Wednesday, October 28, 2015

තරහ



             වගකීමට වගවෙන්න යැයි අම්මා මට කියා දුන්නාය. පෙළ පොත් නැති ඇගේ පාඩමෙන් මං ජිවිතය හදා ගත් තැන් බොහෝය. රාජකාරි ජිවිතයට ද එය එසේය. පැවැරැන යමක අවසානය මට සුභවාදීව අවශ්‍යමය. කථික තරඟයට මාත් එක්ක කෙල්ල සූදානම් වු දා පටන්ම මම ජයග්‍රහණය පිළිබඳ හීන දැක්කෙමි.
"අපි සමස්ත ලංකා දිනල ඇවිල්ලම අඬමු කෙල්ල" පළාත් තරඟය දිනා ආ දා හා බඳාගෙන ඉකිගැසු කෙල්ලට මම කීවේමි. ඇය ඉන් සැනසුනා යැයි මම අදටත් සිතමි.
"ඔයාට මොනවද තියෙන ප්‍රශ්න.."
"මට තාත්තා ගැන හරි කේන්තියි ‍ටීච.... එයාට මං ඉන්නවාද නැද්ද කියලාවත් ගානක් නෑ.. සපත්තු දෙක කැඩිලා.. සෙරෙප්පු දාගෙන ඉස්කොලේ එන්න ලැජ්ජයි ටීච.."
පුහුණුවීම් අතරතුර ඇය සමඟ පුංචි කතාබහක් මගෙ පුරුද්දක් විය. විටෙක ඇය ආවේගශීලි වූවාය. තනිකම , නැතිබැරිකම ඇය තරහා ගන්වා තිබුණි.
" පුතා පොතක් ගන්න.. හිතට එන හැමදේම ලියන්න... තරහ, දුක, ආදරෙ ඕන දෙයක්.. හරියට දිනපොතක් වගේ... ඒක හැබැයි ප්‍රයිවෙට් වෙන්න ඕන... පුතා කැමැතියි නම් විතරක් මං ඒක කියවන්නම්..."
 පොඩි එකි හිස වැනුවාය. පසුදින උදේ පාන්දරම ඇය මා අතට පොතක් දී යන්නට ගියාය. එකෙණිහිම එය කුමක්දැයි මට නිනව් නොවුණි. දවසෙ මැද හරියෙ මම එය දිග හැරිමි. පපුවට හුස්මක් කොයි තරම් බරක්දැයි දැනුනෙ එවිටය. මම බුකියෙ ආදරණීය මිත්‍ර ලක්ෂිත නඳුන් ඇමතුවෙමි. ඔහු හැකි ඉක්මනින් සපත්තු යුගල දහයක් එවන්නට පොරොන්දු විය. ඉන්පසු මා ඇමතුවේ මනොජ් සැලී මිතුරාය. මසකට රුපියල් දහසක් පොඩි එකී ගෙ ගිණුමට බැර කරන්නට ඔහු මා සමඟ ගිවිසුනේය.එතෙර උන් කමල් සහෝදරයා දැරිය වෙනුවෙන් මුදලක් එව්වේ අවශ්‍ය පතපොත සඳහාය.මගෙ බුකියෙ එකතුව එහෙමය. දැන් ඇයට තරඟයට යන්න බාධාවක් නැත. ඇය සියල්ල බාර ගත්තෙ සතුටිනි.
"දැන් තාත්තාට බනින්න එපා පුතේ.. පුළුවන් විදිහටයි එයා කරනවා ඇත්තෙත්.. දැන් ඔයාට ඕන දේවල් තියෙනවා.."
පොඩි එකීගෙ හිනාව මට තාමත් මතකය.
"මේක ටීචට.."
" මොනවද"
" පේර ගෙඩියක්.. ටීච පේර ගහ ගාව ඉඳන් කඩන්න හැදුවට බැරි වුනානේ.. මං දැක්කා.. මං කඩන් ආව"
පේර ගෙඩියක් කොහොමත් මට පෙනෙන්නට බැරිය. එදා පටන් හැම දවසේම ඇය අත මා වෙනුවෙන් පේර ගෙඩියක් විය.

