Sunday, October 18, 2015

ටීච..... අම්මා කියන එකී මං දැකලත් නෑ


                    ඉර වැඩ පටන් ගෙන හුඟක් වෙලා ගිහින් වගේ තදේට අව්ව...කොළ පාටක් පේන තෙක් මානේක නෑ. දුවිලි පිරිච්ච ගුරු පාර දිගෙ හා හා පුරා කියලා වැඩ භාරගන්න විදුහලට ආවත් දැනුනේ මහ නුහුරු හැගීමක් විතරමයි. තළමල්විලටත් එහා හුඟක් දුෂ්කර ගමක පළවෙනි පත්වීම අරගෙන එනකොට දැක්කෙ පුංචි උන්ගෙ අව්වට පිච්චුණ මුහුණූ වලත් සුදු පාට හිනා.
“එහෙනම් අළුත් ටීචර් නෝනා එකොළහේ පන්තියට යන්ටකෝ අදට.... සිංහල උගන්වන ටීචර් නෑ අද”
විදුහල්පතිතුමා පළවෙනිම රාජකාරිය පවරද්දී හිතට දැනුනේ ආගන්තුක බයක්. අව්වටම සින්න වුණ අහසක් යට මම හරි අසරණයි වගේ දැණුනා. අව්ව අස්සෙන් දුවිලි පොරවගත්ත හුළඟත් එක්කම එකොළහේ පන්තියට ගොඩ වුනෙ පොඩි චකිතයකින්.
“ අළුත් ටීච කෙනෙක්”පොඩි උන් මුණු මුණු ගානවා මට ඇහුණා.  අයිති නැති විෂයක් වුනත් සිංහල විෂයට මං ආදරේ හින්දම සාහිත්‍ය පොත පෙරලගෙන පුංචි රසාස්වාදයක් පොඩි උන් එක්ක කරන්න හදන වෙලාවේ පන්තියේ අන්තිම පේළියේ කොනේම හිටපු දරුවා තමන්ගෙ සටහන් පොත හෙමින් සැරෙ පිටුවෙන් පිටුව ඉරා දමනවා මං දැක්කේ අහම්බෙන්.
මං බලන් ඉන්නවා දරුවා දැක්කා. එත් මාව සතේකට ගණන් නොගෙන දරුවා එයාගෙ කාර්යය දිගටම කරගෙන ගියා.
“ පුතේ .... නම මොකක්ද?”
මං ඇහුවේ දරුවගෙ අවධානය ගන්න හිතාගෙන...
“චාමර .......” ඉරා ගත්ත පිටු වලින් රොකට් හදන ගමන්ම දරුවා මට උත්තර දුන්නා.
“ අම්මලා දුක් විදලා හොයන සල්ලි වලින් පොත් අරන් දෙන්නෙ අපට ඉගෙන ගන්න මිසක් ඉරන්න නෙවෙයි නේද පුතේ... අම්මලා පව්... පොත නාස්ති කරන්න එපා.”  මං කිව්වේ බැරිම තැන .
පොඩි එකා සමච්චලේට මට හිනා වුනා.
“ටීච..... අම්මා කියන එකී මං දැකලත් නෑ... තාත්තා කියන එකා එකී දන්නෙත් නැතුවත් ඇති”
මගෙ හුස්ම හිරවුණා වගේ දැනුණා. පපුව හරහා එකපාර අකුණු සීයක් වැදුණා වගේ වචනයක් වත් පිට කරගන්න බැරිව අසරණ වුන මං පන්තියෙන් එළියට බැස්සෙ කාලපරිච්ඡේදය අවසන් වන සීනුවට පිං සිද්ධ වෙන්න....
“ටීචර්....”
මං ආපහු හැරුණා. අර දරුවා මගේ පස්සෙන්...
“ටීච තරහද”
“ඒ ඇයි පුතේ”
“මගේ අම්මා මං පොඩි කාලේම රට ගිහින්... පිංතූරයක් වත් නෑ.... මගේ තාත්තා කව්ද කියලා කව්රුවත් දන්නේ නෑ ටීච”
මං ඒ දරුවගෙ ඔළුව අතගාලා හිනාවෙලා ඉක්මනට ගුරු කාමරේට ආවේ මට ඒ දරුවට කියන්න එකම වචනයක් වත් මං ඉගෙනගෙන තිබුණෙ නැති නිසා.


18 comments:

  1. ඔහොම දරුවොනම් පව් ටීච.

