasinhe, hemal matharage හා Anubha Arundathie Wijerathna යුවළ, මගේ ගුරු ජීවිතය තුළ හමුවු පළමු සිසු කණ්ඩායමේ පල්ලෙබැද්ද ඉස්කෝලේ හිටිය Manjula Nuwan Senevirathne, අදත් පාසලේ දරුවන් දෙදෙනෙකුට මසකට දෙදහක ශිෂ්‍යත්ව මුදලක් ලබාදෙන Channa Hettiarachchi  තියෙනවා . සමහර නමක් මඟ හැරුණා නම් සමාවෙන්න ..
මේ දරුවන්ට පුහුණුව දෙන්නෙ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ 98 කණ්ඩායමේ චම්පා නිල්මිණි . ඒ කැපවීම පුදුමයි. කුමන බාධක මැද වුනත් , කිරි දරුවා ඉකි ගගහා අඬද්දී හැමදාම උදේ හයවෙන කොට පිට්ටනියේ මේ දරුවන් එක්ක ඇය දකින්නට පුළුවන් . පිංතූරේ මැද ඉන්නෙ ඇය.දෙවියන් සම ගුරුවරුන්ට ඇය කදිම උදාහරණයක්. ඇය අද උදේ මං ගාවට ආවා
" නංගි උදව්වක් ඕන"
" ම්හ්.. කියන්න අක්කා "
" කරදර කරනවා නෙවේ.. මට ඔක්තෝබර් තරඟ .. මේ කෙල්ලොන්ට කාගෙන් හරි උදව්වක් අරන් දෙන්න.. දන්නවා නෙ දරුවන්ට ලොකු වියදමක් දරා ගන්න බෑ.. සර්ට කරදර කරන්නත් බෑ.. යන්න වාහනේ සර්ගෙන් ඉල්ලන්න ඉන්නෙ.. මට මේ දවස් ටිකේ මුන්ට පෝෂණය පිරුණ ආහාර ටිකක් දෙන්න උදව්වක් හොයල දෙන්න...  ලොකු පිනක්"

ගුරුවරියකගේ නොව මවකගේ සංවේදීතාවය ඒ ඇස්වලය.
විශ්වාස කරන්න .. ඔවුන් චීස් කෑල්ලක් කන්න දන්නෙ නැත. කිරි වීදුරුව අරුමයකි. මාංශ සමඟ අහර කලාතුරකින් ලැබෙන දිව්‍ය බොජුන් සරිය. ඇට වර්ග බණ්ඩාරවෙල ට ගිනි ගණන්ය.එක ව්‍යාංජනයක් සහිතව ලැබෙන එකාකාරී අහරක රස ඔවුන්ට අවශ්‍ය ජවය දෙන්නෙ නැත.

සපත්තු දෙකද අවුරුද්දක් පරණය.
දහඩිය ගඳ සමඟින් දිනපතා අඳින්නෙ එකම ට්‍රැක් කිට්ය.

