Saturday, October 10, 2015

රණ්ඩුව


           හා හා පුරා කියලා ඉස්කොලේ ඉස්සෙල්ලාම දවස. හරියටම මාසයක් නිවාඩුවට වහලා දාපු ඉස්කොලේට ම අද රජමඟුල් වගේ. පොඩි උන් එක්කම ගහ කොළ පවා ඔට්ටු සෙල්ලම් කරන්න පටන් අරන්. හැමදේම අළුත්.ඉස්කොලෙ විතරක් නෙවෙයි අහසත් හරි අළුත්.. සාරි පොට ඉව කරමින් අළුත් සුවඳයි කියන පුංචි උන් රොත්ත එක්ක මං ටිකක් වෙලා අතරමං වෙලා උන්නා.පොඩි උන්ට මාසයක් පුරා කියවන්න දාහක් දේවල් එකතු වෙලා තියෙනවා වගේ.හැමෝම ඕපදූප මළු පුරවන්න පටන් අරන් .ඒ අතරේ දේවදාර ගහ ළඟ හැංගුන ආදරවන්තයො ගැන හොයන්න ඇස් දිව්වට මගේ පාඩුවේ ඇහැළ මල් වැට දිහා බලන් ඉන්න කියලා මගේ හිත මට කිව්වා. ඒත් ඇස් ඇහැලමල් දෙවැට දිගේ යවලා මං නතර වෙලා උන්නෙ පාසල් ප්‍රේම ජවනිකා වල දෙබස් අහන්න.
" ටීචට මේ පොත බලන්න කිව්වා" ශිෂ්‍ය නායිකාවක් මගෙ අතට දුන්නෙ ගුරු නිවේදන පොත. දැන් ඉතිං යන්න වෙනවා.දම්මි සුගත් ආදර කතා වල හොර ගල් අහලපු මට එක වසරට යන්න කියලා එවපු නිවේදන පොතට මම හිතින් සාප කරමින් ප්‍රාථමිකය පැත්තට ගියා.
"අ ... නේ ටීච ර්... මෙයා මට බනිනවා" පන්තිය‍ෙ දොරකඩටම පැමිණිල්ල ඇවිත්.
" හරි අපි බලමුකෝ.."
පුංචි එකා ඒ උත්තරය පිළිගන්න සූදානම් නෑ.
"මෙයාට ගහන්න ටීච"
"හරි ඉතිං මං නඩුව අහන්නම්කෝ... එන්න "
" බෑ බෑ නඩු එපා.. ටීච මෙයාට ගහන්න"
"ඉතිං ටීච මෙයත් මට පැන්සලෙන් ඇන්නනේ"
රණ්ඩු කරපු අනෙත් දරැවා පැන්සල් තුඩු පහරකින් තුවාල වුන මහපටැඟිල්ල මට පෙන්නුවා. පුංචි තුවාලයක් තමයි. ඒත් කදුළු පේළි දෙකතුනක් ගලපු සළකුණු පොඩි එකාගේ මුහුණ පුරා තිබුණා.
"කව්ද ඉස්සෙල්ලාම රණ්ඩු කළේ "
" මෙයා ටීච"
"නෑ මෙයා "
අන්තිමට මුළු පන්තියම එකම කාලගෝට්ටියක් වෙලා.පොළොව දෙදරන්න දෙපැත්තටම සාක්ෂි කියන්න පටන් අරන්.
ප්‍රාථමිකයේ ගුරැවරැ ඇත්තටම විඳින්නෙ බරපතල වැඩ සහිත සිරදඬුවම් නේද කියලා මට හිතුණේ මේ රණ්ඩුවට විසඳුමක් හොයන්න මාත් එක්කම පොර බදන ගමන්.
" හරි පුතේ මේක මට බේරන්න බෑ.. මං මේක පොලිස් මාමා කෙනෙක්ට කියන්නම්. ඔයාලා පොලිසි මාමාට කියන්න වැරදි කව්ද කියලා"
ගණදෙවි නුවන මට පහළ වුනෙ පාසල් ගේට්ටුව පහු කරන පොළිස් නිළධාරියෙක් දැක්කට පස්සෙ. පන්තියම මීයට පිම්ඹා වගේ නිශ්ශබ්ද වුනත් පැන්සල් පහර කෑ දරැවා අඬන්න පටන් ගත්තා.
"දැන් අඬන්න එපා නඳුන්. අපි විමක්ෂ ව යවමු පොලිසි. එතකොට එයා අපහු කාටවත් ගහන එකක් නෑනේ.එන්න අපි තුවාලේ සෝදලා බෙහෙත් දාමු"
"අනේ ටීච මට රිදෙන්නෙ නෑ. විමක්ෂ පොලිස් මාමට දෙන්න එපා. එයා තමයි මගෙ හොඳම යාළුවා. එයා හොඳයි.එයා නැතිව පාළුයි "

5 comments:

  1. ප්‍රාථමික පන්ති වලට ඉගැන්වීම යනු බරපතල වැඩ ඇතිව හිරේ දැමීමක් කියා ඔබ කියන කතාව ඇත්තකි. එක පන්තියක ළමයි 40 ක් පමන සිටින විට සියල්ලෝම එකට කෑගහන විට ගුරුවරයා විදින පීඩාව මෙතෙකැයි කිව නොහැක.

    ReplyDelete
  2. දිගටම ලියා ගෙන යන්න...
    ඔයාත් මම වගේම අලුත් නේ...
    ලියන විදිහත් ෂෝයි...
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක ගැන කියනවා නම් කියන්න තියෙන්නේ ඕක තමයි ළමා ජීවිතේ කියලා...

      Delete