    ReplyDelete
  2. ඇත්ත කතාවක් , ඔය තමයි ජීවිතය

    ReplyDelete
  3. ප්‍රාථමික පංති වලදිම ඔය අවබෝධය තියෙන හුරුබුහුටි කෙලි පැටික්කියක් ගස්ලබු සොයුරියගෙ මල්කුමාරියක් වෙලා හිනාවෙවී උන්නු හැටි මතක් උනා..
    ජයවේවා..!!

    ReplyDelete
  4. චාමර ල ඔහොම්මමයි...
    පව්ව ඇත්තටම මට මතක් වෙනව පොඩි කාලෙ අපි විනෝදෙට වගේ කියපු කවියක් වගේ එකක් ඇත්තටම ඒක මොකද්ද මංද ඒත් ටිකක් විතර මතකයි

    අම්ම පිටරට
    තාත්ත කොට උඩ
    ළමයි ගස්යට
    කන්නෙ කොස්ඇට

    අහල ඇති නේ තවත් තියේ වගෙ මතකයි ඒත් මතක නැ

    ReplyDelete
  5. අපේ පහ වසර පන්තියෙත් හිටියා මහා මුරණ්ඩු ළමයෙක්. හැමෝටම ගැහුවා . රණ්ඩු කලා හැමවෙලේම . කතාකලෙත් හරිම නරක වචන. හැම ගුරුවරයම කලේ ගහපු බැනපු එක විතරයි. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සෙ ඉස්කෝලේ ආවෙ නෑ. එයාටත් මීටත් වැඩිය දුක්බර කතාවක් තියෙන්න ඇති කියලා දැන් හිතෙනවා. ඔබතුමිය වගේ ගුරුතුමියක් හිටියා නම්........

    ReplyDelete
    Replies
    1. ළමයි ගාව හරි සංවේදී කතා තියෙනවා.. හිතාගන්න බැරි

      Delete
  6. තමන්ගේ අම්මා තාත්තා කවදාවත් දැකලවත් නැති දන්නේවත් නැති දරුවෝ මට ළමා නිවාස වලදි මුන ගැහිලා තිබෙනවා.ඔවුන්ගේ ජීවිත කතා ගොඩක් දුක්බරයි.එවැන් දරුවන්ගේ පාසල් ගමන පවා ඉතා ඉක්මනින් අවසන් වෙනවා.ඒ අතරේ කලාතුරකින් සමාජයේ ඉහලටම යන අයත් ඉන්නවා.මම එහෙම කිහිප දෙනෙක්ම දන්නවා..

    (පෝස්ට් දැමීම අතර දින කිහිපයක වගේ පරතරයක් තියාගත්තොත් හොදයි.නැත්නම් පෝස්ට් බොහො දෙනෙකුට මග හැරෙනවා)

    ReplyDelete
  7. මං ඒ ගැන අවධානය යොමු කරන්නම්..
    දින කීයක් වගෙ පරතරයක් ද යන්න යෝජනා කරන්නෙ නම් කිහිප දෙනෙක් මට ඒ පිළිබඳ සිතිය හැකියි
    බ්ලොග් වලට අළුත් මට මඟ පෙන්වීම ගැන ස්තුතියි

    ReplyDelete
    Replies
    1. පැය 24ක පරතරයක් ඇති කියලා හිතෙනවා මිස්. මගේ අත්දැකීම අනුවනම් ඒ ගාන ඇති.

      Delete
  8. අහසින් පොළොවට කඩා වැටීලද
    අම්ම තාත්තා නෑ දන්නේ
    මව් පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
    පුංචි පුතේ මගෙ පුංචි දුවේ...

    මන්දිර වාසල පැල්පත අගු පිළ
    කොයි දරුවත් දරුවොයි මෙලොවේ
    නුඹලා උන්නා නිසාද මේ ගෙට
    අනාථ නිවසයි පට බැඳුණේ...

    ගෙනත් දෙතිය රස මසවුළු මව් වරු
    දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ
    නැති බැරි කම් මැද අහක දමන්නද
    නුඹෙ මව් ළමැදේ කිරි එරුණේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය : රෝහණ වීරසිංහ
    ගායනය : සුනිල් එදිරිසිංහ

    ReplyDelete
  9. ස්තුතියි ඒ අපූරු පදවැලට

    ReplyDelete
  10. මොනම හේතුවක් නිසාවත් බ්ලොග් එක ලියන එක නවත්වන්න නම් එපා..

    ReplyDelete