Sunday, October 25, 2015

අපේ කල්ලිය




                        තණමල්විල ජිවිතය මා අදටත් සිහිපත් කරන්නෙ ජිවිතයේ හොඳම දවස් ලෙසය. දුෂ්කර මහ සමාජයෙන් ටිකක් හෝ ඈතක තිබුණ ,ඔවුන්ටම විශේෂීකරණය වු සමාජ රටාවට මම ද අනුගත වෙමින් උන්නෙමි . ගුරු නිවාසයේ පදිංචියට ඒමට පෙර මම ගමේ නිවෙසක නවාතැන් ගත්තෙමි. නුපුරුදුකම් සුපුරුදුකම් වන විට මම ද ඔවුන්ගේම කෙනෙක් සේ මටම දැනී තිබුණි. යුද්ධය ද ගිනි ඇවිලෙන ,අවට ගම්මාන වල යුධ බිය දැනෙන වකවානුවක මම ගමේම එකීයක් ව උන්නෙමි. බොහෝ සෙයින් මුහුණ පෑ ගැටළුව ජල ගැටළුවය.නා ගැනීමට ගම කෙළවර ගලා බසින  ගඟට යා යුතුය. තනිව යා නොහැකි මේ ගමන සඳහා කල්ලි ගැසීම පුරුද්දකි. අහළ පහළ දහයක් පමණ එකතු කරමින් යන මේ ගමන බොහෝ විනෝදජනකය. ගඟට යන ප්‍රධාන පාරට වඩා  මගෙ කල්ලිය කැමැතිම කැලෑව මැදින් යන පාරටය. පාසලේදී මට මහත් බියක් දක්වන දරුවන් මේ කල්ලියේදී මගෙ සගයන්ය.මේ ගමනේදී මම ගුරුවරියක් යන්න මම ද අමතක කරමි. මමත් කැලෑ කෙල්ලක්මි. ගස් යට දිවුල් අහුලන්නට පොඩි උන් එක්ක මමද ඔට්ටු වෙමි. කරඹ ගාලක් ගානේ ගෙඩි සොයන්නට
ගොස් හීරුණු තැන් දකින පොඩි උන් මට සිනාසෙන හැටි අදත් මැවී පෙනේ. කොහොමත් ගඟට යන්නෙ පැයක හමාරක කැලෑ සංචාරයකිනි. ගඟ ඊට වඩා ප්‍රියජනකය. මම ගිය මුල් වකවානුවේ ප්‍රසිද්ධ තැනක දිය රෙද්ද ඇඳ ගන්නට දැන උන්නෙ නැත. මගෙ කල්ලියේ පොඩි උන් ඒ දවස්වල මට සහය වුයේ මට මුවාවෙන්නට  උන් පවුරක් සේ හිට ගනිමිනි. ජලයට බැස බාල්දියකින් නාන උන් මට හිනාවී මා ගැඹුරු දියට තල්ලු කරගෙන ගියේ මට ඔච්චම් කරමිනි.මම දියෙ ගිලෙන්නට ගිය අවස්ථාද විය. අවසානයේ පොඩි උන් මගෙ ජලයේ ගුරුවරු විය. මම ද උන්ගෙ රැහේ ජල බුං ගසන සාමාජිකයෙක් කරගන්නට ඔවුන් සමත්විය. කෑ ගැසීම් ,ජල බුං අවසානයේ නිවෙසට එන්නෙ නම් ප්‍රධාන පාරේය.ඒත් ගොම්මන සමඟය.  එදා දවසේද කැලෑ පාරෙන්  ගඟට පැමිණ ගඟට බහින්නට කල්ලිය සුදානම්  වුවා පමණි. අලි දෙදෙනෙ ක් කැලෑ රොද වෙතින් මෑත් විය.  කල්ලිය  ගෙන ආ සකල දේ අතහැර ප්‍රධාන පාරෙ ගම්මානය දෙසට දුවන්නට පටන් ගත්හ. දියබත් වු රෙද්දක් හැඳ දුවන්නට බැරි වු මා මඟ ඇද වැටුණි. මම තෙරුවන් සිහිකරගෙන අවසන් මොහොතට සුදානම් වුනෙමි. අම්මා තාත්තා මතක් නොවුනා කීවෝත් බොරුය. මම මරණ බය ද වින්දෙමි. සද්දන්තයා ළඟ ළඟම එනවා වන්නට ඇත. කල්ලියද නැත.
එහෙත් එක සැණින් මහ සද්දෙන් කෑ ගැසීම් මා ව‍ටා විය. හූ කියමින් සද්දන්තයා බය කරන්නට මා අතැර ගියා යැයි සිතු කල්ලිය පැමිණ ඇත. ළඟ හේනක උන් බණ්ඩේ මාමා අලි වෙඩිල්ලක් ද ගෙන අවේලාවේ ආ සද්දන්තයා එන  මඟ ඇහුරුවේ කල්ලියේ කෑ ගැසීම් හඬට ඉව අල්ලා පැමිණීමෙන්ය.
" මං හිතුවේ ඔයාලා දිව්වා කියලා"
"පිස්සුද ටීච.. අපි එහෙම යනවද ... අපේ කල්ලියේ කෙනෙක් දාලා"