සමස්තලංකා තරඟයට සතියක් තියා පරිපාලනයෙන් මට නියෝගයක් නිකුත් විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කථික තරඟ පුහුණුවීම් වලින් මා ඉවත් විය යුතු බවත්, ඒ සඳහා ඕනෑ තරම් ගුරුවරුන් සිටින බවත්ය. මගෙ හීන කඩා වැටුනේ එදාය. පළාත් මට්ටම දක්වා ගෙන එන්නට මට හැකි වුනිනම් මේ අවස්ථාවේ මා නුසුදුස්සකු වූයේ කේසේද යන්න මම මගෙන්ම ප්‍රශ්න කළෙමි.කෙසේ හො මම නුසුදුස්සකු කර තවෙකෙක් වර්ණ පෙන්වන්නට වූවාය. මම පසෙකට වී නරඹන්නෙක් පමණක් වුනෙමි. අවසානයෙ මගෙ මහන්සිය හීනයක්ම පමණක් කර සමස්ත ලංකා හීනය බොඳ විය.
කෙල්ල ප්‍රථම තිදෙනා අතර නොවු බව ඇසූ පළමු තප්පරය මට හුස්ම ද අමතක විය. සහභාගිත්ව සහතිකය අතට දී වැඳ  වැටෙන විට මට කියන්නට වචන අමතක ව තිබුණි. පැරදී උන්නෙ මමය. ඉන්පසු ගෙවුන දවස් රාජකාරි ම‍ට්ටමෙන් කාර්යබහුල වනවිට මට කෙල්ලව මඟ හැරී තිබුණි. හිතාමතා නොකළත් බොහො දිනවල කාමරය අසළට පැමිණ මා දෙස බලා සිට කතා නොකරම යන කෙල්ල මගෙ ඇස් ඇතුළෙ පමණක් හිරවී උන්නාය. මම ඇයගෙන් පලා යන බවක් මට දැනෙන්නට විය.
" පුතා බැංකු පොත ගේන්න මේ මාසේ සල්ලි දාන්න"
එහෙම බලා උන්න දවසක මම කීවෙ මාසිකව එන මුදල ගිණුමේ තැන්පත් කිරීමේ වගකීම ද මා සතු නිසාමය.
" ගේන්නම් ටීච... ඒත් පේර ගේන්න වෙන්නෙ නෑ"
" පේර නම් එපා පුතේ.... ඒත් ඇයි ගේන්න වෙන්නෙ නැත්තේ.."
" ටීච තරහ වුන දවසෙ ඉඳන් පේර ගහෙත් ගෙඩි හැදෙන්නෙ නෑ ටීච... "

6 comments:

  1. සත්‍ය කථාවක් මෙච්චර සංවේදී විදිහට ඉදිරිපත් කිරීමට හැකිවීම විශාල දක්ෂ කමක්. ඔබ මේ දරුවන් වෙනුවෙන් කරනා කටයුතු වෙනුවෙන් සම්මාදම් වීමට කැමති අගය බ්ලොග් කරුවන් අතර සිටීමට පුලුවන්. ඒ නිසා ඒ වෙනුවෙන් ගිණුමක් අරඹා මෙහි ඒ විස්තර සටහන් කරන්න. නව පාසැල් වසරේ දරුවන්ගේ උවමනාකම් වලට උදව් වෙන්න පිටුවහලක් වේවි.

    ReplyDelete
  2. අර වගෙ ඉිරිසියාකාර උන්දැල කොහෙත් ඉන්නව.. ඇත්තටම දක්ෂය කියන්නෙ බෝඩ් ගහගෙන ඉන්න ජාතියෙ අය නෙවී ක්යල උන්දල කවදතේරුං ගනීද මංද... අපේ ඉස්කෝල වල හැටිමයි

    ReplyDelete
  3. අපේ කාල්ලකන්නි රටේ මේ කාලකන්නි වැඩේ දිගින් දිගටම සිද්දවෙන එක ගැන කනගාටුයි. හැම ආයතනයකම මේ දේ පොදු ලක්ෂණයක්. මිනිස්සුන්ට ආදරේ කරන මනුස්සයෙක් මිනිස්සුන්ට ලන්වෙනවට බහුතරයක් ලොකු එවුන් කැමති නැහැ. අවුරුදු දොළහක් රජයේ සේවයේ හිටපු මමත් මේ අත්දැකීම ඇතිවෙන්න විඳලා තියෙනවා. 2001 අවුරුද්දේ මගේ ලොක්කෙක් මට ලොක්කගේ කාමරේට එන්න කියලම කිව්වා පොඩි මිනිස්සු එක්ක නිතර කතා බහට යනවා කියල ආරංචියි.. මෙතන වැඩ කරගෙන යන්න නම් එව්වා නවත්තන්න වෙයි කියලා. එහෙව් මිනිස්සු ඉන්න සමාජ වටපිටාවක අන්තිමේ අවස්තාවක් එනවා මිනිස්සුද? රැකියාවද කියල තීරණයක් ගන්න වෙන.. ඒ දවසට ගැන බලාපොරොත්තුවෙන් ඉන්න. ඔයාල වගේ ගුරුවරු දරුවන්ට ලැබෙන්නේ බොහොම කලාතුරකින්. සැලෙන්න එපා.. දරුවන් වෙනුවෙන් උදව්වක් ඕන උනොත් අපිවත් දැනුවත් කරන්න..

    ReplyDelete
  4. අධෛර්යමත් වෙන්න එපා ගුරුතුමී ගහනකොට ගහනකොට වැටි වැටි හරි නැගිටින්න. දේවතාවියක් වගේ දරුවන්ට පිහිටවෙන ඔබතුමියට මගේ ප්‍රණාමය ! කවුරු කොහොම මොනවා කිව්වත් හැම ගුරුවරයම එක වගේ නෑ.

    ReplyDelete
  5. ඇත්තටම මහ පුදුමාකාර මිනිස්සු ඉන්න සමාජයක තමයි අපි ජීවත් වෙන්නෙ.හරිම කළකිරීමක් දැනෙනවා.

    ReplyDelete
  6. මටත් මම වැඩකරපු අනුරාධපුර ශාඛාවෙන් අයින් වෙලා එන්න උනේ මම ගණුදෙණු කරුවන්ට සලකනවා වැඩි කියලා. ඇත්ත කතාව කලමණාකරු බය උනා මම එතුමවත් පහු කරන් යයි කියලා..
    හැම තැනම තත්වේ ඕක තමයි

    ReplyDelete