Saturday, October 17, 2015

උණුසුමේ සීතල


               මීදුමට තරහ වුන පිණි කැට පිපෙන්නෙ තර‍ඟයට . ඉරත් එක්ක දේදුන්නත් යාළුම නෑ. කඳුකරයේ ගිම්හානය ගෙවෙන්නෙ එහෙමයි. ආදරයක් විරහිත ආදරයක් එක්ක.පාන්දරට කන් පැලෙන සිතලත් දවාලට පුපුරු ගහන අව්වත් ගිම්හානයට හරි ලෙංගතුයි.

“ඔයාගේ කොල්ලො ටික නම් හදන්ඩ ම බෑ. තරහ වෙන්න එපා නංගි මං මෙහෙම කිව්වට... උන්ට විනයක් කියලා දෙයක් ඇත්තෙම නෑ”

උදේ පාන්දරම  විනය භාර ගුරුවරියගෙන් පැමිණිල්ලක්. උසස්පෙළ කොල්ලො කොහොමත් හිතුවක්කාරයි නේන්නම්. එයාලට කතාකරන්න ඕන වෙනම කලාවකට. හිතට එහෙම කියන්න ආවත් මට වඩා ජ්‍යෙෂ්ඨ වුන ඇය ඉදිරියේ මං මුණිවත රැක්කා...

“පොඩ්ඩක් කියලා හදාගන්ඩ... අපිට අනිත් ළමයි ටිකවත් හදාගන්ඩ ඕන”

“මං කතා කරන්නම් මිස්. සොරි  මිස් ..මං බලන්නම්කො”

කරපු දේ හරියටම දන්නෙ නැති වුනත් කරපු ඕනම වරදක් මං පිළිගත්තා. පිරිමි දරුවො ඒකා දෙන්නා පංති කාමරයෙන් හොරෙන් හොරෙන් එබෙනවා මං බලාගෙන. දැන් ඔවුන් සුදානම් වන්නෙ මගෙ ගුටි පූජාව බාරගන්න කියලා මං දන්නවා

“ළමයි කියන්නෙ ළමයි. එයාලා අනුකරණය කරන්නෙ තමන්ගෙ පන්ති භාර ටීචව ... ඔයා ළමයි එක්ක ඕනවට වැඩියි නංගි.. ඒකයි එයාලා ඔය තරම් මුරණ්ඩු... ඔයාගේ රැඩිකල් ද මොඩිකල්ද සිස්ටම් එක ඉස්කෝලෙට හරි යන්නෙ නෑ”

ළමයින්ට බැන බැන ආවට අන්තිමට දෝෂාරෝපණෙ මට... හොඳම දේ නිහඬකම. මගෙ හිත මට හොරෙන් හොරෙන් උපදෙස් දෙනවා.

“මං පන්තියට යන්නම් මිස්.. මට කියන්න මොකක්ද ළමයි කළේ. මං කතා කරන්නම් එයාලට”

විනය බාර ගුරුවරිය ඔරවනවා මං දැක්කත් හෙමින් සැරෙ මං අහක බලා ගත්තෙ දුර පේන පිදුරුතලාගල කන්දට හිනාවෙන ගමන්ම.

“ අර නුවන් උදේ ඉඳන්ම රතු පාට ජැකට් එකක් දාගෙන.. ඉස්කෝලෙට කොහොමත්ම ගැලපෙන්නෙ නෑ.. මං කිව්වට කනනට වත් ගත්තෙ නෑ”

මම මගේ ගමන නතර කරලා උසස්පෙළ පන්තිය දිහාට හැරුණා. විනය සම්බන්ධව නුවන් අතින් එහෙම වෙන එක අනුමත කරන්න මගේ හිත ලෑස්ති වුනේම නෑ. පේර කෝටුවක් යන ගමන්ම කඩා ගත්තෙ නුවන් කියන්නෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුන හින්දම විතරක් නෙවෙයි. ඒ මං  ආදරේ කරපු දරුවෙක් හින්දා

“නුවන්” මගෙ වචන අස්සෙ කෙන්තිය හුඟක් තිබුනා.ඒක මට වඩා මගේ පපුවට දැණුනා.

“ගුරුවරයෙක් මොනවාහරි කිව්වම ඒක ඇහෙන් නෑ වගේ ඉන්නද මං කියලා තියෙන්නෙ. බලනවා උදේ පාන්දර මං බැනුම් අහන්න ඕනි.. ගලවනවා ඔය කම්බාය දැන්වත්”

නුවන් මං කියන දේ අහන් උන්නා මිසක් මං කියපු දේ කළේ නෑ. ඒ වෙනුවට ගල් පෑදුන සිමෙන්තියෙ අනනත්ය ඇස් දෙකෙ ලකුණු කරන්න නුවන් පොරකනවා.

“කියන දේ අහන්න බැරිද? “පේර කෝටුව පිට හරහා යද්දීත් වෙනදා පන්තිය පුරා දුවන දඩබ්බරයා ඔළුව පාත්කරගෙනම උන්නා.

“මගේ කේන්තිය අවුස්සන්න හදන්න එපා පුතා...ගලවනවා ඕක... ප්‍රින්සිපල් දැක්කනම් මගෙ ඔළුව කයි...  ඇයි දරුවො ඔය තරම් හිතුවක්කාර.. අනික අද සීතල දවසක්ද ... ගිනිගහන අව්වෙ ජර්සි දාන්නෙ මොන මෝඩයෝද“

නුවන් මොකුත් නොකියාම ජර්සිය උඩට ගත්තා. . කමිසයක් බැනියමක් නැතුව නිරුවත් වු දහඩියට පෙගුණ පිට විතරක්ම නෙවෙයි පේර කෝටුවට වයිරම් ඇන්ද රතු පාට ඉරි දෙකකුත් පිට හරහා තිබුණා.