28 comments:

  1. //අලියන් දෙදෙනෙකු ද කැලෑ රොද වෙතින් මෑත් විය.//
    ගුරුවරියක්නෙ. ලියන දේ ළමයිනුත් බලනව.

    ReplyDelete
  2. ස්තුතියි ....
    ඒ වරද හදන්නම්

    ReplyDelete
  3. මරු කල්ලියක්නේ ටීචර් ට ඉඳලා තියෙන්නේ.... නලා දියරෙද්දෙන් වෙන රෙද්දකට මාරු වෙන්න එපැයි.

    ReplyDelete
  4. Post okkoma kiyewwa.. Ammoo kiyala wedakne honde. Niyama experience tika. Mamath hithan inne kawadahari SL awa dawasaka deniyaya katharagama hari eetha pitisara gamaka geyak hadagena jiwath wenna. Niskalanka parisarayaka paduwe jiwath wenna hebei rassawak nokara :)

    ReplyDelete
    Replies
    1. Jiwathwenne...?? Anna honda prashnayak.. Jiwath wenna hithagena inne thiyena salli hondata manage karala ewayin lebena deyin ahase maliga hadanne nethiwa jiwath wenta.. :)

      Delete
  5. අපි එහෙම යනවද අපේ කල්ලියෙ කෙනෙක්ව දාල..
    Golden Words... :-D :-D :-D

    ReplyDelete
  6. මදැයි ඔයින් ගියා....

    ජේද ටිකක් ඈත්කරලා ලිව්වනම් තව පැහැදිලියි..
    දෙබස් ජේද වලට වඩා කැපි පෙනෙන විදියට වෙනම දැම්මනම් පෝස්ට් එකේ ලස්සනක් තියනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි
      මං ඒක හදන්නම්

      Delete
    2. මෙහෙම තිබුණොත් හොඳයි!
      ===================

      තණමල්විල ජිවිතය මා අදටත් සිහිපත් කරන්නෙ ජිවිතයේ හොඳම දවස් ලෙස ය.

      දුෂ්කර මහ සමාජයෙන් ටිකක් හෝ ඈතක තිබුණු, ඔවුන්ට ම විශේෂීකරණය වු සමාජ රටාවට මම ද අනුගත වෙමින් උන්නෙමි. ගුරු නිවාසයේ පදිංචියට ඒමට පෙර මම ගමේ නිවෙසක නවාතැන් ගත්තෙමි.

      නුපුරුදුකම් සුපුරුදුකම් වන විට මම ද ඔවුන්ගේම කෙනෙක් සේ මටම දැනී තිබුණි. යුද්ධය ද ගිනි ඇවිලෙන, අවට ගම්මාන වල යුධ බිය දැනෙන වකවානුවක මම ගමේම එකීයක් ව උන්නෙමි.

      බොහෝ සෙයින් මුහුණ පෑ ගැටළුව ජල ගැටළුවය.නා ගැනීමට ගම කෙළවර ගලා බසින ගඟට යා යුතුය. තනිව යා නොහැකි මේ ගමන සඳහා කල්ලි ගැසීම පුරුද්දකි.

      අහළ පහළ දහයක් පමණ එකතු කරමින් යන මේ ගමන බොහෝ විනෝදජනකය. ගඟට යන ප්‍රධාන පාරට වඩා මගෙ කල්ලිය කැමැතිම කැලෑව මැදින් යන පාරටය. පාසලේදී මට මහත් බියක් දක්වන දරුවන් මේ කල්ලියේදී මගෙ සගයන්ය.

      මේ ගමනේදී මම ගුරුවරියක් යන්න මම ද අමතක කරමි. මමත් කැලෑ කෙල්ලක්මි. ගස් යට දිවුල් අහුලන්නට පොඩි උන් එක්ක මමද ඔට්ටු වෙමි. කරඹ ගාලක් ගානේ ගෙඩි සොයන්නට ගොස් හීරුණු තැන් දකින පොඩි උන් මට සිනාසෙන හැටි අදත් මැවී පෙනේ. කොහොමත් ගඟට යන්නෙ පැයක හමාරක කැලෑ සංචාරයකිනි.