ඔබට හැකිනම් සහය වෙන්නට..
හැකියි ඒ ගුරුවරියගේ හීනය ඉටුකරන්නට

Saturday, August 27, 2016

ලොසින්ජර

ගුරුවරියකගේ මතක 39
*************************

මේ තණමල්විල අහසේ වලාකුළු පාවෙන කොටසක හෙවණ ලද බිමමය. හෙවණක් සොයා කොහොඹ ගහක් හොයන ඇස් වලට ගිනි ගන්න අව්වෙ ගේට්ටුව ළඟ උන් මිනිස් රුවක් හමු වුයේ අහම්බෙනි.. විවේක කාලය එනතුරු ඔහු බලා සිටිනවා වෙන්නට ඇත. එහෙත් වියපත් ඔහු හැරමිටියට වාරු වී උහුලන් ඉන්න ඔහුගේම ශරීරය බරක් ව ඇත. මේ සෙවණේ තවත් මා සිටිය යුතු නැත. හිස් කාලපරිච්ඡේදයක් වු බැවින් රාජකාරිමය වගකීමක් පැවරී නැති බැවින් සාරි පොට හිසට සෙවණක් කර ගැනීමේ බොළඳ උත්සහයද සමඟින් මම ගේට්ටුව වෙත ආවෙමි. අවුරුදු අසුවකට එහා වයස හෝ ඒ තරම් වයසක දුක් වින්ද ඔහු ගේට්ටුවෙන් මෙහා කවුරු හෝ එනතුරු මඟ බලන්නේය.
"සීයේ.. සීයා කවුරු එනකම්ද ඉන්නෙ"
දතක් වත් නැති ලොබු කට පුරා සිනාවකි. අව්වටම පිළිස්සුම් ලද වත පුරා ඇති රැළි අතර දා බිඳු ජල තටාක මවා ඇත්තේය.
" අපේ කොල්ලගේ නෝනා හම්බුවෙන්ඩ ආවේ නෝනා"
එහෙනම් ඒ ඥාති සම්බන්ධයකි. ඇය මේ පාසලේ ගුරුවරියක් වන්නට ඇත.
" නම මොකක්ද සීයේ ඒ නෝනගේ"
" අනේ මං දන්නෙ නෑ නෝනේ.. අපේ කොල්ලගේ කටේ තියෙන්නෙම ඒ නෝනාගෙ වර්ණනාවමයි... මං ආවේ ඒ නෝනව මුණ ගැහිල යන්න.."
" කව්ද සීයාගෙ පුතා"
"කුමාර"
අගක් මුලක් නැති කතාවක සුලමුල සොයා මා ප්‍රශ්න කර ඔහු තෙහෙට්ටු කරනවාට වඩා කාර්යාලය වෙත යොමු කිරීම යහපත් බව මට දැනුණේ ඉර දිහා ඔහු බැලු අනුකම්පා සහගත බැල්ම දුටු පසුය.
"සීයේ.. අර ඔෆිස් එකට යන්න... ලොකු සර් ඉන්නවා .. සර් සීයාට උදව් කරයි"
ඔහු සිනාසී හැරමිටි වාරුවෙන් හෙමින් ගමනක කාර්යාලය වෙත ගිය පසු මා ගුරු නිවාසය වෙත හැරුණෙමි. තේ කහට එකක රස ඕනෑවටත් වඩා දිවට දැනෙමින් තිබුණි. ගුරු නිවසේ බිම ඉඳගෙන ගෑස් ලිප මත තැබු කේතලය කෑ ගසනු තුරු මම බලා සිටියෙමි.
" ටීච... ටීච"
ගුරු නිවසේ දොරකඩ ඇසෙන්නෙ හුරුපුරුදු කටහඬකි. බිත්තියේ වාරුවෙන් යළි මා නැගිට දොරකඩ වෙත ගියේ රැළි බිඳි ගිය සාරිය සකසමිනි.
" ආ කසුන් ... ඇයි.."
" ටීචව හම්බවෙන්ඩ ඕනිලු අපේ සීයට"
ඒ මට ගේට්ටුව ළඟ හමුවු සීයාය.. එතකොට ඔහු සොයා ආවේ මාවද
" මේ මගෙ කොල්ලා නෝනේ... ගෙදර ගිය වෙලේ ඉඳන් නෝනා ගැන කියවන්නෙ.. අම්ම අප්ප කියන උන් මගේ කොල්ලට නෑ නෝනේ.. මූ ඉගෙන ගන්නවද කියල හොයල බලන්න බුදු නෝනේ.. ඒක කියන්ට මං ආවේ"

ගොත ගසමින් කෙළ පෙරෙන කටවට අත්ළෙන් පිසදමමින් ඔහු කියවයි. ඒ අතර දිළිසෙන කඳුළු නැතුවාම නොවේ..

" මං බලන්නම් සීයේ..."

" මෙික නෝනට..ලොසින්ජර ටිකක්.. "

සිලි බෑගයක දැමු ටොෆි කිහිපයක් ඔහු මා වෙත තැබුවේය.

" මට මොකටද සීයේ මේවා... "

" නෝනාට දෙන්න වෙන දෙයක් නෑ වයසක මට"

" සීයා ආය එන්න එපා.. මම එන්නම් ගෙවල් පැත්තෙ..පුතා ගැනත් මං හොයන්නම්... බොහොම ස්තුති ටොෆි  වලට.. මං හරි ආසයි ඒවට"

ඔහු යළිත් ලොබු කටෙන් මැවු ආදරණීය සිනහවකින් මගෙන් සමුගෙන ගිනි ගන්න අව්වෙම ඈත්ව ගියේය.

Saturday, August 13, 2016

කෑම වට්ටෝරු

ගුරුවරියකගේ මතක 38

කෑම වට්ටෝරුව
*********************************************
ගුරු විවේකාගාරයට ඉස්සර වගේ නෙවේ. දැන් යන්න වෙන්නෙ ඉඳහිටලා. ඒ ගියාම කඳුළු පනිනකම් හිනාවෙන්න දේවල් ළමයි ගැන ගුරුවරු අතර තියෙනවා. සමහර දේවල් එක්ක අපි අපේ ඉස්කෝලේට හිතින් යන වාර අනන්තයි.ඒ කතා අහගෙනම ගුරු විවේකාගාරයේම පුටුවකට වාරැ වෙලා එපිටෙන් කැරකෙන දූවිලි වළලු දිහා මං ඔහේ බලාගෙන උන්නා. ඒ දුවිලි වළලු මැද්දෙ පොඩි උන්ට නම් රජ මඟුල්. සමහරුන්ගේ සුදෝසුදු ඇඳුම කහම කහ වෙලා තිබුණේ.

