Sunday, September 4, 2016

තාත්තා ගෙ නම

සුන්දර වුවත් ඉතාම ග්‍රාමීය ඒ පාසලට පැමිණෙන බොහෝ දරුවන් ගොවි දරුවන්ය. සමහර බෝග සිටුවන දාට , බෝග එකතු කරනදාට දරුවන්ට පාසල් ඒමක් නම් නැත. එදා දවසට හිස් පුටු ගණන වැඩිය. ගොයම් කපන කාලයට නම් දරුවන් කොහෙත්ම එන්නෙ නැත. පිදුරු ගොඩේ කොන්ඩිත්තන් ගසන්නට , මී ගවයන් පසුපස දුවන්නට මෙන්ම මැඩවුම් බත කන්නට දරුවන් ප්‍රියය. මට එහි අරුමයක් නැත. මගෙ ළමා කාලය ගෙවෙන්නේද එසේමය. ගොවි දරුවෙක්ව ඉපදුණ මම හෙල්මැලි කුඹුරු පහළ ඕනෑතරම් රෝන්ද ගසා අැත්තෙමි. ගොයම් පැළ තවානෙන් ගොයම් පැළය ගැළවෙන විට අතට දැනෙන හා කණට ඇසෙන සියුම් රසවින්ඳනයේ අපූරු බව විඳ ඇත්තෙමි. අනෙකාගෙ ඇඟට මඩ විසිවෙන ලෙස ගොයම් මිටි ලියදී වලට උඩින් පියඹා යවා ඇත්තෙමි. අනෙක් දඟම වැඩේ නම් ඇඳුම යටින් මඩ ඉහී යන යන පරිද්දෙන් උදැල්ලෙන් ලියදී වල ඇති ජලය කැළඹීමේ පුරුද්දය. ගොයම් කපන කාලයටත් එය පොදුය. පිදුරු ගොඩ දිව්‍ය සැපය. කොන්ඩිත්තම් ගසා බෙල්ල උලුක් වන තුරුම නටන්නට අප හපන්ය. මී හරක් පසුපස දිවීම, ඔවුන් ශරීර කෘත්‍යයන් කරන විට පිදුරු ඇල්ලීම මහා වීරකම්ය. ඉතිං මේ දරුවන්ට දැන් ඒ තරම්ම නැතත් ලැබෙන වින්දනයට හෝ ඉඩක් තිබිය යුතු බව මා විශ්වාස කරමි.


කළින් දවසේ පංතියට පැමිණි නැති අයගෙන් නිදහසට කරුණු ඇසුවේ ඔවුන්ට වඩා ඒ කරුණු දැනගෙනමය. පුරුද්දට ඔවුන් විමසීමට මම සිතා උන්නෙමි.

" චන්දන... මොකද ඊයේ ආවෙ නැත්තෙ"

"කුඹුරේ ගියා..ටීච"


" කෝ ලියුම.. ආවෙ නැත්නම් අම්මල ලියල එවනවනෙ"

" අමතක වුනා ටීච.... "


" ඊළඟ දවසේ ගෙන්නනවා මං තාත්තව ඉස්කෝලේට ...


"


දරුවා කතාවක් නැත. ඒ හිතුවක්කාරකම සමඟ ඇති දඟකාරකමටය. ඕනෑතරම් ඒ මායම් මම දැක ඇත්තෙමි.

" කියන්න මොකක්ද නම තාත්තගෙ"

" කට්ට මහතු"

" මොකක් .. විහිළුවට ගන්න එපා පුතා.. කියනවා තාත්තගෙ නම.. සම්පූර්ණ නම"

" ඒක තමයි ටීච... ආරච්චි මුදියන්සේලාගේ කට්ට මහතුන්..."

සිනාසෙන්නට අවැසි වු නමුත් පිපිරෙන තරමට තරහක් මවා ගත් මම ඔහු දෙස බලා උන්නෙමි.

" ඉතිං ඇත්ත තමයි ටීච.... ගමේ ඔක්කොම උන් අපේ තාත්තාට කියන්නෙ කට්ට මහතුන්"

සඟවා ගත් සිනහව මහා හයියෙන් පිපිරි යනු නොදී මම පංති කාමරයෙන් එළියට ආවෙමි.



9 comments:

  1. දෙයියෝ සාක්කි.කීයෙ පංතියේ ළමයෙක්ද?ප්‍රයිමරි????

    ReplyDelete
  2. ඉතිං ඇත්ත තමයි ටීච.... ගමේ ඔක්කොම උන් අපේ තාත්තාට කියන්නෙ කට්ට මහතුන්" ////////// සමහර ගම් වල රෙජිස්ටාර්ලා මිනිසුන් ගේ කුල අනුව පහත් නම් දුන්නා . මිනිසුන් ට තමන් ගේ නම සඳහා වත් අයිතියක් තිබ්බේ නෑ

    ReplyDelete
  3. මේ දරුවාගෙ පියාට ගම්මු තැබු අනුවර්ත නමක්. ඔහුගෙ පියාගෙ නම වෙනම නමක්.
    දරුවා සිය වාසගම සමග කියන්නෙ ඒ අනුවර්ත නම

    ReplyDelete
  4. කණගාටුයි ඒ දරු පැටිය ගැන...මේ දේ ගම් වල අදටත් සිද්ධ වෙනවා..එකක් දෙමාපියන්ගේ හැසිරීම් දරුවන්ට බලපාන ආකාරය...අනිත් දේ මිනිස්සු තව කෙනෙක්ව පහත් කරන්න යොදා ගන්න ආකාරය...කොයිකෙනුත් තැලෙන්නේ මේ කුඩා දරුවෝ...

    ReplyDelete
  5. අපේ තාත්තාත් "මහතුන්" හැබැයි කට්ට නැහැ.

    ReplyDelete
  6. ඒ වගේ වෙලාවට හිනාව නවත්තගෙන ඒ හුරතල කටහඬවල් අහන් ඉන්නේ කොහොමද.. අනිත් එක බොරු තරහක් මවා ගන්න එක..

    ReplyDelete