      ගඟ ඊට වඩා ප්‍රියජනකය. මම ගිය මුල් වකවානුවේ ප්‍රසිද්ධ තැනක දිය රෙද්ද ඇඳ ගන්නට දැන උන්නෙ නැත. මගෙ කල්ලියේ පොඩි උන් ඒ දවස්වල මට සහය වුයේ මට මුවාවෙන්නට උන් පවුරක් සේ හිට ගනිමිනි.

      ජලයට බැස බාල්දියකින් නාන උන් මට හිනාවී මා ගැඹුරු දියට තල්ලු කරගෙන ගියේ මට ඔච්චම් කරමිනි. මා දියේ ගිලෙන්නට ගිය අවස්ථා ද විය.

      අවසානයේ පොඩි උන් මගෙ ජලයේ ගුරුවරු වුහ.

      මා ද උන්ගෙ රැහේ ජල බුං ගසන සාමාජිකයෙක් කරගන්නට ඔවුන් සමත්වීමි.

      කෑ ගැසීම්, ජල බුං අවසානයේ නිවෙසට එන්නෙ නම් ප්‍රධාන පාරේය. ඒ ද ගොම්මන සමඟය.

      එදා දවසේද කැලෑ පාරෙන් ගඟට පැමිණ ගඟට බහින්නට කල්ලිය සුදානම් වුවා පමණි. අලි දෙදෙනෙ ක් කැලෑ රොද වෙතින් මෑත් වුහ. කල්ලිය ගෙන ආ සකල දේ අතහැර ප්‍රධාන පාරෙ ගම්මානය දෙසට දුවන්නට පටන් ගත්හ. දියබත් වු රෙද්දක් හැඳ දුවන්නට බැරි වු මා මඟ ඇද වැටුණි.

      මම තෙරුවන් සිහිකරගෙන අවසන් මොහොතට සුදානම් වුනෙමි. අම්මා තාත්තා මතක් නොවුනා කීෙවාත් බොරුය. මම මරණ බය ද වින්දෙමි. සද්දන්තයා ළඟ ළඟම එනවා වන්නට ඇත. කල්ලියද නැත.

      එහෙත් එක සැණින් මහ සද්දෙන් කෑ ගැසීම් මා ව‍ටා විය. හූ කියමින් සද්දන්තයා බය කරන්නට මා අතැර ගියා යැයි සිතු කල්ලිය පැමිණ ඇත. ළඟ හේනක උන් බණ්ඩේ මාමා අලි වෙඩිල්ලක් ද ගෙන අවේලාවේ ආ සද්දන්තයා එන මඟ ඇහුරුවේ කල්ලියේ කෑ ගැසීම් හඬට ඉව අල්ලා පැමිණීමෙන්ය.

      " මං හිතුවේ ඔයාලා දිව්වා කියලා"

      "පිස්සුද ටීච.. අපි එහෙම යනවද ... අපේ කල්ලියේ කෙනෙක් දාලා?"

      Delete
  7. දැනුන විදිහට නම් පොඩි වයසකින්ම ඒ පැත්තට ගියපු කෙනෙක් වගේ...
    මට ඉරිසියා හිතෙන නියම අත්දැකීමක් හම්බ වෙලා තියෙන්නේ...

    \\ දියබත් වු රෙද්දක් හැඳ දුවන්නට බැරි වු මා මඟ ඇද වැටුණි.//
    රෙද්ද කඩන් වැටුණේ නෑනේ නේද ළමයි ඉස්සරහා...???
    :P
    හ්ම්ම්ම්...
    එතකොට මොකක්ද දැන් උගන්වන දිස්ත්‍රික්කය???

    ReplyDelete
  8. \\එතකොට මොකක්ද දැන් උගන්වන දිස්ත්‍රික්කය???//

    කියන කොටස
    "එතකොට මොකක්ද දැන් උගන්වන ඉස්කෝලය තියෙන දිස්ත්‍රික්කය???"
    විදිහට වෙන්න ඕනේ...

    ReplyDelete
  9. මේ බ්ලොග්කාරිය ගුරුවරියක නිසා කියවන අය ඇයට හරි හරියට උපදෙස් දෙන බච පෙනේ. මම ද ඒ රැල්ලට එකතු වුණෙමි!

    ReplyDelete
  10. අද නිවාඩු දවසෙ සේරම කියව්වා. කලින් කියවල තිබුන ඒවත් කියෙව්වා ආයෙම.
    .
    තණමල්විල මම කාලෙකට කලින් ගිහින් තියනවා. ඒ වෙලාවෙ හිතුණ එක දේ, අසනීපයක් වත් වුණොත් මිනිස්සු කොහොමද හදිසියට යන්නෙ කියලා. ඒ තරම් ඈත ඈත ගෙවල් තිබුණෙ.( මම දැකපු පැත්තෙ විතරක්ද දන්නෙ නෑ.... )
    කොහොම වුනත් ඒ වගේ පළාතක ලැබුණ අත්දැකීම් ගොඩක් ඇති. තව ලියන්න.