" අනේ මන්දා අප්පා මෙහෙමත් ළමයි"

ගණිත පාඩමකට ගිය රුවන්දි මිස් කෙුන්තියෙන් වගේ කාමරයට ඇතුළ් වෙලා පොත් ටික උඩම ඔළුව තියා ගන්න ගමන් කිව්වා.
" මොකො"

" මේ ළමයිගෙ කපටිකම් තේරුම් ගන්න වෙනම ඩිග්රියක් කරන්න වෙනවා."

මං හිනාවුනා. අද පන්තියේදී ළමයි රුවන්දි මිස්ට ලොකු දඩුවමක් දීලා වගෙයි. ඒත් මේ තරම් කේන්ති ගන්න තරම් ඇය නපුරු නෑ. කුතුහලය එක්ක බැනුම් අහන්න හරි මං ආයේම ඈ දිහාට හැරුණා.

" මොකද වුනේ අක්කෙ"

" මොකද තමා. ෂිට්.. තාම හත වසර.. පැහිල ඒ වුනාට හැටහුට හමාරක්.. "

මමත් ටික ටික බැනුම් අහනවා. ඒ  අත‍රේ හිනාත් යනවා.
" මේක බලලම හිනාවෙන්න "
රුවන්දි අක්කා මං ගාවට කොළයක් විසි කළා. විශේෂයක් නෑ. අල වලින් පැටිස් හදන විදිහ හරි අපූරුවට ඒ කොළේ ලියල තිබ්බා. ගණිතය වෙලාවේ ලියල අහු වෙන්න ඇති. ඒත් ඉතිං දරුවන්ගෙ ආසාවනේ. මට මොකුත් නොතේරෙනම තැන ආයේමත් රුවන්දි අක්කා දිහා බැලුවේ සැකේට.
" කියවං යන්න ඔක්කොම.. "
මං ආයේම කොළේට එබුණා. දෙවියනේ කෑම වට්ටෝරැවේ හරි මැද ඉදන් තිබුණේ පෙම් හසුනක්. ආයේම අවසානෙට කෑම වට්ටෝරුවක්. බැලු බැල්මට ඒක ලියුමක් කියල කාටද හිතාගන්න පුළුවන් . හැබැයි ඒ හතේ දරුවා ගාව ලස්සන ප්‍රේමණීය වචන හරඹයක් නම් තිබ්බා.