“උදේ කමීසේ මදින කොට පිච්චුනා ටීච... වෙන එකක් මට නෑ” අකුණු ලක්ෂ ගාණක් මගෙ පපුව උඩ පත්තු වෙනවා වගෙ මට දැණුනා

22 comments:

  1. අනේ දෙය්යනේ........

    ReplyDelete
  2. "ගුරුවරයා කියන්නෙ ඉගෙන ගන්න කෙනෙක්" ඔබ තුමිය අපටත් වෙනත් ගුරුවරුන්ටත් අදත් කියාදෙන වැදගත්ම පාඩමක් නේද ? ලියන්න සොයුරිය ලියන්න බලන්නත් එයින් ඉගෙන ගන්නත් රාශියක් ඔබ වටා එක්වේවි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මම නම් දරුවන් ගෙන් ඉගෙන ගන්නවා

      Delete
  3. ඔබතුමිය කොහෙන් වැඩිය සුරංගනාවියක්ද මන්දා. අනේ මොනම හේතුවක් නිසාවත් ලියන එක නම් නවත්වන්න එපා.

    ReplyDelete
    Replies
    1. සුරංගනාවියක් නෙවෙයි මෙතුන්
      මම මනුස්ස කෙල්ලෙක්
      මගෙ අම්මා මට කියා දීපු මනුස්සකම පොඩි කාලෙ ඉඳන්ම ඉගෙන ගත්ත
      අදත් දරුවන් ගෙනුත් ඉගෙන ගන්න

      Delete
  4. අනුවේදීනිය මතකයක්
    ජයවේවා ගුරුතුමිය!

    ReplyDelete
  5. ඔබ තුමියගේ පාසැල්දරුවන්ගේ වුවමනාවන් ඉඳ හිට හෝ මෙහි සටහන් කරන්න.

    ReplyDelete
  6. ආචාර කරනවා ඒ ආරාධනාවට

    ReplyDelete
  7. ඇස් වලට කදුළු ආවා, මමත් දවසක් 6 වසරෙදී පොඩි බෝඩරයක් තියන සුදු ෂර්ට් එකක් ඇඳ ගෙන ගියා කමිස දෙකම වේලිලා නැති නිසා, පන්තිබාර සර් විස්තර ඇහුව උදේ මීටින් එකේදි හැබැයි ගැහුවේනම් නෑ.

    ReplyDelete
  8. මෙතැනදි ගහන්නෙ හේතුව නොකිව් නිසයි
    මොකද ඒක ප්‍රින්සිපල් ගාවට ගෙනියන්න බැරි නිසා
    ගැහුවේ ක්යන දේ නාහපු එකට
    මං දරුවන්ට සමීපයි
    එයාලගෙ ඕනෑම දෙයක් මං අහන්නත් ලෑස්තියි

    එදා වුන සිද්ධියෙන් පස්සෙ මං දරුවන් ගෙන් ඇහුවා එයාලට තියෙන කමීස කලිසම් ගාන..
    එක බැගින් තිබ්බ අට දෙනෙක් හමු වුනා දහය එකොළහ සහ දොළහ පන්තිවල. ඔක්කොටම මං ෆේස්බුක් යාළුවන්ගෙන් එකතු කරලා අවශ්‍ය යට ඇඳුමේ පටන් අරන් දුන්නා
    මගෙ බුකිය එයට සාක්ෂි දරාවි

    ReplyDelete
  9. කිසිසේත් මේ කතාව අනුමත කරන්නේ නැත. ඔබ පරිනත ගුරුවරියක් වූවා නම් දරුවන්ට කියා දියයුතුයි සියල්ලට පෙර විනය ප්‍රමුඛ බව. මේ දරුවාගේ කමිසය පිච්චුනා නම් ඒ බව අර විනය භාර ගුරුවරියටත් කියන්න තරම් ඔහු තුළ හික්මීමක් තිබිය යුතුයි. ඔබ ඒ දරුවන් එවැනි තත්වයට පත්කළ යුතුයි. ඒ දරුවන් සමග දවසේ වැඩි කාලයක් ගත කරන ඔබේ බරපතළ වගකීමක් එය. ඔබ සංවාදයට කැමති නම් මා කැමතියි තවත් අදහස් දක්වන්නට.

    ReplyDelete
    Replies
    1. විනය භාර ගුරුවරිය පිළිබඳ තිබෙන ආකල්පය මං පසුව වෙනස් කළා.

      Delete
  10. විනය නෙවෙයි
    මෙතැන දරුවාගෙ අසරණ කමයි තියෙන්නෙ

    ReplyDelete
  11. ටීචර් වසයිනෙ, ප්‍රධාන ශිෂ්‍ය නායකය ඔය තරම් මුරණ්ඩු ළමයෙක් උනේ කොහොමද ?
    A/L කාලෙදි ( ටික කාලයක් ) මටත් තිබ්බෙ එක කලිසමයි ඒකෙත් දිවුල් කහට පැල්ලමක් තිබුන. දුප්පත් විදිහට ඉන්න මට ඕනෙ කමක් තිබ්බ, ටීච කලිසම වේලුනේ නෑ කියල කට්ටි පනින්න හොද හේතුවක්.

    ReplyDelete
    Replies
    1. මුරණ්ඩුකමයි
      අසරණකමයි දෙකක් නේද.
      තිබ්බෙ එකම අැඳුම වුනාට හරී පිළිවෙළක් තිබ්බා
      ලැජ්ජා හිතෙන්න ඇති

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මේ දරුවන්ට උදව් කරන්න මමත් කැමතියි.. පිළිවෙලක් කියන්නකෝ..

    ReplyDelete