    ReplyDelete
  11. කවුරු කවුරුත් වගේ ගුරුවරියක වන ඔබට උගන්වල තියෙන නිසා මම උගන්වන්න යන්නෙ නෑ.කැලේක තෙත රෙද්දක් ඇඳගෙන යාමේ අනතුර එදා තේරුම් ගන්නට ඇති නේද.කාලයක් තණමල්විල හරහා කතරගමට එක දිගටම ගියා.මට බොහොම හිතට අල්ලපු පළාතක්.

    ReplyDelete
    Replies
    1. ගඟට බහිද්දිම අලි එද්දි ආය රෙදි ඇඳගන්න තරම් වෙලාවක් නැ සහෝදරයා ..
      ඒ වෙලෙ ඔක්කොම කළෙ දුවපු එක
      නැතුව දිය රෙද්ද ඇදගෙන දුවන්න වෙනත් හේතුවක් නැ
      පණ කඩාගෙන දුවනවා මිසක්

      Delete
  12. හරිම සුමට විදියට ගැබුරු අදහසක් දෙන ලස්සන ලියවිල්ලක්! දැන් ඔබගේ බ්ලොග් එකට එන්නේ හරිම අසාවෙන් අලුත් ලියවීම කියවන්න.
    ගුරුවරුන් මගේ ජිවිතේට තදින් බැදුන සංරචකයක්. ඒ මගේම ආදරණිය ගුරුවරුන් වගේම, මගේ පව්ලේ සාමාජිකයන් නිසය්. මගේ අම්මාත් සහෝදරියන් දෙදෙනාත් ගුරුවරියන්. මගේ පුංචිකාලේ ආසාම රැකියාව ("dream job") ගුරුවෘතිය වුනත් පසුකාලයක ඇතිවුන විවිද සිදුවීම් නිසා අද ස්කන්දිනේවියානු ("Scandinavian") රටක යන්ත්‍ර සමග ගැටෙමින් ජිවත් වෙනවා. අද ලංකාවේ සමාජයේ බොහොමයක් ගුරුවරුන් තමන්ගේ රැකියාව ගැන චෝදනා නගමින් සිටින කාලයක ඔබවාගේ තමන්ගේ රැකියාවේ යුතුකම් හරියට කරන කෙනකු ගැන ඇසීමම හිතට සැනසීමක්.
    දිගටම ඔබගේ සද් කාර්යයන් ඉදියට කරගෙන යාමට ඔබට ශක්තිය හා ධෛර්‍යය පතමි.

    ReplyDelete
  13. ඔබ තුමිය තණමල්විල උගන්වපු කාලේ මම ඉඳල තියෙන්නේ කතරගම බැලුවාම. නිල නිවාසයේ ඉඩම අයිනෙන් ගලාගෙන යන මැණික් ගඟෙන් හවසට නාල ඇවිත් ITN ප්‍රවුර්ති බලන්න සෙට් වෙන්නේ බත් එක බෙදාගෙන ඇවිත්. ජීවිතේට අමතක වෙන්නේ නැති මගේ ගෝල තැන උයන කෑම වල රස මතක් වෙලා මේ දැන් කතරගම යන්න හිතුන මේ පොස්ට් එක කියවල.. මාද්‍ය වලින් වාර්තා නොකරපු ත්‍රස්තවාදී වෙඩි තැබීම් වෙලාවේදී යුද බිය කියන එක අත්වින්ද හැටි අද වගේම මතකයි.. සමහර දවස් වල බොහොම ලඟින් එකදිගට ඇහෙන වෙඩි සද්ද එක්ක එලි වෙනකල් ඇහැරගෙන උන්න හැටි අද වගේ මතකයි. ටෝච් එකයි ෆෝන් එකයි පර්ස් එකයි ලඟින් තියාගෙන ලයිට් නිවාගෙන අන්ද උඩ වාඩි වෙලා වෙලිවෙනකල් ඇහැරගෙන හිටියනේ මමයි මගේ ගෝල තැනයි ඒ කාලේ.. මගේ නිල නිවාසය තිබ්බේ කතරගමත්, සෙල්ලත් අතර නිසා අලි කරදරේ නම් අපිට තිබ්බේ නැහැ. ඔන්න මුළු බ්ලොග් එකම කියෙව්වා.. දිගටම ලියන්න ශක්තිය දහිරිය ලැබේවා..දුප්පත් අසරණ ළමයින්ට උදව්වක් ඕන උනොත් මටත් චාන්ස් එකක් දෙන්න පිනක් දහමක් කරගන්න..

    ReplyDelete