Thursday, August 11, 2016

තෑග්ග


ඉස්කෝලේ ගේට්ටුව වැහෙන්න ඔන්න මෙන්න. බණ්ඩාරවෙල වුනාට මේ කාෂ්ටක කාලයක්. හැමදේම වේලිලා යන තරම්. සමහර වෙලාවට අපේ සිතුවිලිත්. කාර්ය බහුලකම මමම පටවාගන්න ඇති. කරපු වැඩකුත් නෑ. ඒත් නිකම්ම ගෙවුණ තප්පරයක් නැති තරම්. ප්‍රින්සිපල් සර් උදෑසන රැස්වීම් සඳහා සහභාගී වීම අනිවාර්යය කරල තිබ්බත් ඉඳළ හිටල හිතුවක්කාරකම් කිරීමේ පුරුද්දත් එක්ක මම ගුරු විවේකාගාරයේම නතර වුනා.
"දින සටහන්... ඊඉඉඉ '
" ඇයි දෙයියනෙ මේ දවස්වල විභාගෙනෙ... ඇයි ඉතිං දින සටහන්.."
මම මටම කියවා ගත්තා. ඒ තවත් තියෙන හිතුවක්කාරකම් සහ කම්මැළිකම්.
එ් අතරේ ගුරු විවේකාගාරයේ ඉදිරිපස පුංචි කලබලයක්. රැස්වීමට ගිය ගුරුවරු කිහිප දෙනෙක් වට වෙලා. කම්මැළිකම පැත්තකට දාලා
මාත්  ඔළුව දාලා බැලුවා . පුංචි එකෙක් වට කරගෙන .
" මොකො මේ..."
" බලන්නකො නංගි කලන්තෙ දාලා වැටුණනේ.."
" උදේට කාලද"
" උදෙත් නෑලු , ,, ඊයේ රෑටත් නෑලු"
මම කෑම නොගේන හින්දා වට පිට බැලුවේ කරන්න දෙයක් නැතිකමටම. අඩු තරමෙ ඉස්කෝලේ කැන්ටිමක්වත් නැ. ඒ අතරෙ එක ගුරුවරියක් තමන්ගෙ බත්පත දරුවා වෙනුවෙන් දිග ඇරල දෙනවා මං බලාගෙන. ඒ බත් එක කටට දෙකට කෑවා නෙවේ. ඇත්තටම ගිල්ලා. ඒක ඇත්තටම හරි පෙරේත කමකින්. බඩපුරා කාපු දරුවා නැගිට්ටෙ උස්මුරුත්තාවත් හැදිලා.
හොටු පෙර පෙරා අඩන කොල්ලට කෑම එක දෙන්න තරම් අපේ ගුරුවරු හරි ආදරෙයි . ආදරණීයයි.
" මෙයා හරි වාදකයා.. මං බලාගෙන සංගීත කාමරයට නිතර ඇවිත් තනියෙන් ඉන්ට්‍රරෑමන්ට් ප්ලේ කරනවා"
මං කිව්වෙ පොඩි එකාගෙ ඔළුව අතගාන ගමන්.
" ඒකනේ ඒත් අදත් ලොකු සර්ගෙන් බැනුම් ඇහුවා"
ගෘහ විද්‍යා ගුරුවරිය කීවේ ගැඹුරු හුස්මක් අරන් .
" ඒ මොකද"
පොඩි එකා නවත්තලා තිබ්බ ඇඬිල්ල ආයෙමත් පටන් ගත්තා.
" වැරැද්දක් කරාද"
"හ්ම්"
"මොකක්ද"
"සපතු දාගෙන ආවේ නෑ"
" ඉතිං පුතේ ඇයි දාගෙන නාවේ. ඉස්කෝලේ යුනිෆෝම් එක හරියට අදින්න එපැයි.. ඇයි කකුලේ තුවාලද'
" නෑ"
"එහෙනම්"
පොඩි එකා උත්තර දෙන්නෙ බයෙන් බයෙන්.
"හරි හරි ගහන්නෙ නෑ. ඇයි කිව්වොත් බනින්නෙත් නෑ"
" සපත්තු කැඩිලා.. ද‍ාං එන්න බෑ.. මහල දෙන්නම් කිව්වා අම්මා නිවාඩුවට"
ගොත ගගහ කියනකොට එතැන හිටපු හැමෝම මුණින් මුණ බලා ගත්තා. එතැන  හිටියේ හුඟාක් ගුරුවරු අම්මලා. හැමෝම කීය කිය හරි එකතු කරල සපත්තු කුට්ටමක් අරන් දෙන්න කතාවෙනව මං අහගෙන.
" සල්ලි එකතු කරන්න එපා අක්කෙ.. අර ගැණු ළමයට සපත්තුයි පොතුයි අරන් දෙන්න එකතු වුණ මුදල් වලින් ඉතිරි ගාණ මං ගාව තියෙනවා . තව සපත්තු කුට්ටම් තුනක් ගන්න ඒ සල්ලි ඇති. දහයේ කිර්තී ටත් එකෙන් සපත්තු අරන් දෙන්න මං පොරොන්දු වෙලා හිටියේ. තව එක ළමයෙක් හොයාගෙන නිවාඩුව ට පස්සෙ දාගෙන එන්න අළුත් සපත්තු දෙමු"
පුංචි එකා මං දිහා බලන් හිටියා. හරියට ස්තුති කියන්න වගේ.
"හැබැයි ඉගෙන ගන්න ඕන. දහතුන් වෙනිදා ඉස්කෝලේ ට එන්න. මං සපත්තු ගෙනත් තියන්නම්."
මං එහෙම කීවේ නිවාඩු කාලයේ පන්ති තියෙන දවසක් බලලා. එතකොට කාටත් හොරෙන් අරගෙන උජාරුවට ඉස්කෝලේ පළවෙනි දාට සපත්තු දෙක දාගෙන එන කොල්ලගෙ හැඩ බලන්න ඕන නිසා.

**********************************
පසු සටහන.
සපත්තු සඳහා සහය
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ ගරු සම සභාපති චන්ද්‍රා ජයවීර මහතා සහ ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ආදරණීය සොයුරිය හර්ෂණී ප්‍රනාන්දු ජයවර්ධන මහත්මිය.

තව පුංචි ඉතුරුවක් තියෙනවා.
ඒ මුදලද අවශ්‍ය තැනට අවශ්‍ය වෙලාවට
දරුවෙක් වෙනුවෙන්ම